සංවර්ධනය, දේශපාලනය සහ මිථ්‍යාව

සංවර්ධනය යන්න අනේකාර්ථ පදයකි. මනාලෙස වැඩීම, මනාලෙස වර්ධනය කිරීම, ගොඩනැඟීම, දියුණුකිරීම, වැනි බොහෝ අර්ථවත් එම වචනය තුළ ගැබ්ව පවතී. රටක සංවර්ධනය පිළිබඳ සලකා පුළුල් අර්ථයෙන් ගත් කළ සංවර්ධනය යනු ජනතාවගේ ජීවන තත්ත්වය උසස්‌ කිරීම ලෙස සැලකීම වඩාත් නිවැරදිය. මන්ද සංවර්ධනයට අදාළ සියලු කාර්යන්හි අවසාන අපේක්‌ෂාව වන්නේ ජනතාවගේ සුබසිද්ධිය මත බැවිනි. දේශපාලන ක්‍ෂේත්‍රයේදී සංවර්ධනය යන වචනය නිරතුරුවම භාවිත වෙයි. දේශපාලකයන්ගේ මෙන්ම ජනතාවගේද ඒකායන අභිප්‍රාය වන්නේ තිරසාර සංවර්ධනයයි. එහෙත් සංවර්ධනය සඳහා එරෙහි වන බාධක බොහෝය. එම බාධක කලින් කලට වෙනස්‌ වූ බවත්, විවිධාකාර වූ බවත් පෙනේ. සංවර්ධනය සඳහා වූ බාධාවන් ලෙස මෙතෙක්‌ ප්‍රකාශයට පත්වූ දේ පිළිබඳව යළි - යළිත් විමසා බැලීම කාලෝචිතය. ඒ සංවර්ධනය උදෙසා වඩාත් ප්‍රායෝගික ක්‍රමවේදයක්‌ සකසා ගැනීමේදී එම අතීත අත්දැකීම් අත්‍යවශ්‍ය වන බැවිනි.

අධිරාජ්‍යවාදීන්ගේ පාලන සමය තුළ සංවර්ධනයට බාධාවක්‌ වූ ප්‍රධානතම ගැටලුවක්‌ විය. ඒ අපගේ රටට අවශ්‍ය, අපගේ රටට ගැලපෙන සංවර්ධන ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කිරීම සඳහා අපගේම වූ පාලන තන්ත්‍රයක්‌ නොමැතිකමයි. රටේ සංවර්ධනයට අදාළ ප්‍රධානම බාධකය ලෙස එකල අවධාරණය කෙරුණේ එයයි. 1947 වර්ෂයේදී පැවැත්වූ මැතිවරණයේදී එක්‌සත් ජාතික පක්‍ෂය පෙනී සිටියේ ඒ අභියෝගය ජය ගැනීම වෙනුවෙනි. එම මැතිවරණයෙන් මන්ත්‍රී ආසන 47 ක්‌ ලැබූ එජාපය ස්‌වාධීන මන්ත්‍රීවරුන්ද සමඟ එක්‌ව රජයක්‌ පිහිටුවීය. ඒ ඩී. එස්‌. සේනානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි. සංවර්ධනය උදෙසා දේශීය වූ ක්‍රියාමාර්ග ගැනීමට එම රජයට තිබූ තවත් විශාල බාධාවක්‌ 1948 වර්ෂයේදී ඉවත් විය. ඒ එම වර්ෂයේදී ශ්‍රී ලංකාවට අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලැබීම හේතුවෙනි. 1952 වර්ෂයේදී ඩී. එස්‌. සේනානායක මැතිතුමා මියගිය අතර ඔහුගේ පුත් ඩඩ්ලි සේනානායක මහතා අගමැති තනතුරට පත්විය. බලයට පත්වූ වහාම ඔහු කළේ යළි මැතිවරණයක්‌ කැඳවීමයි. වාසි සහගත අවස්‌ථාවක්‌ උදාවූ විට නියමිත කාලයට පෙර මැතිවරණයක්‌ පැවැත්වීම පිළිබඳ ප්‍රථම ආදර්ශය ශ්‍රී ලාංකික දේශපාලන ක්‍ෂේත්‍රයට එක්‌ කළේ ඩඩ්ලි