බටහිර නූතනත්වයේ කඩාවැටීම හා අපේ විකල්පය

බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය ඇති වී දැනට අවුරුදු පන්සියයකට ටිකක්‌ වැඩිවෙයි. එහි ආරම්භයෙහි වූයේ මිචලාංජිලෝ (ඉංගිරිසියෙන් මයිකල් ඇංජිලෝ) ලෙනදෝ දා විංචි වැනි කලාකරුවන්ය. බටහිරයන් සාමාන්‍යයෙන් පුනරුදය යෑයි කියන්නේ බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයේ ආරම්භයටය. නූතනත්වයෙහි ප්‍රධාන ලක්‍ෂණ අතර කතෝලික සමූහිකත්වය අභිබවා ක්‍රිස්‌තියානි පෞද්ගලිකත්වය නැඟී සිටීම වෙයි. 1505 දී ඉතාලියෙහි පිරෙන්ට්‌සි (ඉංගිරිසීන්ට ෆ්ලොරන්ස්‌) නගරයේ මිචලාංජිලෝ නිර්මාණය කළ ඩේවිඩ් නම් ප්‍රතිමාව නැඟී ආ පෞද්ගලිකත්වයෙහි සංකේතය ලෙස සැලකිය හැකිය. ඉන්පසුව මාටින් ලූතර් වැන්නන්ගේ කතෝලික පල්ලියට විරුද්ධව කළ අරගලය විය. ක්‍රිස්‌තියානි ආගම්වලට මුල පිරුණේ මේ අරගලය ඔස්‌සේය. ඊනියා පුනරුදය සමග යුරෝපීය චින්තන විප්ලවයක්‌ ද සිදුවිය. කතෝලික චින්තය වෙනුවට ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනය ඉදිරියට පැමිණියේය. බටහිර විද්‍යාව ඇතුළු බටහිර නව දැනුම නිර්මාණය වූයේ මේ නව චින්තනයෙහිය. 1642 දී ගැලිලියෝ මිය යන විට නව චින්තනය ඉතාලියෙන් එංගලන්තයට ද සංක්‍රමණය වී තිබිණි. ඒ වසරේ අග නිව්ටන් එංගලන්තයේ ඉපදිණි. නිව්ටන් මේ චින්තනය විසින් බිහිකරන ලද ඉහළම බුද්ධිමතා විය.

ඉන්පසු එංගලන්තයේ කාර්මික විප්ලවය සිදුවිය. එමගින් ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයෙහි ආර්ථිකයට පදනම වැටිණි. එහි දේශපාලනය පළමුව එංගලන්තයේ සිදු වූ ක්‍රොම්වෙල්ගේ විප්ලවය ද පසුව ප්‍රංශ විප්ලවය ද මගින් තහවුරු කෙරිණි. මේ දේශපාලන හා ආර්ථික විප්ලවලට ඇතැම් විට ධනපති විප්ලවය යෑයි කියනු ලැබේ. බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයෙහි ප්‍රධාන රටවල් දෙක වූයේ එංගලන්තය හා ප්‍රංශය ය. ප්‍රංශය බොහෝ විට කලා ශිල්පවලට ද බුද්ධිමය විප්ලව වලටද ද නායකත්වය දුන්නේය. අලෝකනය, බුද්ධිවාදය හෙවත් හේතුවාදය ආදිය ප්‍රංශයෙන් ලැබුණු දේ ය. එහෙත් නව චින්තනයට දර්ශනය සැපයුයේ ජර්මනිය ය. වියුක්‌ත චින්තනය ජර්මනියෙන් නැගෙනහිරට වූ යුරෝපයේ උරුමයක්‌ මෙන් විය. ජර්මනියේ (බර්ලින් තාප්පයෙන්) නැගෙනහිරට වූ රටවල යුදෙව්වෝ වියුක්‌ත චින්තනයෙහි කප්පිත්තෝ වූහ. පෞද්ගලිකත්වය, වියුක්‌ත චින්තනය, ඉන්ද්‍රීය පිනවීම, ස්‌වභාව ධර්මය මවා ඇත්තේ මිනිසුන් වෙනුවෙන් යෑයි ගනිමින් එය සූරා කෑම ආදිය බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයෙහි ප්‍රධාන කුළුණු විය. අයින්ස්‌ටයින්ගේ වියුක්‌ත පෞද්ගලික දෙවියා මේ සියල්ල සංකේතවත් කෙළේය. අයින්ටයින් දොස්‌නොවිස්‌කි, චයිකොවිස්‌කි, පිකාසෝ ආදින් විවිධ ක්‍ෂෙත්‍රවල නිර්මාණ කළ ද ඔවුහු සියලු දෙනා වියුක්‌තය මගින් එක්‌කරනු ලැබූහ.

