නිරූඪ පූට්‌ටු කලාව

මහනුවර, කුණ්‌ඩසාලේ
ගල්මඩුව විහාරයේ
පුරුෂ පූට්‌ටුවක්‌

ශ්‍රී ලංකාවේ සභ්‍යත්වය නිරන්තරයෙන්ම පෝෂණය වූයේ ඉන්දීය සංස්‌කෘතියෙහි බලපෑමෙනි. විශේෂයෙන්ම ඉන්දීය උප මහාද්වීපයේ සංස්‌කෘතිය ප්‍රබලත්වයෙහි පැවැතීම, ලංකාව වන් කුඩා දිවයිනක්‌ තුළ නව සංස්‌කෘතික රිද්මයක්‌ ගොඩනගනු ලැබීම එතරම් සුවිශේෂී දෙයක්‌ නොවන මුත් ඉන්දීය උප සංස්‌කෘතියක්‌ ලෙස පැවැති හින්දු (ද්‍රවිඩ) සංස්‌කෘතිය, දාහතරවැනි සියවසේදී ලංකාව කෙරෙහි කරන ලද බලපෑම සුවිශේෂ වෙයි. මුල්කාලීනව ලංකාවට ලැබුණු ආර්ය සංස්‌කෘතියේ ප්‍රභවය නිසා ලංකාවේ බිහි වූ සභ්‍යත්වයට වඩා හාත්පසින්ම විෂම රිද්මයක්‌ ද්‍රවිඩ සංස්‌කෘතිය තුළින් සම්ප්‍රේෂණය විය. සැබැවින්ම නුමුසු හෙළ සංස්‌කෘතියක සාධක අද දකින්නට නොලැබේ. ඇතැමුන් විසින් නුමුසු යෑයි කීව ද වඩාත් උචිත වන්නේ හින්දු (ද්‍රවිඩ) ලක්‍ෂණ සහිත හා ආර්ය ලක්‍ෂණ සහිත යනුවෙන් ලංකාවේ සංස්‌කෘතිය වර්ග කිරීමය.

සිංහල සංස්‌කෘතියෙහි ද්‍රවිඩ මිශ්‍රණය බහුලව සිද්ධ වී තිබෙන්නේ පොළොන්නරු යුගයේ මුල් භාගයේදීය. පොළොන්නරු යුගයේ මුල් භාගයේදී ලැබුණු මේ ද්‍රවිඩ සංස්‌කෘතික මුහුම ක්‍රමයෙන් වර්ධිතව ගොස්‌ දහතුන්වැනි සියවස වන විට යළිත් විනාශකාරී කාලිංග මාඝගේ ආක්‍රමණයන්හි අතුරු ඵලයක්‌ ලෙස හායනයට ලක්‌ව තිබේ. ඉක්‌බිතිව යළිත් දාහතරවැනි සියවසේ මුල් භාගයේදී හින්දු ආභාෂය දිවයිනට සම්ප්‍රේෂණය වී තිබෙන බව පෙනේ. පොළොන්නරු යුගයේදී වූ සම්මිශ්‍රණයෙන් බිහි වූ තරමේ ප්‍රබුද්ධ කලා සම්ප්‍රදායක්‌ නොවුණත්, දාහතරවැනි සියවසේ මුල් භාගයේදී සිදු වූ හින්දු සංස්‌කෘතික ප්‍රවාහයේ ලාංකේය මුහුණුවරක්‌ ගොඩනැගීම තුළ තවත් සුවිශේෂී කලා සම්ප්‍රදායක ලාංකේය උරුමයක්‌ බිහිවිය. මේ මිශ්‍රණයේ සෙවනැල්ලෙහි සිංහල ගෘහ නිර්මාණය, සෙල් හා කාෂ්ට කැටයම් නිර්මාණය, චිත්‍ර සම්ප්‍රදාය, භාෂාවේ භාවිතය, සමාජීය තත්ත්වයන්, ඇඳුම් පැළඳුම් පමණක්‌ නොව චාරිත්‍ර වාරිත්‍ර ආදිය පවා ශීඝ්‍ර වෙනසකට බඳුන් විය.

