සංස්‌කරණය : නාරද නිශ්ශංක

මියුරු තනු නිමැයුම් කොතරම් වේද මනරම්
ගලගෙදර හක්‌ සංගීතවේදියා

"චන්දන ඇල්ලෙන් නාලා..." "දකින දසුනේ දෙනෙත රැඳුණේ..." රසාලිප්ත ගී රැසක්‌ නිර්මාණය කළ සංගීතඥ ගලගෙදර හක්‌ "දිවයින"ට කියූ දුක්‌බර කතාවක්‌!

"ඉමිහිරි තනු රැසක්‌ මා ළඟ තිබෙනවා. ඒත් උදව් කරන්න කවුරුවත් නැහැ. මගෙන් වැඩක්‌ ගන්නෙත් නැහැ. මම ගැන මොනවාහරි ලියලා මට උදව් කරන්න." මගේ ජංගම දුරකථනයට ලැබුණ එම කෙටි පණිවුඩය මට එවා තිබුණේ මෙරට රසිකයන් අතර ඉමහත් සේ ජනප්‍රිය ගීත රැසකට තනු නිර්මාණය කළ ගලගෙදර හක්‌ නම් වූ සංගීතවේදියා විසිනි.

මෙයට වසර හතකට පමණ පෙර දිනෙක "දිවයින" කාර්යාලයට පැමිණි මෙම සංගීතවේදියා තමා පිළිබඳ අද බොහෝ දෙනකුට අමතකවීම පිළිබඳ සඳහන් කරමින් පත්‍රයේ "මාධ්‍යවේදියකු වන සිරිමෙවන් කස්‌තුරිආරච්චි" අප හා කළ සම්මුඛ සාකච්ඡාව 2003 ඔක්‌තෝබර් 30 වැනිදා "දිවයින" සිනමා කලා සංග්‍රහයේ පළ කර තිබුණේ "සම්මාන ඇගැයීම් අහිමි වුණු සංගීතවේදියෙක්‌" යන සිරස්‌තලයෙනි.

චන්දන ඇල්ලෙන් නාලා
අංජන මල් මී ගාලා
හැංගුන බඹරා ආවා
ලස්‌සන රහසක්‌ කීවා

මෙරට සිනමා ඉතිහාසයෙන් දින 107 නොකඩවා ප්‍රදර්ශනය කරමින් වාර්තාවක්‌ ද පිහිටුවූ "සුජීවා" චිත්‍රපටයට ආදරණීය ගායක එච්. ආර්. ජෝතිපාලයන් ගැයූ මෙම සුමියුරු ගීතයේ (ධර්මසිරි ගමගේ පද රචනය කළ) තනුව නිර්මාණය කළ සංගීතවේදියා වන්නේ ද "ගලගෙදර හක්‌" ශිල්පියායි.

ජෝති-පරීනා "ඔබයි මමයි"

              
                             රෝයි-සුමනා රඟපෑ එදා "සූකිරි කෙල්ල"

                     

ගීතයක්‌ රස විඳින්නට තුන් ඈදුණු සම්මාදමක සුසංයෝගය වැදගත් වෙයි. ගීතයේ පදමාලාව ගායනය මෙන්ම ඊට ඉතා මියුරු තනු නිර්මාණයක්‌ ඇතුළත් නොවුණහොත් එය සැබැවින්ම සාර්ථක ගීතයක්‌ ලෙස අප හදවතේ සදාකාලිකව සටහන් නොවේ. "ගලගෙදර හක්‌" නමින් ප්‍රකට මෙම ජ්‍යෙෂ්ඨ සංගීතඥයා ඔහු තනු නිර්මාණය කළ ගීත අදත් අපට රසවිඳිය හැක්‌කේ එම තනුවල ද ඇති නිර්මාණාත්මක බව නිසාම යෑයි පැවසීම අතිශයෝක්‌තියක්‌ ද නොවේ. තමන්ගේ තනුවලට ගී ලියූ කරුණාරත්න අබේසේකර, ධර්මසිරි ගමගේ, ප්‍රේමකීර්ති ද අල්විස්‌ වැන්නන් ඔහු අදත් නිතර සිහිපත් කරයි.


