ගැස්‌පර් කොරයාගේ සටහන්
එදා සිරිලක අපනයන භාණ්‌ඩ

ජාත්‍යන්තර වශයෙන් රටින් රට සබැඳියාව තහවුරු කරන අංශයක්‌ ලෙස ආනයන අපනයන වෙළෙදාම හඳුන්වා දිය හැකිය. ජත්‍යන්තර වෙළෙ¹මට ශ්‍රී ලංකාවට හිමිවනුයේ සුවිශේෂී තත්ත්වයකි. අනාදිමත් කළෙක සිට විවිධ භාණ්‌ඩ ලංකාවෙන් විවිධ රටවලට අපනයනය කළ අතර විදේශ රටවලින්ද විවිධ භාණ්‌ඩ එදා සිට අද දක්‌වා අපනයනය කරයි. මෙම ජාත්‍යන්තර වෙළෙඳාම දුරාතීතයේ සිට ලංකාවේ ඉතා සංවර්ධනීය තලයක තිබුණා යෑයි පැවැසීම නිවැරැදිය. ලංකාවේ මුහුදු තීරය වටා ස්‌වාභාවිකව නිර්මාණය වූ දියුණු වරායන් රැසක්‌ පිහිටා තිබුණු අයුරු පැරැණි මූලාශ්‍රවල සඳහන් වෙයි. මහාතිත්ථ, ගිම්හතිත්ථ, වාලුකාගාම, සූකරාගාම, කළණිකයමතන, ගොකණ්‌ණතිත්ථ, ජම්බුකොළපට්‌ටන ඒවායින් සමහරෙකි. වර්තමානයේද මෙම වරායන් ආශ්‍රිතව හමුවන පුරා විද්‍යාත්මක සාධක අනුව ලංකාවේ ආනයන අපනයන වෙළෙඳ රටාව පිළිබඳ සුවිශේෂි කරුණු ඉස්‌මතු කරයි. ජාත්‍යන්තර වෙළෙ¹මට සම්බන්ධවෙමින් විශේෂිත වෙළෙඳ භාණ්‌ඩ කිහිපයක්‌ ලංකාවෙන් අපනයනය කළ අතර එම වෙළෙඳ භාණ්‌ඩවල වටිනාකම නිසාම විදේශිකයෝ ඒවා සොයා විවිධ කාලවල ලංකාවට සංක්‍රමණය වූහ. ඇතැම් අවස්‌ථාවන්හි විදේශ ආක්‍රමණ වලට පවා අප රට ගොදුරු වූයේ ජාත්‍යන්තර වශයෙන් වැදගත් වෙළෙඳ භාණ්‌ඩ ලංකාවේ තිබුණ නිසා යෑයි පැවැසීම අතිශෝක්‌තියක්‌ නොවේ.

වෘත්තීය මට්‌ටම පදනම් කරගත් ලංකාවේ ඉපැරණි කුල ක්‍රමය තුළද වෛශ්‍ය කුලයේ පිරිස්‌ වෙළෙඳාම ගෞරවාන්නිත වෘත්තියක්‌ යෑයි සලකා එහි නියෑලුනහ. ක්‍රි. පූ. 01 වැනි සියවසේ යාල ප්‍රදේශයේ කොරවක්‌ගලින් සොයාගත් සෙල්ලිපියක කසකච වණිය සිවස ලෙස කෘෂි කර්මයේ සහ වෙළෙ¹මෙහි නිරත වූ ශිව නම් පුද්ගලයෙකු පිළිබඳ සඳහන් කරයි. විජය පැමිණීමට පෙර නාගදීපය සහ කැලණිය අතර මුහුදු තීරයේ අනතුරට පත් වෙළෙඳ නැව්වල සිටි වෙළෙඳුන් වසඟකරගත් සිරිසවත්ථුපුර යක්‌ෂ ගෝත්‍රික කාන්තාවන් පිළිබඳව වළාහස්‌ස ජාතකයේ සඳහන් වෙයි. දිව්‍යවදානය නම් පැරැණි මූලාශ්‍රයට අනුව විජය කුමරාද වෙළෙඳ පවුලකට අයත් කෙනෙකු බවට වෙළෙ¹ම පිණිස අහඹු ලෙස ලංකාවට පැමිණ කුවේණිය සමග සම්බන්ධ වී යෑයි සඳහන් වේ. අරාබියේ සිට පෙරදිගට වෙළෙ¹මෙහි පැමිණි ඇනියුස්‌ ප්ලෝකේමුස්‌ නමැත්තෙක්‌ වෙළෙඳ සුළං හේතුවෙන් මෙරටට පැමිණ ස්‌වදේශිකයෙකු ලෙස දිවි ගෙවූ බවත් පසු කලෙක ඔහු සමග ක්‌ලොඩියස්‌ රජු හමුවීමට රෝමයට යෑයූ සිංහල දූත පිරිසක්‌ පිළිබඳ විස්‌තර දැක්‌වේ. මෙම දූතයන් භාතිකාභය රජු සමයේ යෑවූ දූත පිරිසක්‌ බවත් ඔවූහු රෝමයෙන් පබලු ගෙනවිත් අනුරාධපුර මහාථූපය ආවරණය කිරීමට දැලක්‌ සැකසූ බව සඳහන් වෙයි. වර්තමානයේද අනුරාධපුර කැණීම්වලින් බහුලව හමුවන පුරාවස්‌තු අතර පබලු සුවිශේෂි වෙයි.

