නීති විරෝධී ලෙස මිනිසුන් ප්‍රවාහනය කිරීම වැළැක්‌වීමට රටවල්
අතර තිබිය යුතු සහයෝගය ගැන ඇමැති ජී. එල්. අවධාරණය කරයි


නීති විරෝධී ලෙස මිනිසුන් ප්‍රවාහනය වැළැක්‌වීම සහ එලෙස නීති විරෝධි ලෙස ප්‍රවාහනය කිරීමේදී අනතුරට පත්වන්නන්ට මෙන්ම ඔවුන් අයත්වන රටවල්වලට ඔවුන් අතරමගදී තාවකාලිකව රැඳී සිටින රටවල්වලට සහ ඔවුන්ගේ ගමනාන්තය වන රටවල්වලට එමගින් ඇති බලපෑම පිළිබඳව සියලු රටවල් අතර ඵලදායී සහයෝගිතාවක්‌ ගොඩනඟා ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කිරීමේ අරමුණින් විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතාගේ ප්‍රධානත්වයෙන් හා කලාපයේ තෝරාගත් රටවල් කිහිපයක දූත මණ්‌ඩල ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡාවක්‌ පැවැත්විණි. රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්‌ද මෙම අවස්‌ථාවට සහභාගි වූහ.

සාකච්ඡාව අරඹමින් අදහස්‌ දැක්‌වූ අමාත්‍ය පීරිස්‌ මහතා, නීති විරෝධී ලෙස මිනිසුන් ප්‍රවාහනය කිරීම යනු ත්‍රස්‌තවාදයට අරමුදල් සැපයීම, මුදල් විසුද්ධිකරණය, නීති විරෝධී ලෙස අවි ආයුධ ප්‍රවාහනය සහ පරිහරණය වැනි අන්තර් ජාතික සංවිධානගත අපරාධ හා සම්බන්ධ ගෝලීය ආරක්‌ෂණ ගැටලුවක්‌ බැව් සඳහන් කළේය.

මෙයට උදාහරණයක්‌ ලෙස ශ්‍රී ලංකාව දැක්‌විය හැකි බැව් පැවසූ අමාත්‍යවරයා පසුගිය ගැටුම් පැවැති අවධියේදී, එල්. ටී. ටී. ඊ. සංවිධානය ශ්‍රී ලංකාව තුළ තම ක්‍රියාකාරකම්වලට අරමුදල් රැස්‌කර ගැනීම සඳහා නීති විරෝධී ලෙස මිනිසුන් ප්‍රවාහනය කිරීම මගින් තම සංවිධානයට වාසිදායක තතත්වයක්‌ ළඟාකර ගැනීමට සමත්වූ බැව් පැවසීය. ගැටුම්වලින් පසු අවධියේදී, එල්. ටී. ටී. ඊ. ඊ. සංවිධාන හා සම්බන්ධ පිරිස්‌ නීති විරෝධී ලෙස මිනිසුන් ප්‍රවාහනය කරමින් අතරමගදී රැඳී සිටින රටවල්වලදී සහ ගමනාන්තය වන රටවල්වලදී මෙම අන්දමින් මිනිසුන්ගේ දුක්‌ ගැහැට අනිසි ආකාරයෙන් භාවිත කිරීමෙහි නිරත වෙමින් පසුවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. රටේ ආරක්‌ෂාව සහ ස්‌ථාවරත්වය නැවත ස්‌ථාපිතකොට ඇති වර්තමානයේ වුවද, ඔවුන්ගේ ක්‍රියාකාරකම් තුළින් අන්තර්ජාතිකව ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය විනාශ කිරීමේ යෙදී සිටින මෙම පිරිස්‌ නිසා, ශ්‍රී ලංකාව මෙම ගැටළුව හේතුවෙන් තවදුරටත් අයහපත් ප්‍රතිඵල අත්විඳිමින් පසුවන බව ද පීරිස්‌ මහතා සඳහන් කළේය. මෙලෙස නීති විරෝධී ලෙස මිනිසුන් ප්‍රවාහනය කිරීමේදී අනතුරට පත්වන්නත්, කුරිරු පුද්ගලයන්ගේ සහ අනතුරුදායක ලෙස ගමන් කරමින් තමනුත් තම පවුල්වල සාමාජිකයනුත් අවදානමට ලක්‌ කරමින් බටහිර රටවලට නීති විරෝධී ලෙස සංක්‍රමණය කිරීමට තැත්කරන තැනැත්තන්ගේ රැවටීමට භාජන වන පුද්ගලයන් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

වැඩිදුරටත් කරුණු දැක්‌වූ අමාත්‍යවරයා, මෙම අවදානම් ක්‍රියා හේතුකොටගෙන මරණ සහ අවාසනාවන්ත තත්ත්වයන් රැසක්‌ ඇතිවී ඇති බව පෙන්වා දුන්නේය. මෙම නිසා සියලුම රටවල්, විශේෂයෙන්ම නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරනු ලබන පුද්ගලයන් අයත් වන රටවල්, ඔවුන් අතරමගදී රැඳී සිටින රටවල් සහ ඔවුන්ගේ ගමනාන්තය වන රටවල් එක්‌ව මෙම ගැටළුවලට විසඳුම් සෙවිය යුතු බැව් පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙම තත්ත්වය වැළැක්‌වීම සඳහා ක්‍රියාමාර්ග ගත යුත්තේ, එලෙස නීති විරෝධී ලෙස ප්‍රවාහනයට ලක්‌වනු ලබන පුද්ගලයන්ට එරෙහිව නොව මෙම ලාභදායී ක්‍රියාමාර්ගවල පසුබිමේ සිටින අපරාධකරුවන්ට එරෙහිව බැව් පැවැසීය.

