ඩ්‍රයිවින් ලයිසන් හා බන්දුල


සර්පයා... වහා කිපෙන සුළු, විෂ සහිත සත්වයෙකි. ඊයේ මැති සබයේද සර්ප විෂ ගැන බොහෝ කතාබහ ඇතිවිය. එජාපයේ රවී කරුණානායක මන්ත්‍රීවරයා සර්ප විෂ ගැන ඒ විෂෙන් මිය යන අය ගැන ප්‍රශ්න කළේය. වෙනදාට කරුණානායක මන්ත්‍රීවරයා අසන ප්‍රශ්නවලට ආණ්‌ඩුවේ ඇමැතිවරුන්ට කේන්ති යයි. ඔවුන් දෙන පිළිතුරු ගැන සෑහීමකට පත් නොවන රවී කරුණානායක මන්ත්‍රීවරයාද කිපේ. එවිට සභාව එකම ගාල ගෝට්‌ටියකි. ඒත් ඊයේ එසේ නොවේ. රවී කරුණානායක මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නයත් ඊට ලැබුණු පිළිතුරුත් ඉතා සාමකාමීය. රවී සමග වෙනදාට ගැටෙන මර්වින් ඇමැතිවරයාද සන්සුන්ය.

රවී කරුණානායක මන්ත්‍රීවරයාට ලබාදුන් කාලය අවසන් බව මුලසුන දැනුම් දුන්නේය.

ඔබතුමාට අපි අපේ කාලයෙන් වෙලාව දෙන්නම්. අපි ඉතින් ඔබතුමාට හරිම ආදරෙයිනේ. මර්වින් සිල්වා ඇමැතිවරයා රවී කරුණානායක මන්ත්‍රීවරයාට ඉතාමත් ලෙන්ගුව මිත්‍ර ලීලාවෙන් කීවේය.

ලංකා ගමනාගමන මණ්‌ඩලයේ දකුණු පළාත් සේවක හිඟ වැටුප් ගැන දකුණේ මන්ත්‍රී බුද්ධික පතිරණට ප්‍රශ්නයකි. ඊට පිළිතුරු දෙන්න නැගී සිටියේ ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති රෝහණ දිසානායකය.

ඔය ප්‍රශ්නය අහන්නවත් ලංගමය ඉතුරුවීම සතුටක්‌. ඔබතුමන්ලාගේ කාලේ ලංගම..." යෑයි කියමින් එජාප රජය විවේචනය කරන්නට නියෝජ්‍ය ඇමැතිවරයා සූදානම් වූවා පමණි. කථානායක චමල් රාජපක්‍ෂ ඊට බාධා කරමින් ඇමැතිතුමා අහපු ප්‍රශ්නෙට විතරක්‌ උත්තර දුන්නාම ඇති" යෑයි කීවේය.

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා වරාය හා මහා මාර්ග ඇමැතිවරයාගෙන් ප්‍රශ්නයක්‌ අසා තිබිණි. ඇමැතිවරයා සභාවෙහි නැත. ඒ වෙනුවට උත්තර දෙන්නට ආණ්‌ඩුවේ සංවිධායක දිනේෂ් ගුණවර්ධන නැගී සිටියත් දයාසිරි මන්ත්‍රීවරයා එය දුටුවේ නැත.

"කෝ ඇමැතිවරු... නැහැනේ... දයාසිරි කියද්දී "අපි ඉන්නවා මෙතැන... දැන් මෙයාට ඇස්‌ පේන්නෙත් නැහැ..." දිනේෂ් ගුණවර්ධන කීවේය.

ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක්‌ වෙන්න ගිහිං යාන්තම් බේරුණා. "උත්තරේ දෙන්න ඇමැතිවරු නැහැ... සංවිධායක තුමා අසරණ වෙනවා..." යෑයි දයාසිරි මන්ත්‍රීවරයා කීය.

නෑ.... නෑ... කිසිම අසරණ කමක්‌ නැහැ...." දිනේෂ් කියද්දි "තටු කැඩෙන්න ගිහිං බේරුණා..." යෑයි යළි දයාසිරි මන්ත්‍රීවරයා කීවේය.

"හා... හා... ඒක මේ ප්‍රශ්නෙට අදාළ නැහැ යෑයි කියමින් කථානායකවරයා මේ සංවාදය නිමා කළේය.

අපේ රටේ තරුණ පරපුරේ පරිගණක සාක්‍ෂරතාව ගැන සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා බන්දුල ගුණවර්ධන අධ්‍යාපන ඇමැතිවරයාගෙන් ඇසුවේය. පරිගණක ක්‍ෂේත්‍රයේ ජාත්‍යන්තර යෙදුමක්‌ ගැන සඳහන් කරමින් ප්‍රේමදාස මන්ත්‍රීවරයා "ඉන්ටර්නැෂනල් කම්පියුටර් ඩ්‍රයිවින් ලයිසන්" ගැන විමසීමක්‌ද කළේය.

"ඩ්‍රයිවින් ලයිසන්" යන වචනය ගුණවර්ධන ඇමැතිවරයාට වැටහුණේ නිවැරදි ලෙස නොවේ.

මන්ත්‍රීතුමා... රියෑදුරු බලපත්‍ර දෙන එක මගේ අධ්‍යාපන අමාත්‍යංශයට අයිති වැඩක්‌ නොවේ. අධ්‍යාපන ඇමැතිවරයා කියද්දී සභාවේ සිටි කිහිප දෙනෙකුටම සිනහව නතර කර ගන්නට නොහැකි විය.

ඒ කතාවෙන්ම ඔබතුමාගේ දැනුම ප්‍රදර්ශනය වෙනවා ඇමැතිතුමා... මේක රියෑදුරු බලපත්‍රයක්‌ නොවේ. සජිත් මන්ත්‍රීවරයාද සිනාසෙමින් කීවේය.



අජිත් අලහකෝන්

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.