හදිසි නීතිය හා මාධ්‍ය නිදහස ගැන අවිශ්වාසයක්‌
ඇති පරිසරයක ජනතාව කබළෙන් ලිපට ඇද දමන
අකාරුණික අයවැයක්‌

කරු ජයසූරිය (එ.ජා.ප.)


රැකියා නැති අයට සෘජු හා වක්‍ර රැකියා
දීමට අයවැයෙන් කටයුතු කරනවා

ගාමිණී ලොකුගේ

ආසියාවේ වැඩිම විදුලි බිල තියෙන රට ශ්‍රී ලංකාවයි
ගයන්ත කරුණාතිලක

අජිත් අලහකෝන් - අකිත පෙරේරා

හදිසි නීතිය සහ මාධ්‍ය නිදහස පිළිබඳ අවිශ්වාසයක්‌ ඇති පරිසරයක ජනතාව කබළෙන් ලිපට ඇදදමන අකාරුණික අයවැයක්‌ ආණ්‌ඩුව විසින් මෙවර ඉදිරිපත් කර ඇතැයි ගම්පහ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී (එ.ජා.ප.) කරු ජයසූරිය මහතා අයවැය දෙවැනිවර කියෑවීමේ විවාදයට එක්‌වෙමින් ඊයේ (25 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර මහතා විසින් සෙංකෝලය තැන්පත් කළ පසුව කථානායක චමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (25 දා) පෙරවරු 9.30 ට  රැස්‌විණි.

නිවේදන, වාර්තා සහ පෙත්සම් ඉදිරිපත් කළ පසුව වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් මන්ත්‍රීවරුන් අසා තිබූ ප්‍රශ්නවලට අදාළ ඇමැතිවරු පිළිතුරු දුන්හ.

අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියෑවීමේ විවාදය තුන්වැනි දිනයටත් ආරම්භ කරමින් ගම්පහ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී (එ.ජා.ප.) කරු ජයසූරිය මහතා -

යුද්ධය අවසන් වූ පසු පීඩා විඳි ජනතාව විශාල බලාපොරොත්තු ඇතිකර ගත්තා. අවුරුදු තිහක්‌ විඳි පීඩාව අවසන ජනතාව සහන අපේක්‍ෂා කළා.

ජර්මනියත්, ජපානයත් සැලසුමක්‌ මත යුද්ධයෙන් පසු රට ගොඩ නැඟුවා. යුද්ධයක්‌ නැත්නම් ඇයි මෙතරම් ආරක්‍ෂක වියදමක්‌. සරත් ෆොන්සේකාගෙන් පලිගන්න ඕනෑ වුණාම අවි ආයුධ ප්‍රශ්න මත එතුමාගෙන් පලිගත්තා. පොලිසිය වෙනුවට එස්‌. ටී. එෆ්. යොදවන්නත්, බුද්ධි අංශයක්‌ පිහිටුවන්නත් සූදානම් බව දැනගන්න ලැබෙනවා. ආණ්‌ඩුව මොකටද මේ අර අඳින්නේ කියා ජනතාවට කුතුහලයක්‌ තියෙනවා. ප්‍රගීත් එක්‌නැලිගොඩ මාධ්‍යවේදියා අද කොහෙද කියා දන්නේ නෑ. රජයට අභියෝග කරන, සරත් ෆොන්සේකා ගැන පෝස්‌ටර් ඇලෙව්වාම ඒ අය අත්අඩංගුවට ගන්නවා. තම අයිතිවාසිකම් වෙනුවෙන් පෙළපාලි යන විශ්වවිද්‍යාල සිසුන්ට, වෘත්තීය සමිතිවලට පහර දෙනවා. මෙවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාමාර්ග ඇත්තේ ඒකාධිපති පාලනඇති රටවල. ආරක්‌ෂක වියදම මෙතරම් ඉහළට ගෙන යන්න කිසිම හේතුවක්‌ නැහැ. ජනතාව ජීවත්වන්නේ ඉතාමත් දුකින්. බැංකුකරුවෝ කියනවා ලංකා ඉතිහාසයේ වැඩියෙන්ම රත්තරන් බඩු උකස්‌ තැබූ වසර 2010 කියලා. භාණ්‌ඩවලින් ඇයි මෙතරම් අසීමිත බදු අයකරන්නේ. සමහර රාජ්‍ය ආයතන පාඩු ලබනවා. මේවාට වන්දි ගෙවන්නේ අසරණ ජනතාවයි. සමහර සංවර්ධන ව්‍යාපෘති සුදු අලියෙක්‌ නම් ඒවායේ වන්දි ගෙවන්න වෙන්නෙත් ජනතාවටයි. ශ්‍රී ලංකාව අසීමිත ණය බරින් පිරි ජාතියක්‌. අපි ණය ගෙවන්නෙත් ණය වෙලා. හුඟාක්‌ විදේශ ණය අරන් තියෙන්නේ ගිනි පොලියට. රජයේ සේවකයන්, විශ්‍රාමිකයන් අද ජීවත් වෙන්න සටන් කරනවා.

