වැරදි වරදාන

මන්ත්‍රීවරුන්ටත් ප්‍රශ්න තිබෙන්නේ යෑයි දවසක්‌ කවුදෝ කීවේ ය.

එය සත්‍යයක්‌ විය හැකි ය. එහෙත් ඊටත් වඩා සත්‍යය නම් ප්‍රශ්න නොමැත්තේ කාටද යන්න ය.

ඒ කෙසේ වුවත් මන්ත්‍රීවරුන් වන මනුෂ්‍යයන් ඒ තනතුරට පත්වන්නේ කාගේවත් බල කිරීමකට නොවේ. කිසියම් වරදකට ලැබෙන දඬුවමක්‌ වශයෙන් ද නොවේ. ස්‌ව කැමැත්තෙනි. ඕනෑකමෙනි.

රටට ඇත්ත වශයෙන් ම සේවයක්‌ කළ සහ උසස්‌ තනතුරු හෙබවූ මිනිසුන් පවා ඇතැම් විට එම උසස්‌ තනතුරුවලින් අස්‌වී මන්ත්‍රී තරගවලට පිවිසෙනු අප දැක තිබේ. ඒ පාර්ලිමේන්තු මැතිවරණවලට පමණක්‌ නොවේ. පළාත් සභා මැතිවරණවලට ද පමණක්‌ නොව, ප්‍රාදේශීය සභා මැතිවරණවලට ද සහභාගි වන එබඳු දැවැන්ත මිනිසුන් සිටිති.

තමන්ට නැති සම්පත් සපයා ගනු සඳහා මන්ත්‍රිධුර අපේක්‍ෂා කරන මිනිසුන් කොතෙකුත් සිටිය හැකි නමුදු අප ඉහත කී වර්ගයේ මිනිසුන් නම් මන්ත්‍රිධුර අපේක්‍ෂා කරන්නේ තම ජීවිතය මහජන සේවය සඳහා කැප කිරීමේ පරම පවිත්‍ර ෙච්තනාවෙන් ම බව අපට කිසිදු සැකයක්‌ නැත.

එසේම සියලුම ලෞකික සැප සම්පත්, ගෘහ ජීවිතය ආදී සියල්ල කැප කොට දුෂ්කර දේශපාලන ව්‍රතයට පිවිසෙන මේ මහත්වරුනට ඔවුන් අපේක්‍ෂා කරන "දේශපාලන විමුක්‌තිය" ලැබෙන්නේ කවදා හෝ කැබිනට්‌ අමාත්‍යවරයකු වීමෙන් විය හැකි ය. නැතහොත් අග්‍රාමාත්‍යවරයා හෝ ජනාධිපතිවරයා හෝ වීමෙන් විය හැකි ය.

ඒ කෙසේ වුවත් එදිනෙදා වාසිය සඳහා දේශපාලනයට පිවිසෙන අයත්, ඊට එහා ගිය අරමුණු උදෙසා දේශපාලනයට පිවිසෙන අයත් යන දෙවර්ගයම තම ගමන ආරම්භ කළ යුත්තේ මන්ත්‍රී පදවියෙනි.

මහජන ඡන්දයෙන් පත් වුවද, "චිට්‌" එකෙන් පත් වුවද, මන්ත්‍රී මන්ත්‍රීමය. ලැබෙන පාර්ලිමේන්තු වරප්‍රසාදවල හෝ "සමාජ වරප්‍රසාද" වල හෝ ඔහුට වෙනසක්‌ නොමැත. වැඩක්‌ කළත්, නොකළත් වැඩක්‌ කරන්නට සිතාගෙන සිටියත් වැඩක්‌ කරන වෙන අයගේ කකුලෙන් ඇද්දත් ඔහු අපේ ගරු මන්ත්‍රීතුමාය.

ඒ ගරු මන්ත්‍රීතුමාට කොතෙකුත් ප්‍රශ්න බැරි අමාරුකම් තිබිය හැකි ය. එහෙත් දැන් ඔහු තම රාජකාරිය එනම් මහජන සේවය කළ යුතු ය. එය කරනු නොහැකිනම් ඔහු හෝ ඇය කළ යුත්තේ මන්ත්‍රී පදවියෙන් ඉල්ලා අස්‌ වී ගෙදර ගොස්‌ තමන්ට කළ හැකි වෙනත් කාර්යයක්‌ කිරීමය.

එසේ නොකොට මහජන සේවයේ මුවාවෙන් තවත් වරප්‍රසාද ඉල්ලීම වැරදිය.

අපට මේ දිගු විච්චූරණය සැපයීමට සිදු වූයේ ජනප්‍රිය පාසල්වල පළමු වසරට සිසුන් ඇතුළත් කිරීම සඳහා තමන්ට කෝටාවක්‌ ලබා දෙන ලෙසට ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්‌ අධ්‍යාපන අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතාගෙන් ඉල්ලා ඇති නිසා ය.

රටේ දරුවන් සියල්ලන්ටම සමාන අධ්‍යාපන අවස්‌ථා ලබා දෙනු සඳහා තමන්ගේ අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ වුව අරගලයක්‌ කරනු වෙනුවට, තමන්ට කෝටා එකක්‌ දෙන්නැයි කීම "පොඩි සයිඩ් බිස්‌නස්‌ එකක්‌" ඉල්ලා සිටීමක්‌ වැන්නකි.

නැතහොත් තම පාක්‍ෂික හිතවතුන්ට ආධාරකරුවන්ට සැලකීම සඳහා "චාන්ස්‌" එකක්‌ ඉල්ලා සිටීමකි. අවසානයේදී එය හැඳින්විය හැක්‌කේ රටේ දේශපාලනය කෙලෙසීමට "ලයිසන් එකක්‌" ඉල්ලා සිටීමක්‌ ද වශයෙනි.

මන්ත්‍රීවරයකු වුවද දියුණු දේශපාලන මිනිසකු වන අධ්‍යාපන අමාත්‍යවරයා මේ ඉල්ලීමට අවනත වේ යෑයි අපි නොසිතමු.

එසේ වුවද, ඔහුගෙනුත් ඔහුගෙන් වැරදි ඉල්ලීම් කරන ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රී වරුන්ගෙනුත්, ආණ්‌ඩු පක්‍ෂයේ සෙසු සියල්ලන්ගෙනුත් අපි සැමදාම කරන ඉල්ලීම යළිත් මෙසේ දක්‌වමු.

ජාතියේ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම සඳහා කෝටා ක්‍රම වැනි "ආදිකල්පික භාවිතාවන්" ඉවත දමා රටේ සෑම පාසලක්‌ම ජනප්‍රිය පාසලක්‌ බවට පත් කිරීම සඳහා හෝ ඒ සඳහා නව පාසල් පද්ධතියක්‌ ගොඩනැඟීම සඳහා හෝ දැන්වත් නො පමාව කටයුතු කරන්න.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.