සංස්‌කරණය : නාරද නිශ්ශංක

දෘෂ්‍ය නොවන ගීතවලට රූප රචනය කරන්න
මම යොමු වෙන්නේ නෑ!


ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහයන් සමග රවින්ද්‍ර ගීතමය රූප රචනයකට එක්‌වී.......

සංවේදී මිනිස්‌ පරපුරක්‌ ඇති කිරීමෙහිලා ගීතය නම් වූ සෞන්දර්යාත්මක කලා මාධ්‍ය සිදු කරනුයේ මහගු කාර්යයකි. අත්දැකීම් ප්‍රතිනිර්මාණය කරමින් කඩදාසියක කුරුටු ගාන ගී පද රචනයක සෞන්දර්ය තීව්‍ර කිරීම උදෙසා ඊට තනුව යොදන සංවේදී නිර්මාණකරුවා සේ ම සුගායනීය ලෙස එය ගායනා කරන්නා වූ තැනැත්තා හෝ තැනැත්තිය ද ඊට නොදෙවෙනි දායකත්වයක්‌ දරනු ඇත. මෙකී තුන් ඈඳුතු ගීතයට සිව්වැන්නෙක්‌ එකතු කරන්නට පුරෝගාමී වූ ඔහු ප්‍රවීණ රූපරචක, රූපවාහිනී සංගීතමය වැඩසටහන් හා ප්‍රාසාංගික වැඩසටහන් අධ්‍යක්‍ෂකවරයකු ලෙස දෙස්‌ විදෙස්‌ ගෞරවයට පාත්‍ර වූ රවීන්ද්‍ර මුණසිංහ යි.

ගුවන් විදුලි නැත්නම් ශ්‍රව්‍ය මාධ්‍ය ඔස්‌සේ හදවතට සංවේදී වූ ප්‍රතිභාන්විත ගීත රූප මාධ්‍යයට උචිත පරිදි හා ගීතයේ අන්තර්ගතයට අසාධාරණයක්‌ හෝ හානියක්‌ නොවන පරිදි ප්‍රතිනිර්මාණය කිරීමෙහිලා ප්‍රමුඛයා වන්නේ ඔහුය. මනෝහාරී, නඳුන් උයන, සිනමා ගීතාවලෝකන, ආදී ඔහුගේ ප්‍රසාංගික අධ්‍යනාර්ථයෙන් ප්‍රතිනිර්මිත සංගීතමය වැඩසටහන් රැසක්‌ ඊට සාක්‍ෂි දරනු ඇත.

රූපවාහිනී මෙරටට හඳුන්වා දුන් මුල් කාලයේ ගුවනින් රස විඳි ගීත ටෙලි විෂනය ඔස්‌සේ දක්‌නට හා රූපවාහිනී ප්‍රේක්‍ෂකයන්ට දෘශ්‍ය කිරීමට රූපවාහිනී සංගීත වැඩසටහන් අධ්‍යක්‍ෂවරු නොයෙක්‌ අත්හදා බැලීම් කළහ. එවැනි අත්හදා බැලීම්, පර්යේෂණ ඔස්‌සේ රූපවාහිනී ගීත කලාවට නව නිර්මාණකරුවකු රූපරචකයා ලෙසින් ශ්‍රී ලංකාවේ බිහි කරන්නට රවීක්ද්‍ර මුණසිංහ පෙර ගමන් කරු වූයේය. ඔහුගේ "නඳුන් උයන" හා "සිනමා ගීතාවලෝකන" සංගීත වැඩසටහන් හරහා රූපරචකයා නම් වූ නිර්මාණකරුවා මෙරට බිහි විය. රූපරචනය යන්න මෙරටට හඳුන්වා දෙන ලද්දේ ඔහු විසිනි. මෙය ඒ වන විටත් ලෝකයේ බොහෝ රටවල ටෙලිවිෂන් මාධ්‍යයේ දැකගත හැක වුවත් ශ්‍රී ලාංකිකයන්ට අලුත් අත්දැකීමක්‌ විය.

