මේ ඇරඹුණේ සංවර්ධන මෙහෙයුමේ
තීරණාත්මක වසරයි

ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ


රටේ ආර්ථිකය සංවර්ධනය කිරීමේ ඉදිරි සංවර්ධන මෙහෙයුමේ දී මේ වසර (2011) ඉතා තීරණාත්මක කඩඉම් වර්ෂයක්‌ යෑයි ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා කියයි. එසේම මේ වර්ෂයේ ආර්ථික අපේක්‍ෂා, ආර්ථික යුද්ධය ජයගැනීමේ දී රජයට මුහුණ දීමට තිබෙන අභියෝග මෙන්ම දැනට වේගයෙන් වර්ධනය වෙමින් පවතින අපගේ සංචාරක කර්මාන්තයේ ඉදිරි සැලසුම් මොනවාද යන්න පිළිබඳ අප ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාගෙන් විමසුවෙමු.

ප්‍රශ්නය - ගිය වර්ෂයේ (2010) සංචාරක පැමිණීම් ලක්‍ෂ හය ඉක්‌මවා ගියා. මේ වසරේ (2011) දිවයිනට පැමිණි පළමු සංචාරකයා උණුසුම් අයුරින් පිළිගන්නත් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය කටයුතු යොදා තිබුණා. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රගතිය සහ අනාගතය දෙස ඔබ කොහොමද බලන්නේ?

පිළිතුර - අද සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනය ඉතාම සීග්‍රයෙන් වැඩිවෙලා. මෙය අපි බලන්න ඕනෑ යුද්ධය අවසන්වීමට පෙර 2009 වසරේ අප්‍රේල් මාසයට පෙර තත්ත්වයට සාපේක්‍ෂවයි. ඒ වර්ධන වේගය ඉතාම ඉහළයි. ලෝකෙ කොහෙවත් මෙතරම් ඉක්‌මනට සංචාරක පැමිණීම් වර්ධනය වුණේ නැහැ. නමුත් ඒ අයගෙන් අද වියදම් සිදුවන්නේ කාමරවලට සහ ආහාරපාන වලටයි. එය ප්‍රමාණවත් නෑ. ඒ අය මේ රටේදී ඊට වඩා වියදම් කරන පරිසරයක්‌ අපි ඇති කරන්න ඕනෑ. ඒ සඳහා වෙළෙඳසල් තියෙන්න ඕනැ. ඒවායේ සංචාරකයන්ට ගැලපෙන භාණ්‌ඩ තියෙන්න ඕනෑ.

අපේ රටට ආවේනික පාරම්පරික ලක්‍ෂණ රැකගෙන නූතන ලෝකයට ගැලපෙන දේවල් අපි සංචාරකයන් වෙනුවෙන් ඇති කරන්න අවශ්‍යයි. දැන් පින්නවල අලි අනාථාගාරයට ගිය විට ඒ ස්‌ථානයට අවේනික සිහිවටන තියෙන්න ඕනෑ සංචාරකයන්ට මිලදී ගන්න. උදාහරණයක්‌ ලෙස පින්නවලට ගියහම එතනට විශේෂිත "ටී ෂර්ට්‌" තියෙන්න ඕන. "කී ටැග්" පින්තූර කාඩ්පත් වැනි සංචාරකයන්ගේ සිත් ඇදගන්නා නොයෙකුත් විසිතූරු භාණ්‌ඩ, සිහිවටන මිලදී ගන්න තියෙන්න ඕන. දෙහිවල සත්තු වත්තට ගියහමත් එහෙමයි. වෙනත් ශ්‍රී ලංකාවේ ඕනෑම ආකර්ශනීය සංචාරක ස්‌ථානයකට ගියහම එහෙම වෙළෙඳ පරිසරයකුත් අපි හදන්න ඕනෑ. වෙන රටවල්වලට ගියහම මේ තත්ත්වය තියෙනවා. යම් සංචාරක ස්‌ථානයකට ගියවිට ඒ ස්‌ථානයට විශේෂිත වූ සිහිවටන රාශියක්‌ අලෙවියට තබා තිබෙනවා. සෑම කෙනෙක්‌ම පාහේ මේ සිහිවටන අනිවාර්යයෙන්ම මිලදී ගන්නවා. ඒ තුළින් සංචාරකයන්ට වැඩියෙන් මුදල් වියදම් කරන පරිසරයක්‌ ඇති වෙනවා. ඒත් අපේ රටේ එහෙම නැහැ. අපිත් ඒ තත්ත්වය ඇති කරගන්න ඕන. ඒ තුළින් මෙරටට එන සංචාරකයෙකුගෙන් වැඩි ආදායමක්‌ උපයාගන්න පුළුවන්.