1973 වසරේ හොඳම චිත්‍රපට පසුබිම් ගායකයා ලෙස ද සම්මානයක්‌ හිමිකර දුන් "චන්දන ඇල්ලෙන් නාලා" ගීතය පමණක්‌ නොව හැත්තෑව දශකය මුල් භාගයේ අතිශයින් සාර්ථකව තිරගත වූ චිත්‍රපට පහක පමණ සංගීත අධ්‍යක්‍ෂණය කළේ ද ඔහු විසිනි. ජෝ දේව් ආනන්ද අධ්‍යක්‍ෂණය කළ "සුජීවා" මෙන්ම ගීතා, සුජීවා සුනේත්‍රා, සූකිරි කෙල්ල, ඔබයි මමයි" යන චිත්‍රපටවල සංගීත අධ්‍යක්‍ෂණය කළේ ඔහු විසිනි.

"දකින දසුනේ දෙනෙත රුඳුනේ සොඳුරු රුව ඔබ වේ...." (ජෝති), හිටින්න පොඩ්ඩක්‌ හිටින්න දුවන්නේ ඇයි ඔයා... (ජෝති), හංස ධෙනුව හංසයාගේ (ජෝති - ඇන්ජලීන්), පැන පැන එන සඳේ (සුජාතා), සීතලේ මල්වනේ පාවෙලා (ලතා), හද සන්තානේ ඇති සන්තෝසේ (ජෝති - සුජාතා), ආදරණීය බබෝ (එම්. එස්‌.), ප්‍රංශයෙන් රැජන ආවා (ප්‍රෙඩී), ඈත වනපෙත සරසාලා (සුජාතා), පායයි මේ රෑ සඳවතී (සුජාතා), නොයිඳුල් වන මල් (ජෝති) ආදි ජනප්‍රිය ගීත 39 ක තනු හා සංගීතය නිර්මාණය කළේ මෙම සංගීතවේදියා විසිනි.

"දිවයින" සමග මුල් වරට පිළිසඳරක යෙදී ඉන් වසර හතකට පසු යළිත් අපට හමුවුණු මේ සංගීතවේදියා පළමුව තම අතීතය පිළිබඳ පවසන්නට අමතක කළේ නැත.

"මම උපතින්ම මුස්‌ලිම් ජාතිකයෙක්‌. ඉපදුනේ ගලගෙදර. ගම්පොළ සහිරා විදුහලේ පළමුව අධ්‍යාපනය හැදෑරුවා. පස්‌සේ 6 ශේ්‍රණියේ සිට උසස්‌ පෙළ දක්‌වා යාපනය ශාන්ත ජෝන් විද්‍යාලයේ ඉගෙන ගත්තා. ඊට පස්‌සේ ඉංගී්‍රසි පුහුණු ගුරුවරයකු ලෙස රස්‌සාව කරන්න ලැබුණා.

මම යාපනයේ ගත කළ කාලයේ, එතකොට මට අවුරුදු 22 ක්‌ පමණ ඇති. මගේ මිතුරකුගේ ඇල්බමයක තිබූ සුන්දර යුවතියකගේ පින්තූරයකට මගේ හිත ගියා. නිතරම මේ යුවතිය ගැන කල්පනා වන්නට පටන් ගත්තා. දවසක්‌ මම මේ පින්තූරය ගැන හිත හිතා තනුවක්‌ හදලා දෙමළ වචන දාලා "කරු" අයියට (කරුණාරත්න අබේසේකර ශූරීන්) ගිහින් පෙන්නුවා. කරු අයියා එම තනුවට සිංහල වචන දමලා ලස්‌සන ගීතයක්‌ ලියුවා. ඒ ගීතය තමයි "දකින දසුනේ දෙනෙත රැඳුණේ සොඳුරු ඔබ රුව වේ...." ගීතය බිහිවුණේ එහෙමයි. පස්‌සේ ජෝ දේව් ආනන්ද "ගීතා" චිත්‍රපටයටත් මේ ගීතය තෝරාගත්තා. හක්‌ සඳහන් කළේaa අතීතයේ මිහිරි අත්දැකීම් ගෙන හැර පාමිනි.