සේනානායක මැතිතුමාය. ඔහුගේ උපක්‍රමය නිවැරදි විය. මන්ත්‍රී ආසන 47 ක්‌ ලබා සිටි එජාපයට එම මැතිවරණයේදී සිය ආසන සංඛ්‍යාව 54 ක්‌ දක්‌වා වැඩිකර ගැනීමට හැකිවිය. සංවර්ධනය සඳහා වූ දේශීය පාලක පන්තිය එසේ ශක්‌තිමත් වුවද ජනතාව අපේක්‌ෂා කළ සංවර්ධනය වෙනුවෙන් වූ මූලික අඩිතාලම පවා එම පාලනයෙන් සකස්‌ වූයේ නැත. ආර්ථික අර්බුදය උග්‍රවීම් හේතුවෙන් ජනතාව වීදි බැස උද්ඝෝෂණ කළහ. ඒ 1953 වර්ෂයේදීය. "හර්තාලය" නමින් හැඳින්වූ එම ජනතා නැගිටීම හේතුවෙන් ඩඩ්ලි සේනානායක මහතාට සිය අගමැති ධුරයෙන් ඉල්ලා අස්‌වීමට සිදුවූ අතර සර් ජෝන් කොතලාවල මහතා අගමැති ධුරයට පත්විය. එහෙත් එතුමාට ද සිය පාලනය වැඩි කලක්‌ ගෙන යැමට නොහැකි විය. නියමිත කාලයට පෙර සිය රජය විසුරුවා හැරීමට ඔහුට සිදුවූයේ ජනතාව පෙළන ලද ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක්‌ බවට පත්වීම හේතුවෙනි.

1956 මැතිවරණයේදී "සංවර්ධනය සඳහා දේශීය වූ පාලනයක්‌" යන සටන් පාඨය තවදුරටත් වලංගු නොවීය. ඒ වෙනුවට රට ගොඩනැගීම සඳහා පංච මහා බලවේගය නියෝජනය කරන නායකත්වයක්‌ අවශ්‍ය බවට වන මතය පෙරට ආයේය. 1956 මැතිවරණයෙන් එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතාගේ නායකත්වයෙන් යුත් මහජන එක්‌සත් පෙරමුණ බලයට පත්වූයේ ඒ අනුවය. එම පාලන සමය තුළ දී පෞද්ගලික අයිතිය යටතේ ක්‍රියාත්මක වූ සමාජමය ආයතන රැසක්‌ රාජ්‍ය ඒකාධිකාරය යටතට ගැනීම කැපී පෙනිණි. එහෙත් ඒ මගින්ද රටේ සංවර්ධනය උදෙසා නිසියාකාර පදනමක්‌ සැකසුනේ නැත. සැබෑ ජනතා අයිතිය සහ රාජ්‍ය ඒකාධිකාරිත්වය අතර වර්ධනය වූ ප්‍රතිවිරෝධතා හේතුවෙන් නොඑක්‌ කම්කරු උද්ඝෝෂණ පැන නැඟීම එම කාලය තුළ දී සිදු විය. 1959 වර්ෂයේදී බණ්‌ඩාරනායක මහතා ඝාතනය වූ අතර විජයානන්ද දහනායක මහතා අගමැති ධුරයට පත් විය. එහෙත් ඒ කෙටි කලකටය. රට තුළ පැන නැඟුන නොඑක්‌ අර්බුද හේතුවෙන් 1960 වසරේදී මැතිවරණ දෙකක්‌ පැවැත්වීමටද සිදුවිය. 1960 ජූලි මැතිවරණයෙන් බණ්‌ඩාරනායක මැතිනිය බලයට පත්වූ අතර ඇයගේ රජයද 1964 දී කඩා වැටිණි. පුවත්පත් ජනසතු කිරීමේ ප්‍රශ්නය එම කඩා වැටීමට හේතුව ලෙස සනිටුහන් වුවත්, එම බිඳ වැටීමට ප්‍රධානම හේතුව වූයේ ජනතාව අපේක්‌ෂා කළ සංවර්ධන ඉලක්‌කයන් සපුරාලීමට පංච මහා බලවේගය නියෝජනය කළ පාලකයන්ටද නොහැකි වීමය.

