"ඉ-ස්‌වාභිමානි - 2010" පරිගණක මෘදුකාංග තරගාවලියෙන්
කොළඹ සරසවියේ පරිගණක අධ්‍යයනායතනයට සම්මාන

ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ක්‍ෂේත්‍රය ((ICT)) නියෝජනය කරන ප්‍රධානතම ජාතික ආයතනය වන ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) මගින් සංවිධානය කරන ලද ඩිජිටල් අන්තර්ගතයක්‌ සහිත විශිෂ්ටතම පරිගණක මෘදුකාංග සඳහා සම්මාන පිරිනමන "ඉ-ස්‌වාභිමානි 2010" තරගාවලියෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයනායතනය (UCSC) සම්මාන තුනක්‌ සහ විශේෂ කුසලතා සහතික දෙකක්‌ දිනාගෙන ඇත. "ඉ-ස්‌වාභිමානි 2010" තරගාවලියේ ජයග්‍රහකයන්ට සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවය ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ සහ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පසුගියදා පැවැත්විණි. "ඉ-ස්‌වාභිමානි 2010" පරිගණක මෘදුකාංග තරගාවලියට රටේ සෑම අංශයක්‌ම නියෝජනය වෙන ආකාරයට නිර්මාණ 163 ක්‌ පමණ ඉදිරිපත් වී තිබිණ. ඒවා කාණ්‌ඩ 11 ක්‌ යටතේ වර්ගීකරණය කර ජයග්‍රාහකයන්ට සම්මාන ප්‍රදානය කරන ලදී.

UCSC ආයතනයට මෙම සම්මාන හිමිව ඇත්තේ "ඉ-ස්‌වාභිමානි 2010" තරගාවලියට විද්යුත් රාජ්‍ය පාලන කාණ්‌ඩය යටතේ ඉදිරිපත් කළ උපත්, විවාහ සහ මරණ සහතික ඩිජිටල්කරණය කිරීමට සම්බන්ධ "තීක්‍ෂණ" මෘදුකාංගයට, විද්යුත් අන්තර්ගත කාණ්‌ඩය යටතේ භාෂා තාක්‍ෂණ පර්යේෂණාගාරය ඉදිරිපත් කළ, සිංහල භාෂාවට අන්තර්ජාල සේවා ලබා දෙන "සුබස" වෙබ් අඩවි (www.subasa.lk) ව්‍යාපෘතියට සහ සෞඛ්‍ය ක්‍ෂේත්‍ර කාණ්‌ඩයෙන් ශිෂ්‍යයකු ඉදිරිපත් කළ "නිවා-රන" (www.nivarana.lk) ව්‍යාපෘතියට යන ඒවාටය.

විද්යුත් අධ්‍යාපන කාණ්‌ඩය යටතේ UCSC ආයතනයේ භාෂා තාක්‍ෂණ කණ්‌ඩායම ඉදිරිපත් කළ "ශික්‍ෂණ" ව්‍යාපෘතියට සහ විද්යුත් ඉගෙනුම් මධ්‍යස්‌ථානය ඉදිරිපත් කළ VLE විවෘත ඉගෙනුම් ව්‍යාපෘතියට විශේෂ කුසලතා සම්මාන දෙක හිමි වී ඇත.

මේ පිළිබඳ අදහස්‌ දැක්‌වූ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයනායතනයේදී (UCSC) අධ්‍යක්‍ෂ මහාචාර්ය ගිහාන් වික්‍රමනායක මහතා පැවැසුවේ මේ වසරේ ජාතික සහ ජාත්‍යන්තර මට්‌ටමේ තරගාවලි තුනකින් UCSC අයතනය සම්මාන හිමි කරගත් බවයි. තොරතුරු තාක්‍ෂණ වරලත් ආයතනයෙහි ශ්‍රී ලංකා ශාඛාව විසින් සංවිධානය කරන ලද, පසුගිය ඔක්‌තෝබර් මාසයේ පැවැති විශිෂ්ටතම පරිගණක මෘදුකාංග සඳහා සම්මාන ප්‍රදානය කරන 2010 ජාතික තරගාවලියෙන් (NBQSA-2010) රන් සම්මානයක්‌, රිදී සම්මානයක්‌, ලෝකඩ සම්මාන දෙකක්‌ සහ කුසලතා සම්මාන දෙකක්‌ ද, අන්තර්ජාතික ආසියා ශාන්තිකර තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ සන්ධානය විසින් සංවිධානය කරන ලද පසුගිය ඔක්‌තෝබර් මාසයේ මැලේසියාවේ පැවැති විශිෂ්ටතම පරිගණක මෘදුකාංග සඳහා සම්මාන පිරිනමන APICTA  - 2010 ජාත්‍යන්තර තරගාවලියෙන් ද කුසලතා (Merit) සම්මානයක්‌ ද දිනා ගත් බව ඔහු වැඩිදුරටත් පැවැසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.