පරාථෙ නීතිය සංශෝධනය කිරීමෙන්
ලක්‍ෂ 50 දක්‌වා ණය නොගෙවූ ව්‍යාපාරිකයන්ගේ දේපළ
පවරා ගැනීමේ බලතල බැංකුවලට අහිමිවෙනවා

ඇමැති රංජිත් සියඹලාපිටිය


රජය කිව්ව වැට්‌ බදු සහනය
තාම කාටවත් ලැබිලා නැහැ

රවී කරුණානායක

සමෘද්ධි නිලධාරීන්ට ක්‍රමවත් විශ්‍රාම වැටුප් ක්‍රමයක්‌
කඩිනමින් ක්‍රියාවට නංවනවා

ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන

අජිත් අලහකෝන් - අකිත පෙරේරා

රජයේ කාර්යභාරයෙන් විශාල කොටසක්‌ ක්‍රියාවට නංවන සමෘද්ධි නිලධාරීන්ට ක්‍රමවත් විශ්‍රාම වැටුප් ක්‍රමයක්‌ කඩිනමින් ක්‍රියාවට නංවන බව සභාව කල්තබන අවස්‌ථාවේ ඉදිරිපත් කළ යෝජනාවට පිළිතුරු දෙමින් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඊයේ (06 දා) පාර්ලිමේන්තුවේදී කීවේය.

සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප් ගැටලුවට සහනයක්‌ ලබා දෙන ලෙසට කුරුණෑගල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී (එජනිස) ශාන්ත බණ්‌ඩාර මහතා විසින් සභාව කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කළේය.

(ඒ. එච්. එම්. අස්‌වර් මහතා මූලාසනයට පැමිණේ)

කුරුණෑගල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී ශාන්ත බණ්‌ඩාර මහතා (එ.ජ.නි.ස) යෝජනාව ඉදිරිපත් කරමින් මෙසේ කීය.

සමෘද්ධි නිලධාරී තනතුර සඳහා දක්‍ෂ තරුණ තරුණියන්වයි තෝරා ගත්තේ. ඔවුන්ට රුපියල් දෙදහසක දීමනාවක්‌ තමයි මුලින්ම ගෙව්වේ. එනිසා ඒ අය කල්පනා කළේ කූපන් ක්‍රමයක්‌ කියලයි. ඒත් අද වන විට සමෘද්ධි ව්‍යාපාරය ඉතාම සාර්ථක වී තිබෙනවා. ගමේ දුප්පත්කම නැති කරන්න සමෘද්ධි ව්‍යාපාරය ඉවහල් වී තිබෙනවා. ඒ සඳහා සමෘද්ධි නිලධාරීන් ඉතාම කැපවීමෙන් වැඩ කරනවා. ඔවුන්ගේ නායකත්වය ගම තුළ මතුවී තිබීම ගැන අපි සතුටු විය යුතුයි. සමෘද්ධි ව්‍යාපාරය මගින් ගමේ සියලු දෙනා එකතු කරගෙන රටේම නිවාස විසි දාහකට වඩා ඉදි කර තිබෙනවා. ගම්වල ඉන්න අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් තෝරාගෙන ශිෂ්‍යත්ව ලබා දෙනවා. එය ක්‍රියාත්මක කරන්නෙත් සමෘද්ධි නිලධාරීන්. අද සමෘද්ධි බැංකු ක්‍රමය ඉතාමත් සාර්ථක වෙලා. රුපියල් ලක්‍ෂ දහයක පමණ මුදල් ඉතුරු කරන්න හැකි වෙලා තිබෙනවා. ඒත් සමෘද්ධි නිලධාරීන්ට අද හිස්‌ අතින් ගෙදර යන්න වෙලා තිබෙනවා. ඒ නිසා සමෘද්ධි කළමනාකරුවන්ට සහ සංවර්ධන නිලධාරීන්ට පූර්ණ විශ්‍රාම වැටුප් ක්‍රමයක්‌ යෝජනා කළ යුතුයි කියා මා ඉල්ලා සිටිනවා.

පුත්තලම දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා (එ. ජ. නි. ස.) විසින් යෝජනාව ස්‌ථිර කළේය. පිළිතුරු කතාව කරමින් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා මෙසේ ද කීය.

දිවයින පුරා විහිදුන සමෘද්ධි බැංකු 1047 හරහා ප්‍රතිලාභ ලැබූ පවුල් ගණන ලක්‍ෂ 15 ක්‌ පමණ වේ. ඒ තුළින් කෘෂිකර්ම, සත්ත්ව පාලන, කර්මාන්ත කුඩා හා මධ්‍ය ප්‍රමාණයේ ව්‍යවසායකයන් හා අලෙවි කරුවන් බිහිවී ඇත. ඔවුන් මේ වනවිට තවදුරටත් රජයේ යෑපෙන්නන් නොව ස්‌වාධීනව ජීවනෝපායන් කරගෙන යමින් ආර්ථික වශයෙන් ඉහළ තත්ත්වයට පත් වූවන් වී ඇත.

දුප්පත්කම අවම කරමින් සංවර්ධනයේ ප්‍රතිලාභ කා හටත් එක සමානව බෙදී යැමේ වැඩපිළිවෙළ සකස්‌ කිරීමේදී සමෘද්ධි නිලධාරීන්ගෙන් වන සේවය සුළුපටු නොවේ. පසුගිය වසර 15 ක පමණ කාලය සිට සමෘද්ධි නිලධාරීන් විසින් ඉටුකළ සේවය කාගේත් පැසසුමට ලක්‌වේ. රජයේ අනෙක්‌ නිලධාරීන්ගෙන් වන සේවය හා සමාන හෝ වැඩි වශයෙන් සමෘද්ධි නිලධාරීන්ගෙන් ජනතාවට සේවයක්‌ සිදුවන බව අවධාරණය කරනු කැමැත්තෙමි.

මේ තත්ත්වය අවබෝධ කරගත් ජනාධිපතිතුමා සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා විසින් සමෘද්ධි සංවර්ධන නිලධාරීන් හට විශ්‍රාම වැටුප් ක්‍රමයක්‌ සකස්‌ කිරීමේ හැකියා සොයා බලා රජයට කරුණු ඉදිරිපත් කිරීම සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක්‌ ඇති කිරීම සඳහා කමිටුවක්‌ පත් කරන ලදී.

දුප්පත්කම තුරන් කරමින් අඩු ආදායම්ලාභී පවුල් සවිබල ගන්වමින් ඔවුන් ජාතික ආර්ථිකයේ කොටස්‌කරුවන් බවට පත්කිරීමේ භාරදූර කාර්යය ක්‍රියාවට නංවන්නේ සමෘද්ධි නිලධාරීන් විසිනි. එසේම ගමේ අවශ්‍යතාව හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස්‌කර සංවර්ධන වැඩසටහන් ක්‍රියාවට නංවන්නේද සමෘද්ධි නිලධාරීන් විසින්ය. මේ සා විශාල කැපවීමක්‌ කරමින් රජයේ කාර්යභාරයෙන් විශාල කොටසක්‌ ක්‍රියාවට නංවන සමෘද්ධි නිලධාරීන් හට ක්‍රමවත් විශ්‍රාම වැටුප් ක්‍රමයක්‌ කඩිනමින් ක්‍රියාවට නංවන බව මේ ගරු සභාවට දන්වන්නේ කැමැත්තෙමි.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.