මාතොට යනු ලංකාවේ පැරණි වරායන් අතර ඉතා දියුණු වරායකි. පෙරදිග මෙන්ම අපරදිග විවිධ රටවල් සමග ගනුදෙනු කළ බවට වරාය භූමියෙන් සාක්‌ෂි සැපයේ. වෙළෙ¹මෙහි නිරත ඇතැම් පුද්ගලයන්ගේ පුදගල නාම හැඳින්වීමට සමුදද හෙවත් සමුද්‍ර යන යෙදුම භාවිත කර තිබීමෙන් ස්‌වකීය වෘත්තිය පිළිබඳ ඉහළ වටිනාකමක්‌ ඇතිකර ගෙන තිබූ බව පැහැදිලි වෙයි. සෑම වරායකින්ම රජයට තීරු ගාස්‌තු ලබා ගැනීම පිණිස වරාය රේගු නිලධාරීන් අතීතයේදීද වරාය භූමියේ රාජකාරිවල නියෑලුණහ. හම්බන්තොට ගොඩවාය හෙවත් ගොඩපබ්බත වරාය ක්‍රි. ව. 01 කාලයට අයත් සෙල් ලිපියක වෙළෙඳ භාණ්‌ඩවලින් අය කළ යුතු තීරු ගාස්‌තු ප්‍රමාණයන් පවා දක්‌වා තිබේ. එම වරායේ දියුණු වෙළෙ¹ම පිළිබඳ තොරතුරු හෙළි කරන පුරා විද්‍යාත්මක සාධක රැසක්‌ වර්තමානයේ හමුවෙයි. විශේෂයෙන් එම ප්‍රදේශයෙන් හමු වූ රැස්‌වීම් ශාලාවකට අයත් යෑයි පැවසෙන ලේඛන සහිත ශෛලමය ආසන වැදගත් වෙයි. එම සටහන් පිරික්‌සීමේදී වෙළෙඳාමේදී නිරත විවිධ පිරිස්‌ සඳහා ඔවුන්ගේ තනතුර අනුව ආසන සකසන ලදී. නාවික නියමුවන්ට මෙහි උසස්‌ තත්ත්වයක්‌ හිමිවී තිබූ බැව් පෙනේ. ලංකාවේ විවිධ පැරැණි වරාය පරිශ්‍රවලින් ලංකාව සහ චීනය සමග පැවැති වෙළෙඳාම පිළිබඳ ඉපැරැණි තොරතුරු හෙළි කරයි. විශේෂයෙන්ම ක්‍රි. ව. 05 වන සියවසේ ලංකාවේ පැමිණි ෆාහියන් නම් දේශටකයා කිහිප දිනක්‌ ලංකාවේ ගතකර වෙළෙඳුන් 200 ක්‌ සහිත නෞකාවකින් ජාවා රටට ගිය බැව් ඔහුගේ ගමන් වාර්තාවල සඳහන් වෙයි. අනුරාධපුරයේ විසූ දන්තකුඩුම්බික නම් වෙළෙන්දෙක්‌ වෙළෙ¹ම පිණිස බුරුමයට ගිය අයුරු රසවාහිනියේ සඳහන් වෙයි. එසේම වර්තමානයේ මෙන් අතීතයේද විදේශිකයන්ගෙන් භාණ්‌ඩ ගෙන්වන නියෝජිත ආයතන තිබිණි. මිහින්තලය අසල ද්වාරමණ්‌ඩල නම් ග්‍රාමයේ පිට රටින් විවිධ භාණ්‌ඩ ගෙන් වූ කුණ්‌ඩල නම් බ්‍රහ්මණයෙක්‌ පිළිබඳ තොරතුරු මූලාශ්‍රවල දැක්‌වෙයි.