"ඇත්තට ම ගුවන් විදුලියෙන් ජනප්‍රිය වූ ගීත මුලින් ම මේ රටේ ටෙලිවිෂන් මාධ්‍ය ඔස්‌සේ දර්ශනය කිරීමේ දී නොයෙක්‌ අර්බුද මතු වුණා. මුල් ම කාලයේ ඒ ගීත දර්ශනය කළේ රූපවාහිනී මැදිරියට ගුවන් විදුලියේ ගීත ගැයූ ශිල්පීන් ගෙන්වලා එක්‌කෝ මයික්‍රෆොaනයක්‌ අතට දීලා ගීතය කැමරාව ඉදිරියේ ගායනා කිරීමයි. එහෙම නැත්නම් මැදිරියට ගායකයා සමග වාදන මණ්‌ඩලයත් ගෙන්නුවා. පස්‌සේ කාලෙක මැදිරියෙන් පිටත සුන්දර ස්‌ථානවලටත් ගිහින් ගීත රූපවාහිනිය සඳහා පටිගත කර විකාශනය කළා. ඒ දර්ශන දකිද්දී මම කල්පනා කළා මීට වැඩී යමක්‌ ශ්‍රව්‍ය දෘෂ්‍ය දෙකම යොදා ගෙන කරන්න බැරිද කියලා. ඒ අනුව මම නොයෙක්‌ පර්යේෂණ කරන්න පටන් ගත්තා. ප්‍රසාංගික කලාව රූපවාහිනිය ඔස්‌සේ ප්‍රේක්‍ෂකයන්ට ලබා දෙමින් ගීතයේ රසයට හානි නොවන ලෙසිත්, ටෙලිවිෂන් මාධ්‍යය ඵලදායී ලෙස යොදා ගනිමිනුත් මම නිර්මාණය කළ "මනෝහාරී" වැඩසටහන කළඑළි බසින්නේ ඒ අත්හදා බැලීම් ඔස්‌සේ යි." රවීන්ද්‍ර අප සමග පැවැසුවේය.

මනෝහරී ඇතුළු ඔහුගේ නිර්මාණ රැසකට නොකඩවා වසර පහක්‌ සුමති සම්මාන ද සිග්නීස්‌ සම්මාන ද ඕසීඅයිසී සම්මාන ද හිමි වන්නේ එහි වූ ප්‍රශස්‌ත බව නිසාය. මීට අමතරව ඔස්‌ටේ්‍රලියාවේ එස්‌. බී. එස්‌. ආයතනය විසින් හොඳම වාර්තාමය වැඩසටහන සඳහා වූ සම්මානය ද ජර්මනියේ නියුනික්‌ හිදී හොඳම ළමා ගීතය සඳහා හිමි "ප්‍රී ජුනියස්‌" සම්මානය (සුනාමි ගීතය සඳහා) ද ජර්මනියේ බර්ලින් ගොල්ඩන් ප්‍රාග් සම්මානය විශාරද නන්දා මාලිනීගේ මවගේ ගීතය මැයෙන් වූ "නඳුන් උයන" වැඩසටහන සඳහා ද අයර්ලන්තයේ ජෙමිනි සම්මානය හොඳම නාට්‍යමය ස්‌වරූපී සංගීතමය වැඩසටහන උදෙසා කරුණාරත්න දිවුල්ගනයන්ගේ ගීතය ඇසුරින් නිර්මාණය කළ " නඳුන් උයන" වැඩසටහන සඳහා ද හිමි විය. රූපවාහිනී සඳහා ගීත මෙතරම් දෙස්‌ විදෙස්‌ සම්මාන රැසක්‌ දිනාගත් එකම රූපරචකයා නැත්නම් රූපවාහිනී සංගීත වැඩසටහන් නිර්මාණ ශිල්පියා රවීන්ද්‍ර මුණසිංහ බව මගේ දැකීමයි. මේ නිසාම ඔහුට දෙස්‌ විදෙස්‌ ආයතන රැසක රූපවාහිනී කලාව සම්බන්ධ දේශන, වැඩමුළු, සම්මන්ත්‍රණ ආදිය පැවැත්වීමට ඇරයුම් ලැබී තිබේ.

