සුදු කොඩි නඩුව
රත්නපුරේ දී ෆොන්සේකා කළ කතාව
වෙනස්‌ කොට සංයුක්‌ත තැටිය අධිකරණයට
ඉදිරිපත් කරන්න හදනවා


සංයුක්‌ත තැටිය අධිකරණයේ තිබුණා නම් මෙවැන්නක්‌ සිදුවන්නේ නෑ
විත්තියේ නීතිඥ නලින් ලද්දුවහෙට්‌ටි

ප්‍රවෘත්තිය ඇතුළත් සංයුක්‌ත තැටියේ පිටපතක්‌
විත්තියට ලබා දීමේ වගකීම පැමිණිල්ල භාර ගන්නවා
නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරාල්

සම්පූර්ණ ප්‍රවෘත්තිය ඇතුළත් සංයුක්‌ත තැටිය අධිකරණයට
ඉදිරිපත් කරන්නැයි "දෙරණ" ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂකට නියෝග


එක්‌තරා සති අන්ත ඉංග්‍රීසි පුවත්පතකට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවක්‌ තුළින් යුද හමුදාවට අපහාසයක්‌ සිදු කළ බවට චෝදනා කරමින් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහිව රහස්‌ පොලිසිය මගින් කොළඹ මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව ඊයේ (06 දා) යළි විභාග විය. නඩු විභාගය සඳහා බන්ධනාගාරගත කර සිටින සරත් ෆොන්සේකා මහතා දැඩි ආරක්‌ෂක රැකවල් මැද රැගෙන ආ අයුරු.
ඡායාරූප - කමල් බෝගොඩ

ඒ. ඡේ. ඒ. අබේනායක


විත්තිකාර සරත් ෆොන්සේකා මහතා සුදු කොඩි සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක රැලියකදී කළ ප්‍රකාශයේ වැදගත්ම කොටස වෙනස්‌ කොට එහි සංයුක්‌ත පටය අධිකරණයට ඉදිරිපත් කිරීමට පැමිණිල්ල උත්සාහ දරනවා. එදා විත්තිකරු කළ කතාව ඇතුළත් සංයුක්‌ත පටය තාමත් තිබෙන්නේ දෙරණ රූපවාහිනි නාලිකාව භාරයේ. එය අධිකරණ භාරයේ තිබුණානම් එවන් තත්ත්වයක්‌ උදාවෙන්නේ නැතැයි විත්තියේ නීතිඥ නලින් ලද්දුවහෙට්‌ටි මහතා මහාධිකරණය හමුවේදී පැවැසීය.

මානුෂීය මෙහෙයුම් අවසන් අදියරේදී සුදු කොඩි රැගෙන යුද හමුදාවට භාරවීමට පැමිණි එල්.ටී.ටී.ඊ. නායකයන් වෙඩි තබා මරා දමන ලෙස ආරක්‍ෂක ලේකම්වරයා විසින් නියෝග කොට ඇති බවට "සන්ඩේ ලීඩර්" පුවත්පත සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී පැවැසුවේ යෑයි කියන සිද්ධියට එරෙහිව හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට පවරා ඇති නඩුවේ සාක්‍ෂි විභාගය අතරතුරදී විනිසුරු මඬුල්ල හමුවේ විශේෂ ප්‍රකාශයක්‌ කරමින් විත්තියේ නීතිඥවරයා එලෙස පැවැසීය.

2009-12-08 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී "සන්ඩේ ලීඩර් පුවත්පත සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ජාතිවාදී හැඟීම් ඇති කරන එවැනි තොරතුරක්‌ සැපයීම මගින් රජය කෙරෙහි මහජන විරෝධතාවක්‌ ඇති කිරීමට තැත් කිරීම ඇතුළු චෝදනා තුනක්‌ යටතේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනුකර ඇති එම නඩුවේ සාක්‍ෂි විභාගය මහාධිකරණ විනිසුරු දීපාලි විඡේසුන්දර (සභාපති), ඩබ්ලිව්. එම්. ටී. පී. බී. වරාවැව සහ එම්. ඉසෙඩ් රාෂින් යන විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී ඊයේ (06 වැනිදා) පෙරවරුවේ කැඳවිණි.

දැඩි ආරක්‍ෂක විධි විධාන යටතේ විත්තිකාර සරත් ෆොන්සේකා මහතා බන්ධනාගාර නිලධාරින් විසින් මහාධිකරණයට ඉදිරිපත් කොට තිබුණි.