හදිසි නීතිය ඇති රටකට මාධ්‍ය නිදහස ගැන අවිශ්වාසයක්‌ ඇති රටකට සංවර්ධනය පැමිණෙන්නේ නැහැ. මේ අයවැය ජනතාව කබළෙන් ලිපට ඇද දමන අකාරුණික අයවැයක්‌.

පත්කළ මන්ත්‍රී හර්ෂ ද සිල්වා (එ.ජා.ප.)

කන්න නැතුව මැරිච්ච කාලය අවසන් වෙලා. එය 1977 න් පස්‌සේ සිදුවුණු දෙයක්‌. අද 77 ට වඩා වෙනත් තැනක තමයි අපි ඉන්නේ. යුද්ධය අවසන් කරන්න ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට හැකිවුණා. ඊට සරත් ෆොන්සේකා ඇතුළු තවත් අය සහභාගි වුණා. කව්රු මොනවා කිව්වත් අපේ ආර්ථිකය ගෝලීය කරණය කරගත යුතු වෙනවා. ඒ සඳහා අපි ලෝකෙට "ප්ලග්" එක ගහන්න ඕන. ගලවනවා කිව්වට හරියන්නේ නෑ.

රටේ සංවර්ධනය පිළිබඳ නිලධාරීන් දෙන දත්ත පිළිබඳ ගැටලුවක්‌ තිබෙනවා. දත්තවල තිබෙන

වැරැදි නිසා ඇතැම් අය රැවටෙනවා. දියුණු රටවල දුප්පත්කම සියයට 14 යි. 15 යි. ඒත් අපේ රටේ දුප්පත්කම සියයට හතක්‌ වුණේ කොහොමද? සල්ලි අච්චු ගහලා පඩි වැඩි නොකළ එක හොඳයි. ඒත් ඡන්දෙදි 2500 කින් පඩි වැඩි කරනවා කියලා කිව්වේ ඇයි? සමෘද්ධිය ලබන අඩු ආදායම් ලාභීන්ට මේ අයවැයෙන් වෙන්කර තියෙන්නේ රුපියල් අටයි. ඒත් සැමන් ටින් එකට රුපියල් 80 ක බද්දක්‌ වදිනවා. මේ අස්‌සේ ආණ්‌ඩුව බදු ජිල්මාට්‌ එකක්‌ ගහලා තිබෙනවා. ජාතිය ගොඩනැඟීමේ බද්ද අඩු කරලා. දුරකථන ගාස්‌තු සඳහාත් බද්දක්‌ ගහලා. මල්වත්ත බලන්න ගන්න ටිකට්‌ එකෙත් ගාන වැඩිකරලා. ඉතින් අයවැයට ජනතාව බනින එක සාධාරණයි.

2018 දී කොමන්වෙල්ත් ලංකාවේ හම්බන්තොටදී තියන්න යනවා. කව්ද දන්නේ ඉන්දියාවට මේ සැරේ කීයක්‌ වියදම් වෙලාද කියලා. ආණ්‌ඩුව කියනවා අපේ රටට විදේශ රටවල් ප්‍රදාන ලබාදෙනවා කියලා. ඒත් චීනය 2010 දී කිසිදු ප්‍රදානයක්‌ දීලා නෑ.

ඇමැති ගීතාංජන ගුණවර්ධන මහතා - ඔබතුමා මේ සභාවත් මුළු රටත් නොමග යවනවා චීනය ප්‍රදානයන් ලබාදීලා නැහැ කියලා.