එසේම විවිධ භාණ්‌ඩ වර්ග අතීතයේ සිටම ලංකාවෙන් පිටරට යවනු ලැබීය. ලංකාව මැණික්‌ පිරුණු රටක්‌ නිසා රත්න දීපය යෑයි අභිමානයෙන් හඳුන්වයි. විදේශ වෙළෙ¹මෙහි මැණික්‌වලට හිමිව තිබුණේ ඉතා වැදගත් තැනකි. ස්‌වකීය ග්‍රන්ථයක ලංකාව පිළිබඳ සඳහන් කරන කෞටිල්‍ය මැණික්‌ බහුල භූමියක්‌ ලෙස හඳුන්වයි. මණිමේඛලායි නම් ද්‍රවිඩ ග්‍රන්ථයේ ලංකාවට රත්නදීප යෑයි ව්‍යවහාර කෙරේ. ක්‍රි. ව. 07 වැනි සියවසේ හියුං සං දේශාටකයාද ලංකාව හඳුන්වා තිබුණේ මෙනමිනි. විජය ඇතුළු පිරිස ලංකාවට පැමිණ විවිධ ස්‌ථානවල පදිංචිව ජනපද බිහිකරගත් පසු ස්‌වකීය පරපුර පවත්වාගෙන යාම සඳහා විවාහයට කුල ස්‌ත්‍රීන් අවැසි විය. දේශීය කාන්තාවන් සරණ පවා ගන්නවා වෙනුවට ඉන්දියාවෙන් තමන්ට අවැසි කුල ස්‌ත්‍රීන් ගෙන්වා ගත්හ. කාන්තාවන් ඉල්ලා මදුරාපුරයේ මදු රජුට යෑවූ දූත පිරිස්‌ අත ත්‍යාග ලෙස මෙරටින් සපයා ගත් අගනා මුතු මැණික්‌ යෑවූහ. එසේම ඉතිහාසයේ සඳහන්වන පරිදි කාලයක්‌ තිස්‌සේ ස්‌වකීය අදෘෂ්ඨ මිත්‍රයා වූ අශෝක රජුට දෙවන පෑ තිස්‌ රජු විසින් නිල් කැට, රතු කැටවලින් සමන්විත මැණික්‌ ත්‍යාග වශයෙන් යවා ඇත. පුරාණ ශිලා ලේඛනවල මැණික්‌ වෙළෙඳුන් මණිකාර ලෙසත් මැණික්‌ ගරන ගම්මාන මණිකාර ගම් ලෙසත් හැඳින්වීමෙන් ලංකාව මැණික්‌වලට කෙතරම් ප්‍රචලිතව සිටියේ ද යන්න පැහැදිලිය.