යාපනයේ ගත කළ කාලයේ ඔහුට ජෝ දේව් ආනන්ද මුණගැසීම ද ඔහුගේ දෛවය අපට දුන් දායාදයක්‌ වැනිය. මන්ද ඔහුට එදා ජෝ දෙව් මුණ නොගැසෙන්නට ඔහුගේ ප්‍රතිභාව අපතේ යන්නට තිබූ නිසාය. මම පලාලි ගුරු අභ්‍යාස විදුහලේ පුහුණුව ලබද්දී දවසක්‌ මම ඉගෙනගත්ත යාපනය ශාන්ත ජෝන් විදුහල බලන්න ගියා. එදා මම පාසලින් නික්‌ම යන කොට අඩු වයසේ සිටි සමහර ශිෂ්‍යයෝ ඒ වන විට ලොකු ශිෂ්‍යයෝ වෙලා සිටියා. ඒ සිසුන් කිහිප දෙනකු ඒ වන විට යාපනයේ වඩුක්‌කොඩෙයි විදුහලේ ගුරුවරයකු ලෙස සේවය කළ ජෝ දේව් ආනන්ද නිර්මාණය කළ මි.මි.16 චිත්‍රපටයක රඟපෑමටත් ගිහින් තිබුණා. එම ශිෂ්‍යයෝ මට කිව්වා ඉස්‌සර වගේ ගීතයක්‌ කියන්න කියලා. පාසලේ ඉගෙනගන්න කාලේ ගීත ගයන්න මම දක්‍ෂ බව ඒ අය දන්නවා. මම මමම හදපු ගීතයක්‌ කියුවා. යාළුවෝ ටික මවිත වුණා. ඒ අය තමයි ඒ වන විට චිත්‍රපට සංගීත අධ්‍යක්‍ෂවරයකු සොයමින් සිටි ජෝ දේව් ආනන්ද මහත්මයාට මාව මුණගැස්‌සුවේ. ඒ මුණගැසීම මගේ ජීවිතයේ ඉතා වැදගත්ම සිද්ධියක්‌.

ජෝ දේව් ආනන්ද මහත්මයාගේ චිත්‍රපට අතිශයින්ම සාර්ථක වන්න මගේ ගීතවල තනු හේතුවූ බව රහසක්‌ නොවේ. ඒත් අන්තිමේ මට කලකිරීමක්‌ ඇති වුණා. එතුමාව මම හැමවිටම කෘතවේදීව සිහිපත් කරන කෙනෙක්‌. එතුමාගේ චිත්‍රපට පහේදීම මට දුන්නේ එකම ගාණයි. මම එතුමාගේ හය වන චිත්‍රපටයේදී වැඩිපුර මුදලක්‌ ඉල්ලුවා. ඒත් ඒ ඉල්ලීම ප්‍රතික්‍ෂේප වුණා. මම සංගීත අධ්‍යක්‍ෂණයෙන් නිහඬ වුණා. ඒත් ජෝ දේව්ගේ පස්‌සේ කරපු නිර්මාණ වෙනත් සංගීත අධ්‍යක්‍ෂවරු දමා කළත් අර තරම් සාර්ථක වුණේ නැහැ.

