සංස්‌කරණය : නාරද නිශ්ශංක

පුංචි තිරයේ හරසුන් මායා ලොවින්
ප්‍රේක්‌ෂකයා ගලවා ගත හැකි ඔබ ද ලක්‌ෂපති
මම ද ලක්‌ෂපති සිරස රූපවාහිනි වැඩසටහන


මෑතක සිට "සිරස" රූපවාහිනියෙන් ඉදිරිපත් කරන "ඔබ ද ලක්‌ෂපති මම ද ලක්‌ෂපති" සාමාන්‍ය දැනුමේ අවබෝධය ලබාදෙන හෝරාව කතිකාවකට පාත්‍ර විය යුතු වැඩසටහනකි. විශේෂයෙන් පාසල් වියේ දරුවාගේ සිට ජ්‍යෙෂ්ඨ පුරවැසියා දක්‌වා සියලු වයස්‌ මට්‌ටම්වල ශ්‍රී ලාංකිකයන් සැමට "සාමාන්‍ය දැනුම" වර්ධනය කර ගැනීමට, යටි සිත තුළ පවත්නා අතීත මතක යළි අලුත් කර ගැනීමට, සාමාන්‍ය දැනුමේ යම් යම් ගැටලු නිරාකරණය කර ගැනීමට ලැබී ඇති විශිෂ්ට අවස්‌ථාවක්‌ ලෙස මෙම වැඩසටහන වැදගත් වේ. බොළඳ ටෙලි කෘති, හරසුන් සංගීත වැඩසටහන් හා අර්ථවත් ජීවිතාබෝධයක්‌ නොමැති හුදු ඇස පිනවීම තේමා කරගත් වැඩසටහන් අතරට මෙවැනි අර්ථවත්,බුද්ධිමය නිම් වළලු පුළුල්a කරන වැඩසටහනකට සති අන්ත හෝරා දෙකක්‌a වෙන් කිරීම "සිරස" සිදු කර ඇති සමාජ සත්කාරක ව්‍යාපෘතියක්‌ හැටියටත් සුවිශේෂී වේ. එක අතකට මෙබඳු සාමාන්‍ය දැනීමේ වැඩසටහනක්‌, ආකර්ෂණීය ආකෘතියක්‌ තුළ ගොඩ නඟා තිබීම බුද්ධිමත් බවට ප්‍රඥdවද එකතු කරන අවස්‌ථාවකි. තරගකරුවාට උපකාරක අවස්‌ථා තුනක්‌ ලබාදීම හා එම සහයෝගය අපේක්‌ෂා කරන විටදී නරඹන්නන්ගෙන් හා බාහිර පුද්ගලයන්ගෙන් ලැබෙන පිළිතුරු තුළින් විවිධ ජන කොටස්‌වල සාමාන්‍ය දැනුම පිළිබඳ මැන බැලීමක්‌ ද සිදුවේ. ඇතැම් විට සජීවීව සහභාගී වන නරඹන්නන්ගේ සහ බාහිර අයගේ සාමාන්‍ය දැනුමේ දුබලතා ද එළිදැක්‌වේ.