දේවානම්පියතිස්‌ස සහ අශෝක රජු අතර ත්‍යාග භාණ්‌ඩ ලෙස බහුලව හුවමාරු වූයේ මැණික්‌ය. ලංකාවෙන් හමුවන මැණික්‌ කෙතරම් ආසන්නයේ පිහිටි වුවද ඉන්දියාවෙන් සොයා ගැනීම අපහසු බව අශෝක රජු විසින් පැවසූ බව ලේඛනවල සඳහන් වෙයි. අතීතයේ විවිධ කාලවල ලංකාව විදේශ අක්‍රමණවලට භාජන වූයේද ලක්‌ දෙරණින් මතුවන මාහැගි මාණික්‍ය නිසාය. විශේෂයෙන්ම බටහිර යුරෝපීය ආක්‍රමණ වලට පෙර ලංකාවේ වෙරළ තීරය බලය අල්ලාගෙන සිටි අරාබි වෙළෙඳුන්ද මැණික්‌ වෙළෙ¹මට ප්‍රමුකත්වය ලබා දුන්හ. පෘතුගීසි ජාතිකයන් ලංකාවට පැමිණි කාලයේ අරාබින් පළවා හැරීමේ කොන්දේසි මත සිංහල රජු සමග ඇති කර ගත් අවබෝධතා ගිවිසුමට අනුව ලක්‌ රජු විසින් කප්පම් ලෙස වාර්ෂිකව යෑවියයුතු වෙළෙඳ භාණ්‌ඩ අතර මැණික්‌ ප්‍රධාන වෙයි. එකල රජවරු විදේශ දූත පිරිස්‌වලට අභිමානයෙන් තිළිණ කර භාණ්‌ඩ අතර බහුලව දක්‌නට ලැබුණේ මැණික්‌ය. ලංකාවට පැමිණි ප්‍රතම පෘතුගීසි නියෝජිතයා වූ ලොරෙන්සෝ ද අල්මේදා ලංකාව පිළිබඳ විස්‌තර දක්‌වා පෘතුගාල රජු වෙත යවන ලිපියක ලංකාවෙන් ඔබතුමා අපේක්‌ෂා කරන අල්ජොහාර් (මැණික්‌) ඕනෑම ප්‍රමාණයක්‌ සපයා ගත හැකි බැව් සටහන් කරයි. අතීතයේ ලංකාද්වීපයේ ඕනෑම භූමියකින් මැණික්‌ ලැබුණු බැව් සඳහන් වෙයි. රජුගේ අවසරයකින් තොරව සාමාන්‍ය පුද්ගලයෙකුට මැණික්‌ ගැරීම සපුරා තහනම් විය. ඕනෑම පෙදෙසක ඇති මැණික්‌ රජුට අයිතිය. මැණික්‌ කැනීමට රජුගෙන් අවසර ගතයුතුය. භූමියේ පස්‌ මිටක්‌ පරීක්‍ෂා කර බලා එම භූමියෙන් හමුවිය හැකි මැණික්‌ වර්ග පිළිබඳ අනාවැකි පළ කරහැකි මැණික්‌ නිලධාරීන් රජුට සිටියහ. ඕලන්ද ජාතික කස්‌තන් භේදා ගේ විස්‌තරයකට අනුව මැණික්‌ ගරන්නන් බර වැඩි මැණික්‌ රජුට දිය යුතුය. රජු සතුව තිබූ මැණික්‌ අතර බිත්තරයක වට ප්‍රමාණයෙන් යුතු වියතක්‌ පමණ දිගු ඉටිපන්දමක එළිය විහිදෙන මැණිකක්‌ තිබූ බව කියයි. යම් වරායකට විදේශ නැවක්‌ පැමිණි පසු ස්‌වදේශිකයන් මැණික්‌ ගල් කිහිපයක්‌ රැගෙන නැව අසල වෙරළේ ගැවසෙන බවත් ඔවුන්ට සුලු භාණ්‌ඩයක්‌ දී එම මැණික්‌ සියල්ල ලබාගත හැකි බව යුරෝපියයෝ ස්‌වකීය ලේඛනවල සඳහන් කරති. මැණික්‌ කොපමණ සුලබ ලෙස රට තුළ තිබිණි දැයි මින් මනාව පැහැදිලි වෙයි. රජුගේ අවසරයකින් තොරව මැණික්‌ ගැරීම තහනම් වුවත් රටට මුදල් හිඟ කාලවල විධිමත් මැණික්‌ ගරා ඒවා රජු විසින් විකුණා මුදල් හිඟය පිරිමැසූ බව පැරණි මූලාශ්‍රවල විස්‌තර වෙයි. අදටත් අපේ රට මැණික්‌වලින් පොහොසත්ය. අදට වඩා අතීතයේ සිරිලක සෑම ඉසව්වකම මෙම මාහැඟි මැණික්‌ හමුවිණි. විදෙස්‌ වෙළෙඳුන්ගේ ලොබ වැඩුමට ලක්‌ දෙරණේ මැණික්‌ සුලබ වීම හේතු විය.

