සංස්‌කරණය : නාරද නිශ්ශංක

ක්‍රිකට්‌ තරගයක්‌ විචාරය කළදාට පසුදා
රඟපාන්න අවස්‌ථාවක්‌ ලැබුණොත්
ඒ තරම් සතුටක්‌ තවත් නැහැ

- කමල් දේශප්‍රිය
කමල්ගේ දෙමව්පියන් ආනන්ද සිරිසේන මහතා
සහ ඇග්නස්‌ සිරිසේන
යුවළ

නාලන් මෙන්දිස්‌ගේ "වාසනා වේවා"ටෙලි නාට්‍යයේ කමල්

ස්‌වර්ණමය යුගයකට හිමිකම් කියනුයේ සිංහල සිනමාව පමණද... නැත... අපේ ගුවන් විදුලියද එක්‌තරා කාලයකදී ස්‌වර්ණමය යුගයක්‌ පසු කළේය. එහෙත් පසුකලකදී සිනමාව මෙන්ම ගුවන් විදුලියද අගාධය කරා ගමන් කරන්නට විය.

සිනමාවේ මෙන්ම ගුවන් විදුලියේද කඩා වැටීම ඇරැඹියේ රූපවාහිනියේ ආගමනයත් සමගින් බව පැවැසීම වරදක්‌ නොවේ. රූපවාහිනිය වරදක්‌ නොවේ. එහෙත් රූපවාහිනියේ පැමිණීම සමග ඇතිවන තත්ත්වයට මුහුණ දීම සඳහා සිනමාව මෙන්ම ගුවන් විදුලියද සූදානම් වූයේ නැත.

එය වෙනම සාකච්ඡා කළ යුතු කරුණකි. අප මේ සූදානම් වන්නේ සිනමාව හෝ ගුවන් විදුලියේ කඩා වැටීම ගැන කරුණු කාරණා කතා බහ කිරීමට නොවේ. ගුවන් විදුලියේ ස්‌වර්ණමය යුගයට දායක වූ ශිල්පියෙකු සහ ශිල්පිනියක ගැන මතකය ආවර්ජනය කරමින් වෙනත් පුද්ගලයකු ගැන කතා කිරීමටය.

ආනන්ද සිරිසේන සහ ඇග්නස්‌ සිරිසේන ගුවන් විදුලියේ අපට සිටි ජ්‍යෙෂ්ඨතම සහ දක්‍ෂතම ශිල්පීන් යුවළකි. දීර්ඝ කාලයක්‌ සිය දස්‌කම් ඔස්‌සේ ගුවන් විදුලිය පෝෂණය කළ මේ දෙපළ අද අප අතර නැත. ඇග්නස්‌ සිරිසේන ශිල්පිනිය අපෙන් වියෝවී වසර දහසයක්‌ ගතව ඇත. ඇයගේ ආදරණීය සැමියා ආනන්ද සිsරිසේන අප අතැර ගොස්‌ වසර හතරකි.

මේ දෙපළට දරුවන් හය දෙනෙකි. ගුවන් විදුලියට හා රංගන ක්‍ෂේත්‍රයට ලෙන්ගතු වූයේ මේ දරුවන් අතුරින් එක්‌ අයෙක්‌ පමණකි. හේ කමල් දේශප්‍රියය. කමල් ඔබට නුහුරු නුපුරුදු චරිතයක්‌ නොවේ. කලාවට ආදරය කරන්නෝ පමණක්‌ නොවේ ක්‍රීඩා ලෝලිහුද කමල් දේශප්‍රිය හොඳින් හඳුනති.

කලාව වෘත්තිය කර නොගත්තද නිතර කලා කෘති සමග ඇසුරේ සිටින කමල් දේශප්‍රිය සමග අප කළ සාකච්ඡාවක සටහන් මෙවර පෙළගස්‌වමු.

