මහින්ද-රනිල් හා සජිත්

දෙසැම්බර් 12 වැනිදා පැවැත්වුණු එජාප විශේෂ සමුළුවේදී එජාපය ඒකමතිකව නව ව්‍යවස්‌ථාවක්‌ සම්මත කරගත් බව සත්‍යයකි. එහෙත් ඉන් පසු එජාපයේ නව වෙනස ඉල්ලා සිටින කොටස්‌වල අපේක්‌ෂාවන් ඉටු වී තිබේද? රනිල් හා සජිත් සිරිකොත සමුළුවේදී අනිත් අය සමඟ අත් අල්ලා ගෙන සිටියත් ඉන්පසු සිදු වූයේ කුමක්‌ද? යනාදී ප්‍රශ්න මේ වන විටත් දේශපාලන ක්‌ෂේත්‍රයේ මතු වී තිබේ.

එජාපය මේ රටේ ප්‍රබල ජන පදනමක්‌ තිබෙන පක්‌ෂයක්‌ පමණක්‌ නොව රටේ පාලන බලයද වරින්වර හිමිකරගත් පක්‌ෂයක්‌ද වේ. එසේම අද බිහි වී තිබෙන ජනාධිපති ක්‍රමය පමණක්‌ නොව මෙම වෙළෙඳ පොළ ආර්ථිකය ඇතුළු පෞද්ගලික ක්‍රමයද එජාපය විසින්ම සමාජගත කරන ලද්දකිs. 1977 බලය අල්ලා ගත් ෙ-. ආර්. ජයවර්ධන ක්‍රියා කළේ කිසිදු ජනමතයකට සවන් නොදෙන ඔහුගේම ඉලක්‌කයක්‌ වෙත යැම සඳහාය.

අද ජනාධිපති මහින්ද රාජපක්‌ෂට ඒකාධිපති වියරුවක්‌ ගැන චෝදනා කරන එජාප නායකයන් පළමුව සිය හෘදය සාක්‌ෂියෙන් අසා පිළිතුරු ලබා ගත යුතු ප්‍රශ්න එකක්‌ දෙකක්‌ නොව ගණනාවක්‌ම තිබේ. ෙ-. ආර්. බලයට පත්වීමත් සමගම ඔහුට වුවමනා වූයේ එම බලය සදාකාලිකවම තමන්ටත් ඉන්පසු තමන්ගේ පක්‌ෂයටත් පවත්වා ගෙන යා හැකි ක්‍රමයකට මතුවීමට බව මේ රටේ දේශපාලන විද්වතකු මෙන්ම ෙ-. ආර්. ගේද සමීප හා සමකාලීන මිත්‍රයකුද වූ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා කියා සිටියේය.
ෙ-. ආර්. රටේ ආණ්‌ඩුක්‍රමය තමන්ට වුවමනා පරිදි වෙනස්‌ කළා පමණක්‌ නොව තම පක්‌ෂයේ නායකයාට ඒකාධිපති බලයක්‌ හිමි වන ආකාරයට පක්‌ෂයේ ව්‍යවස්‌ථාවද වෙනස්‌ කළේය. ඔහු හඳුන්වා දුන්නේ පක්‌ෂයේ නායකයාට කෘත්‍යාධිකාරී මණ්‌ඩලයම පත් කළ හැකි ක්‍රමයකි. ෙ-. ආර්. ගේ පියසටහන් ඔස්‌සේ ඇදී යන රනිල් ද 1994 දී පක්‌ෂයේ නායකයා යාවජීව කරන ව්‍යවස්‌ථාවක්‌ සම්මත කර ගත්තේය. ඒ අනුව රනිල් නායකත්වයෙන් ඉල්ලා අස්‌වුවහොත් හැර ඔහු එයින් ඉවත් කළ හැකි නොවේ. එසේත් නැත්නම් ඔහු මිය යා යුතුය.