මුතු අතීතයේ සිට ඉතා අගනා වෙළෙඳ භාණ්‌ඩයක්‌ ලෙස ප්‍රචලිතය. සාගරයේ ජිවත්වන බෙල්ලන්ගේ සිරුර තුළ මුතු නිෂ්පාදනය වෙයි. බෙල්ලාගේ සිරුරට ඇතුළුවන ජල බිංදුකිහිපයක්‌ දිගු කලක්‌ තිස්‌සේ පැවතීමෙන් මුතු කැට බවට පරිවර්තනය වන බව පැරැන්නෝ පවසති. මුතු නිෂ්පාදනය කරන බෙල්ලා මුතු බෙල්ලා ලෙස හඳුන්වයි. අතීතයේ සිට ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස හඳුන්වනුයේ ඉන්දියන් සාගරයට සාපේක්‌ෂව මුතු ඇටයක්‌ මෙන් කුඩා නිසාත් මුතු ඇට මෙන් වටින නිසාත් පමණක්‌ නොවේ. මුතු බෙල්ලන් බහුලව ගැවසෙන මුතු පාරවල් වලින් අනූන මුතු ගම්මාන රැසක්‌ ලංකාද්වීපය වටා පිහිටා ඇති නිසාය. මහාවංශයේ සඳහන් වන අන්දමට දෙවන පෑතිස්‌ රජු අශෝක රජු වෙත යෑවූ ත්‍යාග අතර මුතු විශේෂ වෙයි. එසේම විජය කුමාරයාගේ අමාත්‍යවරුන්ද කුල කුමරියක්‌ද පතා ඉන්දියාවේ මදු රජුට යෑවූ ත්‍යාග අතර මුතු ද ඇතුළත් විය. කෞටිල්‍යගේ අර්ථ ශාස්‌ත්‍රයට ලියන ලද විවරණයක ලංකාවේ ප්‍රදේශයකින් ලැබෙන මුතු වර්ග පිළිබඳවත් ලංකාවේ පිහිටි මයුර නම් මුතු ගමක්‌ ආසන්නයේ පිහිටියා වූ එක්‌ සුන්දර නදියක්‌ පිළිබඳව විස්‌තර දක්‌වා තිබේ. මුතු සොයා යාමේ ක්‍රියාවලිය මුතු කිමිදීම ලෙස හඳුන්වයි. ක්‍රි. ව. 05 වන සියවසේ මුතු කිමිදීම ලංකාවේ ප්‍රධාන ජීවනෝපායන මාර්ගයක්‌ව පැවැති බව ෆාහියන්ගේ දේශාටන වාර්තාවල සඳහන් කර ඇත. අනුරාධපුර දෙවන පෑ තිස්‌ රජුගේ පදවි ප්‍රාප්තිය වූ දිනයේ අෂ්ඨවිධ මුතු ප්‍රාතිහාර්ය බලයෙන් මුහුදු වෙරළේ පහළ වූ බැව් මහවංශයේ විස්‌තර වෙයි. හයමුක්‌තා, ගජ මුක්‌තා, රථ මුක්‌තා, ආමලක මුක්‌තා, වලය මුක්‌තා, අංගුලි මුක්‌තා, වෙඨකා මුක්‌තා වේ. කකුධවළා මුක්‌තා, පාකතිකා මුක්‌තා මෙම අශ්ඨවිධ මුතුය. ඇත්, හස්‌ ලාංඡන සහිත මුතු වර්ග මහාර්ඝ මුතු ලෙස සලකනු ලැබීය. ගජ මුක්‌තා යනු ගජ මුතු විය හැකිය.