ඔබේ මව සහ පියා පිළිබඳ මතකය අවදි කරමින්ම මේ සාකච්ඡාව අරඹමුද?

ඔව්... ඇත්තටම මම ගුවන් විදුලි සංස්‌ථාවට ගියේ පුංචි කාලේ... මගේ අම්මාගේ අතේ එල්ලිලා... අම්මා ඒ කාලේ ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදිකාවක්‌.... ගුවන් විදුලි නිවේදිකාවක්‌ වගේම නාට්‍ය ශිල්පිනියක්‌ ලෙසත් කටයුතු කළා. මගේ තාත්තා ගුවන් විදුලි නාට්‍ය රචකයෙක්‌. චිත්‍රපට දෙබස්‌ සහ තිරකතා රචකයෙක්‌ වගේම ගුවන් විදුලි නාට්‍ය ශිල්පියෙක්‌.

ඔබේ කලා ජීවිතයට මවගෙන් සහ පියාගෙන් ලද අභාෂාය...?

අම්මගෙත් තාත්තගෙත් ආභාෂය අනුව තමයි මම 1970 දී විතර ගුවන් විදුලියට පා තැබුවේ. ඒ 1970 දී විතර. අපේ ගෙදර නිතරම කතා කළේ කලාව ගැන... ඒ වගේම අම්මා චිත්‍රපටවල රඟපාන්න යද්දී තනියට මාවත් කැඳවාගෙන යනවා. මම කුඩා කල පටන් දැක්‌කේ කලාවේ විවිධ පැතිකඩ. කලා ක්‍ෂේත්‍රයට යොමුවෙන්න මට මේ කාරණා බලපාන්න ඇති.

ඔබ කලා ක්‍ෂේත්‍රයට පිවිසියේ කොහොමද?

මම ආවේ ගුවන් විදුලියේ ළමා පිටියෙන්. ඉන් පස්‌සේ ගුවන් විදුලි නාට්‍ය ශිල්පියෙක්‌ වෙනවා. රූපවාහිනිය නැති කාලය ජනතාව වැළඳ ගත්තේ ගුවන් විදුලි නාට්‍ය වජිරා, හන්දියේ ගෙදර මම සහභාගි වූ නාට්‍ය. ඉන්පසුව මම ගුවන් විදුලි නිවේදකයෙක්‌ බවට පත්වෙනවා. ඒ එක්‌කම තමයි ගුවන් විදුලියේ ක්‍රිකට්‌ විචාරකයෙක්‌ බවට පත්වන්නේ ඒ 1982 දී. එකල ශ්‍රී ලංකාවට ටෙස්‌ට්‌ වරම් ලැබී ක්‍රිකට්‌ ජනප්‍රිය වෙමින් තිබෙන කාලය.

රූපවාහිනි ක්‍රිකට්‌ විස්‌තර විචාරකයෙක්‌ වූ පසුව තමයි ජනතාව රූපයෙන් මාව හඳුනා ගත්තේ. ඒත් මගේ අක්‌මුල් තිබෙන්නේ ගුවන් විදුලි නාට්‍ය හා නිවේදන කලාවේ. පසුකාලීනව මම ටෙලි නාට්‍ය කිහිපයකුත් රඟපෑවා. වජිරා, වීදුරු ගෙවල්, මල් කැකුළක්‌ ඉකිබින්දා, ගමන වගේ ටෙලි නාට්‍ය. දැනුත් බොහෝ දෙනෙක්‌ මාව හඳුනන්නේ ක්‍රිකට්‌ විස්‌තර විචාරකයෙක්‌ ලෙසටයි. නමුත් මම අනෙක්‌ ක්‍රීඩා විස්‌තර විචාරකයෙක්‌ වශයෙනුත් කටයුතු කරනවා.

ක්‍රිකට්‌ විස්‌තර විචාරය සහ කලාව ඔබ දකින්නේ කෙබඳු ආකාරයටද?