රනිල් ඒ ව්‍යවස්‌ථාව කදිම ආවරණයක්‌ ලෙස යොදා ගෙන මැතිවරණ 16 ක්‌ එක දිගටම පරාජය වෙමින් තබන ලද වාර්තාව පක්‌ෂය ඇතුළේම විවේචනයට ලක්‌ වුවද එයට කළ හැකි දෙයක්‌ නොවීය. එජාපයේ ඉතිහාසය තුළ එකම දේ සිදුවී තිබේ. ඒ නායකත්වය අරභයා ඇති වූ ගැටුම්ය. විටෙක සීතල යුද්ධ ලෙස ඇරඹි අන්තිමේදී ගැටුම් බවට පත්වූ ඒ නායකත්වයට ඇති වූ පොරය කෙබඳු දැයි එජාපයේ පැරණි නායකයෝ දනිති.

කෙසේ හෝ ෙ-. ආර්.ගෙන් රණසිංහ ප්‍රේමදාසට බලය හිමි වන්නේද අමුතුම ආකාරයකටය. ධනවාදී හිසක්‌ තිබුණු ෙ-. ආර්. එම ධනපති කඳවුරෙන්ම බිහිවූ කදිම චරිතයකි. එහෙත් ප්‍රේමදාස ඊට වඩා වෙනස්‌ පොදුජන මනසක්‌ සහිත එජාපයට බද්ධ කළ හිසක්‌ විය. ෙ-. ආර්. සිය ඊළඟ නායකයා ලෙස හදවතින් පිළිගත්තේත් ආශීර්වාද කළේත් ප්‍රේමදාසට නොවුවද ඔහුගේ දෛවයට හරස්‌ වීමට ෙ-. ආර්. ට නොහැකි විය. එහෙත් ෙ-. ආර්. ප්‍රේමදාස සමඟ ගැටුමකට යැම වෙනුවට වෙනත් සියුම් ක්‍රම අත්හදා බැලූ බවද නොරහසකි.
ෙ-. ආර්.ගේ සැලසුම් හා ප්‍රාර්ථනා කිසිවක්‌ එජාපයට ඉටු කරගත නොහැකි වූවා පමණක්‌ නොව එහි සිටි ප්‍රබල නායකයන් සියලු දෙනාම පාහේ විනාශ වී යැමෙන් පසු රනිල් වික්‍රමසිංහ එජාප නායකයා විය. ෙ-. ආර්. ට කපා දැමිය නොහැකි තරමට ප්‍රෙAමදාස බලවත් වූ ආකාරයටම සජිත් ප්‍රේමදාස ද එජාපය තුළ නැගී සිටියේය. මේ නැගී සිටීම වළක්‌වා ලීමට රනිල් මෙන්ම ඔහුගේ කොළඹ බල කඳවුරද දැරූ හැම තැතක්‌ම නිෂ්ඵල විය.

සජිත් සිය පියාගේ දේශපාලන බලකොටුව වූ මැදකොළඹ අතහැර රුහුණට පලා ගියේ කිsසියම් දේශපාලන ඉවකින් දැයි නොදනිමි. එහෙත් ඔහු මේ වන විට ඉබේටම රාජපක්‌ෂ අඩවියේ සිටින ප්‍රබල එජාප චරිතය බවට පත්ව සිටියි. සජිත් කියන ආකාරයටම කොළඹ ටයිකෝට්‌කාරයන්ට වඩා මේ මහ පොළවෙන් මතු වූ ප්‍රේමදාසගේ පුත් සජිත් පක්‌ෂය තුළ ජනප්‍රියම චරිතය බවට අද පත්ව සිටියි. රනිල් සහ ඔහුගේ කොළඹ මිත්‍ර සමාගමට වඩා සජිත් ගේ දේශපාලනය ආකර්ෂණීය විය. ඔහු ගම දිනාගත යුතු බව නිවැරදිව තේරුම් ගෙන ඒ ඔස්‌සේ ඈත හම්බන්තොටට වී කඳවුරු බැඳ සිටියේය.

කොළඹ හා හම්බන්තොට එජාප කඳවුරුවලින් සටන ආරම්භ වී දෙපිළ ජනමාධ්‍ය ඔස්‌සේ ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කර ගනිමින් කලක්‌ පසු වූහ. රනිල්ගේ නායකත්වය ඔස්‌සේ කෙරෙන වැඩවලට දායක නොවීම හෝ අඩුවෙන් දායක විම සජිත්ගේ ක්‍රමය විය. ඔහු ඒ සමගම රනිල්ගේ අසමර්ථ භාවය පක්‌ෂයේ පහළ මට්‌ටමේ සාමාජිකයන් තුළ කාවැදීමටද සමත් විය. රනිල් පක්‌ෂයේ සංශෝධන ඉල්ලූ අය ගණන් නොගෙනම ක්‍රියා කළේය. ඒ පක්‌ෂය තුළ නායකයා ලෙස ඔහුට හිමිවී තිබෙන සුපිරි බලය නිසාය.