සරත් ෆොන්සේකා මහතාගේ පවුලේ ඥතීන් හිතවතුන් හා මහජන නියෝජිතයන් රැසක්‌ එම නඩු විභාගය පැවැත්වෙන අයුරු දැක ගැනීම සඳහා අධිකරණයට පැමිණ සිටි අතර බන්ධනාගාර වෑන් රථයෙන් බැසගත් වහාම තමා අසලට රොක්‌වූ සිය ඥති මිත්‍රාදීන්ට හිතවතුන්ට හා නීතිඥ මහත්ම මහත්මීන්ට සුබ අලුත් අවුරුද්දක්‌ වේවායි ප්‍රාර්ථනා කරමින් දෑත් වැඳ ආචාර කරමින් සිනාමුසු මුහුණින් ෆොන්සේකා මහතා අධිකරණ ශාලාවට ඇතුල්විය.

එහිදී පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරාල් බුවනෙක අළුවිහාරේ මහතාගේ මෙහෙයවීම යටතේ සාක්‍ෂිදුන් දෙරණ රූපවාහිනි නාලිකාවේ රත්නපුර ප්‍රාදේශීය වාර්තාකරු ගයාන් කාංචනමාල් කුඩාගම මහතා - මම දෙරණ නාලිකාවට සම්බන්ධ වුණේ මෙයට වසර 1 1/2 කට පමණ පෙරයි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් බුවනෙක අළුවිහාරේ මහතා - ඔබ මෙම නඩුවේ සාක්‍ෂි දෙමින් කීවා 2009-12-23 වැනිදා රත්නපුර රැස්‌වීම වාර්තා කළා කියලා?

සාක්‍ෂිකරු - ඔව්. ඒ වනවිට මම එහි ප්‍රාදේශීය වාර්තාකරුවෙක්‌ ලෙස කටයුතු කළා. මම දෙරණට සම්බන්ධ වුණේ එයට වසර 1 1/2 ට පමණ පෙර. මම දෙරණට අමතරව ස්‌වර්ණවාහිනි නාලිකාවෙත් වාර්තාකරුවෙක්‌ ලෙස කටයුතු කළා.

2009-12-23 වන විට මම සෑහෙන ප්‍රමාණයක්‌ වීඩියෝ ගත කිරීම් කරලා තිබුණා. මා පටිගත කොට මාධ්‍යවලට සපයපු ප්‍රවෘත්ති සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති වී නැහැ. මා පටිගත කළ දර්ශනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් මෙතෙක්‌ දොaෂාරෝපණ එල්ලවී නැහැ. එදා එම ප්‍රචාරක රැළිය වාර්තා කරන්න භාවිත කළේ පැනසොනික්‌ එල්.බී.ජී.එස්‌. 150/3 සී. ඩී. වර්ගයේ වීඩියෝ කැමරාවකුයි. එදා එම රැලිය වාර්තා කළාට පසු වෙනත් ප්‍රවෘත්ති ලබාගැනීමටත් මම එම වීඩියෝ කැමරාව පාවිච්චි කළා.

එදා මම එම රැළිය පටිගත කළ පටතුනක්‌ දෙරණට එව්වා. ඒ පට ලියුම් කවරයක දමා ස්‌ටෙප්ලර් කර දෙරණට එව්වා. ප්‍රවෘත්ති වලට එම ප්‍රවෘත්තිය පාවිච්චි කළාට පසු එම පට වෙනත් පටිගත කිරීම්වලට භාවිත කරනවා. එලෙස මාධ්‍ය ආයතනවලට යවන පට ආපසු නැවැත ලබාගැනීම සිදුකරනවා. මම යවන පට වෙනුවට වෙනත් පටත් ලැබෙනවා. කාර්ය බහුල නිසා එවපු පටිය ආපසු අපිට ලැබෙන්නේ නැහැ.

එදා ඒ රැළියේදී සරත් ෆොන්සේකා මහතා කථා කළා. එදා තිබුණ රැලියට අමතරව සරත් ෆොන්සේකා මහතාගේ රැලියක්‌ මම ආවරණය කළේ නැහැ. ඒ දිනයට අමතරව එම ස්‌ථානයේ ඔහු පවත්වපු වෙනත් කතාවක්‌ මම පටිගත කළේ නැහැ.

නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරාල් බුවනෙක අළුවිහාරේ මහතා - ගරු අධිකරණය විසින් පැමිණිල්ලට සලකුණු කිරීමට අවසර දුන් සී.ඩී. පටයේ මුල් පිටපත අධිකරණය භාරයේ නොව දෙරණ නාලිකාවේ තිබෙනවා. එය ඉදිරිපත් කරන ලෙස එහි ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂට නියෝග කරන ලෙස ගරු අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