මේ සම්ප්‍රදායේ සිතුවම් හා කැටයම් කලාව අතිශය සුවිශේෂී මාතෘකාවකි. දාහතර වැනි සියවසේ මහා දාරුමය නිර්මාණය වන ඇම්බැක්‌කේ දේවාලය ආශ්‍රිත කැටයම් හි උපත, දහනවවැනි සියවස තෙක්‌ අතිශයින් ජනප්‍රියව පැවැති මහනුවර යුගයේ සිතුවම් කලාව නමින් පොදු නමෙන් ව්‍යවහාර කරන චිත්‍ර සම්ප්‍රදායේ උපත මෙකල සිදුවිය. එමෙන්ම සිතුවම් හා කැටයම් සඳහා විෂය වූ මාතෘකා ආදිය ද අධ්‍යතන ඒවා විය. හින්දු සම්ප්‍රදායේ පැවැති සංකල්ප සමඟ ගොඩනැඟුණු නිරූඪ රූප, මෙකල සිතුවම් හා කැටයම් අතර සුලභ වේ. යථානුභූතී නොවන, එහෙත් කලාත්මක ගුණයෙන් පරිපූර්ණ මේ සංකල්පීය රූප, හෙළ කලාකරුවා වෙත ඉතා වේගයෙන් සම්ප්‍රේෂණය වී තිබේ. නමුත් මෙහි කිසිදු සජීවී බවක්‌ හෝ පර්යාවලෝකනයක්‌ හෝ තාත්වික බවක්‌ හෝ කිසිසේත්ම දකින්නට ලැබෙන්නේ නැත. "සිංහල ලකුණ" නම් කෘතිය තුළින් මාර්ටින් වික්‍රමසිංහයන් මෙසේ ප්‍රකාශයක්‌ කර තිබේ.

"ගැඹුරින් හා ගූඪාර්ථයන්ගෙන් තොර, සුමුදු ප්‍රියංකර නිර්ව්‍යාජත්වයෙන් ද සැහැල්ලු බවින්ද, සුගමත්වයෙන් ද අනූන එකකැයි මාර්ටින් වික්‍රමසිංහ මහතා පවසයි. එනම් හෙල නුමුසු කලාව ගූඪාර්ථ රහිත, සෞම්‍ය හා ප්‍රියංකර, සැහැල්ලු හා නිර්ව්‍යාජ බවය. ඒ අනුව ද්‍රවිඩ සම්ප්‍රදාය හා හෙල සම්ප්‍රදාය මුහු වූ කලැ එය ගැඹුරින් අවම, ගූඪාර්ථ බාහුල්‍යය, රළු, සංකල්පීය කලාවක්‌ බවට පත්වෙයි. මේ සිතුවම් හා කැටයම් අතර අපට හමුවන ගූඪාර්ථ, සංකල්පවලින් යුක්‌ත භාවමය, අතාත්වික නිර්මාණයක්‌ ලෙස පූට්‌ටු හැඳින්වීමට පිළිවන.

පූට්‌ටුවක්‌ යනු සාමාන්‍යයෙන් අර්ථ දක්‌වන තල දෙකක එකතුවකි. නැතිනම් කිහිපයක එකතුවකි. කුංජරය යනුවෙන් ද මෙය ඇතැම් විට ව්‍යවහාර කරනු ලැබේ. "පූට්‌ටු" සංකල්පය දේශීය කලාව තුළට ආගමනය වන්නේ දාහතර වැනි සියවසේ සිදු වූ ද්‍රවිඩ - සිංහල කලා මුසුව ද්වාරයක්‌ කර ගනිමිනි. පුරාණ කැටයම් හා සිතුවම්හි පූට්‌ටු සුලබය. පූට්‌ටුවක්‌ මගින් කෙරෙනුයේ ප්‍රේක්‍ෂකයාගේ කුහුල දැනවීමත්, රසයෙන් කුල්මත් කරවීමත්, නිර්මාණකරුවාගේ කෞශල්‍යය ප්‍රකට කරවීමත්ය.

"පූට්‌ටු" නම් ප්‍රධාන කුලකය යටතේ උපකුලකයක්‌ ලෙස නාරි කුංජර හැඳින්වීමට පුළුවන. සිංහල ශිල්පියාට "කාන්තාව" අපූරු වස්‌තුවක්‌ විය. ඔහු එහි සෞන්දර්යය විෂයෙහි උත්කෘෂ්ට භක්‌ත්‍යාදරයක්‌ දක්‌වන ලද්දේ විය. ඔහුට විෂය වුණු සිතුවම් හි නිරූපණය වූයේ අතිශය සුන්දර කාන්තා රූපය. සිතුවම් පරම්පරාවලින්, චිත්‍ර කර්මය ඉගැන්වීමේදී වර්ණ හා සම්බන්ධ ගනුදෙනුවලට ප්‍රථමයෙන් ශිෂ්‍යයාට ඉගෙන ගැනීමට සිදුවුණු යටිපෝරුවේ අභ්‍යාසවලට අමතරව නාරිකුංජර ද ඉගෙන ගැනීමට සිදුවිය. යටිපෝරුව නම් ගල්ලෑල්ලට සමාන පුවරුවකි. සිතුවම් ඉගෙන ගන්නා ආධුනිකයාට මුලින්ම ඇඳීමට සිදුවූයේ ලියපත් රටාවන්ගෙන් යුක්‌ත තිගිරිතලය නම් නිර්මාණයයි. ඒ අතරවාරයෙහි "නාරි කුංජර" ද ඉගෙනීමට ඔහුට අවකාශ සැලසිණි. ආධුනිකයාගේ කලාත්මක දෘෂ්ටිය උපරිමයට ගෙනයන අවස්‌ථාවක්‌ ලෙස නාරිකුංජර හැඳින්විය හැකිය. නාරිකුංජර, නාරිපූට්‌ටු ලෙස සැලකීමේ ද වරදක්‌ නැත.