1965 වර්ෂයේදී පැවැති මැතිවරණයේදී සංවර්ධනයට අදාළව මතුවූයේ වෙනත් මාතෘකාවකි. එවර සංවර්ධනය සඳහා වූ බාධකය ලෙස පෙන්වා දෙනු ලැබුවේ වැඩ වර්ජන පැවතීම සහ කෙටි කාලයක්‌ තුළ ආණ්‌ඩු පක්‍ෂය වෙනස්‌වීමය. රටක සංවර්ධනය සඳහා දීර්ඝකාලීන සැලැස්‌මක්‌ මත, දීර්ඝ කාලයක්‌ බලයේ සිටින පක්‍ෂයක්‌ අවශ්‍ය බවත්, සංවර්ධනය සඳහා එය අත්‍යවශ්‍ය කාරණයක්‌ බවට වන මතය ප්‍රබල ලෙස ගොඩනැඟිණි. එම මැතිවරණයෙන් ඩඩ්ලි සේනානායක මහතාගේ නායකත්වයෙන් යුත් එජාපය යළිත් සභාග රජයක්‌ පිහිටුවා ගත් අතර නියමිත කාලසීමාව අවසාන වන තෙක්‌ම රට පාලනය කිරීමට ඔවුනට හැකිවිය. එහෙත් එම කාලය තුළ ජනතාවගේ ජීවන තත්ත්වය තව තවත් පහළට වැටුණ අතර, සංවර්ධනය තවදුරටත් සිහිනයක්‌ම විය.

1970 මැතිවරණයේදී සංවර්ධනය උදෙසා අවශ්‍ය බවට ප්‍රකාශ වූයේ වෙනත් ආකාරයක අවශ්‍යතාවකි. ඒ අධිරාජ්‍යවාදීන් හඳුන්වාදුන් සෝල්බරි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව වෙනුවට අලුත් ව්‍යවස්‌ථාවක්‌ නිර්මාණය කර ගැනීමේ අවශ්‍යතාවයි. රටේ සැබෑ සංවර්ධනයක්‌ උදෙසා ජනරජ ව්‍යවස්‌ථාවක්‌ අවශ්‍ය බවට වූ මතය සමාජය තුළ තහවුරු කිරීමට දේශපාලකයෝ සමත් වූහ. 1970 මැතිවරණයට තරග කිරීම සඳහා සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් "සමගි පෙරමුණ" බිහි විය. එහි මැතිවරණ පොරොන්දු පත්‍රයෙන් කියෑවුනේ සමාජවාදී - ප්‍රජාතන්ත්‍රවාදී අපේක්‌ෂාවන් ඉටුකර ගැනීමට, මානව අයිතිවාසිකම් හා නන්වැදෑරුම් නිදහස මෙන්ම තිරසාර සංවර්ධනය උදෙසා වූ අලුත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ වෙනුවෙන් සමගි පෙරමුණට ඡන්දය දෙන ලෙසය. එම ඉල්ලීමට අනුව සංවර්ධනය අපේක්‌ෂා කළ ජනතාව තම වගකීම අකුරටම ඉටු කළහ. ඒ සමගි පෙරමුණට 2/3 ක පාර්ලිමේන්තු බලයක්‌ ලබා දීමෙනි. එම බලය සමග ශ්‍රී ලංකාව ස්‌වෛරී ජනරජයක්‌ බවට පත්වූයේ ජනරජ ව්‍යවස්‌ථාවක්‌ ද සමඟය. සංවර්ධනය සඳහා වූ ව්‍යවස්‌ථාමය බාධාව එසේ ඉවත් වුවද, සංවර්ධනය නම් සිහිනයක්‌ම විය. 1970 - 77 අතර කාලය තුළ ජනතාවගේ ජීවන තත්ත්වය අන්තයටම පිරිහී ගිය අතර සමඟි පෙරමුණද භේද භින්න විය. නිලධාරිවාදය කරපින්නාගත් රාජ්‍ය ඒකාධිකාරී පාලනය යටතේ රටේ නිෂ්පාදනය කඩා වැටිණි. සමාජවාදී සමාජ ක්‍රමය පිළිබඳව ජනතාව තුළ සැක සංකා මතුවීම සමඟි පෙරමුණේ සත් අවුරුදු කාලසීමාව තුළ සිදුවූ අනර්ථකාරී ක්‍රියාවන් අතර ප්‍රධාන විය.

