නියෝජ්‍ය ඇමැතිවරයෙක්‌ නීතිඥවරයකු ලෙස
පෙනී සිටියේ යෑයි කියන සිද්ධිය ගැන පරීක්‌ෂණ

අජිත් අලහකෝන් - අකිත පෙරේරා

කොළඹ දිසා අධිකරණය හමුවේ පවතින නඩුවක වගඋත්තරකාර ඇමැතිවරයකු වෙනුවෙන් නියෝජය ඇමැතිවරයෙක්‌ නීතිඥවරයකු ලෙස පෙනී සිටියේ යෑයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‌ෂා කර බලන බව කථානායක චමල් රාජපක්‍ෂ මහතා ඊයේ (06 දා) පාර්ලිsමේන්තුවේදී ප්‍රකාශ කළේය.

කොළඹ දිසා අධිකරණයේ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතාට එරෙහි නඩුවකට නියෝජ්‍ය ඇමැතිවරයකු නීතිඥවරයකු ලෙස පෙනී සිටි බවද පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව ඇමැතිවරු සහ නියෝජ්‍ය ඇමැතිවරු නඩුවලට පෙනී සිටින්නේ නැතැයිද විපක්‍ෂයේ සංවිධායක ජෝන් අමරතුංග මහතා දැනුම් දුන් පසුව කථානායකවරයා ඉහත ප්‍රකාශය කළේය.

මෙය අධිකරණයට බලපෑම් කිරීමක්‌ විය හැකි යෑයි කී අමරතුංග මහතා නියෝජ්‍ය ඇමැතිවරයකු නීතිඥයකු ලෙස ඇමැතිවරයකු වෙනුවෙන් පෙනී සිටීම සම්පූර්ණ වැරැදි ක්‍රියාවක්‌ යෑයිද කීය.

දිසා අධිකරණයේදී පෙරදින මෙම නඩුව විභාගයට ගත් විටදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා වගඋත්තරකාර ඇමැතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය ඇමැතිවරයකු පෙනී සිටීම පිළිබඳ විරෝධය පළ කළ බව කී ජෝන් අමරතුංග මහතා තමා නීතිපතිවරයාගේ අවසරය මත නඩුවට පෙනී සිටින බව එකී නියෝජ්‍ය ඇමැතිවරයා කියා ඇතැයිද ප්‍රකාශ කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කර පරීක්‌ෂා කර බලා තම තීරණය දැනුම් දෙන බව කථානායකවරයා වැඩිදුරටත් පැවැසුවේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.