භික්‌ෂුණි ශාසනය යළි මෙරට පිහිටුවිය නොහැකිද?

ශ්‍රී ලාංකිකයන්ගේ ගෞරවයට පාත්‍ර වන ශ්‍රී මහා බෝධීන් වහන්සේත් දළදා වහන්සේත් ලංකාවට උරුමකර දීමට කාන්තාවෝ මැදිහත් වූහ. නමුත් වර්තමානයේදී ශ්‍රී මහා බෝධිය සමීපයට හෝ ධාතුන් සහිත කරඬුව හිස මතින් වැඩමවීමත් කාන්තාවන්ට අකැපය. කාන්තාවන්ගේ මැදිහත්වීමෙන් සසුනට ලැබුණු දායාද සහ ඒවායින් කාන්තාවන් බැහැර කරලීම පිළිබඳ චිත්‍රයක්‌ අප මනසෙහි ඇඳේ. මෙම චිත්‍රය වෙනස්‌ කළ යුතු කාලයයි.

බෝධිවංශයට අනුව මිහිඳු මහ රහතන් වහන්සේගේ සොයොයුරියක වන සංඝමිත්තා මහරහත් මෙහෙණිය ලංකා මෙහෙණි සසුන ආරම්භ කිරීමට මැදිහත් වූවා සේම ශ්‍රී මහා බෝධීන් වහන්සේද වැඩම කරවීය. ධාතුවංශයට අනුව හේමාකුමරිය කෙස්‌ කළඹෙයි සඟවා ගනිමින් සුරක්‍ෂිත කොට දළදා වහන්සේ ලංකාවට වැඩම කරවීය. මහානුභාව සම්පන්න මෙම ආගමික වස්‌තූන් ලංකාවට දායාද කළද වර්තමානයේදී කාන්තාවන් ඒවායෙන් දුරස්‌කර ඇත. මීට බලපා ඇත්තේ ශතවර්ෂ ගණනාවක පටන් ලංකාවේ දේශපාලන, සමාජ, සංස්‌කෘතික වෙනස්‌කම්ය. මෙය හුදෙක්‌ ආගමික වස්‌තූන්ගේ ඈත් කර තැබීමක්‌ නොවේ සමාජ සමානාත්මතාව ස්‌ත්‍රීන්ට නොලැබීමේ ප්‍රතිඵලයකි.

ලාංකීය සසුනට දායාද හිමි කරදීමට කාන්තාවන්ගේ මැදිහත්වීම ඉහත ආකාරයට වඩා පුළුල්ය. වර්තමාන ශාසනික කටයුතුවලදී උනන්දුවෙන්, ශ්‍රද්ධාවෙන් පිරිමින්ට වඩා ක්‍රියා කරන්නේ ස්‌ත්‍රීන්ය. තම ගෘහයේ අගහිඟකම් කොපමණ තිබුණත් භික්‍ෂුන්ට දානය පූජා කරන කාන්තාවෝ සිටිති. ඇතැම් පවුල්වල ස්‌වාමිපුරුෂයන්ගේ දොස්‌ පරොස්‌ නොතකා වීර්යවන්ත ලෙස දන් පූජා කරන්නේ ඔවුන්මය. බෝධිපූජා ධර්මදේශනා, දාන පිංකම්, පිරිත් පිංකම්, සීල ව්‍යාපාර ආදී තවත් පිංකම්වලදී කාන්තාවන්ගේ කැපවීම පුදුම එලවන සුළුය.

වර්මානයේදී පමණක්‌ නොව අතීතයේදීත් ලංකාවේ කාන්තාවෝ අනේක විධ දුක්‌ පසෙකලා ශාසනය පෝෂණය කළෝය. ක්‍රි. පූ. 1 වැනි සියවසේ සිට ක්‍රි. ව. 5 වැනි සියවස දක්‌වා කාලයේදී ශාසනයට පූජා කළ ලෙන්, ටැම් ආදිය බොහොමයක්‌ කාන්තාවන්ගේ පූජාවන්ය. ඇතැම් කාන්තාවෝ ජීවිතය දෙවැනි කොට ශාසනය වෙනුවෙන් කැපවූහ. ආරක්‍ෂා කළහ. රසවාහිනී නම් කතා සංග්‍රහයේ සීහලදීප උත්පත්ති කතා නිදසුන්ය. එන් එක කතාවකට අනුව ස්‌ත්‍රියක්‌ බැමිණිතියා සාය සමයේදී ආහාර අනුභවයට කිසිවක්‌ නොමැතිව හාමතින් සිටින්නී තමන් දුෂ්කර ලෙස සොයාගත් කරකොළ පිණ්‌ඩපාතයේ වැඩම කළ භික්‍ෂුන් වහන්සේ නමකට පූජාකළාය.