ප්‍රශ්නය - දැන් සංචාරකයන්ගේ පැමිණීම වේගයෙන් වර්ධනය වූවත්, තාම අපේ සංචාරක කර්මාන්තයේ යටිතල පහසුකම් ප්‍රමාණවත් නැහැ නේද? ශ්‍රී ලංකාවට එන සංචාරකයන් තෘප්තිමත්ව නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන අදහස ද ඇති කරගෙන දිවයිනෙන් පිටව යන තත්ත්වය ඇති කරගන්න මේ තත්ත්වය බාධාවක්‌ නේද?

පිළිතුර - ඔව්. ඒ නිසා මම අපේ සංචාරක මණ්‌ඩලයට පැහැදිළිව උපදෙස්‌ දී තිබෙන්නේ සංචාරක කර්මාන්තයේ නියාමනය කිරීමේ කටයුතුවලට වඩා, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ කටයුතු කරන්න කියලයි. දැන් පිටරටට අපේ රට පිළිබඳ පණිවිඩය බොහෝ දුරට ගිහින් තියෙනවා. දැන් මම පිටරට ගියහම ඒ රටවල අය මට ලංකාව ගැන වර්ණනා කරනවා, එහෙම තත්ත්වයක්‌ තියෙනවා.

ඒ නිසා එම සංචාරකයන් ශ්‍රී ලංකාවට ආවහම ඒ අය සතුටට, තෘප්තියට පත්වන පරිසරයක්‌ තියෙන්න ඕනෑ. යම් ස්‌ථානයක්‌ බලන්න ගිය විට එතන වැසිකිළි පහසුකම්, විවේක ගන්න පහසුකම් සහ ආහාර පාන ගන්න පහසුකම් යනාදිය තියෙන්න ඕන. මේ සඳහා සංචාරක මණ්‌ඩලයට අවශ්‍ය උපදෙස්‌ ලබාදීල තියෙනවා. මෙහිදී පෞද්ගලික අංශයත් දායක කරගත යුතුයි. ඉදිරියෙදී සංචාරක කර්මාන්තය පැත්තෙන් ඉතා හොඳ ආර්ථිකමය වාසිදායක තත්ත්වයක්‌ තියෙනවා. ඒ නිසා ඒ අය මේ සඳහා යොමු වෙයි කියල, මට ලොකු විශ්වාසයක්‌ තියෙනවා.

රටේ ප්‍රධාන යටිතල පහසුකම් රජය විසින් දියුණු කරගෙන යනවා. මහාමාර්ග, ගුවන්තොටුපොළවල් යනාදිය රජය හොඳට සැලසුම් කරගෙන යනවා. ඊට අමතරව ප්‍රධාන සංචාරක ස්‌ථානවලත් යටිතල පහසුකම් නංවන්න කටයුතු කරගෙන යනවා. උදාහරණයක්‌ ලෙස හෝර්ටන් තැන්න පාර අපි හදනවා. ඒ වගේම විල්පත්තු යන පාර ප්‍රතිසංස්‌කරණය කරගෙන යනවා. එලෙස ප්‍රධාන සංචාරක ස්‌ථානවලට යන සහ සංචාරකයන් බහුලව යන ප්‍රධාන මාර්ග සියල්ලම වගේ අපි ප්‍රතිසංස්‌කරණය කරනවා. ඒ පරිසරයත් අපි දර්ශනීය ලෙස සකස්‌ කිරීම අවශ්‍යයි.

