ආසියානු තරගාවලියේ සුවිශේෂ පෙරැළිය
ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම බංග්ලාදේශයට පරදියි


සුසිල් ප්‍රේමලාල් චීනයේ ගුවැංෂු නගරයේ සිට

16 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ 20 - 20 ක්‍රිකට්‌ තරගාවලිය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම ඊයේ (25 දා) සහභාගි වූ දෙවැනි අවසන් පූර්ව තරගයේදී බංග්ලාදේශයට කඩුලු 5 කින් පරාජය වීමත් සමඟම එම ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව බලාපොරොත්තු තැබූ රන් පදක්‌කම් හෝ රිදී පදක්‌කම් සිහිනය බොඳ වී ගියේය.

තරගාවලියේ අවසන් තරගයට පිවිසීමේ වරම අහිමි කර ගත් ශ්‍රී ලංකාව, ලෝකඩ පදක්‌කම වෙනුවෙන් අද පකිස්‌තානය සමඟ තරග වැදීමට නියමිතය.

ඊයේ පැවැති ප්‍රථම අවසන් පූර්ව තරගයේදී පකිස්‌තානය කඩුලු 3 කින් පරදා ඇෆ්ගනිස්‌ථානය ජය ගත් අතර ඒ අනුව 20 - 20 ක්‍රිකට්‌ රන් පදක්‌කම සඳහා බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්‌ථානය අද (26 දා) තරග වදිනු ඇත.

බංග්ලාදේශ සහ ඇෆ්ගනිස්‌ථාන ක්‍රීඩා කණ්‌ඩායමක්‌ ආසියානු ක්‍රීඩා තරග ඉතිහාසය රන් පදක්‌කමක්‌ වෙනුවෙන් තරග වදින ප්‍රථම අවස්‌ථාව මෙය වෙයි.

2010 බංග්ලාදේශයේ පැවැති 11 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී 20 - 20 ක්‍රිකට්‌ රන් පදක්‌කම දිනාගත් කණ්‌ඩායම බංග්ලාදේශය වන අතර ඇෆ්ගනිස්‌ථානය දකුණු ආසියානු පෙරළිකාර කණ්‌ඩායමක්‌ ලෙස හැඳින්වෙයි.

ඊයේ පස්‌වරුවේ පැවැති ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගයේදී කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්‌ඩායම පන්දු වාර 20 අවසානයේ සියල්ල දැවී ලකුණු 101 කට දැවී යැම පරාජයේ අත්තිවාරම විය. මෙහිදී පිතිකරුවන්ගේ වගකීම නිසි අයුරින් ඉටු නොවූ අතර ජීවන්ත කුලතුංග (25) චින්තක ජයසිංහ (28) කුසල් පෙරේරා (14) සහ නුවන් සොයිසා (11) හැරෙන්න සෙසු පිතිකරුවෝ අවම ලකුණු සංඛ්‍යාවකට දැවී ගියහ.

බංග්ලාදේශ පිළිතුරු ඉනිමේ දී සාර්ථක ආරම්භයක්‌ ලබමින් පන්දු වාර 15 - 2 ක දී කඩුලු 5 කට ලකුණු 102 ක්‌ රැස්‌ කොට තරගයේ ජය අත්කර ගත්තේය. එම කණ්‌ඩායම වෙනුවෙන් ඩෙකන්ස්‌ මොහොමඩ් ලකුණු 33 ක්‌ ද, ඉස්‌ලාම් මොහොමඩ් ලකුණු 25 ක්‌ ද අෂ්රාෆුල් මොහොමඩ් ලකුණු 18 ක්‌ ද රැස්‌ කළේය.

පන්දු යෑවීමේදී නුවන් සොයිසා 15/2, මාලිංග බණ්‌ඩාර 23/1, ටී. එම්. සම්පත් 8/1 වශයෙන් කඩුලු බිඳ හෙලූහ.

ඊයේ පෙරවරුවේ පැවැති පකිස්‌ථානය සහ ඇෆ්ගනිස්‌ථානය අතර තරගයේදී ඇෆ්ගනිස්‌ථානය පළමුව ඉනිම අරඹමින් පන්දු වාර 20 අවසානයේ කඩුලු 8 ලකුණු 125 ක්‌ රැස්‌කර ගත් අතර පිළිතුරු ඉනිමේදී පකිස්‌තානයට රැස්‌කර ගත හැකි වූයේ පන්දු වාර 20 අවසානයේ කඩුලු 7 කට ලකුණු 103 ක්‌ පමණි.