ජනාධිපති මහින්ද රාජපක්‌ෂගේ ආකර්ෂණීය දේශපාලනයත් සමග එජාපය පමණක්‌ නොව ජවිපෙද බරපතල පසුබෑමකට ලක්‌වෙමින්ද තිබුණි. මහින්ද දෙවැනි වර ජනාධිපති සටනට සැරසෙද්දී රනිල්ට හෝ ජවිපෙට ඔහුට මුහුණ දිය හැකි ශක්‌තියක්‌ද නොවීය. සරත් ෆොන්සේකා ඉදිරියට එන්නේ ඒ අනුවය. එහෙත් ෆොන්සේකාට එජාපයේ නායකයා ලෙස රනිල් ගත් ඡන්ද ප්‍රමාණයවත් ලබාගත නොහැකි විය. අනතුරුව පැමිණි මහ මැතිවරණයේදී රනිල් වෙනමත් ජවිපෙ හා සරත් ෆොන්සේකා එක්‌වත් තරග කරන අතර එයින්ද මහින්දට ලැබෙන්නේ තුනෙන් දෙකකට ආසන්න බලයකි.

මහින්ද දෙවන වර දිවුරුම් දෙන්නේ ඉතා ශක්‌තිමත් පාර්ලිමේන්තු කණ්‌ඩායමක්‌ද සහිතවය. අද ඔහු තුනෙන් දෙකකට වඩා බලයක්‌ ලබාගෙන ඇතුවා පමණක්‌ නොව 18 වන සංශෝධනයද වෙනස්‌ කර ගැනීමට තරම් ප්‍රබල නායකයකු බවටද පත්ව සිටියි. මහින්දගේ දෙවන නිලකාලය ඇරඹෙන විට රනිල්ට එරෙහිව පක්‌ෂය තුළ විශාල හඬක්‌ නැගූ ලක්‌ෂ්මන් සෙනෙවිරත්න මෙන්ම අබ්දුල් කාදර් ද මහින්දට එක්‌ව සිටියහ. මහින්ද අතහැර රනිල්ට එකතු වූයේ මංගල සමරවීර හා විජයදාස රාජපක්‌ෂ පමණි. අර්ජුන රණතුංගද වෙනම සරත් ෆොන්සේකාගේ පිලට එක්‌ව සිටියි.

රනිල්ට වැරදුනේ කොතැනද? රනිල් ජාතිකත්වය හා සංස්‌කෘතික අනන්‍යතාව අතින් සිටියේ මහින්දට වඩා ගව් ගණනක්‌ පිටිපස්‌සේය. මහින්ද දේශප්‍රේමී හා දේශ හිතෛෂී වෙද්දී රනිල් හා එජාපය වෙනත් මගක ඇදුණි. රනිල් චන්ද්‍රකා ජනාධිපතිනියගේ සමයේ අගමැති ලෙස සිටි කාලය තුළ කළ දේවල්ද ජනතාවගේ විරෝධයට මෙන්ම කලකිරීමටද හේතු විය. ඔහුට වඩාත් විවේචනයක්‌ එල්ල වූයේ සටන් විරාම ගිවිසුම නිසාය. එසේම ඔහු මහින්ද ආරම්භ කළ මානුෂික මෙහෙයුම්වලටද සරදම් සිනා පෑවේය. ඒ මෙහෙයුම්වලට යුද නායකත්වය දුන් එවක හමුදාපතිව සිටි සරත් ෆොන්සේකාටද රනිල්ගේ කඳවුරෙන් එල්ල වූයේ අවමන් ගැරහුම්ය.