මේවාට අමතරව අපිට සංචාරකයන් ඉලක්‌ක කරගෙන තවත් බොහෝ දේවල් කරන්න පුළුවන්. දැන් හවායි දූපත්වල ඩොලර් 10 කට එක්‌කරගෙන යනවා. එතනදී පොල් ගස්‌ නගිනව, පෙන්නනවා. පොල් ගානව පෙන්වනවා. එහෙම පොල් ගස ආශ්‍රිතව නොයෙකුත් දේවල් සංචාරකයන්ට පෙන්වල ඒකෙන් සල්ලි හම්බු කරනවා. අපිට මේ වගේ දේවල් හොඳටම කරන්න පුළුවන්. අපි අතුරෙ යනවා, පෙන්නුවොත් කී දෙනෙක්‌ එයිද? නමුත් අපේ රටේ එහෙම තත්ත්වයක්‌ නෑ. අපිටත් සංචාරකයන් ඉලක්‌ක කරගෙන රටට වැඩියෙන් ධනය ඉපයීම සඳහා බොහොම දේවල් කරන්න පුළුවන්. ඇතැම් තැන්වල අපි වැරදි දේවල් පෙන්වන්නෙ. වැරදි දේවල් විකුණන්නෙ. අපි ඒවත් හදාගන්න ඕන. රන් කිකිළිගෙන් බිත්තර ගන්නව වගේ සංචාරකයන්ට අපි කරදර, හිරිහැර කරන්න නරකයි. ඒ අයට බලෙන් යම් යම් දේ විකුණල මුදල් උපයන්න යන්න හොඳ නෑ. සමහර අය ඔවුන් කියන තැන් වලින් සංචාරකයන්ට බඩු ගන්න කියනවා. එහෙම කරන්න අපිට අයිතියක්‌ නෑ. එවැනි සමහර දේවල් ගැන මම කනගාටු වෙනවා. එවැනි සිද්ධීන් සංචාරක කර්මාන්තයට හානියක්‌. නැවත ඒ සංචාරකයො අපේ රටට එන කෙනෙකු බවට අපි පත්කර ගත යුතුයි. මේ අවස්‌ථාව අපට හැමදාම නොලැබෙන්න පුළුවන්.

ඒ වගේම අපිට අවශ්‍ය, අපේ රට ඉහළම මට්‌ටමේ සංචාරකයන් පැමිණෙන ස්‌ථානයක්‌ බවට පත් කරන්නයි. ලාභ සංචාරක ගමනාන්තයක්‌ ලෙස ප්‍රචලිත වුනොත් වැඩිය මුදල් වියදම් කරන සංචාරකයන් මෙහෙට එන්නේ නැහැ. ඒ නිසා අපි දැන්ම ඉඳලා මේ ලැබුණු අවස්‌ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන අපේ රට ඉහළම මට්‌ටමේ සංචාරකයන් පැමිණෙන සංචාරක ගමනාන්තයක්‌ ලෙස ප්‍රචලිත කළ යුතුයි. ඇතැම් රටවල ඇතැම් ප්‍රදේශ නම් වෙලාම තියෙනවා කාමර බොහොම ලාබයි කියල. සමහර වෙරළවල් එහෙම නම් වෙලා තියෙනවා. මගේ අදහස අපේ රට එහෙම නොවී ඉහළම මට්‌ටමේ සංචාරක ගමනාන්තයක්‌ බවට පත්කර ගැනීමටයි. හේතුව අපිට එහෙම ආඩම්බර වෙන්න, ඉහළට යන්න සහ වැඩි මිලක්‌ ගන්න පුළුවන් බොහෝ දේවල් අපේ රටේ තියෙනව. ස්‌වභාව සෞන්දර්යය තියෙනව. සාමය ඇතිවෙලා තියෙනව. අපේ මිනිස්‌සු ප්‍රියමනාප, ආගන්තුක සත්කාරයට ලැදි පිරිසක්‌. අපේ රටේ හොඳ පිහිටීමක්‌ තියෙනවා. ඒ නිසා අපි බොහොම කල්පනාකාරීව, සැලසුම් සහගතව අපේ සංචාරක කර්මාන්තය දියුණු කරගන්න කටයුතු කරන්න ඕන.

