මියගිය පුතුගේ නම අධිකරණයේ
ප්‍රකාශ වන විට මව සිහිසුන්ව ඇද වැටේ


ඒ. ඡේ. ඒ. අබේනායක

මෙයට සිවු වසරකට ප්‍රථම රිය අනතුරකට ලක්‌වී මියගිය සිය පුතුගේ නම අධිකරණය හමුවේදී ප්‍රකාශ වූ අවස්‌ථාවේදී සිය පුතණුවන්ගේ වියෝව දරාගත නොහැකිව අධික කම්පනයට පත් මවක්‌ අධිකරණ ශාලාව තුළම සිහිසුන්ව ඇද වැටීමේ දසුනක්‌ ඊයේ (25 වැනිදා) කොළඹ මහාධිකරණයේදී දක්‌නට ලැබිණි.

මෙයට සිවු වසරකට පෙර එනම් 2006 ඔක්‌තෝබර් මස 7 වැනි දින සිය පවුලේ ඥතීන් සමඟ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි සහන් තුසිත කුමාර නමැති තරුණයාට සහ අබ්දුල් රහිම් පාතිමා නමැති තිදරු මවට මරු කැඳවූ සහ එහි ගමන් කළ තවත් සිසුදෙනකුට බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් පෞද්ගලික බස්‌ රථ රියෑදුරකුට එරෙහිව ගොනු කර තිබූ නඩුවක්‌ කැඳවූ අවස්‌ථාවේදී මෙම සිද්ධිය සිදුවිය.

නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනුකර තිබියදී වරද පිළිගත් ඉන්දික චමින්ද වීරසිංහ නමැති පෞද්ගලික බස්‌ රථ රියෑදුරුට දඬුවම් නියම කිරීම සඳහා මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා ඉදිරියේදී එම නඩුව ඊයේ (25 වැනිදා) දහවල් කැඳවිණි. එහිදී මහාධිකරණ භාෂණ පරිවර්තක විසින් චෝදනා කියවා දීම සිදුකරමින් සිටියදී සිහිසුන්ව ඇද වැටුණ එම කාන්තාව පොලිස්‌ නිලධාරීන් සහ ඇගේ ඥතීන් විසින් අධිකරණ ශාලාවෙන් පිටතට රැගෙන යැම සිදු කරන ලදී.

එම සිදුවීම නිරීක්‍ෂණය කළ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා චූදිත රියෑදුරු විසින් පදිකමාරුව හරහා ගමන් කරමින් සිටි මගියකු හා යතුරුපැදිකරුවකු රිය අනතුරකට ලක්‌කොට පලායමින් සිටියදී එම අනතුර සිදුවී ඇති බව සිහිපත් කරමින් එවැනි රියෑදුරන්ගේ රිය පැදවීමේ බලපත්‍ර අවලංගු කිරීමට අධිකරණයට හැකියාව ඇති බව පෙන්වා දී දඬුවම් නියම කිරීමට පෙර විත්තිකාර රියෑදුරුගේ රිය පැදවීමේ බලපත්‍රය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කොට දඬුවම් ලබාදීම පසුවට කල්තැබීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.