මහාචාර්ය කේ.එන්.ඕ

විසිවන සිය වසෙහි මෙ ලක බිහිවූ සුදුර්ලභ ප්‍රාඥ පරපුරට නිසැකයෙන්ම අයත් වන්නා වූ භාෂා, ශාස්‌ත්‍ර, සමය, දර්ශන, සංස්‌කෘති දැනුමෙන් වෙසරදව සාඩම්බර ශාස්‌ත්‍ර විලස්‌ පෑ අසිරිමත් ප්‍රාඥයකු ලෙස මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාසයෝ වියත් ජන සම්භාවනාවටද, ගෞරව බුහුමනටද පාත්‍ර වන්නාහුය. මහාචාර්ය ධර්මදාසයෝ එකල සව් සිරින් වොරැඳුණු පේරාදෙණි සරසවියෙහි නෙක ශිල්ප ලද්දාහු ඉනික්‌බිතිව එහිම අපමණ සිසු මානවක මානවිකාවන්ට සිප් කිරි පොවමින් මහත් බැති ප්‍රේමයටද පාත්‍ර වූහ. ධර්මදාසයෝ අපටද පූර්වාචාරී වූහ.

මහාචාර්ය ධර්මදාසයන්ගේ කුමර විය ශාස්‌ත්‍ර ළැදි මහරු ගුරු සෙවණෙහි ගෙවී ගියෙන් හේ නිසි කල්හි පේරාදෙණි තක්‌සලාවට පිවිසෙන වරම් ලදහ. එකල එබිම අධිපතිව සිටියාහු සාහිත්‍ය, සංගීත කලා ඡන්දෝලංකාර, කාව්‍ය, නාටක අතැඹුල් සේ දත් අසම සම දිසාපාමොක්‌ ඇදුරු පෙළකි. ධර්මදාසයන් ගෙල නන් විසිතුරු සිප් ලකුණු රන්, මිණි, මුතුහර පළඳවන ලද්දාහු ඒ මහරු ගුරු තරුම වූහ.

අප පේරාදෙණි සරසවියට පිවිසි සමයෙහිද ඒ ගුරු තරු දිලිහි දිලිහී තිබුණු අයුරු මෙවේලෙහි හද නැගෙයි. ඒ අතර සුදිලුණු නව යොවුන් තරුවක්‌ සේ ධර්මදාසයෝ ද සිසු ජන මන පොබ කරමින්ම වූහ. එදාත් ඔවුන් මුවග සුදිලුණේ මේ හෘදයංගම සිනහවමය. ප්‍රිය වචනමය. භද්‍ර යෞවනයෙහි සිටි ඔවුන්ගේ විලාසය සිසු අප කාටත් ප්‍රිය වඩන සුළු විය. සරල බවින්ද නිරහංකාර ගුණයෙන්ද නොඅඩුව, නිබඳව පන්ති කාමරයට පැමිණි හේ අප ශාස්‌ත්‍ර පවස නිවාලූ අයුරු විශ්මය ජනක විය. මහාචාර්ය සුගතපාල ද සිල්වාණන් විසින් අරඹන ලද වාග් විද්‍යා දෙසුම් පෙළ අඛණ්‌ඩව ඉදිරියට ගෙන යැම බාරව තිබුණේද ඔවුන්ටය.

මහාචාර්ය ධර්මදාසයන්ගේ භාෂා ඥනය කෙතරම් සියුම් වීද යත් තිත්ත කසායක්‌ සේ අප විසින් එක හුස්‌මට ගිල දමනු ලැබූ සම්මත වියරණය පිළිබඳ වූ අපගේ දැනුම වඩාත් පිරිපහදු කිරීමට හේ සමත් විය. ජාතියක හෝ භාෂාවක යම් විශිෂ්ටතාවක්‌ වේ නම් කිසි විටෙක එය හුවා දැක්‌වීමට බිය විය යුතු නැතැයි එකල ඔවුන් අපට දුන් පරමාදර්ශයද විය. මෙම ක්‍ෂෙත්‍රය අරභයා ධර්මදාසයන් තුළ වැඩුණු ශාස්‌ත්‍රීය කුහුල නිසාම පසු කලෙක ඔහු අතින් අගනා ලිපි ලේඛන

රැසක්‌ හා ග්‍රන්ථ කීපයක්‌ද බිහිවිය.

