ගවේෂණ හෝ පරීක්‍ෂණ පවත්වන්න බෑ

මූන්ගේ කමිටුවට අවශ්‍ය නම් වීසා දීමට රජය සූදානම්
ඇමැති කෙහෙළිය කියයි


අකිත පෙරේරා

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් උපදෙස්‌ ලබා ගැනීමට එක්‌සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් පත්කර ඇති කමිටුවට මෙරටට පැමිණීමට අවශ්‍ය නම් ඒ සඳහා වීසා අවසරය ලබාදිය හැකි බව කැබිනට්‌ මාධ්‍ය ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා ඊයේ (30 දා) පැවසීය.

කෙසේ වෙනත් මෙරට තුළ පැවැති යුද සමයේ ඇතිවූවා යෑයි කියන යුද අපරාධ හෝ මානව හිමිකම් කඩවීම් සම්බන්ධව ගවේෂණ හෝ පරීක්‍ෂණ පැවැත්වීමට ඉඩ දිය නොහැකි බවත්, එම කමිටුවට අවශ්‍ය නම් උගත් පාඩම් හා ප්‍රතිසංධාන කමිටුව හමුවේ සාක්‍ෂි පමණක්‌ ලබා දිය හැකි බවත් ඇමැතිවරයා කීය.

එම කමිටුව මෙරටට පැමිණියද ඔවුන් සමඟ කිසිදු ගනුදෙනුවක්‌ රජයට නැතැයි කී ඇමැතිවරයා රජය කටයුතු කරන්නේ එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන්කී මූන් මහතා සමග පමණක්‌ බවද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ පැවැති කැබිනට්‌ තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.

මෙරටට පැමිණීම පිණිස අදාළ කමිටුවේ කිසිවකුත් වීසා ඉල්ලුම් කර නැතැයි ද මෙරටට පැමිණෙන ලෙස ශ්‍රී ලංකා රජය කිසිදු ලිතමය දැනුම්දීමක්‌ කර නැතැයි ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.