හර්ෂ ද සිල්වා මහතා - මා කියන්නේ ඔබ තුමන්ලා සභාගත කළ මහ බැංකුවේ වාර්ෂික වාර්තාව උපුටා දක්‌වමින්.

(නියෝජ්‍ය කාරක සභා සභාපති සී. මුරුගේසු මහතා මූලාසනයට පැමිණේ.)

උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා(- හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමා අපේ රටේ සංඛ්‍යාලේඛන පිළිබඳව සැක බිය පළ කළා. සංඛ්‍යාලේඛන හදන්නේ ලෝකයේ තදබල නීති යටතේයි. ඒ පිළිබඳ පොදු ජාත්‍යන්තර ප්‍රමිතීන් තිබෙනවා. සංඛ්‍යාලේඛනය කියන්නේ බරපතල දියුණු විද්‍යාවක්‌. ඒ නිසා සංඛ්‍යාලේඛන ගැන සැක පහළ කිරීම යුක්‌ති නෑ. මේ සංඛ්‍යා ලේඛන, නිවැරදියි. එතුමා පාන්, සහල්, පිටි මිල ගැන කතා කළා. රටක්‌ දියුණු වෙනකොට මස්‌, මාළු, බිත්තරවල පරිභෝජනය විශාල ලෙස ඉහළ ගියා. පසුගිය කාළේ අපේ රටේ ඒ දේ වුණා. බිත්තර, කුකුල් මස්‌ වල මිල ඉහළ ගියා. අපි මේ කතා කරන්නේ 2011 වසර සඳහා වන අයවැය පිළිබඳවයි. ජනාධිපතිතුමා ඉතා නීරස බරපතල තීන්දු ගත් අයවැයක්‌ ඉදිරිපත් කර තිබෙනවා. මෙය සීනි බෝල අයවැයකුත් නොවෙයි.

ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා(- එදා අයවැය ලේඛන ඉදිරිපත් කළේ නියෝජ්‍ය මුදල් ඇමැතිවරයා. ඒත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අයවැය ඉදිරිපත් කරන්න මුදල් ඇමැති ලෙස පාර්ලිමේන්තුවට ආවා. ව්‍යවස්‌ථාවට අනුව ඕනෑම ඇමැති ධුරයක්‌ දරන්න ජනාධිපතිතුමාට පුළුවන්. විපක්‍ෂ මන්ත්‍රීවරයෙක්‌ කිව්වා ජ්‍යෙෂ්ඨ ඇමැති ධුර පත් කිරීම ව්‍යවස්‌ථාවට අනුකූල නෑ කියලා. ව්‍යවස්‌ථාවට අනුව ජනාධිපතිතුමාට පුළුවන් ඕනෑම මන්ත්‍රීවරයකු ඇමැතිවරයකු ලෙස පත් කරන්න. එනිසා ජනාධිපතිතුමා පත් කළ ජ්‍යෙෂ්ඨ ඇමැති ධුර ව්‍යවස්‌ථාවට අනුකූලයි.

කම්කරු හා කම්කරු සබඳතා ඇමැති ගාමිණී ලොකුගේ මහතා(- රක්‍ෂා නැතිව උපාධිධාරීන් දහස්‌ ගණනක්‌ ඉන්නවා. උපාධිය නැති දහස්‌ ගණනක්‌ රක්‍ෂා නැතිව ඉන්නවා. සහන දෙනවා වෙනුවට මේ රැකියා නැති අයට සෘජු හා වක්‍ර රැකියා දෙන්න ජනාධිපතිතුමා මේ අයවැය මගින් කටයුතු කරනවා. පාන් මිල අඩු කරලා සුබ සාධක ආණ්‌ඩුවක්‌ කරනවාද, සහලින් රට ස්‌වයංපෝෂිත කරනවාද. පෞද්ගලික හා සංස්‌ථා සේවකයන්ට විශ්‍රාම වැටුපක්‌ ලබාදෙන්න පළමුවරට කටයුතු කර තිබෙනවා. දැනට සේවකයා ගෙවන සියයට අටෙන් දෙකක්‌ සහ සේව්‍යයා ගෙවන සියයට දොළහෙන් දෙකක්‌ මේ විශ්‍රාම වැටුප් අරමුදලට බැර කරන්න යෝජනා කර තිබෙනවා. මාස දෙක තුනක්‌ තුළ මේ පනත පාර්ලිමේන්තුවෙන් අනුමත කරලා ඒ විශ්‍රාම වැටුප් ක්‍රියාත්මක කරනවා. විපක්‍ෂයේ අය හිත ඇතුළින් මේකට කැමතියි. ඒත් ප්‍රතිපත්තියක්‌ ලෙස විරුද්ධ වෙනවා.