භාෂාව හා සමාජය අතර තිබෙන අන්තර් සබඳතාව මෙන්ම භාෂාත්මක සංසිද්ධීන් පිළිබඳවද ඔවුන්ගේ නිරන්තර අවධානය යොමු වූ අයුරු ඒ පිළිබඳ උනන්දු වන විද්‍යාර්ථිහු දනිති. අප එය විමසීමට නොසෑහෙන බවද කිව යුතුය. එය එතරම්ම පුළුල් ක්‍ෂෙත්‍රයකි. දශක හතරකට නොඅඩු ධර්මදාසයන්ගේ විශ්වවිද්‍යාලයානු බද්ධ ශාස්‌ත්‍රීය මෙහෙවර සමගම සිංහල හා ඉංග්‍රීසි යන ද්විභාෂා වලින්ම ඔවුන් විසින් ලියා පළකරන ලද ලිපි ලේඛනද බොහෝ විය.

සිංහල භාෂාවේ සමාජ සංස්‌කෘතික හා දේශපාලන මුහුණුවර හඳුන්වාදීමට පුරෝගාමී සේවයක්‌ ඉටුකළ ප්‍රාඥයකු ලෙසද ධර්මදාසයෝ බුහුමනට පාත්‍රව සිටිති. ඔවුන්ගේ අගනා ශාස්‌ත්‍රීය පර්යේෂණයක්‌ ලෙස "ජාත්‍යනුරාගය" නමැති කෘතියද පිළිගනු ලැබේ. සිංහල ජාතික අනන්‍යතාව පිළිබඳව අභීතව ශාස්‌ත්‍රීය විවාදවලට එළඹුණු ධර්මදාසයෝ එහිදී ප්‍රතිවාදීන්ට දැඩි ශාස්‌ත්‍රීය ප්‍රහාර එල්ල කළහ.

සිංහල අනන්‍යතාව හා සිංහල ලකුණ වනසා දැමීම සඳහා ගොඩනැඟුණු ව්‍යාජ ඉතිහාස මැවුම්වලට ධර්මදාසයන්ගෙන් එල්ල වූයේ නිර්දය ප්‍රහාරයකි. බෙදුම්වාදී චින්තන ඉතිහාසය උඩු යටිකුරු කරමින් ඔහු ලියූ ලිපි මාලාව "දිවයින ඉරිදා සංග්‍රහයෙහි" පළවූ අයුරු මගේ මතකයට නැගෙයි. එහිලා ඔහු සිය සමකාලීන විද්වතකු වූ මහාචාර්ය ලෙස්‌ලි ගුණවර්ධනයන් සමග විවාදයක පැටලුණි. ශ්‍රී ලංකාවේ විසූ අග්‍ර ගණයේ විද්වතුන් දෙපළකගේ මෙම සංවාදය ලංකාවෙන් එපිටට පවා ඇදී ගියේය. ඉංග්‍රිසියෙන් ඇවිලී ගිය එම විවාදය ඇතැම් බටහිර විශ්වවිද්‍යාල වියතුන්ගේද අවධානයට ලක්‌විය.

මහාචාර්ය ලෙස්‌ලි ගුණවර්ධනයන්ගේ මතවාද එකල ඊළාම්වාදීන්ට ආ වැඩූ අයට ආශිර්වාදයක්‌ වී තිබුණත් මහාචාර්ය ධර්මදාසයෝ ඓතිහාසික මූලාශ්‍රද ඇසුරින් ඒ සියලු මත ඛණ්‌ඩනය කිරීමට සමත් වූහ. අපගේ ජාතික හා සංස්‌කෘතික උරුමය දැක දැකත් එයට පිටු පෑ පණ්‌ඩිතයන්ට ධර්මදාසයන්ගේ මැදිහත් වීම් නොරිසි වූ වගද මම ඉඳුරා දනිමි.