නාරිකුංජර ඉගෙනීම, ආධුනිකයන්ගේ මුල් පාඩමක්‌ වුවද පුරාණ විහාරාරාමයන්හි නාරිකුංජරවලට විශේෂිත අගයක්‌ හිමි වී තිබේ. නාරිකුංජර කිහිපයක්‌ම වෙයි. චතුර්නාරි පල්ලැක්‌කිය, ද්විනාරි රථය, ෂඩ්නාරි තොරණ, සප්තනාරි තුරඟා, අෂ්ට නාරි රථය, නව නාරි කුංජරය, පංචනාරි ඝටය යනාදී සම්මත සිංහල නිරූඪ සැරසිලි කිහිපයකි. අත්‍යන්තයෙන්ම මේවා අතිශය සුන්දර නිර්මාණශීලී චෛතසිකයකින් බිහි වූ අතිශය රමණීය නිර්මාණ ය.

දළදා මාළිගාවේ පහළ මාලයේ පිටත වියනේ සිතුවම් අතර නාරිකුංජර කිහිපයක්‌ම දැකගැනීමට ඉඩ ලැබේ. "පංච නාරි ඝටය" ඉන් එකකි. උඩුකය නග්න කාන්තාවන් පස්‌දෙනකු කලසක විලාසයෙන් සම්බන්ධව සිටින අයුරු මින් පළවෙයි. රූපයේ හැඩය රැකගැනීම පිණිස ස්‌ත්‍රීන් පස්‌දෙනා වටේ වෙනම රේඛාවකි. මීට අමතරව අතිශය කමණීය පංචනාරි ඝටයක්‌, හඟුරන්කෙත පත්තිනි දේවාල බිමේ සෙල් පුවරුවක ඉතා විචිත්‍රවත්ව කැටයම් කර තිබේ. මෙහි විශේෂත්වයක්‌ නම් ඉහළම සිටින ස්‌ත්‍රියගේ හිස වටා වෘක්‍ෂයක්‌ දැක්‌වීමයි. එමෙන්ම මහනුවර දළදා මාළිගයේ වම්පස පිහිටි රජමාළිගයට යාබදව ද, පංචනාරිඝට කැටයමක්‌ වේ. කුරුණෑගල රිදී විහාරයේ ඇත්දත් මත කැටයම් කරන ලද පංචනාරිඝටය ද විශිෂ්ට කැටයමකි. එහි ඉහළම සිටින කාන්තාරුව, ලියවැලක ඇරඹුමකි. සිංහල නිර්මාණකරුවාගේ සියුම් වැඩ ගැන තෘප්තිමත් වීමට මේ ඇත්දත් කැටයම මහඟු දායකත්වයක්‌ සපයයි. කලසක ආකෘතිය සපුරාම පූර්ණය වන රිදී විහාරයේ පංචනාරි ඝටයේ කැටයම, ඉතා ප්‍රවීණ නිර්මාණකරුවකුගේ අතිශය ප්‍රබුද්ධ නිර්මාණයකි.

පංචනාරිඝටය සේම "චතුර්කාරි පල්ලැක්‌කිය" ද අපූර්ව නිර්මාණයකි. ස්‌ත්‍රීන් හතරදෙනකුගේ බන්ධනය, පල්ලැක්‌කියක්‌ ලෙස හුවා දක්‌වමින්, ශිල්පියා මෙම නිරූඪ සැරසිල්ල නිර්මාණය කොට තිබේ. සමකාලීනව ගමන් බිමන් යාම සඳහා උපයෝගි කරගන්නා ලද, දෝලාවකට සමාන, පල්ලැක්‌කියක හැඩය මවාපාන ස්‌ත්‍රීන් දෙපළක්‌ සහ එය ඔසවාගෙන යන ස්‌ත්‍රීන් දෙපළක්‌ මෙහි වෙයි. ද්විනාරි රථය සහ අෂ්ටනාරි රථය නම් තවත් අපූරු නිර්මාණ දෙකක්‌ ද වෙයි. ඉතා රමණීය අෂ්ටනාරි රථයක චිත්‍රයක්‌ මහනුවර දළදා කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති සිතුවම් පිටපතක තිබේ. රථයේ රෝද ලෙස වක්‍ර වූ ස්‌ත්‍රී රූප යුගලයකුත්, රථයේ බඳ සේ එකිනෙකට සම්බන්ධ වුණු ස්‌ත්‍රී රූප හයකුත් මෙහි තිබේ.