විත්තියේ නීතිඥ නලීන් ලද්දුවහෙට්‌ටි මහතා - මේ නඩුව කැඳවූ දිනයේ මට දින 45 නොතීසියක්‌ සමග සී.ඩී. පට 3 ක්‌ භාරදුන්නා. දෙරණ, සිරස හා රූපවාහිනි විකාශනය වූ ප්‍රවෘත්ති අඩංගු කොටස්‌ තුනක්‌. දෙරණ ඉදිරිපත් කළ සී.ඩී. පටයේ තිබෙන්නේ විත්තිකරු සරත් ෆොන්සේකා කළ කතාවක ඉතාමත් කෙටි කොටසක්‌. ඔහු එම සිද්ධිය රත්නපුර ජනතාවට පැහැදිලි කිරීමට කළ උත්සාහයේ පොඩි කතාවක්‌ විතරයි. ඒ නිසා එම සම්පූර්ණ ප්‍රවෘත්තිය බලන්න මම උත්සාහ කළා. දෙරණ නාලිකාවේ අන්තර්ජාල වෙබ් අඩවියේ එදින ප්‍රවෘත්ති විකාශය ලංකාවේදී හෝ පිටරටකට බලන්න බැහැ. එම දිනයට කලින් දින ඒවා මෙන්ම පසුදින ඒවාත් බලන්න පුළුවන්. පසුව එදා විත්තිකරු එහිදී කළ සම්පූර්ණ කතාව අපිට ලැබුණා. එදා ඒ නාලිකාවේ විකාශනය වූ සියලුම ප්‍රවෘත්ති එහි තිබෙනවා. එදා විත්තිකරු කළ කතාවේ වටිනාම තැන වෙනස්‌ කරලා අධිකරණයට ඉදිරිපත් කරන්න හදනවා. ඒක තාම තිබෙන්නේ දෙරණ භාරයේ. ඒ පටිය අධිකරණය භාරයේ තිබුණානම් මේ තත්ත්වය උදාවෙන්නේ නැහැ. ඒ පටය විත්තියට දුන්නොත් අපිට පුළුවන් අපි භාරයේ තිබෙන සංයුක්‌ත පටය හා එය සංසන්දනය කොට බලන්න.

නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරාල් බුවනෙක අළුවිහාරේ මහතා - එහි පිටපතක්‌ විත්තියට දෙන වගකීම පැමිණිල්ල භාරගන්නවා. මම හිතන්නේ නැහැ එය වෙනස්‌ කරන්න එම නාලිකාව උත්සාහ කළා කියලා. නඩුවේ චෝදනාවලට අනුකූලව විත්තිකරු කළ ප්‍රකාශ පමණක්‌ ඉදිරිපත් කිරීමට පැමිණිල්ල අදහස්‌ කිරීම නිසා මේ කොටස පමණක්‌ ඉදිරිපත් කළේ. නමුත් විත්තිය කියනවා නම් එය විත්තියට දෙන්න පුළුවන්.

විත්තියේ නීතිඥ නලින් ලද්දුවහෙට්‌ටි මහතා - දෙරණ ඉතා උසස්‌ වගකිවයුතු නිලධාරියෙක්‌ ඒ පටය අපිට දුන්නේ. ඒ නිසා වගකීමකින් ඒ ගැන අපිට කියන්න පුළුවන්. මෙහිදී දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගත් මහාධිකරණ විනිසුරු දීපාලි විඡේසුන්දර මහත්මිය 2009-12-24 වැනිදා රාත්‍රි 8.00 ට දෙරණ රූපවාහිනි නාලිකාව මගින් විකාශනය කරන ලද සම්පූර්ණ ප්‍රවෘත්ති ප්‍රකාශය සහිත සංයුක්‌ත පටය වහාම මහාධිකරණයට ඉදිරිපත් කරන ලෙස දෙරණ නාලිකාවේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂවරයාට නියෝග කළාය. එහි පිටපතක්‌ ඊයේ (6 දා) පස්‌වරුවේම විත්තියේ නීතිඥ වරයාට භාරදීමට පියවර ගන්නා ලෙසද මහාධිකරණ විනිසුරුවරිය පැමිණිල්ලට වැඩිදුරටත් නියෝග කළාය.

නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරාල් බුවනෙක අළුවිහාරේ, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ඩිලාන් රත්නායක, රජයේ අධිනීතිඥ රියාස්‌ බාරි යන මහත්වරුන් හා රජයේ අධිනීතිඥ ලක්‌මිණි හිරිහාගම මෙනවිය නීතිපතිවරයා නියෝජනය කරමින් පැමිණිල්ල මෙහෙය වූහ. ජ්‍යෙෂ්ඨ නීතිඥ නලින් ලද්දුවහෙට්‌ටි, වසන්ත පිටිගල, යූ. ආර්. ඒ. බණ්‌ඩාර, අජිත් පතිරණ, නිලන්ති පීරිස්‌ සහ චතුර අමරතුංග යන මහත්ම මහත්මීන් ඇතුළු නීතිඥ මණ්‌ඩලයක්‌ විත්තිය වෙනුවෙන් පෙනී සිටියහ.

වැඩිදුර විභාගය අද 7 වැනිදා පෙරවරු 10.00 දක්‌වා කල්තැබීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.