ජාතිකත්වය හා ජාත්‍යනුරාගය අරභයා වැඩුණු දුර්මත දුරලමින් නැගුණු තෙද හිරු මඬලක්‌ සේ මහාචාර්ය ධර්මදාසයන් විසින් කරන ලද ඒ මෙහෙවර ජාතියේම ප්‍රණාමයට පාත්‍ර විය යුතු යෑයි මම සිතමි. සැබැවින්ම ගොදුරු ලොබ දුරලමින් එබඳු කටයුතු සඳහා උරදෙන ශාස්‌ත්‍රඥයෝ අතිශය විරලයහ. මෙහිලා ධර්මදාසයන් සතු සුවිශේෂ ගුණයක්‌ද මට සිහිවෙයි. ඒ එකල තමන් සමග මහත් විවාදයකට එළඹි මහාචාර්ය ලෙස්‌ලි ගුණවර්ධනයන් අභාවප්‍රාප්ත වූ කල්හි අනලස්‌ව ඉදිරිපත් වෙමින් ඔහුගේ ශාස්‌ත්‍රීය මෙහෙවරද අගැයීමය. එබඳු සද් ක්‍රියාවක්‌ කළ හැක්‌කේ සත්පුරුෂයන්ටම නොවන්නේද? එබඳු උතුම් මානව ගුණ කෙතරම් විරල යුගයක්‌ද මේ?

මේ යුගය භාෂා ශාස්‌ත්‍ර විද්වතුන්ට විෂම යුගයක්‌ සේය. එබඳු බුද්ධිමය සංවාද හෝ අද නොඇසෙයි. බුද්ධිමය කේන්ද්‍ර සේ සුසභාවිත සරසවි ගිනිහල් ගෙවල් සේය. කුපිත වූ සිසු මානවක මානවිකාවෝ මහත් කෝලාහල කරති. සිසුන් හා ගුරුන් අතර මිත්‍ර සමාගම් නොවේ. එයට බාහිර හා ඇතුළත බොහෝ හේතුද වේ. එහෙත් කෙතරම් අභාග්‍යයක්‌ද?

තතු මෙසේ වුවද මහාචාර්ය ධර්මදාසයෝ අදත් දුලබව හෝ කෙරෙන ශාස්‌ත්‍ර විවාදයන්ට මැදිහත් වන්නාහ. මම එක්‌ නිදසුනක්‌ දක්‌වමි. දිවයින ඉරිදා සංග්‍රහයට ඇස්‌. බී. කරලියද්දයන් සැපයූ ලිපියක පැරැණි පැදි පෙළක්‌ දැක්‌විණි. ඒ පැදි පෙළ මෙලක කීර්¨තිමත් පැවිදි පඬිරුවනක්‌ වූ රඹුක්‌වැල්ලේ සිද්ධාර්ථ හිමියන්ගේ ප්‍රබන්ධයකැයි එහි සඳහන් විය. ඉනික්‌බිති මහාචාර්ය ධර්මදාසයෝ "මේ නම් බලවත් වරදකැයි අපට කියා ඒ පිළිබඳ අතීත තොරතුරුද දැක්‌වූහ.