"නවනාරි කුංජරය" ද ස්‌ත්‍රී රූපයන්ගේ සම්බන්ධයෙන් සිංහල නිර්මාණ ශිල්පියා මතු කරන ලද ඉතාමත් සිත්කළු මෝස්‌තරයකි. මෙහි ස්‌ත්‍රී රූප නවයෙකි. දළදා මාළිගයේ වියන් සිතුවමක, නවනාරි කුංජරය අපූරු ලෙස නිර්මාණය කොට තිබේ. ස්‌ත්‍රී රූප නවයකින් ගොඩනැගෙන, හස්‌තියෙකු ගේ ආකෘතියක්‌ වන නවනාරි කුංජරයේ, ඇතාගේ දළ, හොඬ සහ කුම්භස්‌තලය ඉස්‌මතු කෙරෙන ආකාරය ඉතා අලංකාරය. අර්ධ නග්න රූප වුවද, මේවායින් ප්‍රකට වන රාගික බවක්‌ අපට නොපෙනේ. ඒ වෙනුවට නිර්මාණාත්මක ප්‍රතිභාව ඒ තුළින් විද්‍යමාන වේ.

එමෙන්ම, ෂඩ්නාරි තොරණ, සප්ත නාරි තුරඟා වැනි මෝස්‌තර ද සිංහල කලාකරුවා විසින් භාවිත කරන ලද බවට සාධක හමුවෙයි.

නාරි කුංජර සේම, එතරම් ප්‍රකට නොවන පුරුෂ කුංජර ද තිබේ. මහනුවර, කුණ්‌ඩසාලේ ගල්මඩුව විහාරයෙහි මෙවන් පුරුෂ කුංජරයක්‌ නොහොත් ද්විපුරුෂ පූට්‌ටුවක්‌ දකින්නට ලැබේ. ප්‍රධාන උළුවස්‌සෙහි උඩලිපතෙහි චිත්‍රණය කර ඇති මෙහි පුරුෂයන් දෙදෙනෙක්‌ පාදවලින් එකට ගැට ගැසී සිටිති. ඔවුන්ගේ අත්වලින් නික්‌මෙන්නේ ලියවැලකි. ඇතැම් විට මොවුන්ගේ පූට්‌ටුව තුළින් පැරණි සටන් ඉරියව්වක්‌ නිරූපණය වෙනවාද විය හැකිය.

මීට අමතරව තවත් පුරුෂ කුංජර (පූට්‌ටු) සහිත සිතුවමක්‌, ගම්පොළ හරහා හෙම්මාතගමට ගොස්‌ එතැනින් හැරී ගිය විට හමුවන මැදිලිය, ටැම්පිට විහාරයේ බාල්කයක තිබේ. ලියවැලක්‌ අතරමැද, දෑත් පටලාගෙන හිඳින අයුරින් නිරූපිත මෙම සිතුවම ද ඉතා දුලබ "පුරුෂ පූට්‌ටුවකට" කදිම නිදර්ශනයකි.

පුරාණ සටන් ඉරියව්වක්‌ ප්‍රකට කරන, ඇම්බැක්‌කේ දේවාලයේ කැටයම ද පුරුෂ පූට්‌ටුවකි. දැව මත කැටයම් කර ඇති මෙහි ස්‌වභාවිකත්වය මනාව ආරක්‍ෂා කොට තිබේ. "මල්ලවපොරය" නමින් හඳුන්වන මෙය දාහතරවැනි සියවසේ කලාව හා සමාජය ගැන කදිම සාක්‍ෂියකි. දෑත් හා දෙපා පටලවාගෙන සිටින මේ රුවට සමාන තවත් කැටයමක්‌ මහනුවර - කඩුගන්නාවේ සූරියගොඩ විහාරයෙහි වෙයි. එහි දැව කණුවක පනේලයක ඇති තත් කැටයමට ම අනුරූප සිතුවමක්‌ විහාරගෙයෙහි බිතු සිතුවමක ද වෙයි. මෙහි පුරුෂයන් දෙදෙනෙක්‌ දෑත් හා දෙපා පටලවාගෙන සිටගෙන සිටින ස්‌වරූපයක්‌ පෙන්නුම් කරන අතර සිතුවමත්, කැටයමත් සමමිතික ගුණයෙන් ද යුක්‌තය. කැටයමෙහි කෙස්‌වැටි පවා පැටලී ගොසිනි.