සද්ධන්ත ඇතුන්ගේ දළ යුගල තුළ මෙම ගජ මුතු හමුවේ. රටක මාහැඟි වස්‌තුන් පහළ වනුයේ පාලනය කරන රජුගේ පුණ්‍ය බලයට යෑයි පැරැන්නෝ සැලකූහ. දුටු ගැමුණු රජු දවස උරුවේල පට්‌ටන නම් ගම අසල වෙරළ තීරයෙන් නෙල්ලි ගෙඩි තරමට මුතු මතු වූ යේ යෑයි සඳහන් වේ. රජු විසින් ලෝවාමහපායේ සභා ගර්භය මුතුලැල්වලින් සැරසූ බව මහා වංශ කතු විස්‌තර කරයි. රුවන් වැලි මහා සෑයේ ධාතු නිධාන උත්සවය ඉතාමත් විචිත්‍රවත් සහ උත්කර්ෂවත් ලෙස වර්ණනා කරන මහාවංශකතුවරයා එහි ගර්භයේ සිව් දිශාවන්හි ඉතා අනර්ඝ මුතු මැණික්‌ දියමන්ති රන් ආදි වටිනා වස්‌තු නිධන් කරනු ලැබූ අයුරු විස්‌තර කරයි. මහාවංශයේ සඳහන් වන අන්දමට ඒ වෙනුවෙන් විවිධ අවස්‌ථාවල මුතු පහළවී ඇත. පැරැණි මූලාශ්‍රවල සඳහන් අන්දමට පෙළහරක්‌ ලෙස මුතු පහළ වූයේ ය යන සිද්ධිය අතිශෝක්‌තියක්‌ ලෙස බැහැර කළද දුරාතීතයේ මුතු ගම්මානවලින් සරුවට මුතු සැපයුන බැව් පැහැදිලිය. මුතු ගම්මානවල වැසියන්ගේ ප්‍රධාන ධනෝපායන මාර්ගය වූයේ මුතු කිමිදීමය. රජුගේ විවිධ උත්සව අවස්‌ථාවලට මෙන්ම අපනයන සඳහා මුතු සැපයීම මුතු කරුවන්ගේ කාර්ය විය. භාතිකාභය රජුගේ පාලන සමයේ ගැල් සියයක මුතු ගෙන ඒවා පුළුස්‌සා හුණු සමග මිශ්‍ර කර රුවන් වැලි මහ සෑයේ හුණු පිරියම් කළ බැව් මහාවංශය විස්‌තර කරයි. සෑයට දිදුලන සුදක්‌ ලබාදීම සඳහා මෙලෙස මුතු මිශ්‍ර හුණු පිරියම් කරන්නට ඇත. මහා දාඨික මහ රජු විසින් අම්බස්‌ථල චෛත්‍ය ද මුතුලැල්වලින් සරසනු ලැබූ බව මහා වංශයේ විස්‌තර වෙයි. ලංකාව මුතු වලින් පොහොසත් රටක්‌ වීම විදේශිකයන් මෙරටට කැඳවීමට සමත් විය. ක්‍රි. ව. 18 -19 ශත වර්ෂවලද ලංකාවේ බටහිර වෙරළ කලාපයේ මුතු කිමිදීම බහුලව සිදු කරනු ලැබ ඇත. කෙසේ වෙතත් කැළණි තිස්‌ස රජුගේ කාලයේ ඇතිවූ මුහුදු ගොඩ ගැලීමත් සමග මුතුගම්මාන විශාල ප්‍රමාණයක්‌ විනාශ විය. විදේශිකයන් විසින් ඇඳි සිතුවම්වලට අනුව දෛනික නැව් දහස්‌ ගණනක්‌ මන්නාරම් මුහුදු කලාපයේ මුතු කිමිදීමෙහි නිරතවන ආකාරය පෙන්නුම් කරයි. ලබාගන්නා මුතු වලින් රජුට ලැබිය යුතු පංගුව ලබා ගැනීම සඳහා රජුගේ නියෝජිතයන් නිරතුරුව මෙම ස්‌ථානවල සෝදිසියෙන් සිටියහ. පෘතුගීසි ජාතික පළමු නාවිකයා ලෙස ලංකාවට පැමිණි ලොරෙන්සෝද අල්මේදා පෘතුගාල රජුට ලංකාව පිළිබඳ සඳහන් කරනු ලැබූ විස්‌තරයේ මෙම ප්‍රදේශයෙන් හමුවන වටිනා මුතු කැට පිළිබඳ අවධාරණයෙන් සඳහන් කර ඇති බව පෘතුගීසි ජාතික ලේඛක ගැස්‌පාර් ඩී කොරෙයා ස්‌වකීය කෘතියක විස්‌තර කරයි. පෘතුගීසි, ලංදේසි, ඉංග්‍රිසි ජාතික ලේඛකයන් රැසක්‌ම ලංකාව පිළිබඳ රචිත ස්‌වකීය වාර්තාවල මුතු කිමිදීම