මෙම හමුව සංවිධානය කිරීම වෙනුවෙන් මේ අවස්‌ථාව සඳහා සහභාගි වූ තානාපතිවරු අමාත්‍යවරයා හට තම ස්‌තුතිය පළ කළ අතර, නීති විරෝධී ලෙස මිනිසුන් ප්‍රවාහනය කිරීම වැළැක්‌වීම සම්බන්ධයෙන් තම රටවල් විසින් ගෙන ඇති ඇතැම් ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කළහ. ඔස්‌ටේ්‍රලියාව නීති විරෝධී ලෙස මිනිසුන් ප්‍රවාහනය කිරීමේ ගැටලුව පිළිබඳව ඉතා අවධානයෙන් පසුවන බවත්, මෙම ගැටලුව සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ අදාළ බලධාරීන් සමඟ ඉතා ඵලදායී අන්දමින් සහයෝගයෙන් යුතුව කටයුතු කර ඇති බවත්, වැඩබලන ඔස්‌ටේ්‍රලියානු මහ කොමසාරිස්‌වරිය මෙහිදී පැවසුවාය. මෙහිදී විශේෂයෙන් පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේ සිට ඔස්‌ටේ්‍රලියාව වෙත නීති විරෝධී අන්දමින් ගමන් ගනිමින් සිටි නැව් ගමනාගමනය නතර කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බලධාරීන් විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග සාර්ථක වූ බැව් පැවසූ ඇය, අසල්වැසි තාවකාලික රැඳවුම් මධ්‍යස්‌ථාන පවතින රටවල සිට ඔස්‌ටේ්‍රලියාව වෙත නීති විරෝධී අන්දමින් සංක්‍රමණය වීමට සංක්‍රමණිකයන් වෙර දරා ඇති බැව් සඳහන් කළාය.

ශ්‍රී ලංකාවෙන් නීති විරෝධී ලෙස සංක්‍රමණය වන පුද්ගලයන් සම්බන්ධ මෑතදී වාර්තා වූ සිද්ධීන් කැනඩාවේ දැඩි අවධානයට ලක්‌වී ඇති බවට ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස්‌වරයා ප්‍රකාශ කළේය. නීති විරෝධී ලෙස මිනිසුන් ප්‍රවාහනය පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ නියෝජිතයකු ලෙස රජය විසින් ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු පත් කරන ලද බවත්, කැනඩාවට විශාල වශයෙන් නීති විරෝධී ලෙස සංක්‍රමණය වීම වැළැක්‌වීම සඳහා උපහාර විය හැකි ජාත්‍යන්තර වශයෙන් ලබාගත හැකි සහයෝගිතාව පිළිබඳ සාර්ථක නිදසුන් පිළිබඳව කැනේඩියානු රජය විමසිල්ලෙන් පසුවන බවත් ඔහු සඳහන් කළේය.

නීති විරෝධී ලෙස ඕස්‌ටේ්‍රලියාව වෙත සංක්‍රමණය වීමට බලාපොරොත්තු වන පුද්ගලයන්හට ඉන්දුනීසියාව තාවකාලිකව රැඳී සිටින ස්‌ථානයක්‌ වී ඇති බව ඉන්දුනීසියානු තානාපතිවරයා සඳහන් කළේය. මේ වනවිට ඉන්දුනීසියාවේ රැඳවුම් මධ්‍යස්‌ථානයන්හි ශ්‍රී ලාංකිකයන් සිය ගණනක්‌ රඳවා ඇති බවත්, පසුගිය වසර දෙක තුළදී නීත්‍යානුකූලව ඉන්දුනීසියාව වෙත පැමිණ නීති විරෝධී අන්දමින් ඔස්‌ටේ්‍රලියාව වෙත ගමන් කළ ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාවේ ඉහළ යැමක්‌ දක්‌නට ලැබුණු බවද හෙතෙම පැවැසීය.

මෙහිදී අදහස්‌ දැක්‌වූ තායිලන්ත තානාපතිවරයා වෙනත් රටවල් බලා ගමන් කරන නීති විරෝධී සංක්‍රමණිකයන් විසින් තායිලන්තය අයුතු ලෙස ප්‍රයේජනයට ගනු ලැබීම වැළැක්‌වීම සඳහා එහි වීසා ලබාගැනීම හා සම්බන්ධ නීති රීති දැනටමත් තරකර ඇති බව ප්‍රකාශ කර සිටියේය.

මිනිසුන් නීති විරෝධී ලෙස ප්‍රවාහනය කිරීම නිසා පීඩාවට ලක්‌වී ඇති රටවල් අතර සහයෝගිතාව ඇතිකිරීමේ අවශ්‍යතාව මැලේසියානු තානාපතිවරයාට ද මෙම හමුවේදී අවධාරණය කර සිටියේය.

නීති විරෝධී ලෙස මිනිසුන් ප්‍රවාහනය කිරීමේ අවස්‌ථා වැළැක්‌වීමෙහිලා ගන්නා ලද පියවරවල්වලදී අධිකරණ අමාත්‍යාංශය ප්‍රමුඛ කාර්ය භාරයක්‌ ඉටුකළ බව අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් සුහද ගම්ලත් මහතා සඳහන් කළේය.

විදේශ ගමන් බලපත්‍රවල අනවසරයෙන් වෙනස්‌කම් කර ඇති අවස්‌ථා සොයා දැනගෙන කටයුතු කිරීම සහ නීති විරෝධී ලෙස මිනිසුන් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බලධාරීන් විසින් ගනු ලැබ ඇති පියවරයන් සම්බන්ධව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නියෝජිතවරයා මෙහිදී පැහැදිලි කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.