පුරාණ සටන් සහිත තවත් පුරුෂ පූට්‌ටු යුගලයක්‌ දළදා මාළිගයේ වියන් සිතුවම් අතර දකින්නට පුළුවන. මල්ලව පොරයක්‌ සහිත ඉන් පිළිබිඹු වන්නේ අත්වලින්ද, පාවලින්ද, කෙස්‌වලින්ද එකිනෙකා පටලවා ගත් පුද්ගලයන්a දෙපළකගේ රුවකි. ඒ අසලම ඇති තවත් රුවක දෑත්වලින් පටලවා ගත් පුරුෂ රූප යුගලයක්‌ වෙයි. පෙර සිතුවමට වඩා සෞම්‍ය මෙය සටන් ඉරියව්වක්‌ පළ කරන සිතුවමක්‌ බව නොපෙනේ. මොවුන්ගේ අත්වලින් විහිදෙන්නේ ලියවැල් රටාවන්ය. එහෙයින් මෙය පුරුෂ රූපවල පූට්‌ටුවක්‌ මිස, සටන් ඉරියව්වක්‌ නොවන බව පැහැදිලිවම කිව හැකිය.

පුරාණ පූට්‌ටු පිළිබඳ කතා කිරීමේදී සත්ව රූපවල එකතුවීම් අමතක කොට කතා කිරීමට නුපුළුවන. ඇතැම් විටක සත්ව රූප දෙකක්‌ එකතු වන ආකාරය දකින්නට ලැබෙන අතර ඇතැම් විට සත්ත්වයන් දෙදෙනකුගේ අංගෝපාංග පූට්‌ටු වී එක්‌ නිරූඪ කල්පිතයක්‌ ගොඩනැගෙන ආකාරය ද දකින්නට පුළුවන. සත්ව රූප දෙකක්‌ මුසුවන අවස්‌ථාවන් කිහිපයකි. හංස පූට්‌ටුව, හස්‌ති - වෘෂභ කුංජරය, ත්‍රිසිංහ පූට්‌ටුව ඒ අතර වෙයි. මීට අමතරව අතිශයින් දුර්ලභ පූට්‌ටු කිහිපයක්‌ ද අපට හඳුනාගැනීමට ලැබිණි. ඒ අතර නාග පූට්‌ටුව, සුනඛ කුංජරය, ද්වි සිංහ පූට්‌ටුව, ද්වි හංස හා මානව පූට්‌ටුව ආදී නිර්මාණයෝ වෙති.

සත්ත්ව පූට්‌ටු ආශ්‍රිතව ඉතාමත් සුලභ නිර්මාණය වන්නේ හංස පූට්‌ටුවයි. එයිනිදු ද්විත්ව හංස පූට්‌ටුව අතිශයින් සුලභය. හංසයා විෂයෙහි සිංහල ශිල්පියා තුළ පැවැතියේ භක්‌තිමත් ආකල්පයකි. විශේෂයෙන් මුල් යුගයන්හිදී පවිත්‍රතාවයේ ශුද්ධ වූ සංකේතයක්‌ ලෙස හංසයා පැවතියද අවසන් කාලවලදී එය හුදු නිර්මාණාත්මක අංගයක්‌ බවට පත්විය. පැරණි කොඩිවල හා පොත් කම්බවල හංස පූට්‌ටුව සුලබය. ද්විත්ව හංස පූට්‌ටු ඉතා සුලබය. දළදා මාළිගාවේ සිතුවම් නිර්මාණවලට ද මෙය පාදක වී තිබේ. ලංකාවේ පැරණිම හංස පූට්‌ටුව ඇත්තේ, ඇම්බැක්‌ක දේවාලයේ දැව කැටයම්වල බව පෙනේ. සෑම විහාරයකම පාහේ හංස පූට්‌ටුව දකින්නට ලැබේ. ද්විත්ව හංස පූට්‌ටු අතර සුවිශේෂී අවස්‌ථාවක්‌ මහනුවර අස්‌ගිරි ගෙඩිගේ විහාරයෙහි වෙයි. හංසයන් දෙදෙනාම පූට්‌ටු කරන මානව රූපයන් එහි වෙයි.

හංසයන් දෙදෙනා සේම හංසයන් හතරදෙනකු සම්බන්ධ වූ චතුර් හංස පූට්‌ටුවක්‌ ද පුරාණ සිතුවම් හි වෙයි. දළදා මාළිගාවේ වියන් සිතුවම් අතර මෙවන් සිතුවම් කිහිපයකි. සාමාන්‍යයෙන් චතුර් හංස පූට්‌ටුවක, කවාකාරව සම්බන්ධ වන හංසයින් හතරදෙනාට හිස්‌ හතරක්‌ තිබුණද, දළදා මාලිගාවේ ඇති එක්‌ හංස පූට්‌ටුවක තනි හිසින් යුක්‌ත චතුර්ථ හංස පූට්‌ටුවක්‌ වෙයි. මෙහි හංසයින් හතරදෙනාටම එක හිසකිá එක ඇසකි. නමුත් හොට හතරකි. දළදා මාළිගයේ ම තවත් එක්‌ සිතුවමක චතුර් හංස පූට්‌ටුවක්‌ වටා, සිව් කොන්හි ද්වි හංස පූට්‌ටු හතරක්‌ නිර්මාණය කොට තිබේ. හංස පූට්‌ටු නිර්මාණ අතර මේවා විශේෂිත නිර්මාණ සේ විමසීමට පුළුවන. එමෙන්ම පුසුල්පිටිය, ලංකාතිලක, නියංගම්පාය, මැදිලිය යනාදී ස්‌ථානයන්හි චතුර් හංස පූට්‌ටු දකින්නට ලැබේ. බොහෝ විට වියන් හා සීලිම්හි චතුර් හංස පූට්‌ටු දක්‌නට පුළුවන. වියන් හි ද්විත්ව පූට්‌ටු දකින්නට නොලැබෙයි.