මහින්ද ඒ සියල්ල සාවධානව අසාගෙනම සිය අරමුණ දිනා ගැනීමට කැපවීය. ගෝඨාභය හා බැසිල් රාජපක්‌ෂ සොහොයුරන් සමග ප්‍රභාකරන් ප්‍රමුඛ බටහිර බලවේගයන්ටද අභීතව මුහුණ දුන් මහින්ද ඒ සියලු දෙනාම විස්‌මයට පත් කරමින් ප්‍රභාකරන් බිම දමා සදා කාලයටම නිහඬ කළේය. එහෙත් රනිල් මෙන්ම ඔහුගේ ඇතැම් සගයෝද මහින්දට බාධා කරන බටහිර සමග සිට ගත්හ. රනිල් මව්බිමට එරෙහිව බටහිරයන් සමග එක්‌ව සිටින බවටද චෝදනා නැගුණි. විශේෂයෙන් යුරෝපීය සංගමය ප්‍රමුඛ බටහිරයන් ශ්‍රී ලංකාවට හතුරුකම් කරද්දීත් රනිල් කර බාගෙන සිටි බවද චෝදනා නැගුණි.

සජිත් ප්‍රේමදාස එජාපය තුළ ගොඩ නැගෙන්නට වූයේ රනිල්ගේ ඒ වැරදි ආදර්ශයට පිටුපාමින්ය. ඔහු ඒ දිනවල ප්‍රසිද්ධ වේදිකාවලදී සමහර විට කළ ප්‍රකාශයක්‌ වූයේ මහින්ද යන්නේ සිය පියා ගිය මඟ බවය. එහෙත් මහින්ද ගියේ මහින්ද විසින්ම ගොඩනඟා ගත් මහින්ද චින්තන වැඩපිළිවෙළ අනුවය.

චන්ද්‍රිකා කුමාරතුංග සමග සීතල යුද්ධයක පැටලුණු මහින්ද ගමත් පන්සලත් සමග වඩ වඩාත් ළංවිය. වරක්‌ චන්ද්‍රිකා කියා සිටියේ මල්වට්‌ටි හිස මත තබා නොගියත් තමාත් හොඳ බෞද්ධ කාන්තාවක්‌ බවය. එහෙත් ජනතාව චන්ද්‍රිකා පිළිගත්තේ දෙමළ ලොබියෙහි සිටින ලිබරල් නායිකාවක ලෙසය. ඇය එක්‌තරා ප්‍රමාණයකට රනිල් ළංව සිටි නෝර්වේ සමගද සබඳතා ගොඩනංවා ගෙන සිටියාය.

මහින්ද ඉතා නිවැරදිව ග්‍රහණය කරගත් ජාතික අනන්‍යතාව හා සංස්‌කෘතික වටිනාකම් ගැන රනිල් උනන්දු වූයේම නැත. මේ රටේ දේශපාලනය අදත් ඇඳී තිබෙන්නේ ඒ ජාතිකත්වය සමගය. මහින්ද දෙස බලා සජිත් ද පන්සල්වලට යැමට පටන් ගත්තා පමණක්‌ නොව පන්සල්වලට ආධාර අනුග්‍රහ කිරීමටද පටන් ගත්තේය. එහෙත් එය මහින්දගේ මාවත තරම් පැහැදිලි එකක්‌ නොවීය. එක්‌ හේතුවක්‌ ප්‍රේමදාස පවුල පිළිබඳව හා ආගමික පසුබිම් පිළිබඳව පැතිරී ගිය කතාය. ඔවුහු කිසියම් අන්‍යාගමික නිකායකට බැඳී සිටිතියි සමහරු කීහ. සජිත් එහිදී තමා එයට අයත් නොවන බව කීවත් එය ජනතාව පිළිගන්නේද යන්න සැක සහිතය.

මේ රටේ දේශපාලනය තුළ වඩාත් වැදගත් වන්නේ පන්සල හා සිංහල බෞද්ධ සංස්‌කෘතික පසුබිමය. මහින්ද එය මැනවින් තේරුම් ගත් නායකයා පමණක්‌ නොව බෞද්ධ මහනාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයේද ආශීර්වාදය නොමඳව දිනාගත් නායකයාද වේ. රනිල් ට හෝ සජිත්ට එය තවමත් ගොඩනගා ගත හැකිවී නැත. අද මහින්දගේ ක්‍රියා මාර්ගය අනුමත කරන ප්‍රබලම භික්‌ෂුන් වහන්සේ නමක්‌ ලෙස ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝද කැපී පෙනෙති. උන්වහන්සේ කවදත් රට දැය වෙනුවෙන් නොබියව අදහස්‌ ප්‍රකාශ කළ හිමිනමකි. රනිල්ගේ ක්‍රියාකාරකම් උන්වහන්සේගේ විවේචනයට පවා ලක්‌ විය.