"මින්පසු අපේ සාහිතයට කපුටො කොටයි" යනුවෙන් ලියෑවුණු ඒ කවිපෙළ රඹුක්‌වැල්ලේ සිද්ධාර්ථ හිමියන්ගේ අකල් සමුගැන්ම නිමිති කර ලියෑවුණක්‌ බවද ධර්මදාසයෝ තිරසරව කියා සිටියහ. එමතු නොව උන්වහන්සේගේ අපවත්වීම සිදු වූයේ 1941 වසරේ දී බවත් ඒ වන විට සිද්ධාර්ථ හිමියන් සම්බන්ධව සිටියේ කීර්තිමත් පඬිවරයෙක්‌ වූ මහාචාර්ය ගුණපාල මලලසේකරයන්ගේ මූලිකත්වයෙන් කොළඹ විශ්වවිද්‍යාලයෙහි පැවති සිංහල හා පාලි අංශයට බවත්ය. ඒ කවි පෙළ ඉංග්‍රිසියෙන් සිංහල උගත් යුගයක ලියෑවුණක්‌ බවද හේ කියා සිටියහ.

මහාචාර්ය ධර්මදාසයන්ගේ විශාරදත්වයද, ප්‍රඥ මහිමයද මෙවිතර යෑයි අපට කිව නොහැක. ඒ සඳහා නිසි රිසි විද්වත්හු අදත් ස්‌වල්ප දෙනෙක්‌ හෝ සිටිති. එහෙත් අපගේ මෙම කුදු ලියෑවිල්ල මහාචාර්ය ධර්මදාසයන්ගේ විශිෂ්ට සම්ප්‍රදානයන්ට නිසි අගැයුමක්‌ නොවන බවද කියමු. එය අපගේ කුදු බවම පසක්‌ කරවන්නකි. එසේ වුවද එතුමන්ගේ ඇසුර අපට මහත් වාසනාවක්‌ම විය. මහාචාර්ය ධර්මදාසයන් සමග ගුරු ඇසුරකට හෝ ශාස්‌ත්‍රීය ඇසුරකට අවසර නොලද අයට වුවද ඔවුන්ගේ මහාර්ඝ ශාස්‌ත්‍රීය මෙහෙවර නොඅඩුව ලබාගත හැකිය. පැරකුම්බා සිරිත් කතුවරයාගේ අගනා සුභාෂිතයක්‌ අපට සිහි වේ.

මහත වියතුන් බස
නොදැනත් ඇසුව වේ තොස
දෑ සමන් මල් රැස
නොසිඹැ දුටුවත් දැනේ ඇති ලෙස

මහාචාර්ය ධර්මදාසයන්ගේ සැඳෑ ජීවිතය ගෙවී යන්නේද විශිෂ්ට ශාස්‌ත්‍රීය සේවයක්‌ වෙනුවෙනි. හේ අද සිංහල විශ්ව කෝෂයෙහි අග සකසු ලෙස ඒ ශාස්‌ත්‍ර භාරය දරති. මතු මතුව එන පරපුර සඳහා ඇවැසි දැනුම් මඟ සකසමින්ද, භාෂා, සමාජ, සංස්‌කෘති ක්‍ෂෙත්‍රයන් පෝෂණය කරමින්ද, දැයට වැඩ සැලසීමට ඔවුන්ට ආයු, වර්ණ, ප්‍රඥ, සුඛ බල වේවායිද නොමඳ ගුරු බැතියෙන්ම පතමු.

මහාචාර්ය ධර්මදාසයන්ගේ ඒ විසල් මෙහෙවර තබා එවන් ප්‍රාඥයකු මෙලක විසූ බවවත් නොදන්නාහුද සිටිති. එය අද අප විඳිsන රළු යථාර්ථයයි. එනිසාම ජන හද පහන් කරවන විශිෂ්ට බුද්ධිමය උපහාර ග්‍රන්ථයක්‌ද මහාචාර්¨ය ධර්මදාසයන් වෙනුවෙන් සම්පාදනය කර තිබේ. ඒ කාර්යයට උර දුන්නේ ග්‍රන්ථපති සිරි සුමන ගොඩගේ මහතාය. විසල් බරපැනක්‌ දරමින් ශාස්‌ත්‍රවන්තයකුට කෙරෙන පූජාවක්‌ සේ "පැණසර" එළි දකින්නේ ගොඩගේ මැතිඳුන්ගේ පින් සිත නිසාමය. අපි ඔවුන්ටද තුති පුදමු.


ගාසු

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.