සම්බන්ධීකරණය මෙන්ම
ප්‍රතිපත්ති සම්පාදනය හා ඒවා සැලසුම් කිරීම
ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන්ගේ කාර්ය භාරයයි
ජ්‍යෙෂ්ඨ ඇමැති ඩිව් ගුණසේකර

ජ්‍යෙෂ්ඨ ඇමැති සංකල්පය ලෝකයට අලූත් දෙයක්‌ නෙවෙයි
ජ්‍යෙෂ්ඨ ඇමැති ඒ. එච්. එම්. ෆවුසි


අනුර බාලසූරිය

ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් වශයෙන් අපට පැවරී ඇත්තේ ප්‍රතිපත්ති සම්පාදනය, ඒවා සැලසුම් කිරීම හා සම්බන්ධීකරණය කිරීම යෑයි මානව සම්පත් පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති ඩිව් ගුණසේකර මහතා පැවසීය.

කොල්ලුපිටියේ පිහිටි සිය අමාත්‍යාංශයේ ඊයේ (6 දා) වැඩ බාර ගැනීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

ජ්‍යෙෂ්ඨ ඇමැති ඩිව් ගුණසේකර මහතා මෙසේ ද සඳහන් කළේය.

ජ්‍යෙෂ්ඨ ඇමැති සංකල්පය අප රටට අලුත් සංකල්පයක්‌ වුවත් බොහෝ රටවල දේශපාලන ක්‍ෂේත්‍රයට අලුත් සංකල්පයක්‌ නොවේ. ලෝක ආර්ථිකය වෙනස්‌ වන සංකීර්ණ ගැටලුවලට මුහුණ දෙන්න ප්‍රතිපත්ති සම්පාදනයට සැලසුම් කිරීමට හා සම්බන්ධීකරණය සඳහා මෙම අලුත් සංකල්පය ජනාධිපතිතුමා හඳුන්වා දුන්නා.

අද අප ජීවත් වන්නේ දැනුම පදනම් වූ සමාජයක්‌ සඳහා වූ වකවානුවකයි. මූලික අවශ්‍යතාව දැනුම පදනම් කරගත් ආර්ථිකයක්‌ ගොඩනැඟීමයි. ඒ සඳහා මට ලැබී තිබෙන මානව සම්පත් පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති ධුරය ප්‍රධාන වශයෙන් බලපානවා. ලෝක ආර්ථිකය ඉතා වේගයෙන් වෙනස්‌ වෙමින් තියෙනවා. ලෝක ආර්ථිකයේ ශ්‍රමය අද ප්‍රාග්ධනය වෙලා. ශ්‍රමයට වටිනාකමක්‌ ලබාදීමේ දැවැන්ත අරගලයක ආණ්‌ඩුව නියෑළී සිටිනවා.

සාමාන්‍ය පෙළින්, උසස්‌ පෙළින් පසු හා ඊට පෙර ඉවත්වන දරුවන්ට කුමක්‌ කළ හැකිද කුමක්‌ කළ යුතු ද දැනුම පදනම් කරගත් ආර්ථික සමාජයක්‌ ගොඩනැගීමේදී මේ විශාල ශ්‍රම බළකායට වෘත්තීය නිපුනත්වයක්‌ ලබාදිය යුතුයි. අද 21 වැනි ශත වර්ෂයේ දැනුමත් විද්‍යාව හා තාක්‍ෂණය පිළිබඳ දැනුමත් සැමටම ලබාදිය යුතුයි. දැනුමට නිපුනත්වයක්‌ ලබාදිය යුතුයි. ලෝකය ගමන් කරන ඉදිරිය බලා ගුණාත්මක වෙනසක්‌ නොකොළොත් වෙනස්‌ වන ලෝක ආර්ථිකයට ගැලපෙන්න පුළුවන් වන්නේ නැහැ. වෙනස්‌වන ලෝකයට ගැලපෙන ආකාරයට ශ්‍රම බළකාය සකස්‌ කළ යුතුයි. ශ්‍රම බළකාය දැනුමෙන් වෘත්තීය නිපුනත්වයකින් සන්නද්ධ කළ යුතුයි. අලුත් වෘත්තීන්වලට තිබෙන ඉල්ලුම අප සපුරාලිය යුතුයි. පසුගිය ලෝක ආහාර අර්බුදය හමුවේ අපි වෙළෙඳපොළ කළමනාකරණය කරමින් කටයුතු කළ නිසා අපට ඊට මුහුණ දෙන්න පුලුවන්කම ලැබුණා.