එජාපයේ පරිහානිය උන්වහන්සේද දැක තිබුණු නිසැකය. සජිත් පන්සල තෝරා ගෙන තිබුණත් තවමත් මේ රටේ නාහිමිවරුන් අත හෝ මහා සංඝරත්නය අතර මහින්ද තරම් ප්‍රබල චරිතයක්‌ද නොවේ. සජිත් එජාපයේ ඓතිහාසික වරදක්‌ නම් නිවැරදි කර තිබේ. ඒ මේ රටේ යුද අපරාධ සිදු නොවූ බවට කළ ප්‍රකාශයයි. එජාපයේ නියෝජ්‍ය නායක කරු ජයසූරියට පවා ඔහු විසින් කරන ලද ප්‍රකාශයක්‌ අද පාරාවළල්ලක්‌ වී තිබේ. සජිත්ගේ දේශපාලන ඉවට මේ කාරණය නම් හොඳින් පෙනී ගොස්‌ තිබේ.

අනෙක්‌ අතට එජාප විශේෂ සමුළුව තුළ සම්මත වූ නව ව්‍යවස්‌ථාව නිසා පක්‌ෂය එක්‌වී ශක්‌තිමත් වී තිබේද? මේ පිළිබඳව නිගමනයක්‌ දීමට වේලාසන වැඩි වුවද පක්‌ෂ සම්මේලනයෙන් පසු යළිත් සජිත් පිල හා රනිල් පිල අතර වාග් සංග්‍රාම. නම් ඇරඹී තිබෙන බව කිව යුතුය. සජිත්ගේ සම්ප්‍රාප්තිය නුදුරු අනාගතයේම සිදුවන බව විශ්වාස කරන අය මෙන්ම එය විවේචනය කරන අයද සිටිති. එක්‌ ප්‍රාදේශීය නායකයෙක්‌ කළ ප්‍රකාශයක්‌ මෙසේය.

"එජාපය හොඳ ශක්‌තිමත් පක්‌ෂයක්‌. එහි මුදුන් යටලීය බුරුත එකක්‌. ඒක ඇද නම් එතැනට යළිත් දැමිය යුත්තේ බුරුත කඳක්‌ මිසක්‌ ඇල්බීසියා කොටයක්‌ නොවෙයි."

ඔහුගේ එම විවේචනය එල්ල වන්නේ සජිත්ටය. බුරුත කඳ රනිල්ය. ඇල්බීසියා කොටය සජිත්ය. සජිත් පාර්ශ්වයෙන් කළ එක්‌ විවේචනයක්‌ මෙසේය.

"එදා සිරිකොතට ආපු සෙනඟ පෙන්වන්නේ සජිත්ගේ ජනප්‍රියත්වයයි. දහදාහකට වැඩි පාක්‌ෂිකයන්ගේ ඉල්ලීම සජිත්. දෙසිය පනහක්‌ විතර රනිල් ඉල්ලුවා. ඉතින් අපි තෝරා ගන්නේ අර දහදාහේ ඉල්ලීමද? නැත්නම් දෙසිය පනහේ ඉල්ලීමද?"

මේ ෂෙල් වෙඩි ප්‍රහාර මැද්දේ රනිල් වෙනමත් සජිත් වෙනමත් පුවත්පත් සාකච්ඡා දෙකක්‌ද පවත්වා තිබේ. ඒ දෙකම වෙන වෙනම පැවැත්වීම පිළිබඳව මොන දේවල් කීවත් එයින් තහවුරු වන්නේ එජාපයේ බෙදුම් රේඛාව මැකී නොමැති බව නොවේද? එසේම සජිත්ගේ නායකත්වයෙන් නව කම්කරු සංවිධානයක්‌ද (එක්‌සත් ශිෂ්‍ය සංවිධානය) බිහිවී තිබේ. එහි තේරුම සජිත් එජාපයේ යොවුන් නායක පෙරමුණද ප්‍රතිසංස්‌කරණය කරන බවද? ඔහු එයට නම තබා ඇත්තේ හිතට වදින තරුණ ජවය ලෙසය.

