නව මැතිවරණ ක්‍රමය යටතේ පළාත් පාලන
මැතිවරණය එක්‌ දිනකදී පවත්වන්න ඕනෑ

- කරු ජයසූරිය


පියසේන දිසානායක

පළාත් පාලන ආයතන කොටසක මැතිවරණය පැවැත්වීමට ආණ්‌ඩුව ගත් තීරණය වහා අහෝසි කොට සියලු පළාත් පාලන ආයතන සඳහා නව මැතිවරණ ක්‍රමය යටතේ එක්‌ දිනයකදී මැතිවරණය පැවැත්විය යුතු බව එක්‌සත් ජාතික පක්‌ෂයේ නියෝජ්‍ය නායක දේශබන්ධු කරු ජයසූරිය මහතා පැවසීය. නව මැතිවරණ ක්‍රමය මෙතෙක්‌ සකස්‌ කොට නොමැති නම් යෝජිත පළාත් පාලන මැතිවරණය තව මාස 04 කට කල්දැමිය යුතු බව හෙතෙම කීය.

විපක්‌ෂ නායක කාර්යාලයේ දී ඊයේ (06 දා) පැවැති පුවත්පත් සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය කළ කරු ජයසූරිය මහතා නගර සභා සහ සුළු නගර සභාවල මැතිවරණය කල්දැමීමට ආණ්‌ඩුවට හැකියාවක්‌ තිබේ නම් සෙසු පළාත් පාලන ආයතනවල මැතිවරණය කල්දැමීමට නොහැක්‌කේ මන්දැයි ප්‍රශ්න කර සිටියේය.

පළාත් පාලන මැතිවරණය කිසි ලෙසකින්වත් කල් නොදමන බවට පාර්ලිමේන්තුවේදී පොරොන්දු වී පැය 60 ක්‌ ගතවීමට පෙර නගර සභා හා සුළු නගර සභා මැතිවරණය කල්දමා පවතින ක්‍රමය යටතේ පළාත් පාලන ආයතන කිහිපයක මැතිවරණය පැවැත්වීමට තීරණය කිරීම තුළින් ආණ්‌ඩුව විසින් විපක්‌ෂය නොමඟ යෑවීමක්‌ සිදුකර ඇති බව ඒ මහතා චෝදනා කරයි.

2001 බලයට පැමිණි එක්‌සත් ජාතික පක්‌ෂ ආණ්‌ඩුව විධායක ජනාධිපති ධුරය සහ පවතින මැතිවරණ ක්‍රමය වෙනස්‌ කළ යුතු බවට තීරණය කිරීමෙන් පසු මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීම සම්බන්ධව සොයා බැලීමට පත්කරන ලද කමිටුවේ සභාපති ධුරය පවා එවකට විපක්‌ෂය නියෝජනය කළ දිනේෂ් ගුණවර්ධන මහතාට ලබාදුන් බව හෙතෙම සිහිපත් කළේය.

මේ අනුව මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීම සඳහා ආණ්‌ඩුවත්, විපක්‌ෂයත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර කොට්‌ඨාස ක්‍රමයට මීළඟ මැතිවරණය පැවැත්වීමට තීරණය කර තිබුණද හදිසියේම ආණ්‌ඩුව එම තීරණය වෙනස්‌ කිරීම පිළිබඳව එජාපය විමතියට පත්වූ බව ජයසූරිය මහතා පැවසීය.

පසුගිය කාලයේ දී ආණ්‌ඩුව සිදුකළ අධ්‍යයනයකට අනුව නගර සභා හා සුළු නගර සභා මෙන්ම නාගරික පළාත් පාලන ආයතනවල බලය කිසි ලෙසකින්වත් ආණ්‌ඩුවට ලබා ගැනීමට නොහැකි වී තිබෙන බව ඔප්පු වීමෙන් පසු මැතිවරණය කොටස්‌ දෙකකට පැවැත්වීමට සැලසුම් කළ බව නියෝජ්‍ය නායකවරයා සිහිපත් කළේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.