සංවර්ධනය සඳහා නිදහස්‌ වෙළෙඳ ප්‍රතිපත්තියක්‌ අවශ්‍ය බවට වන මතය සාර්ථකව පෙරට ආවේ සමඟි පෙරමුණු රජය ක්‍රියාත්මක කළ ආර්ථික ක්‍රියාවලියේ අසාර්ථකත්වයත් සමඟය. රාජ්‍ය ඒකාධිකාරී මැදිහත්වීම මත දේශීය නිෂ්පාදනය කඩා වැටීම හේතුවෙන් එම කාලය තුළදී ජනතාවට බොහෝ පීඩා විඳීමට සිදුවිය. ඒ අනුව නිෂ්පාදන ආර්ථිකය වෙනුවට වෙළෙ¹ම ප්‍රධානකොට ගත් සේවා ආර්ථිකයක්‌ පිළිබඳව වූ මතය ජනතාව තුළ තහවුරු කිරීම පහසු විය. රටේ සංවර්ධනය උදෙසා විදේශීය ආයෝජන යොදා ගැනීමේ "සිංගප්පූරු සිහිනය" තුළ ජනතාව අතරමං වූයේ එලෙසිනි. 1977 මැතිවරණයේදී 5/6 ක පාර්ලිමේන්තු බලයක්‌ සහිතව ඡේ. ආර්. ජයවර්ධන මහතාගේ නායකත්වය යටතේ එජාපය බලයට පැමිණියේ සංවර්ධනය සඳහා විවෘත ආර්ථික ක්‍රමයක්‌ සහ නිවහල්, ධර්මිෂ්ඨ සමාජයක්‌ සඳහා වූ පොරොන්දුවක්‌ සමඟය. සංවර්ධනය සඳහා වූ බාධාවක්‌ ලෙස එම රජය දුටුවේ රජයේ ආර්ථික ප්‍රතිපත්තියයි. ඒ අනුව රටේ ආර්ථික ප්‍රතිපත්තිය උඩු යටිකුරු කෙරිණි. ආර්ථිකය විවෘත විය. විදේශීය ආයෝජකයන්ට ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට ආරාධනා කළ අතර ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් සැකසීම සඳහා රට මුළු ලෝකටයම ණය කිරීමට සිදු විය. එහෙත් සංවර්ධනය තවදුරටත් සිහිනයක්‌ම විය. ඒ අපේක්‌ෂා කළ ආකාරයට ආයෝජකයන් ශ්‍රී ලංකාවට නොපැමිණීම හේතුවෙනි. ලිබරල්වාදී ආර්ථික ක්‍රමවේදය තුළ ප්‍රාග්ධනය විශාල ලෙස ප්‍රසාරණය වූ අතර බොහෝ අය එය "සංවර්ධනය ලෙස වරදවා වටහා ගත්හ. ප්‍රාග්ධනය ප්‍රසාරණය වන්නේ ලාභය අපේක්‌ෂාවෙනි. ප්‍රසාරණය වූ ප්‍රාග්ධනය සිය ලාභය එකතු කර ගත්තා මිස පොදු ජනතාවට යමක්‌ ඉතිරි කළේ නැත. පොදු ජනතාව පරිභෝජන ආර්ථිකයක කොටස්‌කරුවන් වූවා පමණකි. ආර්ථික බංකොලොත්භාවය හමුවේ ජයවර්ධන පාලනයට ජනතාව සතුව තිබූ බොහෝ වටිනා දේපළ විකුණා දැමීමටත්. ලෝකයට තව තවත් ණයවීමටත් සිදුවිය. ආර්ථික පීඩනය හමුවේ පැන නැඟී කම්කරු අරගල ලෙයින්, කඳුළින් වර්ධනය විණි. ආර්ථිකය විවෘත වීම තුළ තම කෘෂි ආර්ථිකය කඩා වැටීම හේතුවෙන් අසරණවූ උතුරේ ගොවි දරුවෝ බෙදුම්වාදී සංවිධානයක්‌ සමඟ අත්වැල් බැඳ ගත්හ. බෙදුම්වාදී ව්‍යාපාරය උත්සන්න වීමත් සමඟම එයට පිළිතුරක්‌ ලෙස හඳුන්වන්නේ "බලය බෙදීමේ" සංකල්පයයි. එහෙත් එම බලය බෙදීම ද ජනතාවට හඳුන්වා දෙනු ලැබුවේ සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය පරිපාලන ඒකකයක්‌ වශයෙනි. පළාත් සභා නමැති කූප්‍රකට