විදේශ ශිෂ්‍යත්ව ලැබූ අය විදේශවල ඉගෙනීමට ගිය පසු නැවත එන්නේ නෑ. මේ සම්බන්ධයෙන් දැඩි තීරණයක්‌ ගත යුතුයි. ජනාධිපතිතුමා ඉදිරි දැක්‌මක්‌ අනුවයි කටයුතු කරන්නේ.

ජාතික සම්පත් පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති පියසේන ගමගේ මහතා - දේශපාලනයේ වසර 22 ක පමණ කාලයක්‌ නිරතවෙමින් නියෝජ්‍ය ඇමැති ධුර, ඇමැතිධුර කිහිපයකම ක්‍ෂේත්‍ර ගණනාවකම කටයුතු= කර අත්දැකීම් සම්භාරයක්‌ තිබෙනවා. මේ ජ්‍යෙෂ්ඨ ඇමැතිධුර අලුත් තනතුරක්‌.

තනතුරු තාන්න මාන්නවලට වඩා මගේ එකම බලාපොරොත්තුව වුණේ ජනාධිපතිතුමා ජයග්‍රහණය කරවා මේ රට ජයග්‍රහණය කරවීමයි. අද එය ඉටුවී තිබෙනවා. රට ජයග්‍රහණය කරවීමෙන් පසු දැන් අපට තිබෙන්නේ ආර්ථික යුද්ධය ජයග්‍රහණය කිරීමයි. ඒ සඳහා අපි ආණ්‌ඩු පක්‍ෂයේ සියලු දෙනා කැපවී සිටිනවා.

අත්දැකීම් පළපුරුද්ද උපයෝගී කරගෙන ජනාධිපතිතුමා අපෙන් බලාපොරොත්තු වන සේවය ඉටු කිරීම අපේ වගකීමයි. මේ ජ්‍යෙෂ්ඨ ඇමැති ධුරයේ සිට අපට විශාල වගකීමක්‌ ඉටුකරන්න පුළුවන්. ඒ පැවරී තිබෙන වගකීම අප ඉහළින්ම ඉටු කරනවා.

ආහාර පෝෂණ පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති පී. දයාරත්න මහතා - ජ්‍යෙෂZaඨ ඇමැතිධුර ලබපු සියලුදෙනා අත්දැකීම් සම්භාරයක්‌ හා දීර්ඝ පළපුරුද්දක්‌ තිබෙන ඇමැතිවරු පිරිසක්‌. අපට දුන් වගකීම උසස්‌ අන්දමින් ඉටුකරනවා.

නාගරික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති ඒ. එච්. එම්. ෆවුසි මහතා - අපි එක අමාත්‍යාංශයකට සීමාවෙලා නෑ. අමාත්‍යංශ ගණනාවක විශාල වැඩ කොටසක්‌ තියෙනවා. ජනාධිපතිතුමා මේ සංකල්පය ඇතිකිරීම පිළිබඳ අපි සතුටු වෙනවා. ලංකාවට අලුත් වුණාට වෙනත් රටවලට අලුත් දෙයක්‌ නොවෙයි. අපි මේ අලුත් සංකල්පය ඒ සංකල්පය තිබෙන රටවලට ආදර්ශයක්‌ වන හැටියට ක්‍රියාත්මක කළ යුතුයි. ආණ්‌ඩු පක්‍ෂයේ සිටින මන්ත්‍රීන් එකසිය හැට ගණනකට ඇමැතිකම් දෙන්න බෑ. අපිට ජ්‍යෙෂ්ඨ ඇමැතිධුර ලබාදී පළපුරුද්දක්‌ තිබෙන අපෙන් උපරිම සේවයක්‌ ගැනීම ජනාධිපතිතුමාගේ එකම අරමුණයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.