මගේ අදහස අනුව එක දිනකදී ශ්‍රී ලංකාවෙ රැඳී ඉන්න සංචාරකයන් ප්‍රමාණය ලක්‍ෂය දක්‌වා වර්ධනය කරගන්න පුළුවන් වුණොත් ඒක ඉතා හොඳ මට්‌ටමක්‌. සංචාරකයා අද එනවා, හෙට යනවා. නමුත් සංචාරකයන් මෙහේ රැඳී සිටින කාලයත් අපි වර්ධනය කර ගත යුතුයි.

දැන් ඩුබායි ගත්තොත් ගිය වසරේ පමණක්‌ මිලියන 46 ක්‌ ඩුබායි ගුවන්තොටුපොළට ආවා. මේ වසරේ මිලියන 52 ක්‌ ඩුබායි ගුවන්තොටුපොළට එයි කියල, ඒ අය අපේක්‍ෂා කරනවා. මේ ගුවන්තොටුපොළට එන මිලියන 46 ම අඩුගානෙ චොක්‌ලට්‌ එකක්‌ හරි අරගෙන යනවා. එතන අත් ඔරලෝසුවේ සිට නොයෙකුත් දේවල් මිලදී ගන්න තියෙනවා. දැන් මේ බොහෝ දෙනෙක්‌ රට ඇතුළේ දේවල් බලන්න යන්නේ නෑ. නමුත් ගුවන්තොටුපළේදීම ගොඩක්‌ වියදම් කරනවා, නොයෙකුත් දේවල් මිලදී ගන්නවා. ඒ අය රටේ, ගුවන්තොටුපොළේ රැඳී ඉන්න කාලය සීමිත වෙන්න පුළුවන්. ඒ සඳහා මෙහෙට ගුවන් සේවා වැඩියෙන් එන්න ඕනෑ. මම අමාත්‍යාංශය භාරගත්තට පසු ගුවන්සේවා 9 ක්‌ පමණ අලුතින් ආව. ජනාධිපතිතුමා පකිස්‌ථාන් ජනාධිපතිතුමා ආපු වෙලාවෙ කළ සාකච්ඡා අනුව එහේ ගුවන් සේවයක්‌ ඉදිරියට එන්න පුළුවන්. මම කොරියාවට ගිය අවස්‌ථාවක "කොරියන් එයාර්" ගෙන්වා ගන්න උත්සාහ කළා. ඒ වගේ අලුත් ගුවන් සේවා රාශියක්‌ මෙහාට ගෙන්න ගත්තොත් අපේ රටට එන ගුවන් මගීන් ප්‍රමාණය වැඩිකර ගන්න පුළුවන්. ගුවන් සේවයක්‌ එනව කියන්නෙ අලුතින් මගීන් එනවා. ඒ කියන්නේ ඒ අය මෙහේ කිසියම් වියදමක්‌ දරනවා. රට අභ්‍යන්තරයට එන සංචාරකයො වගේම අපේ ගුවන්තොටුපොළ හරහා යනඑන සංචාරකයන් ප්‍රමාණය වැඩි කරගත්තොත් ඒ තුළින් අපට ලොකු ආදායමක්‌ ලබාගන්න පුළුවන්.

ප්‍රශ්නය - ඔබ දකින පරිදි ආර්ථික යුද්ධය ජයගැනීමේ දී රජයට තිබෙන ඉදිරි අභියෝග මොනවාද?

