නව වසරේ ක්‍රීඩා ග්‍රහ සංක්‍රාන්තිය ජනවාරි 15 දා



ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‌ෂේත්‍රය ටෙස්‌ට්‌ තත්ත්වයට උසස්‌ වීම් ලද සමයේ (1982) ආරම්භක දෙසතියේ දී එම උසස්‌වීම පිළිබඳ පුවත්පත් මාධ්‍යයේ තද අකුරින් ලියෑවිණි. ඉලෙක්‌ට්‍රොනික්‌ මාධ්‍යයේ මහ හඬින් කියෑවිණ. එම සෑම අවස්‌ථාවකම ගාමිණී දිසානායක යන නාමය ද නොවරදවාම ලියෑවිණ, කියෑවිණ.

එවැනි දිනක මගේ කාර්යාල දුරකථනය නාද වූ අවස්‌ථාවේ, ".... මහත්තයා, පොඩ්ඩක්‌ ඉන්න... ඇමැතිතුමාට කතා කරන්න අවශ්‍ය ලූ"යි අනෙක්‌ අන්තයෙන් කියෑවිණ.

එම ඇමැතිතුමා, එවකට ක්‍රීඩා ඇමැති වින්සන්ට්‌ පෙරේරා මහතා විය.

"අයිසේ ඇම්ඩන්, මට තමුසෙව මුණගැහෙන්න ඕන. හෙට උදේට පුළුවන්ද?" වින්සන්ට්‌ පෙරේරා මහතා මගෙන් විමසීය.

කථිකා කර ගත් පරිදි, අපි කොළඹ 7 තර්ස්‌ටන් පාරේ රහීමා හෝටලය ඉදිරිපිට දී හමුවීමු. එවිට වින්සන්ට්‌ පෙරේරා මහතා සිය මෝටර් රථයේ බොනට්‌ටුවට බර දී තේ කෝප්පයක්‌ බොමින් සිටියේය. සිය රියදුරු (එකල අද මෙන් ඇමැතිවරුන්ට ආරක්‌ෂක, නිලධාරි උෂ්ණය නොතිබිණි.) අමතා මටද තේ කෝප්පයක්‌ ගෙන්වාදී... "අයිසේ ඇම්ඩන්, තමුසෙලා පිටු ගණන් ටෙස්‌ට්‌ තත්ත්වය ටෙස්‌ට්‌ තත්ත්වය කිය කියා ලියනවා. ඒ වැඩේ සම්බන්ධයෙන් මං කරපු රාජකාරි ගැන එකෙක්‌වත් ලියන්නේ නැහැ..." යි ආදී වශයෙන් දෝෂාරෝපණයක්‌ කළේය.

වින්සන්ට්‌ පෙරේරා මහතාගේ අදාළ කර්තව්‍ය ගැන මම දැන නොසිටියෙමි. එබැවින් නොදන්නා දැ ලිවීමෙන් වැළකී සිටියෙමි.

ශේෂය - වින්සන්ට්‌ පෙරේරා සහ ගාමිණී දිසානායක ඇමැතිවරු දැන් මිය ගොසිනි.

ක්‍රිකට්‌ ක්‍රීඩාව ජය කෙහෙළි නංවමින් ඉදිරියටම ගියේය.

----------------          ----------------          ----------------

1988 සමය වන විට දේශීය වොලිබෝල් ක්‍රීඩාව වළ පල්ලට යමින් තිබිණි. එයට යළි ප්‍රකෘති සිහියෙන් තරග බිමට කැඳවාගෙන ඒමේ අරමුණින්, එවකට එක්‌සත් ජාතික පක්‌ෂ රජයේ මුදල් ඇමැති රොනී ද මැල් මහතා වොලිබෝල් මහ පුටුවේ හිඳුවන ලද්දේ වාර්තාගත වොලිබොල් අනුගාමිකයන් පිරිසක්‌ ඉදිරියේය. අපි එය "වොලිබෝල් වසන්තයේ උදාව" යනුවෙන් නම් කළෙමු.

ශේෂය - අද, වොලිබෝල් වසන්තය යනු වචන පෙළක්‌ පමණි. වොලිබෝල් ක්‍රීඩාව එදා මෙදා දිනා ඇත්තේ කුමක්‌දැයි එම නිලධාරීහු සිය හදවත් තෙරපා විමසිය යුතුය.

----------------          ----------------          ----------------

වසර 1991 දකුණු ආසියානු තරගාවලියේ ශ්‍රී ලංකා විජයග්‍රහණය සහ තරු පහේ සංවිධානය පිළිබඳ ජාත්‍යන්තර මට්‌ටමින් පැසසුම් හිමි විය. එවකට ක්‍රීඩා ඇමැති නන්ද මැතිව් මහතා එම ජවසම්පන්න, ක්‍රියාශිලී සංවිධායක මණ්‌ඩලයේ නායකයා විය.