බලය බෙදීමේ ඒකකයක්‌ සමඟ ඉන්දියානු හමුදාවද රට තුළට කඩා වැදිණි. ඒ අනුව උතුරේ පමණක්‌ නොව දකුණේ ද ගිනි ඇවිළුණේය. එහි ප්‍රතිඵලය ලෙස සංවර්ධනය කෙසේ වෙතත්. සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය බුද්ධිමත්, පරාර්ථකාමී තරුණ ශ්‍රමය හැම පාර්ශ්වයකින්ම රටට අහිමි විය. එවැනි අර්බුදයක්‌ මධ්‍යයේ සංවර්ධනය සඳහා වූ ලිබරල්වාදී ආර්ථික ක්‍රමවේදය, එජාප පාලනය යටතේ වසර 17 පුරාවටම පැවතිණි. ඒ ඡේ. ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, ඩී. බී. විඡේතුංග යන ජනාධිපතිවරුන් යටතේය. එහෙත් එම කාල සීමාව තුළ ජනතාව අපේක්‌ෂා කළ සැබෑ සංවර්ධනය ජනතාවට නොලැබුණ බව පැහැදිලිය. ඒ දිනෙන් දින රට විශාල වශයෙන් ලෝකයට ණයවීම, ජනතාව වෙනුවෙන් ලබාදෙන සහන කප්පාදු කිරීම සහ ජනතාවගේ සමාජ - ආර්ථික ජීවිතය දිනෙන් දින කඩා වැඩීම මඟිනි.

1994 වසර වනවිට ලිබරල්වාදී ආර්ථික ක්‍රමය ජනතාවට තිත්ත වී තිබිණි. චන්ද්‍රිකා බණ්‌ඩාරනායක නම්වූ තරුව හදිසියේම මතුව ආවේ ඒ අවසරයෙනි. එහෙත් ඇය ලිබරල්වාදී ආර්ථික ක්‍රමවේදය කිසිසේත්ම ප්‍රතික්‌ෂේප නොකළාය. සංවර්ධනය සඳහා බාධාවක්‌ වන්නේ විවෘත ආර්ථික ක්‍රමයේ යක්‍ෂ මුහුණුවරක්‌ බවත්. එම යක්‍ෂ මුහුණුවර වෙනුවට මානුෂික මුහුණුවරක්‌ දීම මගින් ජනතාව අපේක්‌ෂා කරන සංවර්ධනය කරා ළඟාවීමට හැකි බවත් ජනතාව තුළ තහවුරු කිරීමට ඇය සමත්වූවාය. ඒ අනුව දකුණේ පමණක්‌ නොව උතුරේ ජනතාවගෙන්ද ඇයට ලැබුණේ විශාල වූ යහපත් ප්‍රතිචාරයකි. ඒ එ. ජා. ප. පාලනය තුළ ජනතාව විඳි පීඩාවට අනුරූපිව බව තේරුම් ගැනීම වඩාත් නිවැරැදිය. 1994 ජනපතිවරණයේදී නූතන විහාර මහා දේවිය ලෙස චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මැතිනිය අභිෂේක ලැබුවේ වැඩිම ඡන්ද ප්‍රතිශතයකින් යුක්‌තවය. එහෙත් ඇයගේ පාලන කාලය තුළ ලිබරල්වාදී ආර්ථික ක්‍රමයට මානුෂික මුහුණුවරක්‌ දීමට හෝ ජනතාව අපේක්‌ෂා කළ සංවර්ධනය ළඟාකර දීමට හෝ ඇයට නොහැකි විය. එක්‌සත් ජාතික පක්‍ෂයට විකුණා ගැනීමට නොහැකිව ඉතිරිව තිබූ ජනතා දේපළ සියල්ල විකුණා ද=eමූ ඇය රට තව තවත් ලෝකයට ණය කිරීමටද කටයුතු කළාය. සංවර්ධනය සඳහා වන ප්‍රධානතම බාධකය වන්නේ උතුරේ පවතින යුද්ධය බවට වන මතය සමාජගත කිරීමට කටයුතු කළේ ඇයගේ පාලන සමය තුළදීය. කෙසේ වෙතත් ඇයටද ජනතාව අපේක්‌ෂා කළ සංවර්ධනය ලබාදීමට නොහැකි විය. ඇයගේ පාලනයේ අවසන් වකවානුවේදී එජාපයට පාර්ලිමේන්තු බලය හිමිවූයේ එම අසමත්කම හේතුවෙනි.