හංස පූට්‌ටු අතර අතිශය සුවිශේෂී අෂ්ට හංස පූට්‌ටුවක්‌ කඩුගන්නාවේ දන්තුරේ විහාරයේ ඉහළ මාලයේ සීලිමෙහි වෙයි. මෙවන් සුවිශේෂී නිර්මාණයක්‌ කවර තැනෙක හෝ දකින්නට ලැබෙන්නේ නැත. වෘත්තාකාර පොදු අවකාශයක්‌ තුළ සමානව බෙදූ අවකාශයන් තුළ හංසයන් අටදෙනකු එකට බැඳී තිබෙනු දැක්‌වීමට ශිල්පියා තුළ පැවැති නිර්මාණශීලිත්වය පුදුම එළවන සුළුය.

හංසයන්ගේ පූට්‌ටුවලට අමතරව ගම්පොළ නියංගම්පාය විහාරයේ සෙල්මුවා පාදමෙහි චතුරස්‍රාකාරව සම්බන්ධ වුණු සුනඛයන් සිව්දෙනකුගෙන් යුක්‌ත චතුර් සුනඛ පූට්‌ටුවක්‌ වෙයි. මෙම කැටයම්හි ශෛලිය අනුරාධපුර ශෛලියේ නිර්මාණ හා සම බව කියනු ලැබේ. එක්‌ සුනඛයකුගේ පසුපස ගාත්‍රාවලින් අනෙක්‌ සුනඛයාගේ ශීර්ෂය සෑඳී තිබේ. මෙය අතිශයින්ම දුලබ නිර්මාණයකි.

දළදා මාලිගයේ පිටත වියන් සිතුවම් අතර හමුවන සර්ප පූට්‌ටුව ද තවත් එවන් දුලබ නිර්මාණයකි. ජලාකාරව ගැටගැසුණු සර්පයන් (නාගයන්) අටදෙනකු මෙහි පූට්‌ටු වී තිබේ. ඉතා අපූර්ව ගැලපීමක්‌ වන අතර මෙය ද අතිශයින්ම දුලබ කලා කෘතියකි. දළදා මැදුරේ කලා කෘතීන් බොහොමයක්‌ තත් ස්‌ථානයට ආවේණික ඒවා වේ.

මැදිලිය ටැම්පිට විහාරයේ වියනෙහි ඇඳ තිබෙන සිතුවම් අතර තවත් දුලබ පූට්‌ටුවක්‌ වෙයි. මෙය කින්නර පූට්‌ටුවකි. සඳකිඳුරිය හා කිඳුරා ලියවැලකට මැදිව, දෑත් පටලාගත් ස්‌වභාවයක්‌ මෙයින් පළ වේ. කලාත්මක බවින් අනූන, අපූර්ව ගැලපීමක්‌ වන මෙය, ඔවුන් දෙදෙනාගේ ප්‍රේමය සංකේතවත් කරන්නක්‌ වන බව පෙනේ.

සිංහයා ද දේශීය නිර්මාණකරුවාට බෙහෙවින් අනර්ඝ වස්‌තු බීජයක්‌ විය. වීරත්වයේ සංකේතය වූයේ සිංහයාය. සිංහලයන්ගේ ලකුණ ද වන සිංහයා ද පූට්‌ටු වූ අවස්‌ථාවක්‌ මහනුවර පැණිදෙණියේ පිහිටි හේන්දෙනිය විහාරයේ ප්‍රධාන පිළිම ගෙයෙහි වජ්‍රාසනයේ පාමුල අර්ධ උන්නතව සිටින සේ හුණු බදාමයකින් අඹා ඇත. සිංහයන් දෙදෙනාටම තිබෙන්නේ, කෙසරු ලොම්වලින් පිරි එකම මුහුණකි. රිදී විහාරයේ ඇති සිංහයන් තිදෙනා බද්ධ වූ ත්‍රිsසිංහ රූපය ද එවන් වූ තවත් නිර්මාණයකි. ඉදිරිපස බලා හිඳගෙන සිටින සිංහයකු හා දෙපස බලා සිටින සිංහයන් දෙදෙනකු මෙහි වේ. "ත්‍රිසිංහ" නම් වුවද අපට නොපෙනෙන පසු පැත්තේ තවත් සිංහ රුවක්‌ ඇති බව ශිල්පියා කල්පනා කර තිබෙනවා වන්නට ද පිළිවන. රිදී විහාරයේ ත්‍රිසිංහ රුව ඉතා කලාත්මක වේ. මීට සමාන ත්‍රිසිංහ සිතුවමක්‌ සැළව විහාරයේ බිත්තියක්‌ මත සිත්තම් කොට තිබේ. මෙම සිතුවම ද රිදී විහාරයේ ත්‍රිsසිංහ රුව තරමටම කලාත්මක බව අපගේ හැඟීමයි. ගාත්‍රා හයක්‌ හා අත් හයක්‌ මෙහි වෙයි. ඉන් දෙපස සිංහ රූවල අත් ඉහළට ඔසවාගෙන සිටින ලෙස දක්‌වා තිබෙන්නේ, පැති සිතුවමක, එම අත් බිමට තබාගෙන සිටින ආකාරය දැක්‌වීම දුෂ්කර නිසා විය යුතුය.