මේ සියලු කරුණු පෙළගස්‌වා බලනවිට සජිත්ගේ ගමන අපට තේරුම් ගත හැකිය. ඒ කුමක්‌ වුවද දේශපාලන පක්‌ෂයක නායකත්වය මෙන්ම සාමාජික හැසිරීම්ද ජනතාවට වැදගත්ය. මක්‌ නිසාදයත් පක්‌ෂවලට ශක්‌තිය හා බලය ලබා දෙන උල්පත ජනතාව නිසාය. එසේම එජාපය අද විපක්‌ෂයක්‌ ලෙස සිය වගකීම ඉටු කරන්නේද යන ප්‍රශ්නයත් සමහරු නගති. සැබැවින්ම මහින්දගේ ආණ්‌ඩුව පෙරළා දමන බවට පුරසාරම් දොඩන එජාපය පළමුව තම සමගිය රටට පෙන්විය යුතුය.

එජාපයට සිය පක්‌ෂය 16 වරක්‌ හෝ 17 වරක්‌ පරාජය වෙත ඇද දැමූ රනිල් එපා වී තිබෙන බව පක්‌ෂයේම අය කියති. එහෙත් ඉදිරි කාලය තුළ රනිල් සජිත්ට නායකත්වය දී ගෙදර යනු ඇතැයි සිතිය හැකිද? සජිත්ගේ පිලේ ප්‍රමුඛයන් කියන ආකාරයට ඔහුට පක්‌ෂ නායකත්වය හිමිවිය හැකිද? ඊළඟට ඔහුට මහින්දට තිබෙන ජනපදනම බිඳ දැමිය හැකිද? සජිත්ට මහින්දට සටනක්‌ දිය හැකි නායකයෙක්‌ විය හැකිද?

චන්ද්‍රිකා වෙනුවට පැමිණි මහින්ද වෙනස්‌ම චරිතයක්‌ බව අද රටම පිළිගෙන තිබේ. මහින්ද වමේ පක්‌ෂ සමගද වමට නැඹුරු වූ හා සිංහල සංස්‌කෘතික පදනමට වඩාත් නැඹුරු වූ පක්‌ෂද සමබරව තබා ගනිමින් යන දේශපාලන නායකයෙකි. පක්‌ෂ කීපයකින් සැදුණු ආණ්‌ඩුවකට වමේ අදහස්‌ පමණක්‌ ක්‍රියාත්මක කළ නොහැකි බව එහි සිටින වමේ නායකයෝම කියති. එහෙත් එජාපයේ නායකත්වයට එන සජිත්ට ප්‍රබල විපක්‌ෂයක්‌ ගොඩනැගිය හැකිද? දැනටමත් ජවිපෙ සජිත්ගේ සම්ප්‍රාප්තිය තුළින් අමුතු වෙනසක්‌ සිදු නොවන බව කියා සිටියි. ජවිපෙ කියන්නේ මහින්දට විකල්පයක්‌ ලෙස රනිල් හෝ සජිත් අවශ්‍ය නැති බවය.

මේ අතර එජාපයේ විශේෂ සමුළුවේදී එහි නායක කාරකාදීන් ජාතික ගීයට අගෞරව වන අයුරින් හැසිරීම පිළිබඳව ජනාධිපති මහින්ද බරපතල චෝදනාවක්‌ද කරයි. එය සැබෑවකි. මෙයට පෙර එජාපයේම බලවතෙක්‌ "දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්‌කන්දා" ගීතයටද නැටූ බවට විවේචනයක්‌ ඇත. දැන් ජාතික ගීයට අවමන් කළේත් ඒ මානසිකත්වය නිසා දැයි නොදනිමු. කුමක්‌ වුවත් ජාතික ගීය හා ජාතික කොඩිය යනු රටේ හැම ජන කොටසක්‌ම ගරු කළ යුතු දෙයකි.