එදා චන්දන ඇල්ලෙන් නාලා ගීතයට ජෝතිට හොඳම ගායකයා ලෙස සම්මානය ලැබුණ අවස්‌ථාවේ හොඳම සංගීත අධ්‍යක්‍ෂණ සම්මානය මට ලැබෙයි කියලා හිතුවා. නම් දරාපු සම්භාව්‍ය සංගීතඥයකු නොවීම හෝ මගේ ජාතිය නිසා හෝ එසේ නැත්නම් වෙනයම් හේතුවකට එය මට ලැබුණේ නැහැ. සම්මානය ලැබීමෙන් පස්‌සේ ජෝති මට කියපු දෙයක්‌ අද වගේ මතකයි.

"සම්මානය සඳහා අමරදේව මාස්‌ටරුයි, මමයි කරට කර හිටියේ. ඒත් හක්‌ මාස්‌ටර්ගේ ලස්‌සන ගීතය හින්දයි මට සම්මානය ලැබුණේ. ජෝති කියන විට මට මහත් සතුටක්‌ දැනුණා" ඔහු කීය.

සංගීතය පසෙකලා පසුව ඉංගී්‍රසි ගුරුවරයකු ලෙස දහස්‌ ගණනක්‌ දරුවන්ගේ නැණැස පාදන්නට කැපවූ මේ සංගීතවේදියා දියණියන් දෙදෙනෙකුගේ හා එක්‌ පුතණුවකුගේ පියාණන්ය. ආචාර්ය අබ්දුල් එච්. මහීර් පුතණුවන් ඇමෙරිකාවේ නාසා ආයතනයේ විධායක නිලධාරියෙකි. ඔහුගේ පුතා (හක්‌ගේ මුණුබුරා) ගගනගාමී පුහුණු පාසලේ අභ්‍යවකාශ තරණය පිළිබඳ පුහුණුව ලබයි.

"ලස්‌සන තනු ගණනාවක්‌ම මම ළඟ තියෙනවා. ඒත් අද අපි වගේ අයගෙන් පලක්‌ ගන්නේ නැහැ. මට හරිම දුකයි. අද වුණත් හොඳ නිර්මාණයකට මම එක්‌වෙන්න කැමතියි. විටින් විට ලැබෙන දරුවන්ගේ පිහිට නැත්නම් ජීවත් වෙන්නත් විදිහක්‌ නැහැ. දරුවන්ට හැමදාම කරදර කරන්නත් බැහැ. මට අවංක සිතින් ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය හෝ වෙනත් මැදිහත්වීමකින් අනුග්‍රහයක්‌ ලබාදෙන්න. දෙවියන්ගේ පිහිට ලැබෙයි" ගලගෙදර හක්‌ සංගීතඥයා පැවසුවේ අපේක්‍ෂා පෙරදැරිවයි. ඔහු අපට දුන් 077-9182393 ජංගම දුරකථන අංකයට පසු දිනෙක කතා කරත්දී ඔහුගේ දුරකථනයේ රිගිං ටෝන් එක ඇසුණේ ද ඔහු එදා හැදූ ජෝති ගැයූ චන්දන ඇල්ලෙන් නාලා... අංජන මල්මී ගාලා... හැංඟුණු බඹරා ආවා... ලස්‌සන රහසක්‌ කීවා... එදා මෙදා සුමියුරු ඒ ලස්‌සන ගීතයයි. ප්‍රතිභාසම්පන්න ශිල්පියකු මියගිය පසු ශෝකය ප්‍රකාශ කරනවට වඩා ඔහුගේ හෝ ඇයගේ හැකියාවෙන් ජාතික කලාවට පලක්‌ ගැනීමට හෝ නිසි ඇගැයීමකට ලක්‌ කිරීමට බලධාරීන් තවමත් ප්‍රමාද වැඩි නැත. සමාජයේ සටකපට පුද්ගලයන් ද එමට සිටිති. එවැන්නන්ගේ ගොදුරක්‌ නොවී යහපත් මිනිසුන් වෙතින් මෙම කලාකරුවාට යුක්‌තිය ඉටු වේවායි අපි ප්‍රාර්ථනා කරමු.

නාරද නිශ්ශංක

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.