ටෙලි නාට්‍ය කලාවෙන් හොඳ චරිතාංග නළුවකු ලෙස ප්‍රකටව සිටි ලකී ඩයස්‌ගේ භූමිකාව සතුටුදායක මට්‌ටමක පවතී. එසේ වුවද ඇතැම් විට සුහදත්වය හා මහජන සම්බන්ධතා ගුණය වැඩිවීම නිසාදොa තරගකරුවන්ගේ අනවශ්‍ය අටුවාටීකා අසා සිටීමට නිවෙස්‌වල සිටින ප්‍රේක්‌ෂකයන්ට සිදුවේ. එම සංවාද දුර දිග යැමෙන් එක වැඩසටහනක්‌ තරගකරුවන් දෙදෙනකුට බොහෝ විට සිමාවේ. එක්‌ හෝරාවක්‌ තුළ තරගරුවන් තිදෙනෙකුට අවස්‌ථාව ලැබේ නම් ලක්‌ෂ සංඛ්‍යාත ප්‍රේක්‌ෂකයන්ට සාමාන්‍ය දැනුමේ විවිධත්වයත්, තරගකරුවන්ගේ බුද්ධිය හා ප්‍රඥdව පිළිබඳවත් දැඩි ආකර්ෂණයක්‌ සහිතව වැඩසටහන සමග බද්ධ වී සිටීමට අවස්‌ථාව හිමිවේ. මාස හයක අත්දැකීම් ලද පසුව හෝ මුල් කඩයිම් තෑගි මුදල රු. 25,000 දක්‌වා වැඩි කිරීම සුදුසුය. එසේම අපේ සහෝදර දෙමළ භාෂාව කතා කරන ජනතාව වෙනුවෙන් මෙම වැඩසටහනේ දෙමළ පරිවර්තනයක්‌ "සිරස" දමිළ නාලිකාවක සමාන වේලාවටම විකාශය කරන්නේ නම් ජාතික වශයෙන් වැදගත් සාමාජ යුතුකමක්‌ ඉටු කිරීමක්‌ වන අතර, ශ්‍රී ලාංකීය අනන්‍යතාවට ගරු කිරීමක්‌ ද වනු ඇත.

"ඔබ ද ලක්‌ෂපති මම ද ලක්‌ෂපති" හරහා "සිරස" ආයතනය යහපත් සමාජ වගකීමක්‌ ඉටු කර ඇත. මෙය ආරම්භයක්‌ ලෙස සලකා සාමාන්‍ය දැනුමෙන් ජනතාව පෝෂ්‍ය කිරීමේ යුතුකම තව ඔබ්බට ගෙන යා යුතු බව මතක්‌ කරමි. විශේෂයෙන් පාසල්වල අ.පො.ස (සා.පෙ) සහ උසස්‌ පෙළ දරුවන් අතර ජාතික මට්‌ටමින් මෙවැනි වැඩසටහන් මාලාවක්‌ සංවිධානය කිරීම ඉතා වැදගත්ය. ජනසන්නිවේදන විෂයයට අදාළව විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්යවරයකු ලෙස මා ලබා ඇති අත්දැකීම් අනුව සරසවි සිසුන් තුළ වුවද විෂයීය දැනුමින් පරිබාහිරව සාමාන්‍ය දැනුමේ පවත්නා අඩුව දුරලීම සඳහා විශ්ව විද්‍යාල පද්ධතිය තුළද මෙබඳු හරවත් වැඩසටහන් මාලාවක්‌ දියත් කරන්නේ නම් එය උසස්‌ අධ්‍යාපනය ලබන සිසුන් වෙනුවෙන් කරනු ලබන මහඟු මෙහෙවරක්‌ වනු ඇත. ඉතිහාසයට, සෞන්දර්ය කලාවන්ට, විද්‍යාවට, තාක්‌ෂණයට, ලොව වැදගත් සංසිද්ධීන්වලට වටිනාකමක්‌ එකතු කරන ප්‍රශ්නෝත්තර වැඩසටහනක්‌ බොහොම කලාත්මකව ඉදිරිපත් කරන නිසා සරසවි සිසුන් තුළ පවත්නා අසහනය හා නොයෙකුත් ගැටුම් තුනී ගැනීම, ආකල්ප වෙනසක්‌ ඇති කර ගැනීමට, මානව දයා ගුණය ඉස්‌මතුවීමට මෙවැනි වැඩසටහනක්‌ මහඟු= අත්වැලක්‌ සපයනු නිසැකය. මීට අමතරව පාසල් ගුරුභවතුන්ටත්, පරිපාලන වගකීම් දරන වෘත්තීයවේදීන් වෙනුවෙනුත් විශේෂයෙන් ජනමාධ්‍යවේදීන් සඳහාත් මෙවැනි දැනුම හා අවබෝධය ලබාදෙන ව්‍යාපෘතියක්‌ ඇරැඹීමට ඇති හැකියාව ගැනද සොයා බලන ලෙස යෝජනා කරමි.

ආචාර්ය නිහාල් රංජිත් ජයතිලක

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.