බටහිර විද්‍යාව, බටහිර දර්ශනය, ධනවාදී ආර්ථිකය, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආදිය බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයෙහි හා එහි පදනම වූ ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි ප්‍රතිඵල විය. මේ එකක්‌වත් ක්‍රිස්‌තියානි ආගම්වලින් වෙන් නොවීය. ආගමක්‌ වුවද බිහිවන්නේ සංස්‌කෘතියක හා චින්තනයකය. අවුරුදු පන්සියයකට ආසන්න කාලයක්‌ නූතනත්වය වර්ධනය විය. ලෝකයේ අනෙක්‌ චින්තන, ආකල්ප විනාශ කිරීමට, බැරිනම් දුර්වල කිරීමට නූතනත්වය කටයුතු කෙළේය. නූතනත්වයෙන් බැට කෑ ප්‍රධානම "වස්‌තුව" වූයේ ස්‌වභාව ධර්මයය. පරිසරය රැකීම යන්න නූතනත්ව පඬියන්ගේ තවත් ව්‍යාජයක්‌ මිස අර්ථවත් දෙයක්‌ නොවේ. බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයට හා බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියට පරිසරය රැකීම යන්න ආගන්තුක වූවකි. බටහිරයන්ට රැකිය හැකි පරිසරයක්‌ නැත. පරිසරය රකින්නේ නම් බටහිර ක්‍රිස්‌තියානු නූතනත්වයක්‌ තිබිය නොහැකි ය. ඔවුන්ගේ පරිසර රැකීම් කතා විහිළුවලට වඩා වැඩි නොවේ. ඊනියා හරිත විප්ලවය, කාබනික ගොවිතැන, විකල්ප වෙදකම් ආදිය බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය හා එහි ආධිපත්‍ය තව දුරටත් රැකගැනීමට කරන හෙයියම්මාරු පමණකි. මේ පැලැස්‌තර ඇලවීම්වලින් තවදුරටත් බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය රැකගැනීමට හැකියාවක්‌ නැත.

1935 න් පසු බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයෙහි බිහිවී ඇති එකම වැදගත් සංකල්පය බටහිර අණුක ජීවවිද්‍යාවෙහි දක්‌නට ලැබෙන ද්විත්ව හෙලික්‌සය පිළිබඳ ගෙතී ඇත. වොට්‌සන් හා ක්‍රීක්‌ගෙන් පසු බටහිර ජීවවිද්‍යාවටද භෞතික විද්‍යාවේ ඉරණම ම හිමි වී ඇත. බටහිර භෞතික විද්‍යාව එකතැන පල්වෙන මඩගොහොරුවක්‌ බවට පත්වී ඇත. ස්‌ටීවන් හෝකින් යනු ඉංගිරිසි ජනමාධ්‍යවලින් ඔහුගේ අසනීපයද උපයෝගී කරගනිමින් පුම්බනු ලැබූ අයකු පමණය. බටහිර ගණිතය අද ඊනියා සාධන සඳහා පරිගණක පසුපස ගමන් කරන අසරණයකු බවට පත්වී ඇත. එහි ගර්ඩිල් ප්‍රමේයය. ක්‌වොන්ටම් භෞතික විද්‍යාවේ සංකල්පීය ඇනහිටීම ආදියෙන් පෙන්නුම් කෙරෙන්නේ ඇරිස්‌ටෝටලීය න්‍යායෙහි ඇති අසම්පූර්ණත්වය. තවදුරටත් බටහිර දොස්‌තොවිස්‌කි මට්‌ටමේ නවකතා කරුවෝ බිහි නොවෙති. හරිහමන් නාට්‍යයක්‌ කලකින් ලියෑවී නැත. නවකතාව, නාට්‍යය, සිනමාව ආදී මේ සියල්ල හුදු ආකෘතික සෙල්ලමක්‌ බවට පත්වී ඇත. කුන්දේරා තම ආර්ට්‌ ඔෆ් ද නවල් කෘතියෙන් උත්සාහ කරන්නේ මේ (භාෂාත්මක) ආකෘතික සෙල්ලමට පිළිගැනීමක්‌ හා හැකිනම් ඊනියා සම්භාව්‍යත්වයක්‌ අත්කර දීමටය. බටහිර ජනමාධ්‍ය විසින් දෙනු ලබන ප්‍රචාරය නොවන්නට බටහිර කලාවෙහි ඊනියා සම්භාව්‍ය කෘති බිහි නොවේ. සම්භාව්‍ය කෘති නැති විට බටහිර සමාජ විද්‍යාඥයන්ට ඊනියා ජනප්‍රිය කලාවන්ට සම්භාව්‍යත්වයක්‌ අත්කර දීමට සිදුවී ඇත. මයිකල් ජැක්‌සන් ඊනියා ප්‍රාසාංගික කලාවක වීරයා බවට බටහිර ජනමාධ්‍ය විසින් පත්කරනු ලැබිණි.

බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයෙහි හා බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයෙහි කඩාවැටීම දහනවවැනි සියවසෙහි සිටම දක්‌නට ලැබිණි. එහිදී එයට පිළියම් යෙදීමට බටහිර බුද්ධිමත්තු දෙපැත්තකින් ඉදිරිපත් වූහ. එක්‌ පිරිසක්‌ ආපසු කතෝලික චින්තනයේ සාමූහිකත්වයට යැමට උත්සාහ කළහ. අනෙක්‌ පිරිස පෙරදිග, විශේෂයෙන්ම බෞද්ධ චින්තනවලට නැඹුරු වූහ. මාක්‌ස්‌වාදය හා එහි නිවුන් දරුවා වූ නට්‌සිවාදී ෆැසිස්‌ට්‌වාදය බිහිවූයේ කතෝලික චින්තනයෙහිය. ඒ දෙකම කෙළවර වූයේ ලෝකයට ශාන්තියක්‌ අත්කර දීමෙන් නොව මිනිසුන් ලේ විල්වල ගිල්ලවීමෙන් පසුවය. කතෝලික චින්තනයට හා එහි නිර්මාණය වන කිසිවකට බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයෙන් ඉඩක්‌ නොලැබෙයි. ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් ඒ බව සනිටුහන් විය. කතෝලික චින්තනයෙන් බිහි වූ හිට්‌ලර්ගේ ෆැසිස්‌ට්‌වාදය මඬින්නට ඒ චින්තයෙන්ම ම බිහි වූ ලෙනින් ස්‌ටැලින්වාදී සෝවියට්‌ දේශය උපයෝගි කරගත් චර්චිල් විසින් සංකේතවත් කෙරුණු බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය ඉන්පසුව ඒ ඊනියා ලෝක යුද්ධයෙන් ම බිහි වූ නැගෙනහිර යුරෝපීය රටවල ලෙනින් ස්‌ටැලින්වාදී සමාජවාදය නැතිකිරීමට පාප් වහන්සේ ම යොදා ගත්තේය.

අද පාප් වහන්සේ බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයට තවදුරටත් සේවය කිරීමට බැදී සිටින සිරකරුවකු පමණ ය. රෝමයෙහි කොටුවී ඇති වතිකානුවට බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය නොවන්නට විසි එක්‌ වැනි සියවස වන විට පැවැත්මක්‌වත් නැතිවන බව මාටින් ලූතර්ට දැනගැනීමට ක්‍රමයක්‌ නො තිබිණි. කතෝලික චින්තනයෙහි බිහි වූ මාක්‌ස්‌වාදය හා නට්‌සිවාදය මෙන් නොව බෞද්ධ හා පෙරදිග චින්තනයන්ගෙන් බිහි වූ දැනුම බුද්ධිමතුන් පිරිසකට පමණක්‌ සීමා විය. නීට්‌ෂේ, ෂෝපන්ගෝචර ආදීන් පමණක්‌ නොව ෂුමාකර් හා ෆ්රොම් ද බටහිර රටවල සාමාන්‍ය ජනතාවගේ අවධානයට ලක්‌ නොවේ. මේ උගතුන් බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයට බුදු දහම අවශෝෂණය කිරීමට ගත් වෑයම විය යුතු පරිද්දෙන් ම අසාර්ථක විය. ඒ වැදගත් වන්නේ සූත්‍ර පිටකය පසෙකලා නීට්‌ෂේ ආදීන්ගේ අර්ථකථන පසුපස දුවන මෙරට බෞද්ධ උගතුන්ටය.

බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය කඩාවැටීම යනු මාක්‌ස්‌වාදීන් දක්‌වන ඊනියා කම්කරු පංති විප්ලවය වැන්නක්‌ නො නොවේ. ඒ චින්තනයක කඩා වැටීමකි. ජීවන දෘෂ්ටියක කඩා වැටීමකි. පෞද්ගලිකත්වය ඉස්‌මතු කරන බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයෙහි පුද්ගලයා රාජ්‍යයට එරෙහිව ඉදිරිපත් කෙරෙයි. ඊනියා මානව අයිතිවාසිකම් සංකල්පය පැන නඟින්නේ මේ ද්වෛතය ඔස්‌සේය. විකිලීක්‌ස්‌ යනු ඊනියා පුද්ගලයාගේ අයිතිය පැත්තෙන් පැන නඟින්නකි. එහෙත් එය රාජ්‍යයට එරෙහිව යෑයි බටහිරයන්ට මේ ගැටලුවට පිළිතුරු නැත. සමස්‌තයට එරෙහිව පුද්ගලයා ඔසවන විටම සමාජයද අර්බුදයට යෑයි ස්‌වභාව ධර්මයට එරෙහිව පුද්ගලයාව ඉස්‌මතු කරන විට පරිසර ගැටලු පැනනඟියි. විවිධ වූ මෙවැනි ගැටලු හමුවේ බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයට එතරම් ආයුෂ කාලයක්‌ ඉතිරි වී නැත. අද බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයට විකල්පය වන්නේ සිංහල බෞද්ධ චින්තනය අපේ පැරැණි වෙදකම, ගොවිතැන, වඩුකම, දර්ශනය ආදී සියල්ල ඒ චින්තනයෙහි ඇති විය. සම්‍යයක්‌ දෘෂ්ටික දෙවි දේවතාවන් සමග එක්‌ වී අපට අවශ්‍ය දැනුම සපයාගත හැකිය. ඒ දැනුම යනු සත්වයන් නිවන් මඟට යොමු කිරීමට හා ඒ සඳහා මිනිසුන් මෙන්ම අනෙක්‌ සතුන් ද ජීවත්කරවීමට වුවමනා ප්‍රමාණයට පරිසරය සමග සහජීවනයෙන් කටයුතු කිරීමට අවශ්‍ය දැනුම වෙයි. වැව් නිම කෙරුණේ ද හෙළ ගොවිතැන හා වෙදකම කෙරුණේ ද සිංහල බෞද්ධ චින්තනයෙහි ය. බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයෙන් සම්පත් විනාශ කරමින් ලෝක විනාශය කරා යන ගමනට විකල්පයක්‌ අප සතු වෙයි. එය ලෝකයාට දීමට අපට හැකිය. එය ධර්ම විජයක්‌ මිස දිග් විජයක්‌ නොවේ. අවුරුදු දෙදහස්‌ තුන්සියයකට පෙර ධර්මාශෝක රජතුමා අශෝක බෞද්ධ චින්තනය ආසියාවට හඳුන්වා දුන්නේය. මහින්ද රාජපක්‍ෂ මහතාට සිංහල බෞද්ධ චින්තනය ලෝකයට හඳුන්වා දිය හැකිය. එතුමා මෙතෙක්‌ කළාක්‌ මෙන් බටහිර හා ඉන්දීය බලපෑම් හමුවේ නොසැලී ඉන්ද්‍ර‚ලයක්‌ ලෙස හිඳිමින් එතුමාට ලක්‍ෂ ගණනින් ඡන්දය දුන් සිංහල බෞද්ධයන්ගේ අපේක්‍ෂා ද ඉටු කරමින් මේ කාර්යයට අතගැසිය යුතු යෑයි කල්පනා කරමි. ලංකාවට ආසියාවේ නොව ලෝකයේ ආශ්චර්ය විය හැකිය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.