විදේශ සමාගම්වල නමින් ලියාපදිංචි කළ
තවත් එල්ටීටීඊ නැව් අටක්‌
අත්පත් කර ගැනීමට පියවර

ඇමැති දිනේෂ් මැති සබයේදී කියයි

අජිත් අලහකෝන් - අකිත පෙරේරා

එල්. ටී. ටී. ඊ. ය සතු තවත් නැව් අටක්‌ රජයට අත්පත් කර ගැනීම සඳහා මෙරට ආරක්‍ෂක අංශ රාජ්‍ය තාන්ත්‍රික මට්‌ටමේ ක්‍රියාකාරකම්වල නිරතව සිටින බව ආණ්‌ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (06 දා) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

විදේශ රටවල විවිධ සමාගම්වල නමින් මෙම නැව් ලියාපදිංචි කර තිබෙන ආකාරය අනුව ඒවා ශ්‍රී ලංකාවට පවරා ගැනීමේදී නීතිමය බාධා සහ අවහිරතා ඇතැයි ද දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

මේ වනවිට කොටි සංවිධානය සතු නැව් අටක්‌ විදෙස්‌ රටවල ලියාපදිංචි කර ඇතැයි ද ඒ සමහර නැව් යොදා ගනිමින් එල්. ටී. ටී. ඊ. විදෙස්‌ ක්‍රියාකාරීන් විසින් පුද්ගල ජාවාරම් වැනි නීති විරෝධී කටයුතු සිදු කරන බවට වාර්තා ලැබී ඇතැයි ද කී දිනේෂ් ගුණවර්ධන මහතා තවත් නැව් කිහිපයක්‌ අග්නිදිග ආසියානු රටක වරායක නැංගුරම්ලා තිබෙන්නේ යෑයිද ඒවා අලුත්වැඩියා කළ නොහැකි තත්ත්වයේ ඇතැයි ද කීය.

එල්. ටී. ටී. ඊ. ය සතුව 2002 වසර වෙද්දී නැව් විස්‌සක්‌ තිබූ බව කී දිනේෂ් ගුණවර්ධන මහතා ඉන් නැව් එකොළහක්‌ මෙරට ආරක්‍ෂක හමුදාවන් විසින් විටින් විට විනාශ කළ බව ද කීය.

එල්. ටී. ටී. ඊ. ය යුදමය ලෙස පරාජය කළ පසු එම සංවිධානය සන්තකයේ තිබූ විශාලතම නැව 2009 දෙසැම්බර් 21 වැනිදා ශ්‍රී්‍ර ලංකා නාවික හමුදාව විසින් කොළඹ වරායට රැගෙන ආ බවද ආණ්‌ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කීය.

කුරුණෑගල දිස්‌ත්‍රික්‌ (එජාප) මන්ත්‍රී ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ගුණවර්ධන මහතා එසේ කීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.