නදීකා ලක්‌මාලී 8 වැනි තැනට

ඊයේ (25 දා) දිනයේ දී ජවන හා පිටිය මලල ක්‍රීඩා තරග සඳහා සහභාගි වූ එකම ශ්‍රී ලංකා ක්‍රීඩිකාව ලෙස නදීකා ලක්‌මාලි හැඳින්විය හැක.

ඇය හෙල්ල විසිකිරීමේ ඉසව්වට සහභාගි වෙමින් ක්‍රීඩිකාවන් 10 දෙනකු අතරින් 8 වැනි ස්‌ථානයට පත් වූවාය. විසිකරන ලද දුර ප්‍රමාණය මීටර් 50.68 කි. මීටර 58.48 ක දුරක්‌ හෙල්ල විසි කොට උපරිම දක්‍ෂතාව පෙන්වා තිබූ ඇය මෙවර තරග සමයේ වාර්තා කොට ඇති හොඳම තරග නිමාව මීටර 52.00 ක්‌ විය.

අදාළ ඉසව්වේ රන් පදක්‌කම චීනයේ ලියාංග් ලී විසින් (මීටර් 56.71) දිනා ගන්නා ලදී.

මීටර 4 x 100 කාන්තා සහ මීටර්

4 x 400 පිරිමි සහය අවසන් තරග අද

16 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ ජවන හා පිටිය මලල ක්‍රීඩා තරග පැවැත්වෙන අවසන් දිනය වන අද ශ්‍රී ලංකාවේ මීටර් 4x100 කාන්තා සහ මීටර් 4x400 පිරිමි සහාය කණ්‌ඩායම් දෙක අවසන් තරග සඳහා සහභාගි වීමට නියමිතය.

මීටර් 4x100 කාන්තා සහාය දිවීමේ මූලික වටයේදී නිරංජනී අබේවික්‍රම, ජානි චතුරංගනි ද සිල්වා, සුජානි බුද්ධිකා සහ චන්දිකා සුභාෂිනි ගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්‌ඩායම ත. 45.49 කින් නිම කොට 3 වැනි ස්‌ථානයට පත්ව අවසන් තරගයට වරම් ලබා ගෙන තිබේ.

මීටර් 4x400 පිරිමි ශ්‍රී ලංකා කණ්‌ඩායමට ප්‍රසන්න අමරසේකර, රෝහිත පුෂ්පකුමාර, ගයාන් වික්‍රමසිංහ සහ කසුන් කල්හාර සෙනෙවිරත්න අයත් වන අතර, මූලික වටයේදී සිය ඉසව්ව මි. 3.07.52 කින් තරගය නිම කොට 3 වැනි ස්‌ථානයට පත්ව අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගෙන තිබිණි.

අදාළ තරග දෙකේදී සෙසු කණ්‌ඩායම් මූලික වටයේදී නිම කොට ඇති දක්‍ෂතා අනුව ශ්‍රී ලංකා කණ්‌ඩායම් දෙකක්‌ පළමු ස්‌ථාන 5 ට අයත් නොවීම ද කැපී පෙනෙනු ඇත.

අද ශ්‍රී ලංකා කණ්‌ඩායම් දෙකම මුහුණ දෙන අවසන් තරගය සම්බන්ධව අදහස්‌ දැක්‌වූ සහාය දිවීමේ පුහුණුකාරිණි භද්‍රd ගුණවර්ධන මහත්මිය හොඳ තරගයක්‌ දීමට දෙපාර්ශ්වයම සූදානමින් සිටින බව පැවසුවාය.

තරගාවලියේ එකම වාර්තාවත් චීනයට

ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලිය යටතේ මෙතෙක්‌ එකම වාර්තාව බිහි කිරීමට චීනයේ ටියං ෆිංග් සමත් විය.