ශාසනය වෙනුවෙන් දරුවන් පූජා කිරීමට ප්‍රථමයෙන්ම කැමතිවන්නේ අම්මලාය. තමන් වැදූ දරුවන් පූජාකිරීමේ දාන පාරමිතාව පමණක්‌ නොව සාමනේර භික්‍ෂුන් වහන්සේගේ පටන් වයෝවෘද්ධ භික්‍ෂුන් වහන්සේ තෙක්‌ පෝෂණය කරන්නේද කාන්තාවන්ය. ශාසනය පෝෂණය කරන, ආරක්‌ෂාකරන, ශාසනයේ ජීවනාලිය බඳු ස්‌ත්‍රීන්ට දායක සභාවක, උපාසක සමිතියක හෝ වෙනත් බෞද්ධ සමිතියක සභාපතිකම හෝ වෙනත් තනතුරු හිමිවන්නේ කලාතුරකිනි.

කාන්තාවක විසින් කාන්තාවන්ගේ විමුක්‌තිය අරබයා ආරම්භ කළ භික්‍ෂුණී ශාසනය පවා අද ඔවුන්ට අහිමි වී ඇත. භික්‍ෂුණී ශාසනය ස්‌ථාපිත කර ඇතත් එය රාජ්‍ය මට්‌ටමෙන් හෝ ඇතැම් හැනමිටිකාර භික්‍ෂුන් වහන්සේලා පිළිගැනීමට සූදානම් නැත. එනිසා ඔවුන්ගේ දායාද ඔවුන්ට අහිමී වී ඇත. අනෙක්‌ අතට ඔවුන් විසින්ම දායාද කළ ඇතැම් භික්‍ෂුන් කාන්තාවන්ගේ දායාද ඔවුන්ට ලැබෙනවාට අකමැතිය. එපමණක්‌ නොව කාන්තාවක සහ භික්‍ෂුවක විවෘත අවකාශයකදී කතා කිරීම පවා සැකයට තුඩුදෙන කරුණකි.

ඉහත ආකාරයේ අවාසනාවන්ත තත්ත්වයන් සැම කල්හිම නොවීය. කාන්තාවන්ට සමාජයේ දෙවැනි තැන හෙවත් පිරිමියාට වඩා පහත් සහ දුර්ගුණ සහිත කිළිටි තැනැත්තියක්‌ ලෙස සලකන සමාජ අසමානතාවය නිර්මාණය වීමට ලංකාවේ දේශපාලන ආර්ථික හා සංස්‌කෘතික වෙනස්‌වීම් බලපෑවේය.

අනුරාධපුර සමයේදී පිරිමින් හා සමානවම සමාජ කාර්යයන්වල නිරත වී ඇත. ආගමික වශයෙන් තහංචි පැනවූ බවට තොරතුරු නැත. නමුත් පොළොන්නරු සමයේ සිට වෙනස්‌ වූ බවට සාක්‍ෂි ඇත. පොළොන්නරු සමයේදී ලංකාවට හින්දු බලපෑම් වැඩි විය. මාඝගේ ආක්‍රමණය ඊට හේතුවයි. ථේරවාදී බෞද්ධ සම්ප්‍රදායට හින්දු ආගමික සම්ප්‍රදායන් වල බලපෑම නිසා ගෘහ නිර්මාණය ශිල්පය පමණක්‌ නොව සමාජ සංස්‌ථාද නව හුරුවක්‌ ගත්තේය. විශේෂයෙන් හින්දු සම්ප්‍රදාය තුළ කාන්තාව සමාජීය වශයෙන් පිරිමින්ට වඩා පහත්ය. මෙම අදහස ලාංකීය සමාජ සංස්‌ථාවටද කාන්දු වූ බව සාහිත්‍ය නිර්මාණවලින් පැහැදිලිය. කෝට්‌ටේ යුගය තෙක්‌ බිහි වූ බොහෝ සාහිත්‍ය කෘතිවල ස්‌ත්‍රියගේ දුර්ගුණයන් විශේෂකොට හුවාදක්‌වා ඇත.