ගාල්ල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී (එජාප) ගයන්ත කරුණාතිලක(- යුද ජයග්‍රහණ ගැන මේ රටේ කවුරුත් පක්‍ෂ පාට භේද නැතිව සතුටුවෙනවා. යුද ජයග්‍රහණයෙන් පසු රටේ ජනතාවට සලකන ආකාරය ගැන පක්‍ෂ පාට භේදයෙන් තොරව කනගාටු වෙනවා. යුද ජයග්‍රහණයෙන් පසු කේක්‌ ගෙඩියක්‌ කපලා සුබ පැතූ යුද හමුදාපතිවරයාට සිදුකළ දේ ගැන පක්‍ෂ පාට භේද නැතිව ජනතාව කනගාටු වෙනවා. යුද්දෙ නැති කාලයේදී පඩි වැඩි වෙයි, මේ අයවැයේදී සහන ලැබේවි කියා පක්‍ෂ පාට භේද නැතිව ජනතාව සතුටු වුණා.

(ඒ. එච්. එම්. අස්‌වර් මහතා මුලසුනට පැමිණේ)

කරුණාතිලක මහතා(- නොවැම්බරයේ ඇමැති මණ්‌ඩලය අඩුකර රුපියල් 2500 ක්‌ පඩි වැඩි කරලා ජනතාවට සහන දෙනවා කීවා. මේ අයවැය අලියා පහරපු දිවුල් ගෙඩිය වගේ.

(නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්‌කොඩි මහතා මුලසුනට පැමිණේ)

කරුණාතිලක මහතා(- දෙදාස්‌ පන්සීය බලාගෙන හිටිය ජනතාව අන්ත අසරණ තැනට දැම්මා. අයවැයට දින දෙකකට කලින් ලොකු ෂෝ එකක්‌ දාලා දෙවැනි කාලයට දිවුරුම් දුන්නා. අයවැයට පැය දෙකකට කලින් ලෝකේ ලොකුම ඇමැති මණ්‌ඩලය පිහිටෙව්වේ ඇමැති සූප්පු අසූ ගණනක්‌ කටේ ගැහුවා. ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු දහ දෙනාම එකම තැනකට දානවාලු. හරියට අර අනාථ මඩමකට ගෙනිහින් දානවා වගේ. ආසියාවේ වැඩිම විදුලි බිල තියෙන රට. ප්‍රවාහන ගාස්‌තු ආසියාවේ වැඩිම ගණනට ඇවිත්. මේකද ආසියාවේ ආශ්චර්යය. මෙය සාමාන්‍ය ජනතාව අමතක කළ අයවැයක්‌. ජනතා සිතුම් පැතුම් කෙසේ වෙතත් මැති ඇමැතිවරුන්ගේ සිතුම් පැතුම් ඉටුවන අය වැයක්‌ තමයි මේ. දේශීයත්වය, දේශප්‍රේමීයත්වය කියන ලේබල් ගසාගෙන සුරංගනා කතා කියමින් මේ ආණ්‌ඩුව යන ගමන ජනතාව දැන් තේරුම් අරගෙනයි ඉන්නේ. මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලෝක බැංකුවේ උවමනාවට නටන ආණ්‌ඩුවක්‌ බව මේ අයවැයෙන්ම ඔප්පු වෙනවා.

මානව සම්පත් පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති ඩියු ගුණසේකර මහතා(- නායකත්ව අර්බුදය පමණක්‌ නොවේ ආර්ථික ක්‍රමෝපායන් පිළිබඳ ගැටුමකටත් එක්‌සත් ජාතික පක්‍ෂය මුහුණදී සිටිනවා. අපේ විදේශ ප්‍රතිපත්ති ඉතා හොඳින් අප කළමනාකරණය කළා. ජාත්‍යන්තරව අපට යම් යම් බලපෑම් එල්ල වෙද්දී අප මූලධර්ම මැදින් ලෙස කටයුතු නොකර ප්‍රායෝගික ලෙස ඒවාට මුහුණ දුන්නා.

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.