ඊයේ පැවැති කිලෝමීටර් 50 තරග ඇවිදීමේ ඉසව්ව පැය 3.45.04 කින් නිම කොට වසර 16 ක්‌ ඉපැරැණි අදාළ ඉසව්වේ ආසියානු වාර්තාව බිඳ හෙළීමට ටියංෆිංග් සමත් විය. කසකස්‌ථානයේ සෙර්ගිට්‌ කොරපිනෝව් විසින් අදාළ වාර්තාව 1994 වසරේදී පිහිටුවා තිබූ අතර එම තරග නිමාව පැය 3.54.37 කි.

චීනයෙන් තවත් වාර්තාවක්‌

ආසියානු ක්‍රීඩා තරග ඉතිහාසයේ එක්‌ ක්‍රීඩා උළෙලක දී වැඩිම රන් පදක්‌කම් සංඛ්‍යාවක්‌ දිනා ගත් රට ලෙස සත්කාරක චීනය මෙවර ඉතිහාසගත වනු ඇත.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 967 දෙනකු ඉදිරිපත් කර තිබූ චීනය ඊයේ (25 දා) පස්‌වරුව වන විට රන් පදක්‌කම් 176 ක්‌, රිදී පදක්‌කම් 96 ක්‌ සහ ලෝකඩ පදක්‌කම් 89 ක්‌ ලබා පෙරමුණේ පසුවිය.

මීළඟ ආසියානු ක්‍රීඩා උළෙල 2014 දී පවත්වනු ලබන කොරියාව මේ වන විට රන් 72 ක්‌ රිදී 59 ක්‌ සහ ලෝකඩ 84 ක්‌ දිනා සිටින අතර ජපානය රන් 36 ක්‌ රිදී 67 ක්‌ සහ ලෝකඩ 80 ක්‌ දිනා 3 වැනි ස්‌ථානයේ පසුවෙයි.

දකුණු ආසියානු රටක්‌ ලෙස ඉන්දියාව මේ වන විට දිනා ඇති පදක්‌කම් සංඛ්‍යාව රන් 7 ක්‌ රිදී 13 ක්‌ සහ ලෝකඩ 29 ක්‌ වශයෙන් පකිස්‌තානය රන් 2 ක්‌ රිදී 2 ක්‌ සහ ලෝකඩ 2 ක්‌ ලෙස දිනා ඉන්දියාවට පසුපසින් සිටින අතර ඇෆ්ගනිස්‌ථානය රිදී සහ ලෝකඩ පදක්‌කම් 1 බැගින් දිනා සිටී.

ආසියානු ක්‍රීඩා උළෙල - 2010

පදක්‌කම් සටහන

(2010 - 11 - 24 මධ්‍යහ්න 12.00 ට)

රට රන් රිදී ලෝකඩ එකතුව

චීනය 154 77 73 304

ද. කොරියාව 61 51 66 178

ජපානය 32 59 67 158

ඉරානය 12 8 15 35

හොංකොං 8 13 12 33

චීන තායිපේ 8 9 29 46

තායිලන්තය 7 7 22 36

ඉන්දියාව 6 12 18 36

මලයාසියාව 6 11 8 25

කසකස්‌තානය 5 13 23 41

උ. කොරියාව 5 8 12 25

ඉන්දුනීසියාව 4 7 10 21

සිංගප්පූරුව 4 6 6 16

උස්‌බෙකිස්‌තානය 3 9 15 27

කුවේටය 2 3 0 5

පිලිපීනය 2 2 8 12

කිර්ගිස්‌ථානය 1 2 1 4

පකිස්‌ථානය 1 2 1 4

කටාරය 1 1 3 5

ජෝර්දානය 1 1 1 3

මකාවු 1 1 0 2

කජිකිස්‌තානය 1 0 1 2

සවුදිඅරාබිය 1 0 1 2

වියට්‌නාමය 0 11 11 22

මියන්මාරය 0 5 1 6

මොංගෝලියාව 0 2 6 8

එක්‌සත් අරාබි එමීරය0 2 0 2

ලෙබනනය 0 1 2 3

ඇෆ්ගනිස්‌ථානය 0 1 1 2

බංග්ලාදේශය 0 1 0 1

ලාඕසය 0 0 2 2

ඉරාකය 0 0 1 1

ශ්‍රී ලංකාව 0 0 0 0

327 329 421 1077

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.