හින්දු බලපෑමෙන් කාන්තාව පිළිබඳ අදහස සම්පූර්ණයෙන්ම වෙනස්‌ නොවූ බව නීති නිගණ්‌ඩුව පරීක්‍ෂා කිරීමෙන් පැහැදිලිය. සාහිත්‍ය කෘති ප්‍රභූ පන්තිය පමණක්‌ පරිහරණය කරන නිසා සාමාන්‍ය ජනතාවට එහි බලපෑම අඩුය. නමුත් කාන්තාව සාමාජීය වශයෙන් පිරිමියා හා සමාන නොවන බවට අදහස්‌ ඇති වන්නට ඇතැයි සිතිය හැකිය. එය සම්පූර්ණයෙන්ම කාන්තාව සමාජයෙන් බැහැර කරලීමට තරම් ප්‍රමාණවත් නොවීය. නීති නිගණ්‌ඩුව අනුව පිරිමියාට හා සමානවම කාන්තාවටද දේපළවල අයිතිය තිබිණි. දෙදෙනාම සාමාජීය වශයෙන් සමාන වූහ.

නමුත් වර්තමාන තත්ත්වය හාත්පසින්ම වෙනස්‌ය. කාන්තාව සාමාජීය වශයෙන් පිරිමියා හා සමාන නොවේ. සේවක ස්‌ථානවල ඇයට ගෙවන වැටුප පවා පිරිමියාට වඩා අඩුය. ආගමික වශයෙන් මොනතරම් කැපවීම් කළත් වැදගත් අවස්‌ථාවලදී ඇය බැහැර කෙරේ. මෙවැනි සමාජ වෙනසකට හින්දු බලපෑම මෙන්ම තවත් බෙහෝ හේතු ඇත. ඒවා අතුරෙන් ප්‍රධාන වන්නේ යුරෝපීය බලපෑමයි. රෝම ලන්දේසි නීතිය ස්‌ත්‍රී පුරුෂ සමාජභාවය සමානව පිළිනොගන්නේය. ස්‌ත්‍රියට මෙන්ම පුරුෂයාට ආවේණික නීති තිබිණි. ඉන් ස්‌ත්‍රිය දෙවැනි කොට සැලකීය. විවාහ නීති පද්ධතිය මීට හොඳම නිදසුනයි. විවාහයේදී ස්‌ත්‍රියගේ භාරකරු පිරිමියා ලෙස පිළිගෙන ඇත.

යුරෝපීය බලපෑමෙන් ශ්‍රී ලාංකීය ස්‌ත්‍රියට නව තහංචි මාලාවක්‌ උරුමවිය. ස්‌ත්‍රියටම අවේණික වූ ඇඳුම්, රැකීරක්‍ෂා, සමාජ වත්පිළිවෙත් ආදිය ඊට අයත්ය. ප්‍රධාන වශයෙන් හින්දු සහ යුරෝපීය බලපෑමෙන් සියවස්‌ ගණනාවක පටන් ථේරවාදී බෞද්ධ සම්ප්‍රදාය තුළ සමාන ආගමික අවස්‌ථාවන් උරුම කරගෙන සිටි කාන්තාවන් නව තහංචි මාලාවක හිරවී ඇත. ථේරවාදී බෞද්ධ සම්ප්‍රදාය හමුවේ ඇති අභියෝගය වන්නේ හින්දු සහ යුරෝපීය බලපෑමෙන් දෙවැනි කොට සලකන කාන්තාවට සාමාජීය වශයෙන් සමානාත්මතාව උරුමකර දීමයි.

