ව්‍යාජ ලේඛනයක්‌ සකස්‌ කොට කොළඹ
මහ නගර සභාවට 100 දෙනකු බඳවා ගන්න යයි

ඒ. ඡේ. ඒ. අබේනායක

පළාත් පාලන ආයතන විසුරුවා හැර මැතිවරණයක්‌ පැවැත්වීමට රජය කටයුතු යොදා තිබියදී ව්‍යාජ ලකුණු මට්‌ටම් ලේඛනයක්‌ සකස්‌ කොට පත්වීම් බලධාරියා වන නාගරික කොමසාරිස්‌වරියටත් නොදන්වා කොළඹ මහ නගර සභාවට කම්කරුවන් 100 දෙනකු බඳවා ගැනීම සඳහා සැලසුම් කොට ඇතැයි නාගරික වෘත්තිය සමිති එකමුතුව චෝදනා කරයි.

විශ්‍රාමික නිලධාරියකු විසින් මෑතකදී පත්කරනු ලැබූ නගර සභා බලධාරියකුගේ මගපෙන්වීම යටතේ දේශපාලන අවශ්‍යතා මත එලෙස පත්වීම් ලබාදීමට සැලසුම් කොට ඇතැයිද එම වෘත්තිය සමිති එකමුතුව චෝදනා කරයි. නගර සභාව බඳවා ගනු ලබන ඕනෑම තරාතිරමක සේවකයකු සභාවේ පත්වීම් බලධාරිනිය වන නාගරික කොමසාරිස්‌වරියගේ පූර්ණ අධීක්‍ෂණය හා අනුමැතිය යටතේ සිදුකළ යුතු මුත් ඒ පිළිබඳව ඇය දැනුවත් නොකිරීම පවත්නා නගර සභා බඳවා ගැනීම් නීති රීති උල්ලංඝණය කිරීමක්‌ බවත් පත්වීම් අපේක්‍ෂාවෙන් සුදුසුකම් සපිරූ විශාල පිරිසක්‌ සිටියදී නිසි සුදුසුකම් නොමැති අය එලෙස බඳවා ගැනීම නීති විරෝධී ක්‍රියාවක්‌ බවත් එම වෘත්තිය සමිති එකමුතුව වැඩිදුරටත් චෝදනා කරයි.

එම කූට උත්සාහය පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට, බස්‌නාහිර පළාත් ආණ්‌ඩුකාරවරයා ඇතුළු බලධාරීන්ට පැමිණිලි කිරීමට පියවර ගන්නා බවද එම වෘත්තිය සමිති එකමුතුව පවසයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.