පිළිබඳ උනන්දුවෙන් තොරතුරු ඉදිරිපත් කර ඇත. ගැස්‌පාර් විස්‌තර කරන ආකාරයට මුතු කිමිදීම අතිශය දුෂ්කර කටයුත්තක්‌ විය. මුතු කිමිදෙන පුද්ගලයන් ඔරුවලින් දියඹට යාත්‍රා කරන අතර ඔහුගේ සහයට පුද්ගලයන් කිහිප දෙනෙක්‌ සුදානමින් සිටී. මුතු සපයා ගැනෙන මුතු බෙල්ලන් මුහුදු පතුලේ ගල් පර මත සහ කොරළ් අශ්‍රිතව ජීවත් වෙයි. මුතු බෙල්ලන් කඩා එක්‌ රැස්‌ කර ගැනීමට සම් වලින් සකස්‌ කරනු ලැබූ බෑග්, අතංගු ආදිය කිමිදුම් කරුවාගේ ඉණෙහි බැඳ ගනී. නාසයටත් කන්වලටත් ජලය ඇතුළු නොවනු පිණිස ඇබ ගසා ගනී. දියඹට බැසීමට පහසු වන ලෙස පාදයේ බර ගලක්‌ ගැට ගසා ගනී. කඹයක අධාරයෙන් ඔරුවේ සිට දියඹ පතළට ගිලෙන කිමිදුම් කරු තමන්ට හැකි තාක්‌ වේලාවක්‌ බෙල්ලන් කඩා රැස්‌ කර ගත් පසු ඔරුවේ සිට කඹය අල්ලාගෙන සිටින පිරිසට සංඥවක්‌ ලබාදෙයි. ඔරුවේ සිටින පිරිස කඹය ඇද කිමිදුම් කරු ගොඩට ගනී.

ඇතැම් විදේශික ජාතිකයන්ගේ විස්‌තරවලට අනුව ඔරුවේ සිට දියඹ පතුලේ සිටින කිමිදුම්කරුට වාතාශ්‍රය සැපයීමට විවිධ වායු නළ භාවිත කළ බැවි සඳහන් කරයි. වර්තමානයේ ඔක්‌සිජන් සිලින්ඩර් භාවිත කරන ආකාරයට සමාන දේශීය උපක්‍රමයක්‌ ලෙස පැරැන්නෝ මෙලෙස සිදුකරන්නට ඇත. ඉංග්‍රිසීන් විසින් ස්‌වකීය පාලන කාලයේ පරිපාලන තොරතුරු සටහන් කර තැබූ නිල් පොත් සහ වාර්ෂික පාලන වාර්තාවලට අනුව මුතු කිමිදීම සුලභ ලෙස සිදු කරනු ලැබූ බවත් අපනයන භාණ්‌ඩයක්‌ ලෙස මුතුවලින් විශාල අදායමක්‌ ලැබුණු බවත් විස්‌තර කරයි. විදේශිකයන්ගේ සටහන්වලට අනුව මුතු කිමිදුම් කරුවන්ට විවිධ රෝගාබාධ තිබිණි. ඔවුන්ගේ ආයු කාලය කෙටිබවද සඳහන් කරයි.

මුතු බෙල්ලන් කඩා

රැස්‌කර ගොඩට රැගෙන එන මුතු කරුවෝ බෙල්ලන් වෙරළෙහි අතුරා වියළීම සිදුකරයි. වෙරළට රැගෙන එන බෙල්ලන් ප්‍රමාණය පිළිබඳව රජුගේ නිලධාරීන් නිරතුරුව තක්‌සේරු කරන නිසා රජුගේ මුතු පංගු නිවැරැදිව ගෙවීමට මුතු කරුවන් රැඳී සිටී. මුතු බෙල්ලන් තද අවුවේ දමා වියෑළීමෙන් බෙල්ලාගේ මස්‌ කොටස හැකිලී යයි. වියෑලුණු මුතු බෙල්ලා ජලයේ දමා තදින් සේදීමෙන් උගේ සිරුර තුළ සැඟව ඇති මුතු ඇට ඉවත් වෙයි. හමුවන සෑම මුතු බෙල්ලෙකුගේම මුතු හමු නොවීම ද සුවිශේෂීතාවයකි. ඇතැම් විට බෙල්ලන් විසි දෙනෙකුගෙන් එක මුතු ඇටයක්‌වත් හමු නොවන අතර ඇතැම් බෙල්ලන්ගෙන් මුතු විශාල ප්‍රමාණ ලැබේ. විදෙස්‌ ලේඛක හර්පොර්ට්‌ විසින් සඳහන් කරන ආකාරයට රජුගේ නියෝජිතයන් විසින් ප්‍රමාණ 09 කින් යුතු සිදුරු සහිත පෙනේර 09 කින් මුතු මනිනු ලැබේ. විශාල ප්‍රමාණයේ මුතු රජුට අයත්ය. එකල හණ ඇටයක්‌ තරම් වූ මුතු කැටයක්‌ පණම් 12 කට තක්‌සේරු විය.

