පළාත් පාලන ආයතන 308ක ඡන්ද විමසීමට අදාළ
ගැසට්‌ පත්‍රය නිකුත් කෙරේ

රනිල් ධර්මසේන

පළාත් පාලන ආයතන 308 ක ඡන්ද විමසීමට සිදු කිරීමට අදාළ ගැසට්‌ නිවේදනය පළාත් පාලන හා පළාත් සභා ඇමැති ඒ. එල්. එම්. අතාවුල්ලා මහතා විසින් ඊයේ (06 වැනිදා) නිකුත් කරනු ලැබීය. ඒ අනුව එම ආයතනවල නිල කාලය ඊයේ (6 වැනිදා) සිට අවසන් විය. එහි නව පාලන කාලය ආරම්භ වන තෙක්‌ ආයතනවල කටයුතු පවත්වාගෙන යැමට බලයලත් නිලධාරින් ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන් පත් කිරීමට මහජන ආරක්‍ෂක පනත යටතේ තමන් වෙත පැවරී ඇති බලතල අනුව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ පියවර ගෙන ඇත.

මේ අතර ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය පැවැත්වෙන ක්‍රීඩාංගණ ආශ්‍රිත පළාත් පාලන ආයතන දහයක ඡන්ද විමසීම සිදු නොවන අතර එහි කාලසීමාව මාර්තු 31 වැනිදා තෙක්‌ පැවැත්වේ.

ඒ අනුව කොළඹ, කෝට්‌ටෙ, දෙහිවල-ගල්කිස්‌ස, මහනුවර යන මහනගර සභාවලත් කොළොන්නාව, හම්බන්තොට නගර සභාවලත්, කුණ්‌ඩසාලේ, ගඟවට කෝරළේ, සූරියවැව, කොටිකාවත්ත, මුල්ලේරියාව යන ප්‍රාදේශීය සභාවලත් ඡන්ද විමසීම නොපැවැත්වේ.

එමෙන්ම මහ නගර සභා 18 කම මැතිවරණය කල් දමා ඇත. ලෝක කුසලාන ක්‍රිකට්‌ තරඟාවලිය වෙනුවෙන් ජනතාවට පහසුකම් සැපයීම, ප්‍රදේශ වැඩි දියුණු කිරීම, ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යැමේ පහසුව සඳහා මහ නගර සභා ඡන්දය නොපවත්වන ලෙස මහ නගර සභා නගරාධිපති සංගමය රජයෙන් කළ ඉල්ලීමට අනුව මහ නගර සභා ඡන්ද විමසීම සිදු නොකරන බව පළාත් පාලන හා පළාත් සභා ඇමැති ඒ. එල්. එම්. අතාවුල්ලා මහතා පැවසීය.

එමෙන්ම පසුගිය 2008 වසරේදී ඡන්ද විමසීම සිදු කළ මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ පළාත් පාලන ආයතන 9 ක සහ යාපනය සහ වව්නියාව මහ නගර සභාවල නිල කාලය තවම වසර දෙකක්‌වත් ගතවී නොමැති නිසා එහිද ඡන්ද විමසීම දැන් සිදු නොකරන බවද හෙතෙම කීය.

මෙයට අමතරව අලුතෙන් පිහිටුවනු ලබන දඹුල්ල, කඩුවෙල, බණ්‌ඩාරවෙල, අක්‌කරෙයිපත්තුව යන මහ නගර සභා, එරාවුර් නගර සභාව, නාරම්මල, ඉරක්‌කාමම්, ලුණුගල යන ප්‍රාදේශීය සභා අටක නිල කාලයද ලබන අප්‍රේල් 01 වැනිදා සිට ආරම්භ වන පරිදි ඡන්ද විමසීම මෙවර දී සිදු කෙරේ.

මේ අනුව ප්‍රාදේශීය සභා 228 ක්‌, නගර සභා 40 ක්‌ නව පළාත් පාලන ආයතන 08 ක්‌ හා උතුරු පළාතේ පළාත් පාලන ආයතන 32 ක්‌ ඇතුළුව ආයතන 308 ක ඡන්ද විමසීම සිදු කෙරේ. මේ සඳහා නාම යෝජනා පත්‍ර කැඳවන කාලසීමාව හා මැතිවරණය පවත්වන දිනය මැතිවරණ කොමසාරිස්‌වරයා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. මෙවර ඡන්ද විමසීම කල් තැබූ පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන මාර්තු මස 31 වැනිදායින් අවසන් වන අතර එහි ඡන්ද විමසීම පිළිබඳ ඉදිරියේදී රජය තීන්දුවක්‌ ගනු ලබන බව ඇමැතිවරයා ඊයේ කොළඹ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේය. නියෝජ්‍ය ඇමැති ඉන්දික බණ්‌ඩාරනායක, අමාත්‍යාංශ ලේකම් නිහාල් ජයතිලක යන මහත්වරුද මෙහිදී අදහස්‌ දැක්‌වූහ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.