2001 දී බලයට පත් රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් එජාපය සංවර්ධනය සැලසුම් කොට තිබුණේ රට තව තවත් ලිබරල්වාදී ආර්ථික ක්‍රමය වෙතට යොමු කිරීම මගිනි. ඒ යළි පුබුදුමු "ශ්‍රී ලංකා" වැඩසටහන ඔස්‌සේය. ඒ වනවිට ප්‍රබල ලෙස මතුව තිබූ ජාතික ගැටලුවට පිළියමක්‌ ලෙස බෙදුම්වාදී පිළිතුරක්‌ ලබාදීමට ඔහු එළිපිටම, නිර්භයවම ක්‍රියා කළේය. 2004 දී කෙටි කාලයක්‌ සඳහා ජ. වි. පෙ. ඇතුළත් වූ සන්ධාන ආණ්‌ඩුව බිහිවීමටත් 2005 දී මහින්ද රාජපක්‍ෂ මහතාට ඉතා අසීරුවෙන් ජනාධිපති තනතුරට පත්වීමටත් හේතුවක්‌ වූයේ රටේ සංවර්ධනය උදෙසා රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් වූ එජාපය කෙටි කලක්‌ තුළ දැක්‌වූ අසමත්කමයි.

2005 වර්ෂයේදී ජනාධිපති ධුරයට පත් මහින්ද රාජපක්‍ෂ මැතිතුමාද ජනතාවගේ සංවර්ධනය බලාපොරොත්තු වන්නේ ලිබරල්වාදී ආර්ථික ක්‍රමවේදය තුළිනි. එයට වෙනස්‌වූ අන්දමේ ක්‍රමවේදයක්‌ අත්හදා බැලීමට හෝ එතුමාට අදහසක්‌ නැති බව පැහැදිලිය. තමාට බලයට පැමිණීමට අවශ්‍ය ජනතා මතවාදය නිර්මාණය කිරීම මෙන්ම, බලයට පැමිණීමට අවශ්‍ය සංවිධාන ජාලය ක්‍රියාත්මක කිරීමට උරදුන් ජ. වි. පෙ. ඉවත දැමීමට බලයට පත් ඇසිල්ලේම එතුමා කටයුතු කළේ එබැවිනි, ජ. වි. පෙ. යනු ලිබරල්වාදී ආර්ථික ක්‍රමවේදය එකහෙළාම ප්‍රතික්‌ෂේප කරන දේශපාලන පක්‍ෂයකි. ආර්ථික ප්‍රතිපත්තිය කෙසේ වෙතත් රට තුළ පැවැති සිවිල් යුද තත්ත්වය, දේශපාලනය සමඟ මනා ලෙස කළමනාකරණය කිරීමට මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සමත් විය. තිස්‌ වසරක ශාපයක්‌ ලෙස පැවැති සිවිල් යුද්ධය නිමකිරීම හේතුවෙන් එතුමා මේ වනවිට වැජඹෙන්නේ මෙතෙක්‌ බලයට පත් ප්‍රබලම රාජ්‍ය නායකයා ලෙසය. ඒ අනුව ජනතාවගේ සැබෑ සංවර්ධනය ඉටුකිරීම වෙනුවෙන් වෙනත් රාජ්‍ය නායකයන්ට තිබූ බොහෝ බාධාවන් එතුමාට නැත. මේ වනවිට රට තුළ දේශපාලන අස්‌ථාවර භාවයක්‌ නැත. පළාත් පාලන ආයතන සියල්ලේ බලයද එතුමා යටතේය. ව්‍යවස්‌ථාව පිළිබඳ ගැටලුවක්‌ද නැත. දූෂණ, වංචා වැළැක්‌වීමට අවශ්‍ය ශක්‌තිය ද එතුමා සතුය. අනවශ්‍ය මැති ඇමැතිකම් කපා හැර රාජ්‍ය වියදම් අඩුකර ගැනීමට අවශ්‍ය දේශපාලන ශක්‌තිය ද එතුමාට තිබේ. කාලය පිළිබඳ ගැටලුවක්‌ ද එතුමාට නැත. එතුමාට අවශ්‍ය ලෙස කාලය ලබා ගැනීම සඳහා ව්‍යවස්‌ථාව සැකසී අවසානය. සෑම ක්‍රමවේදයක්‌ ඔස්‌සේම මාධ්‍ය භාවිතයද ක්‍රියාත්මක වන්නේ ඔහුට හිතකරවය. රටේ සංවර්ධනය සඳහා මහත් බාධාවක්‌ වූ යුද්ධය ද අවසන්වී අවුරුදු එකහමාරකි. ඒ අනුව උතුරු ප්‍රදේශයද සංවර්ධනය සඳහා එක්‌ව තිබේ. සත්‍ය ලෙසම මේ වනවිට උදාවී ඇත්තේ ජනතාව අපේක්‌ෂා කරන සැබෑ සංවර්ධනයට අදාළව ප්‍රාතිහාර්යය පෑ හැකි කාලයකි. එහෙත් රට තුළින් නැඟෙන්නේ එවැනි යහපත් වූ කාලයක්‌ පිළිබඳව කතාවක්‌ නම් නොවේ. බොහෝ දෙනෙක්‌ පවසන්නේ ජීවන වියදම දරා ගත නොහැකි අන්දමට උත්සන්න වී ඇති බවකි. රාජ්‍ය ආදායමෙන් 90% ක්‌ උපයනු ලබන්නේ ජනතාව මත පැටවූ සෘජු හා වක්‍ර බදු මගිනි. ඒ අනුව දිනෙන් දිනම බඩු මිල ඉහළ යයි. රටේ මේ වනවිට පවතින ආදායම් විෂමතාවය ද බරපතළය. රජයේම සංඛ්‍යා ලේඛනවලට අනුව රටේ මුළු ජනගහනයෙන් 41.6% ක්‌ දිනකට ලබන ආදායම රු. 300/- ට අඩුය. 2011 අයවැය වෙනුවෙන් ඉදිරිපත්කොට ඇති විසර්ජන කෙටුම්පතට අනුව කෝටි 99700 ක ණයක්‌ ගැනීමට ද නියමිතය. එම ණය බරද එක්‌වූ විට සිදුවන දේ තේරුම් ගැනීමට අසීරු නොවේ. ජනාධිපතිතුමා සතු ශක්‌තියෙන් අමාත්‍ය මණ්‌ඩලය අඩුකොට ඒ මගින් රටට ආදර්ශයක්‌ මෙන්ම රටට ආර්ථික වාසියක්‌ ලබා දීම ජනතාව අපේක්‌ෂා කළ එක්‌ දෙයකි. එහෙත් එය එසේ වූයේ නැත. ඒ වෙනුවට ලිබරල්වාදී ආර්ථික ක්‍රමය අනුගමනය කළ බොහෝ ලිබරල්වාදී නායකයන්ට කළ නොහැකි වූ ලිබරල්වාදී ප්‍රතිසංස්‌කරණ මේ වනවිට සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙමින් පවතියි. පෞද්ගලික විශ්වවිද්‍යාල ක්‍රියාත්මක වීම ඒ සඳහා වන එක උදාහරණයකි. මහින්ද රාජපක්‍ෂ පාලනය මේ වනවිට වසර හයක්‌ පැරණිය. යුද්ධය නිමාවී ගතවූ කාලය ද වසර එකහමාරකි. පාලකයන් පවසන්නේ සැබෑ සංවර්ධනය උදෙසා තව කලක්‌ ඉවසන ලෙසටය. 1947 වර්ෂයේ සිට මේ දක්‌වා වූ දේශපාලන ඉතිහාසය පිරික්‌සීමේදී පසක්‌ වන්නේ මහින්ද රාජපක්‍ෂ මහතාගේද අසමත්බව පිළිබඳ වන සම්භාවිතාවයි. එම අසමත් බව ජනතාව තේරුම් ගත යුතු වන්නේ පුද්ගල අඩුපාඩුවක්‌ ලෙස නොවේ. එක දිගට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ආර්ථික ක්‍රමවේදයේ අඩුපාඩුවක්‌ ලෙසය. එය එසේ තේරුම්ගත යුතු වන්නේ යළිත් රැවටීමකට ලක්‌ නොවී වෙනස්‌ වූ ආර්ථික ක්‍රමවේදයක්‌ මගින් ජනතාව අපේක්‌ෂා කරන සැබෑ සංවර්ධනය දිනා ගැනීම වෙනුවෙනි.

ලයනල් අතුකෝරල

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.