පාර්ලිමේන්තුව - සුහද වාද බයිලා

දේශපාලනයේදී සදාකාලික සතුරෝ ද නැත. මිතුරෝ ද නැත යනුවෙන් කියමනක්‌ ඇත. ඒ මැති ඇමැතිවරුන්ටය. ඔවුන් සතුරන් ලෙස හැසිරෙන්නේ ඡන්දදායකයන් ඉදිරියේය. තිරය පිටුපසින් ගජ මිතුරන්ය. මේ සතුරු මිතුරු හවුල නිසා හැබෑවටම වෛරක්‌කාරයන් වන්නේ තම පක්‍ෂය උදෙසා පණ වුවත් දීමට කැමැති පාක්‍ෂිකයන්ය. උනුන් එකිනෙකා අතර ජන්aමාන්තර තරහකරුවන්ව සිටියදී ඔවුන් ඒ තැනට පත්කළ දේශපාලකයෝ එකට එක්‌වී සව්දිය පුරති. දේශපාලනයේ ස්‌වභාවය එය ද යන්න ප්‍රශ්නාර්ථයකි.

පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරු මැති සබයේදී දෙපසට වී වාදවිවාද කරන්නේ, මඩ ප්‍රහාර එල්ල කර ගන්නේ සෙංකෝලය තැන්පත් කොට කථානායකවරයාද මුලසුනට පිවිසීමෙන් පසුය. මැතිසබය ආරම්භ වීමට මත්තෙන් සභා ගර්භයට පැමිණෙන මන්ත්‍රීවරුන්ට පක්‍ෂ විපක්‍ෂ භේදයක්‌ නැත. හොඳ යහළුවන්ය.

මෙවැනි දර්ශනයක්‌ ඊයේ ද මැතිසබය ඇරැඹීමට පෙර සභා ගැබෙහි දැකගත හැකි විය. සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා කලින්ම පැමිණ අසුන්ගෙන සිටියේය. මන්ත්‍රීවරුන් කැඳවන සැළලිහිනි නාදයෑති සීනුවද හැඬවෙමින් තිබේ. ආණ්‌ඩුව පැත්තේ සිට අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති විජිතමුණි සොයිසා ඉදිරියට ආවේ "නායකයා වෙන්න ඉන්න මනුස්‌සයානේ..." යෑයි කියමින් සජිත්ට අත දිගු කරමිනි.

සජිත්ද නැඟිට ඇමැතිවරයා දෙසට ගමන් කර ආණ්‌ඩුවේ අසුන් වෙන්වන සීමාවේ සිට ගත්තේය. දෙදෙනා අත් අල්ලාගෙන සිනාසෙමින් කතා කළහ. සීනුව තවමත් නාදවේ.... සජිත් මන්ත්‍රීවරයා විජිතමුණි නියෝජ්‍ය ඇමැතිවරයාගෙන් සමුගෙන ඇවිද ගියේ ඊට යාබදව අසුන් ගෙන සිටි විමල් වීරවංශ ඇමැතිවරයා දෙසටය. විමල් ද නැඟිට්‌ටේය. දෙදෙනා සුහදව කතා කළේය. කථානායකවරයා සභා ගැබට පිවිසීමට ආසන්නය. ඒ නිසා සජිත් සහ විමල් දෙපළ යළි දෙපසට වී අසුන් ගත්හ.

ඇමැතිවරුන්ගෙන් ප්‍රශ්න ඇසීමට ආණ්‌ඩුවේම මන්ත්‍රීවරුන්ට ස්‌ථාවර නියෝග යටතේ අවසරය ඇත.

"ඒ. එම්. එම්. අස්‌වර් මහතාගේ ප්‍රශ්නය යෑයි කථානායක චමල් රාජපක්‍ෂ ආණ්‌ඩුවේ අස්‌වර් මන්ත්‍රීවරයාට ප්‍රශ්නය අසන්න අවස්‌ථාව දුන්නේය.

"පුල්මුඩේ මුස්‌ලිම් ගොවීන්ගේ ඉඩම් ප්‍රශ්නයක්‌...." යෑයි සඳහන් කරමින් අස්‌වර් මන්ත්‍රීවරයා ප්‍රශ්නය අසන්න නැඟී සිටියේය. සාමාන්‍යයෙන් මන්ත්‍රීවරයකු ප්‍රශ්නයක්‌ අසද්දී උත්තර දෙන්නේ ඊට තරමක්‌ ඈතින් සිටින ඇමැතිවරයෙකි. ඒත් අස්‌වර් මන්ත්‍රීවරයාට උත්තර දෙන්න ඔහු අසලම අසුන්ගෙන සිටි ඉඩම් නියෝජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත් නැඟී සිටියේය. සැමට සිනා පහළ විය. දෙදෙනාම දැන් සිටගෙනය.

"මරු ජෝඩුව...." විපක්‍ෂයේ මන්ත්‍රීවරයෙක්‌ කීය. ඔය දෙන්නට ඔය ප්‍රශ්නෙ කතා කරලා විසඳගන්න තිබුණනේ..." තවත් මන්ත්‍රීවරයෙක්‌ කීය. ඇමැතිවරයා ළඟ සිටින මන්ත්‍රීවරයාට පිළිතුරු දුන් පසු මගේ අසල්වැසි ඇමැතිතුමාගෙන් මම පළමුවැනි අතුරු ප්‍රශ්නය අසනවා..." යෑයි කියමින් අස්‌වර් මන්ත්‍රීවරයා අතුරු ප්‍රශ්න තුනම ඇසුවේය. ඒ අතුරු ප්‍රශ්න තුනටම ඇමැතිවරයා ද ළඟ සිටි මන්ත්‍රීවරයාට ශබ්ද නඟා පිළිතුරු දුන්නේය. දෙදෙනා මාරුවෙන් මාරුවට මෙසේ ප්‍රශ්න හා උත්තර ප්‍රකාශ කරද්දී එදෙස බලා සිටි අයට සුහද වාද බයිලා තරගයක්‌ සිහියට නැඟුනාට සැකයක්‌ නොමැත.

මේ උත්තර දීමෙන් පසුව ආණ්‌ඩුවේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන නැඟී සිට අස්‌වර් මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නයේ දොසක්‌ ගැන මතක්‌ කළේය.

මුස්‌ලිම් ගොවීන්, සිංහල ගොවීන්, දෙමළ ගොවීන් කියා ගොවීන් වෙන් කරන්න බැහැ.... සියලු දෙනාම ගොවීන්... යෑයි දිනේෂ් කියද්දී බොහෝම හොඳයි..." කියා කථානායකවරයාද එය අනුමත කළේය.

අජිත් අලහකෝන්

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.