ලෝක සෞඛ්‍ය සංවිධානය
ඉන්ෆ්ලූවෙන්සා වැළඳුණු ළමයින් වෙනුවෙන්
බෙහෙත් කරල් ලක්‍ෂයක්‌ පිරිනමයි


ඒමන්ති මාරඹේ

නව ඉන්ෆ්ලුවෙන්සාව හෙවත් එච්1 එන්1 රෝගය වැළඳී ප්‍රතිකාර ලබන ළමයින්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය "ටැමිෆ්ලු" බෙහෙත් කරල් ලක්‍ෂයක ප්‍රමාණයක්‌ මෙරට සිටින ලෝක සෞඛ්‍ය සංවිධානයේ නේවාසික නියෝජිත වෛද්‍ය ෆර්ඩෝසි රුස්‌ටම් මෙහෙතා මහතා විසින් ඊයේ (06 දා) සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත භාර දෙනු ලැබීය.

යුරෝ 96,000 ක්‌ පමණ වටිනා මෙම බෙහෙත් කරල් තොගය මිලි ග්‍රෑම් 30 හා 40 ප්‍රමාණයන්ගෙන් යුතු වන අතර 2014 වසරේ අගෝස්‌තු මාසයේදී කල් ඉකුත්වීමට නියමිතය.

මේ වන විට එච්1 එන්1 රෝගය මෙරට පැතිරීම පාලනය වී ඇති බව පෙන්වා දෙන සෞඛ්‍ය අමාත්‍යාංශය එම රෝගය වැළඳෙන වැඩිහිටියන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය "ටැම්ෆ්ලු" බෙහෙත් කරල් (මිලි ග්‍රෑම් 75) මෙයට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙරටට ලබා දී ඇති බව සඳහන් කරයි.

රෝහල්ගතව ප්‍රතිකාර ලබන එච්1 එන්1 රෝගීන් සඳහා ටැම්ෆ්ලු බෙහෙත් කරල්වලට අමතරව "ඔසෙල්ටැම්වියර්" බෙහෙත් වර්ගයද ලබාදෙයි.

මේ අතර එච්1 එන්1 රෝගය වැළඳීම වැළැක්‌වීම සඳහා අවදානම් කණ්‌ඩායම්වලට එන්නත් කිරීම සඳහා රජයේ රෝහල් හා සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල වෙත නිකුත් කර තිබූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පරිත්‍යාගයක්‌ ලෙස ලැබුණු "පැන්වැක්‌ස්‌" නමැති එච්1 එන්1 එන්නත් තොගය අද (07 දා) කල් ඉකුත් වීමට නියමිත බව අමාත්‍යාංශ ප්‍රකාශකයෙක්‌ පැවසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.