හස්‌තියා හා වෘෂභයා සන්ධි වීමෙන් නිර්මාණය වුණු හස්‌ති-වෘෂභ කුංජරය ද ලාංකීය නිර්මාණකරුවාගේ අපූරු නිරූඪ සංකල්පයකි. රිදී විහාරයේ ඇති හස්‌ති වෘෂභ කුංජයෙහි ඇතාගේ හිසත්, ගවයාගේ හිසත් එකක්‌ තුළ එකක්‌ පිහිටන පරිදි වේ. ගවයාගේ මොල්ලිය නිර්මාණය වී තිබෙන්නේ ඇතාගේ හොඬයේ සෘජු ආධාරයෙනි. මෙරට නිර්මාණය වී තිබෙන මුල්ම හස්‌ති-වෘෂභ කුංජරය වන්නේ ඇම්බැක්‌කේ දේවාලයේ කාෂ්ට කැටයමක ඇති හස්‌ති-වෘෂභ කුංජරයයි. ඇතාගේ ශීර්ෂය තුළට, ගවයාගේ ශීර්ෂය ඇතුළු කොට පෙළහර පාන්නට දේශීය ශිල්පියා දක්‌වා තිබෙන ප්‍රතිභාව අගය කළ යුත්තකි. දළදා මාළිගයේ පහත මාලයේ පිටත වියන් සිතුවමක ද දර්ශනීය හස්‌ති - වෘෂභ කුංජරයක්‌ දැකගත හැකිය.

සතෙ=කගේ රූපය යථානුරූපී අයුරින්ම දැක්‌වීමට දේශීය නිර්මාණ ශිල්පීහු එතරම් රුචි නොකළහ. ඔවුන් බලාපොරොත්තු වූයේ විචිත්‍රත්වය ජනනය කරවීමයි. රසිකයන්ගේ කුහුල උද්දීපනය කිරීමයි. පැරණි සැරසිලි ආශ්‍රිත පූට්‌ටු අතර තවත් උපකුලකයක්‌ නම් එක්‌ සතෙකු සේ පෙනෙන, සතුන් දෙදෙනකුගේ අංගෝපාංග බද්ධයයි. මෙහිදී සතුන් දෙදෙනකුගේ අර්ධය බැගින් යොදාගෙන ඇත. නමුත් මෙයට පෙර කී පරිදි සතුන් දෙදෙනා, දෙදෙනකු සේ නොපෙනේ. මතුව පෙනෙන්නේ තනි සත්ත්ව රූපයකි. නිරූඪ රූප අතර බෙහෙවින් සුලබ නරසිංහ, ගජසිංහ, මත්ස්‍ය - මානව බද්ධය, ඇත්කඳ ලිහිණියා, භේරුණ්‌ඩ පක්‍ෂියා, සරපෙන්දියා යන රූප එවන් ගූඪ නිර්මාණය.

අඩක්‌ සිංහ ස්‌වරූපයෙන් යුක්‌ත රූප වන්නේ නරසිංහ, ගජසිංහ හා සරපෙන්දියා ය. නරසිංහගේ කය, සිංහයකු ගේ යá මුහුණ මනුෂ්‍යයකුගේ ය. ගජසිංහගේ මුහුණ ඇතෙකුගේ යá හොඬයක්‌ ද තිබේ. දාහතර වැනි සියවසෙන් මෙපිට විහාරාරාමයන්ට පිවිසෙන පියගැටපෙළ දෙපස කොරවක්‌ ගල් අලංකාර කරන ලද්දේ ගජසිංහ රූපයෙනි. ලංකාතිලකයේත්, ගඩලාදෙණියේත්, මැදවල විහාරයේත් එවන් කොරවක්‌ ගල් දකින්නට පුළුවන. සරපෙන්දියා යනු සිංහ හිසකින්ද, හංස සිරුරකින් ද යුත් ගූඪ සත්ත්වයෙකි.