ඇත්තටම මේ ක්‍ෂේත්‍ර දෙකක්‌. ක්‍රිකට්‌ විචාරය කිරීම යනු දත්ත හා ඉතිහාසය සම්බන්ධ කර ගනිමින් නොයෙක්‌ දේ කතා කළ යුතු විශ්ලේෂණය කළ යුතු එක්‌තරා කලාවක්‌. ඒකත් කලාවක්‌. අනෙක්‌ පැත්තට කලාව එහෙම නොවේ. බොහෝම සංවේදී ලෙස මිනිසුන් අතරට යන්න, මිනිසාගේ දෑස්‌ සහ හදවත් බැඳ ගන්නට හැකි ක්‍ෂේත්‍රයක්‌ ලෙසයි කලාව මම දකින්නේ.

මේ ක්‍ෂේත්‍ර දෙකෙන් වැඩිපුරම සැරිසරන්න කැමති කුමන ක්‍ෂේත්‍රයකද?

මේ දෙකම සම සමව කරන්න මම කැමතැයි. හැමදාම විවිධ දේ කරන්න, විවිධ කරුණු කතා කරන්න, විවිධ සිදුවීම්වලට මුහුණ දෙන්න මම කැමතියි. ක්‍රිකට්‌ කියන්නේ මොහොතින් මොහොත, පන්දුවෙන් පන්දුවට කතා කරන දේ වෙනස්‌ වන ක්‍ෂේත්‍රයක්‌. නමුත් රඟපාද්දී එහෙම නොවේ. එනිසා මම අද ක්‍රිකට්‌ විචාකරයෙක්‌ ලෙස කටයුතු කර හෙට උදැසන ටෙලි නාට්‍යයක හෝ ගුවන් විදුලි නාට්‍යයක රඟපානවානම් එතරම් සතුටක්‌ මට තවත් නැහැ.

ඔබ කලක පටන් ගුවන් විදුලියේත්, රූපවාහිනියේත් කටයුතු කරන ශිල්පියෙක්‌.

රූපවාහිනියේ ආගමනයත් සමග ගුවන් විදුලි නාට්‍ය කලාවට විශාල බලපෑමක්‌ එල්ල වූ බව කීවොත් ඔබ එය පිළිගන්නවාද?

ඔව්. ඇත්තටම රූපවාහිනිය පිවිසි පසු ගුවන් විදුලි නාට්‍ය ක්‍ෂේත්‍රය දැඩි කඩා වැටීමක්‌ සිදුවුණා. මීට හේතුව තමයි රූපවාහිනියේ පැමිණීමට මුහුණ දෙන්න ගුවන් විදුලිය සූදානම්ව නොසිටීම. ගුවන් විදුලිය ඒ සඳහා සටනක්‌ ලබා දුන්නේ නැහැ. ගුවන් විදුලිය අසන්නාගේ පරිකල්පනයට කතා කරන මාධ්‍යයක්‌. එහෙත් රූපවාහිනිය එසේ නොවේ. රූපවාහිනියේ විකාශනය කරන දෑ අද සතියකින් දෙකකින් නරඹන්නාට අමතක වෙනවා. ඒත් ගුවන් විදුලියේ නාට්‍ය, ඒවායේ චරිත, දෙබස්‌ පවා අදත් මතකයේ රැඳුණු මිනිසුන් අපට හමුවෙනවා. මෙය මාධ්‍යයන් දෙකක්‌. නමුත් රූපවාහිනිය අභිබවා යන ආකාරයට තරග කරන්න ගුවන් විදුලිය අපොහොසත් වුණා. ඒ සටනට ගුවන් විදුලිය එදා වගේම අදත් සූදානම් නැහැ. වෙනස්‌ වන ලෝකයේ වෙනස්‌ වන ආකාරයට. ගුවන් විදුලිය අනුගත වුණේ නැහැ. එහෙම වුණා නම් ගුවන් විදුලිය අසන පිරිසක්‌ බිහිකර ගන්න අපට තිබුණා.

