තමිල්නාඩුවේ සිටි ශ්‍රී ලාංකික සරණාගතයෝ
ගම්බිම් බලා එති

- එක්‌සත් ජාතීන්ගේ සංවිධානය කියයි

ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු

කොටි ත්‍රස්‌තවාදීන්ගේ පාලන සමයෙහි තමිල්නාඩුවට පලාගොස්‌ සරණාගත කඳවුරුවල සිටි උතුර නැගෙනහිර පළාත්හි ද්‍රවිඩ ජනතාව යළි සිය ගම්බිම් බලා පැමිණීම ඉතා ශීඝ්‍ර ලෙස වර්ධනය වී ඇතැයි එක්‌සත් ජාතීන්ගේ මහ කොමසාරිස්‌වරයාගේ සරණාගතයන් පිළිබඳ නියෝජිත මයිකල් ස්‌වැක්‌ මහතා පවසයි.

ශ්‍රී ලංකා රජය විසින් කොටි සංවිධානය පරාජය කර උතුර නැගෙනහිර පුනරුත්ථාපන කටයුතු සිදු කිරීම ආරම්භ කිරීමත් සමග මෙලෙස තමිල්නාඩුවේ සිටින ද්‍රවිඩ සරණාගත ජනතාව යළි සිය ගම්බිම් වෙත පැමිණීමට පටන්ගෙන ඇතැයිද ඒ මහතා සඳහන් කරයි.

තමිල්නාඩුවේ සිටින උතුර නැගෙනහිර ද්‍රවිඩ සරණාගතයන් පිළිබඳව ඉන්දීය කොංග්‍රස්‌ නායක රාහුල් ගාන්ධි මහතාද විවේචනයට ලක්‌ කර තිබිණි.

උතුර නැගෙනහිර පවතින සාමකාමී වාතාවරණයත් සමග මෙලෙස ද්‍රවිඩ සරණාගත ජනතාව යළි සිය ගම්බිම් වෙත පැමිණීම වැඩිවීමත් සමග ඉතා ඉක්‌මනින් තමිල්නාඩු ප්‍රාන්තයේ පිහිටා ඇති සරණාගත කඳවුරු ඉවත් කළ හැකි වනු ඇතැයිද ස්‌වැක්‌ මහතා පවසයි.

යළි ශ්‍රී ලංකාව බලා පැමිණෙන ද්‍රවිඩ සරණාගත ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් සිය සංවිධානය ශ්‍රී ලංකා රජය සමග එක්‌ව ලබාදීමට පියවර ගන්නා බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.