ලක්‌ෂ 7ක කප්පමක්‌ ගන්න ගිය
පාතාල සාමාජිකයා කොටුවෙයි

හේමන්ත රන්දුණු

කොහුවල ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකුට මරණීය තර්ජන එල්ල කරමින් රුපියල් හත් ලක්‌ෂයක කප්පම් මුදලක්‌ ලබාගැනීමට උත්සාහ කළ පාතාල සාමාජිකයකු කොළඹ අපරාධ කොට්‌ඨාසය මගින් ඊයේ (06 වැනිදා) සවස අත්අඩංගුවට ගෙන ඇත.

කප්පම්කරු නාරාහේන්පිට ප්‍රදේශයේ ආපන ශාලාවකදී අදාළ කප්පම් මුදල ලබාගැනීමට සූදානම් වෙනවාත් සමගම එහි රැක සිටි අපරාධ කොට්‌ඨාසයේ නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ව්‍යාපාරිකයාගෙන් කප්පම් ගැනීමේ සැලසුම මෙහෙයවා ඇත්තේ වැලිකඩ බන්ධානාගාරයේ රඳවා සිටින පාතාල සාමාජිකයන් පිරිසක්‌ බව පරීක්‌ෂණවලදී හෙළිවී තිබේ.

දින කිහිපයක්‌ තිස්‌සේ ව්‍යාපාරිකයාගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබාගෙන ඇති කප්පම් කල්ලිය ඔහුට මරණීය තර්ජනය කරමින් මුදල් ඉල්ලා ඇත. පසුව එම ව්‍යාපාරිකයා මේ පිළිබඳ කොළඹ අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්‌ෂ පොලිස්‌ අධිකාරි ආර්. එන්. රණවීර මහතාට පැමිණිලි කර ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ අපරාධ කොට්‌ඨාසයේ ස්‌ථානාධිපති හේමන්ත දික්‌ඕවිට ඇතුළු නිලධාරීන් දින දෙකක්‌ තිස්‌සේ කළ පරීක්‌ෂණවලදී අදාළ කප්පම් කල්ලියේ සාමාජිකයා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කප්පම් කල්ලියට සම්බන්ධ තවත් සැකකරුවන් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතය. අපරාධ කොට්‌ඨාසය වැඩිදුර පරීක්‌ෂණ ආරම්භ කර ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.