ඔබ කලාව වෘත්තිය ලෙස තෝරා නොගත්තේ ඇයි?

ඇත්තටම මගේ අම්මා තමයි මට කිව්වේ කලාව රැකියාවක්‌ ලෙස කරන්න එපා කියලා. ඇය මට එදා දුන් අවවාදය හරියටම හරි. කලාව රැකියාවක්‌ ලෙස කළ හැකි තත්ත්වයක්‌ අදත් රටේ නැහැ. වෙනත් රැකියාවක්‌ කරන ගමන් කලාව විනෝදයට කළොත් ඒ දෙකටම සාධාරණයක්‌ ඉටුවේවි. කලාව රැකියාවක්‌ ලෙස කරන්න ගියා නම් මුදල් හම්බ කරනවා මිසක්‌ කලාව නියමාකාරයෙන් නොකෙරෙන්න පුළුවන්.

අද අපේ සිනමාව, රූපවාහිනිය, ගීතය ආදි කලාවන් ගමන් කරන්නේ කොයිබටද... කියා පිළිතුරක්‌ දිsය හැකිද?

මම දකින විදිහට නම් අපේ කලා නිර්මාණ කර්මාන්තයක්‌ ලෙස සම්පූර්ණයෙන්ම අසාර්ථකයි. නමුත් නිර්මාණාත්මක පැත්තෙන් අපේ නිර්මාණ ගැන බොහෝ සේ සෑහීමකට පත්වෙන්න පුළුවන්. කවුරු කෙසේ කීවත් නව ලෝකය හා එක්‌ව අනිවාර්යයෙන්ම අප ඉදිරියට යා යුතුයි. ඒ යන ගමනේදී නව යොවුන් වියට දොස්‌ කීමෙන් පළක්‌ නැහැ. ඒ අය කරන නිර්මාණ ඔස්‌සේ ඔවුන් දකින දේ අපටත් දකින්න පුළුවන්නම් එය තමයි කලාවට කළ හැකි සාධාරණත්වය.

ඔබ ගැන, පවුලේ අය ගැන තොරතුරු කිව හැකිද?

ඔව්. මම ඉගෙන ගත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයේ. දැන් මම සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි) ලෙස කටයුතු කරනවා. මම විවාහකයි. බිරිය ශ්‍යාමලී. මට පුත්තු තුන් දෙනෙක්‌ ඉන්නවා. සිතුම් සහ යසිත් පුතුන් දෙදෙනා රැකියා කරනවා. චතුර් පොඩි පුතා නාලන්දා විදුහලේ උසස්‌ පෙළ හදාරනවා. මට සහෝදරයන් තුන් දෙනෙක්‌ සහ සහෝදරියන් තුන් දෙනෙක්‌ ඉන්නවා. පිරිමි අයගෙන් බාලයා මම. මට බාල නංගිලා දෙදෙනෙක්‌ ඉන්නවා.

ඔබේ පුතුන් තිදෙනා ක්‍රීඩාවට සහ කලාවට යොමුවී නැද්ද?

මගේ පුතුන්ගෙන් එක්‌ අයෙක්‌වත් ක්‍රිකට්‌ තරගයක්‌ බලන්නවත් කැමති නැහැ.

ක්‍රිකට්‌ ක්‍රීඩා කරන්නෙත් නැහැ. නමුත් ඒ අය කලාව හොඳින් විඳිනවා. චිත්‍රපට, ටෙලි නාට්‍ය බලනවා. ගීත රස විඳිනවා. ඒත් එක්‌ පුතෙකු හෝ කලා ක්‍ෂේත්‍රයට ඒවිද කියා විශ්වාසයක්‌ නැහැ. මම ඒ සඳහා ඔවුන්ට බලපෑම් කරන්නෙත් නැහැ.

අජිත් අලහකෝන්

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.