සිරිලක සම්පත් අතර ඇත් සම්පත අතීතයේ සිටම අභිමානයක්‌ එක්‌ කළ වෙළෙඳ භාණ්‌ඩයකි. උසස්‌ කුලයේ ඇතුන් ජීවත් වන රටක්‌ ලෙස අතීතයේ පටන් ඉමහත් ප්‍රසිද්ධියක්‌ ලැබී තිබේ. අතීතයේ ලංකාවේ විශාල ඇත් ගහණයක්‌ ජීවත් වූවද වර්තමානයේ ඇත් ගහණය සීඝ්‍රයෙන් අඩු වී ඇති බව පැහැදිලි වේ. ඇතුන්ගේ වාස භූමි මිනිසුන් විසින් ආක්‍රමණය කිරීම නිසා ඇතුන් සහ මිනිස්‌සු අතර දුරස්‌තභාවයක්‌, විරසක භාවයක්‌ වර්ධනය වීමෙහි ලා හේතුවිය. පැරැන්නෝ විවිධ කටයුතු සඳහා අලි ඇතුන්ගේ සහය ලබාගත්හ. රජුගේ යුද සේනාවේ ඇතා නැතිවම බැරි සත්ත්වයෙක්‌ විය. දුටු ගැමුණු රජුගේ කඩොල් ඇතු, එළාර රජු පරදවා දුටු ගැමුණු රජුට බලය ලබා ගැනීමෙහි ලා සිදු කළ සටන ජය ගැනුමට දැක්‌වූ දායකත්වය විශිෂ්ටය. යුධ සේනා සඳහා ද විවිධ වැඩ කටයුතු සඳහාද අපනයන භාණ්‌ඩයක්‌ වශයෙන්ද ඇතුන් අවශ්‍ය නිසා සිරිලක වැසියෝ ඇතුන් හීලෑ කිරීමට දක්‌ෂයෝ වූහ. විවිධ කුලවලට අයත් ඇතුන් ලංකාවේ විසූ බවත් ක්‍රි. ව. පූර්ව 03 වන ශත වර්ෂයේ සිටම ලංකාවෙන් ඉන්දියාවට අපනයනය කළ බැව් මෙගස්‌තිනීස්‌ගේ වාර්තාවල සටහන් වෙයි. ඉන්දියාවේ ඇතුන්ට වඩා ලංකාවේ ඇතුන් බුද්ධියෙන්, ජවයෙන්, ගාම්භීරත්වයෙන්, විශාලත්වයෙන් උසස්‌ය. ලංකාවේ වනාන්තරවලින් ඇතුන් සොයාගත් වෙළෙඳුන් වනාන්තරවලින් කපාගත් දැවදඩුවලින් තැනූ යාත්‍රා අධාරයෙන් ඉන්දියාවට ඇතුන් ප්‍රවාහනය කළ බැව් මෙගස්‌තිනීස්‌ විස්‌තර කරයි, කාලිංග දේශයේ කලිඟු රජුද තමන්ට අවැසි ඇතුන් ලබාගෙන තිබුණේ සිරිලකෙනි. අනුරාධපුර පාලන සමයේ අශ්වයින් රැගෙන මෙරට වෙළෙ¹මෙහි පැමිණි සේන, ගුත්තික වෙළෙඳුන් අශ්වයන් ඇතුන් ඇතුළු විවිධ භාණ්‌ඩවලට හුවමාරු කරගැනීමට ලංකාවට පැමිණි පසුව ශක්‌තිමත් වී ලංකාව අක්‍රමණය කරනු ලැබීය. ලංකාවේ රජවරුන්ට අතීතයේ පටන්ම ඇත්ගාල් තිබිණි.

ලබන සතියට ...
 

පුරා විද්‍යා විශේෂවේදී
තරංග ලියනාරච්චි

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.