"ඇත්තට ම තෝරා බේරා ගෙන ඒ කටයුතුවලට දායක වෙනවා. මොකද කාලය පිළිබඳ ගැටලු තිබෙනවා. මේ දිනවලත් දැඩි අවිවේකීව ගත කරන්නේ අපේ කලාශිල්පීන්ගේ නිර්මාණ කිහිපයක්‌ භාර අරගෙන සිටින නිසයි. පසුගිය දිනවල දීපිකා ප්‍රියදර්ශනී පීරිස්‌ගේ "සුදු හංසිනී" ප්‍රසංගය හා ඩීවීඩී පටය මම කළා. ඒත් එක්‌කම බණ්‌ඩාර ඇහැළියගොඩගේ "දුවේ නුඹ මගෙ ප්‍රාණයයි" ප්‍රසංගයේ සම්පූර්ණ ප්‍රසංග අධ්‍යක්‍ෂණය මා වෙත පැවරුණා. ළඟදීම ඒක රූපවාහිනිය ඔස්‌සේ දැකගත හැකි වේවි. ඒත් එක්‌කම රාජ්‍ය මට්‌ටමේ වැඩ කිහිපයකට ම මේ දිනවල දායක වෙලා ඉන්නවා. සිග්නීස්‌ සම්මාන උළෙලත් අලුත් ම විදියකට මගේ අධ්‍යක්‍ෂණයෙන් සිදු කළා. එහිදී ජාත්‍යන්තර සම්මාන උළෙලවල මට්‌ටමට එය කරන්න මම ක්‍රියා කළ. ඇත්තටම හොඳ ප්‍රතිචාර ලැබුණා" ඔහු කීවේය.

වසර ගණනාවක්‌ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්‌ථාවේ සංගීත අංශයේ අධ්‍යක්‍ෂවරයකු ලෙස කටයුතු කළ රවීන්ද්‍ර මුණසිංහගෙන් ජාතික රූපවාහිනිය පිළිබඳව ද අපි විමසුවෙමු.

"ජාතික රූපවාහිනියට මම ආදරය කරන්නේ මගේ අම්මාට නොදෙවැනි ආකාරයටයි. මම බොහෝ දේ ඉගෙන ගත්තේ ජාතික රූපවාහිනියෙනුයි. ආයතනයෙන් මටත්, මගෙන් ආයතනයටත් සුබ සිද්ධියක්‌ වෙලා තියෙනවා. අදටත් දිනකට විනාඩි පහක හෝ කාලයක්‌ මම කළ නිර්මාණ ජාතික රූපවාහිනිය ඔස්‌සේ විකාශනය වෙනවා. ඒ ගැන සතුටුයි. පසුගිය කාලයේ ජාතික රූපවාහිනියේ කිසියම් පිරිහීමක්‌ මා දුටුවා. නමුත් මේ වන විට හොඳ මට්‌ටමකට එමින් තිබෙන බවක්‌ පේනවා. ප්‍රවීණයන් බොහෝ දෙනෙක්‌ පසුගිය කාලයේ රූපවාහිනියෙන් ඈත් වුණා. නැවතත් ඒ අයගේ ප්‍රවිශ්ටයන් ටික ටික දකින්න ලැබෙනවා. ඒ ගැන සතුටුයි".

වත්මන් රූපරචනා කලාව ඔහු දකින්නේ කෙසේ දැයි අපි ප්‍රශ්න කළෙමු.

"මම කිසි දවසක ගීත රචකයා අභිමවා ගිහින් නැහැ. ගිතයේ පළමු අයිතිකාරයා ගීත රචකයායි. සිතුවිල්ලක්‌ රූපයකට නගන්න බැරිනම් ඒක දෘෂ්‍ය ගීතයක්‌ නොවෙයි. එවැනි දෘෂ්‍ය නොවන ගීතවලට රූප රචනය කරන්න මම යොමු වෙන්නේ නැත්තේ ගීතයට හානි කරන්න බැරි නිසයි. නමුත් අද බිහිවන අලුත් ගීත බොහෝමයක ගීත රචනා නැහැ. වචන විතරයි තියෙන්නේ. ඒ නිසා ඒවාට දර්ශන පෙළ ගස්‌සවන්න පුළුවන්. ඒ වගේම අද තියෙන්නේ රූප රචනා නෙවෙයි. අද තියෙන්නේ නටන දර්ශන එහෙමත් නැත්නම් රූගත කළ නැටුම් විතරයි. රූප රචනා කලාව දකින්න නැහැ. නමුත් මේක අද කර්මාන්තයක්‌ බවට පත් වෙලා. ගීතයක්‌ දර්ශනගත කරන්න විශාල මුදලක්‌ අය කරනවා. තාක්‍ෂණය අතින් ඉහළම තලයක මේ ක්‍ෂේත්‍රය තියෙනවා. ඒක අනවශ්‍ය විදියට හැසිරීම නිසා වැඩි කාලයක්‌ නොගොස්‌ මේ කර්මාන්තය කඩා වැටෙන්න පුළුවන්. ඒ ගැන මම කනගාටු වෙනවා."

තුෂාරී කළුබෝවිල
 

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.