උතුර නැගෙනහිර ලෙළ දුන් ඊළාම් කොඩි ඉවත් කර එහි ජාතික කොඩිය එසවුණේ ප්‍රාතිහාරයකින් නොවේ. එය මේ රටේ හමුදා විරුවන් ලෙයින්ද ජීවිත පරිත්‍යාගයෙන්ද කළ අප්‍රමාණ කැපවීම් හා අධිෂ්ඨානයේ බලයෙන් සිදු වූවකි. ඒ ගෞරවයේ කේන්ද්‍රීය චරිතය මහින්ද රාජපක්‌ෂ බවද කිව යුතුය.

අද රටට වුවමනා ජාතිකත්වය මෙන්ම ජාතීන් හා ආගම් අතර සමගියද ගොඩ නැංවීමට මහින්දට හැකි වී තිබේ. මහින්දගේ සිංහල බෞද්ධකම කිසිවිටක දෙමළ හින්දුත්වයට හෝ සිංහල හෝ දෙමළ කතෝලිකත්වයට හෝ වෙනත් ආගමකට හෝ විරුද්ධ වී නැත. රටේ ජාතික කොඩිය හා ජාතික ගීය නොතකා විකාර නැටුම් නටන දේශපාලනයක්‌ මේ රටේ ජනතාව අනුමත නොකරන බවද අමුතුවෙන් කිව යුතු නැත.

එජාපයේ නායකත්වය සජිත්ට ලබා ගැනීමෙන් පසුව කුමක්‌ සිදුවිය හැකිද යන්න ගැනද රටට පැහැදිලි චිත්‍රයක්‌ ලැබී නැත. විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ දෙමළ ජනතාව සම්බන්ධයෙන් දරන ස්‌ථාවරය හෝ සජිත් ඒ පිළිබඳව දරන ස්‌ථාවරය හෝ ජනතාවට ප්‍රකාශ වී නැත. රනිල්ට වුවද අද මේ පිළිබඳව ස්‌ථිර අදහසක්‌ තිබේද යන්නත් සැක සහිතය. ඒ මොනවා වුවත් මහින්ද මේ ප්‍රශ්නය දෙමළ සන්ධානය සමග සාකච්ඡා කිරීම අරඹා තිබේ.

ආර්. සම්බන්ධන් පිළිබඳව මහින්ද සමග සිටින ඇතැම් සිංහලවාදී චරිත අමුතු ඇසකින් බලද්දීත් ඔහු අවංකවම ඒ ප්‍රශ්නය දෙසට යොමුව සිටියි. හරියටම තොරතුරු අපට නැතත් මහින්ද හා සම්බන්ධන්ගේ සාකච්ඡා සාධනීය ලෙස ඉදිරියට යන බව අපට වාර්තා වී තිබේ. ඒවා නිල නොවන සාකච්ඡා වුවද එයින් අනාගතයේදී පුළුල් සාකච්ඡාවකට පදනමක්‌ වැටෙන බව කිව හැකිය. දෙමළ සන්ධානයේ වුවද දෙමළ ඩයස්‌ පෝරාවට උචිත රඟපෑම් කරන අයද සිටිති. ඒ නිසාදෝ මහින්දට වුවමනා වූයේ සම්බන්ධන් සමග සුහදව මේ කතාබහ ඇරඹීමය.

සජිත් ප්‍රේමදාස මහතා මේ පිළිබඳවද අවධානය යොමු කළ යුතුය. මන්ද යත් මේ ප්‍රශ්නයට එජාපයද දිගු කලක්‌ සම්බන්ධ වී සිටි නිසාය. අනෙක්‌ අතට පාලන බලය සඳහා පෙනී සිටින පක්‌ෂයකට දෙමළ ජනතාව අමතක කිරීමටද නොහැක. එහෙත් මේ වනවිට එජාපය සමඟ සිටි මුස්‌ලිම් හා දෙමළ නායකයන්ගේ තෝරා ගැනීම වී ඇත්තේ මහින්ද රාජපක්‌ෂය. එසේම සම්බන්ධන් මහතා වරක්‌ කියා සිටියේ මහින්දට හා ඔහුගේ රජයට සම්පූර්ණ සහාය දීමට තමා නියෝජනය කරන දෙමළ සන්ධානයට හැකි බවයි. ඇත්තටම මහින්දට ඔවුන්ගේ සහායත් ලැබුණොත් සජිත්ට එජාපයේ නායකයා වී කළ හැක්‌කේ කුමක්‌ද?

මේඝ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.