ශේෂය - අද නන්ද මැතිව් මහතා පිළිබඳ ඉඳ හිට කියෑවෙයි. එහෙත්, එදා පටන් (1991) ශ්‍රී ලංකාව සියලු අන්තයන්ගෙන් ලැබූ සහ ලබන අන්ත පරාජ පිළිබඳ නිතොර කියෑවෙනවා පමණක්‌ නොව එම හෙළුවේ පැටිකිරිය විමසීමට ත්‍රිපුද්ගල කමිටුවක්‌ද දැන් පත් කර ඇත.

----------------          ----------------          ----------------
එස්‌. බී. දිසානායක මහතාද මෙරට හිටපු ක්‍රීඩා ඇමැතිවරයෙකි. එම යුගය "පස්‌වැනි යාමය" යෑයි අපි නම් කළෙමු හෙතෙම මෙරට පස්‌වැනි ක්‍රීඩා ඇමැතිවරයා වීම එම හැඳින්වීමට හේතු පාදක විය.

එස්‌. බී. ගේ "පස්‌වැනි යාමය" "දිවයින"ට සුභ අසුභ කාල පරිච්ඡේදයක්‌ විය. ඇමැතිවරයාගේ "සද්ද බද්ද" මාධ්‍යයට ප්‍රවෘත්ති උල්පතක්‌ම විය. එබැවින් හෙතෙම අප හා උරණ විය. එහෙත් ක්‍රීඩා ඇමතිවරයා වශයෙන් ඔහු ප්‍රායෝගිකව ඉටු කළ මෙහෙය මහ ඉහළින් ප්‍රසංශාවට ලක්‌ කිරීමට අපි උද්යෝගමත් වීමු. ඒ සඳහා නිතොර සැදී පැහැදී සිටියෙමු.

ශ්‍රී ලංකා ක්‍රීඩා ක්‌ෂේත්‍රය නින්දෙන් අවදි කොට නොසිතූ නොපැතූ ජාත්‍යන්තර ජයග්‍රහණ සඳහා නායකත්වය දී තවත් දුර ගමනක්‌ යැමට ඉඩ ප්‍රස්‌ථාව තිබියදී හෙතෙම කෘෂිකර්මය සඳහා මඩට බැස්‌සේය.

එස්‌. බී. අද නින්දක්‌ නැති උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයාය. එහෙත්, මෙරට ක්‍රීඩාවේ උන්නතිය සඳහා ඔහු කළ කී දැ අද ඊයේ මෙන් සිහියට හැඟෙයි. පස්‌වැනි යාමයේ ශේෂය (සංක්‌ෂිප්තව) එයයි.

----------------          ----------------          ----------------

මේ තවත් යුගයකි. එස්‌. බී. කළ දෙයින් ඔබ්බට ගොස්‌ පිටියේ පෙළහර පෑමට දිගු ගමනක්‌ යා යුතු නව යුගයේ නායක මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිවරයාය. ඇමැතිවරයා එම ගමන මීටර් 100 වේගයෙන් අරඹා ඇත. එමගින් හති නොවැටෙන බව හෙතෙම උදක්‌ම විශ්වාස කරයි. මහින්දානන්දයෝ මේ වන විට සිය අමාත්‍යාංශය "ශුද්ධ පවිත්‍ර" කොට අවසන් යෑයි කියයි. අමාත්‍යාංශයේ "යන්ත්‍ර කාමරය" වූ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සොලවා ඇත. එහෙත් එහි දූෂිත යෑයි හඳුනාගෙන ඇති නිලධාරීන් සහ ඔවුනගේ පෙර අකටයුතුකම් සඳහා තමා අත නොපොවන බව අවධාරණය කරයි. එය ඔහුගේ ප්‍රතිපත්තිය බවද ඔහුව පවසයි. එමගින්, දූෂිතයෝ ඔහුගේම සෙවනේ තව දුරටත් ඉදිරියටම යනු ඇත.

මේ සියල්ලටම මහින්දානන්දයන් විසින් "හැදෙන්න කණ්‌ඩායමක්‌ වශයෙන් මා සමග ඉදිරියට යන්න එන්න" නමැති ජීවය එන්නත් කර ඇත.

නව යුගයේ ශේෂය පිළිබඳ යම් දිනෙක ලියෑවෙන තෙක්‌....

ප්‍රශ්නය - ක්‍රීඩා අමාත්‍ය ධුරයේ වැඩ භාර ගන්න විට අමාත්‍යාංශයේ හතර මායිම හෝ නොදැන සිටි බව ඔබ පැවසුවා. දැන් කාලයක්‌ ගත වෙලා. දැන් මායිම ගැන දන්නවා ඇති?

පිළිතුර - ඔව්. මේ වන විට සෑහෙන දුරට හතර මායිම් හඳුනාගෙනයි ඉන්නේ.

ප්‍රශ්නය - ඒ මායිම් තුළ බොහෝ දේ දකින්න ලැබෙන්න ඇති.