ස්‌ත්‍රී, පුරුෂ ලිංග භේදය විමුක්‌තියට බාධාවක්‌ නොවන බව බුදු සමයට අනුව පැහැදිලිය. සෝම සූත්‍රයට අනුව සෝමා තෙරණිය සමීපයට පැමිණි මාරයා ඉසිවරුන් විසින් ලැබිය යුතු දුර්ලභ වූ යම් පදවියක්‌වේද දෑඟුල් නුවණ ඇති (ඇඟිලි තුඩු දෙකේ නුවණ) ස්‌ත්‍රියට ලැබිය නොහැකි බව ප්‍රකාශ කළේය. ඊට තෙරණියගේ පිළිතුර වූයේ සිත මැනවින් සමාධිගති වූ කල්හී, නුවණ පවත්නා කල්හි, මනාකොට දහම දකින්නා හට ස්‌ත්‍රී බව බාධාවක්‌ නොවන බවයි. අන්අයටත් මෙම පණිවිඩය කියන ලෙස ඇය මාරයාගෙන් ඉල්ලා සිටියාය. බුදුන් වහන්සේ ජීවමාන සමයේදී ධර්මාවබෝධය පුරුෂයන් මෙන්ම ස්‌ත්‍රීන්ද වූහ.

වර්තමානයේදී ශාසනය ලෙස තේරුම් ගත්තේ භික්‍ෂුව කේන්ද්‍රකරගත්තකි. නමුත් බුදු දහමට අනුව ශාසනය යනු හුදෙක්‌ භික්‍ෂුව පමණක්‌ කේන්ද්‍රකරගත් සංස්‌ථාවක්‌ නොවේ. බුදුන් වහන්සේ සහ භික්‍ෂු භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක්‌ පිරිසගේ සමානාත්මතාව තහවුරු වන සංස්‌ථාවකි. දීඝ නිකායේ පාසාදික සූත්‍රයට අනුව කෙලෙස්‌ නසන අයට ප්‍රයෝජනවත් සේ දහම් දේශනාකරන්නට ව්‍යක්‌ත වූ විනීත වූ විශාරද වූ ස්‌ථවිර භික්‍ෂු ශ්‍රාවකයෝත්, මැදුම් වයස්‌ භික්‍ෂු ශ්‍රාවකයෝත්, නව භික්‍ෂු ශ්‍රාවකයෝත්a, ස්‌ථවිර වූ භික්‍ෂුණී ශ්‍රාවිකාවෝත්, මැදුම් වයස්‌ භික්‍ෂුණී ශ්‍රවිකාවෝත්, නවක භික්‍ෂුණී ශ්‍රාවිකාවෝත්, ගෘහ බ්‍රහ්මචාරී උපාසක ශ්‍රාවකයෝත්, කාමභෝගී උපාසක ශ්‍රාවකයෝත්, ගෘහ බ්‍රහ්මචාරී ශ්‍රාවිකාවෝත් සහ කාමභෝගී ශ්‍රාවිකාවෝත් සිටිත්ද, ඒ සස්‌න සමෘද්ධ වේ. වෘද්ධි ප්‍රාප්තව පැතිරයයි. බොහෝ දෙනා විසින් දක්‌නේය. නුවණැති දෙවි මිනිසුන් අතර සුප්‍රකාශිත වේ. මෙසේ ශාසනය සම්පූර්ණ වන බව සඳහන්ය. සසුන යනු ඉහත ආකාරයේ ස්‌ත්‍රී, පුරුෂයන්ගෙන් සැදුම්ලත් සංස්‌ථාවකි.

බුදු දහමට අනුව ස්‌ත්‍රී, පුරුෂ සියලු දෙනාටම සමානවම විමුක්‌තිය ලැබිය හැකිය. අවශ්‍යවන්නේ ප්‍රතිපදාව අනුගමනය කිරීමය. සමානාත්මතාව තහවුරු කළ බුදු දහම කාන්තාව පිරිමියාට දෙවැනි වන්නේය යන අදහස ප්‍රතික්‍ෂේප කොට ඇත. එහෙයින් හින්දු, යුරෝපීය අදහස්‌ පසෙකලා සැබෑ තේරවාදී බුදු දහමට අනුව සමාජ සමානාත්මතාවය තහවුරු කළ යුතුය. එයින් කාන්තාව විසින් ලංකා සසුනට කරන ලද දායාදයන් නැවතත් ඔවුන්ට ලැබෙනු ඇත.

බටුවංගල සමිද්ධි හිමි

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.