දළදා මාළිගයේ පහළ මාලයේ බාල්කයක ඇඳ තිබෙන, මානව - මත්ස්‍ය රූපය ද අතිශයින් දුලබ එකකි. දළදා වහන්සේ දෙසට වන්දනා කරන ස්‌වරූපයෙන් යුක්‌ත මේ සත්ත්වයාගේ හිස, මිනිස්‌ හිසකි. කය, මත්ස්‍ය කයකි. මෙහි ගැලපීම මනාව සිදුකිරීමට සිත්තරා ප්‍රතිභාපූර්ණව තිබේ.

භේරුණ්‌ඩ පක්‍ෂියා ද මෙවන් තවත් නිරූඪ රූපයකි. රාජාලින් දෙදෙනකු පූට්‌ටු වූ කලක මෙන් මෙය දිස්‌වෙයි. ඇම්බැක්‌කේ දේවාලයේ තිබෙන භේරුණ්‌ඩ පක්‍ෂියාගේ කැටයම අතිශයින්ම විචිත්‍රයá පෞරාණිකය. තනි පක්‍ෂි කයකින් යුක්‌ත, පක්‍ෂි ශීර්ෂයන්a යුවළක්‌ මෙහි වේ. වර්තමානයේ ද දොර පියන් අලංකරණය සඳහා භාවිත කරන මේ මෝස්‌තරය අතිශය දුලබ නොවේ. දළදා මැඳුරේ වියන් සිතුවමක ද භේරුණ්‌ඩ පක්‍ෂියා චිත්‍රණය කර ඇත. ඇත් හොඬයකින් හා දළ සහිත, පක්‍ෂි කයක්‌ ඇති, ඇත්කඳ ලිහිණියා ද එවන් සංකල්පීය පූට්‌ටු නිර්මාණයකි. ඇම්බැක්‌ක දේවාලයේ කාෂ්ට කැටයමක ද ඇත්කඳ ලිහිණියා පිළිබිඹු වෙයි. ඇත්කඳ ළිහිණියා, ඇතුන් දඩයමෙහි නිපුණ පක්‍ෂියෙකැයි ද කියවේ.

සිංහල ශිල්පීන්ගේ මේ නිරූඪ කැටයම් සඳහා ආභාෂය ලැබී තිබෙන්නේ හින්දු සංස්‌කෘතියේ සෙවනිණි. දාහතරවැනි සියවසට පූර්වයෙහිදී කරවන ලදැයි සිතිය හැකි, කවර ආකාරයක හෝ නිරූඪ පූට්‌ටුවක්‌ නොමැත. හින්දු දේව සංකල්ප සමඟ උපත ලත් සංකල්ප සමඟ ඔප වැටුණු "පූට්‌ටු" නොහොත් "කුංජර" තත්කාලීන නිර්මාණ කලාවේ වෙනම පැතිකඩකි.

මෙවන් නිරූඪ පූට්‌ටු නිර්මාණයෙහි අරමුණ වන්නේ, ප්‍රේක්‍ෂකයා කුහුලින් ද විශ්මයෙන් ද තෘප්තියට පත්කිරීමයි. මේවායේ වෙනත් අරමුණක්‌ අපට හඳුනාගත නොහැකිය. සාමාන්‍යයෙන් සියලු මනුෂ්‍යයෝ අද්භූත දෙය ප්‍රිය කරති. එම අවශ්‍යතාවය නිරූඪ පූට්‌ටු නිර්මාණය කිරීමෙහිලා දායක වන්නට ඇත. එමෙන්ම දේශීය ශිල්පියා, කිසිදු විටක ස්‌වභාවික දේ එයාකාරයෙන්ම දක්‌වන්නට උත්සුක වූ බවක්‌ නොපෙනේ. ඔහුට වුවමනා වූයේ අපූරු දෙයක්‌ මිස තවත් ස්‌වාභාවික නිර්මාණයක්‌ නොවේ. "පූට්‌ටු" නිර්මාණ ද එසේය. එක පෙළට සතුන් අඳිනවා වෙනුවට ඔහුට වුවමනා වූයේ විචිත්‍රත්වය වීම නිසා "පූට්‌ටු" නිර්මාණය වී ඇත. එහෙයින් "පූට්‌ටු" නොහොත් "කුංජර" යනු සමසිතින් බලා රස විඳිය යුතු දේශීය සිත්තර තේමාවක්‌ බව කල්පනාවට ගත යුතුය.







කඩුගන්නාවේ සූරියගොඩ විහාරයේ සිතුවම් කර ඇති පුරුෂ පූQට්‌ටුවක්‌

හංස පූට්‌ටුව

සැළව විහාරයේ ත්‍රිසිංහ පූට්‌ටුවක්‌

දළදා මාළිගයේ වියන් සිතුවම් අතර දකින්නට ලැබෙන පුරුෂ පූට්‌ටුවක්‌



නිමේෂ තිවංකර සෙනෙවිපාල

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.