පිළිතුර - ආර්ථිකය ඉහළ ප්‍රතිශතයකින් වර්ධනය වුණත් ජනාධිපතිතුමාගෙ අදහස ඉටුවෙන්න නම් මේක බෙදිල යන්න ඕන හැමෝටම. දැන් අනිවාර්යයෙන්ම ජනාධිපතිතුමාගෙ ආර්ථික ඉලක්‌ක ඉටු වෙනවා. එනම් වර්ෂ 2016 දී ඒක පුද්ගල ආදායම ඩොලර් 4000 දක්‌වා වැඩි කරගැනීම ඇතුළු ඉලක්‌ක. මෙහිදී අපට අභියෝගත් තියෙනවා. දැන් ජනතාවගේ ආදායම් මාර්ග වැඩි වන විට ඉල්ලුම වැඩිවෙනවා. ඉල්ලුම වැඩිවෙන විට උද්ධමනය ඉහළ යනවා. ඒ නිසා උද්ධමනය පාලනය කරගන්න ඕනෑ. ඒ වගේම ආදායම් රටාව තුළ අපේ වියදම් රටාවන්, ආහාර රටාවන් වැරදි විදිහට ගිහින් තියෙනවා. වියදම් අධික වගේම සෞඛ්‍යය අතින් නුසුදුසු පරිභෝජන රටාවකුත් ඇතිවෙලා තියෙනවා. ඒ නිසා අපි ජනතාවගෙන් ආහාර රටාවෙදී පෝෂණය නැකි කර ගන්න එපා කියල විශේෂ ඉල්ලීමක්‌ කරන්න ඕන. දැන් ගර්භනී මාතාවක්‌ ගත්තොත් හොඳ පෝෂණයෙන් යුත් ආහාර ලැබෙන්න ඕන, ඒ දරුවා වෙනුවෙන්. ඒ නිසා ජනතාවගේ පෝෂණ මට්‌ටම රැකෙන පරිදි අපේ ආහාර රටාව රැකගත යුතුයි.

මේ සංවර්ධනයේ ප්‍රතිලාභ හැමදෙනාටම බෙදිල යන්න ඕනෑ. පැතිරෙන්න ඕනෑ. පළාතකට, ප්‍රදේශයකට හෝ සීමිත පිරිසකට සීමා වෙන්නෙ නැතුව සෑම පුද්ගලයාගේම, සෑම පවුලකම ජීවන තත්ත්වය වැඩිවන පරිදි සංවර්ධනය පැතිරෙන්න ඕන. පුළුල් ආර්ථික ඉලක්‌ක සපුරා ගන්න අතරම සංවර්ධනයේ ප්‍රතිලාභ සෑම පුද්ගලයාටම ගෙනයැමේ අභියෝගය ද අප ජයගත යුතු වෙනවා.

ප්‍රශ්නය - මේ වර්ෂයේ (2011) ආර්ථික අපේක්‍ෂා ගැන ඔබගේ තක්‌සේරුව කුමක්‌ද?

පිළිතුර - මේ වසර ආර්ථික සංවර්ධනය ගැන සම්පූර්ණයෙන්ම පාහේ අවධානය යොමු කළ හැකි වසරක්‌. ඒ නිසා ආර්ථික යුද්ධය ජයගැනීමේ ඉදිරි ගමනේ ඉතාම තීරණාත්මක වසරක්‌ ලෙස අපට මේ 2011 වර්ෂය හඳුන්වා දෙන්න පුළුවන්. මේ වර්ෂයේදී අනෙකුත් ආර්ථික ඉලක්‌ක සපුරා ගන්නා අතරම සමස්‌තයක්‌ වශයෙන් සියයට 8.5 ක පමණ ඉහළ ආර්ථික වර්ධනයකට ගමන් කරන්න පුළුවන් වෙයි කියලා අපේක්‍ෂා කරනවා. අපේ රට දැනටමත් ඉහළ ආර්ථික වර්ධන ගමනකට අවතීර්ණ වී සිටිනවා. ඒ ගමන තවත් වේගවත් කර ගැනීම තුළින් අපට තවත් ඉහළ ආර්ථික වර්ධනයක්‌ ළඟා කර ගන්න පුළුවන්. ආර්ථික වර්ධනය ඉහළ නංවා ගන්නා අතරම එහි ප්‍රතිලාභ සෑම ගමකටම, සෑම පවුලකටම ගලාගෙන යන පරිදි එය සිදුකිරීම කෙරෙහි අප විශේෂයෙන් අවධානය යොමුකර ක්‍රියාමාර්ග ගන්නා බවත් කියන්න ඕන.


ශ්‍යාම් නුවන් ගනේවත්ත

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.