පිළිතුර - මම මේ අමාත්‍යාංශය භාර ගෙන සතියක්‌ විතර යනකොට මට තේරුණා, මේක දියුණු කරන්න පුළුවන් අමාත්‍යාංශයක්‌ බව. අපිට හරි පිළිවෙළක්‌ අවශ්‍යයි. මේකෙ ඇමැතිවරු මාරුවෙනවා. හැබැයි නිලධාරින් එතැනමයි. ඉතින් මම කල්පනා කළා මගේ සංකල්පය මෙයට ඇතුල් කරන්න පුළුවන්ද කියලා. ඒ ගමන්ම මට අවබෝධ වුණා. මගේ සංකල්පය - ක්‍රීඩාව ගමට ගෙනයැම මේ නිලධාරීන් සමග ගෙනියන්න බැරි වෙයි කියලා. මම අමාත්‍යංශය සොයා බැලුවා. සංවර්ධන දෙපාර්තමේන්තුව සොයා බැලුවා. ජාතික සංගම් සොයා බැලුවා. එතකොට මට පැහැදිලිවම තේරුණා මේ ගමන යන්න එකතු කරගන්න පුළුවන් නිලධාරීන් නැති බව. එකක්‌ තමයි ඔවුන්ගේ අකාර්යක්‌ෂමතාව, අනෙක තමයි ඔවුන්ට වගකීමක්‌ භාර ගැනීමට ඇති නොහැකියාව. උවමනාවකුත් නැතිකම. ඒ අය තමන්ගෙ රාජකාරිය විතරක්‌ කරලා ඇඟ බේරා ගන්න අය. ඒ නිසා, මගේ ලේකම්තුමාත් සමග ආයතන ප්‍රධානින් සමඟ සාකච්ඡාවක්‌ පවත්වලා "අපි මේක හදමු" කියන අභියෝගය ඉදිරිපත් කළා. ඒ අනුව, මම ඒ අයට අවස්‌ථාවක්‌ දුන්නා. මේ මාසේ 1 දා වෙනකං ලෑස්‌ති වෙන්න, අපි සමග මේ ගමන යන්න කියලා. උදාහරණයක්‌ වශයෙන් කීවොත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‌ෂවරයා අලුත් කෙනෙක්‌. එම නිසා මේ ගමන යන්න සහ එයා වැඩ හඳුනා ගන්න තෙක්‌ දෙවැනි පෙළක්‌ හදන්න කියලා කීවා. එතන ඉන්න ඔක්‌කොම නිලධාරීන් වැඩ බලන අය. මුළු ක්‍රීඩා අමාත්‍යාංශයම වැඩබලන මිනිස්‌සු දාගෙන තමයි වැඩ කරන්නෙ. ඒ කියන්නෙ සුදුසුකම් තියන නියම කෙනා එතැන නැහැ. පරිපාලනය සම්බන්ධ අධ්‍යක්‌ෂ ජනරාල් අවුරුදු පහක්‌ වැඩ බලනවා. ඉතින් කවුරුවත් උනන්දු නැහැ.

ප්‍රශ්නය - උනන්දු නැති අය නම් කරන්න බැරිද?

පිළිතුර - කොහොම හරි මෙතැන වැඩක්‌ වෙලා නැහැ. ඒක විටෙක හිටපු ඇමැතිතුමාගේ අඩු පාඩුවක්‌ වෙන්න පුළුවන්. අමාත්‍යවරයාට තියෙන්නෙ ප්‍රතිපත්ති සහ තීරණ ගැනීමයි. රාජ්‍ය නිලධාරීන් බඳවා ගැනීමේ වගකීම තියෙන්නෙත් ඇමැති තුමාට. ඒ කියන්නෙ ලේකම් තුමා දැන ගන්න ඕන එවැනි පුරප්පාඩුවලට සුදුස්‌සන් බඳවා ගන්න. ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවෙත් වැඩ කරන්නෙ දෙවැනි සහ තුන්වැනි පන්තියේ නිලධාරින් දාගෙන.

ප්‍රශ්නය - තත්ත්වය එසේ නම්, නිවැරදි කිරීම් ආරම්භ කරන්නේ කොතැනින්ද?

පිළිතුර - මට තේරුණා මේ අය එක්‌ක මේ ගමන යන්න බැරි බව. එම නිසා මම ඉහළ නිලධාරීන් කැඳවලා කිව්වා පළමු පෙළ අකර්මන්‍ය නම් දෙවැනි පෙළ හදන්න කියලා. ඒකත්, හදලා නැහැ. අකර්මන්‍යයි. තුන්වැනි පෙළත් ලෙඩක්‌ නම් අපිට යන්නම බැහැ නේ, ඒකයි ජනවාරි 1 දා දක්‌වා කාලය දුන්නෙ. ඒත් කිසිම ප්‍රතිචාරයක්‌ නෑ. එම නිසා මම ගත යුතු නිසි පියවර ගත්තා. ඒ අනුව අතිරේක ලේකම්වරු දෙන්නාට කීවා පෙබරවාරි 1 දා වන විට වෙන තැනක්‌ හොයාගන්න කියලා. ක්‍රීඩා අධ්‍යක්‌ෂ ජනරාල්තුමා කළේ මොකක්‌ද? එයාට මම කීවේ ජනවාරි 15 දා වන විට සියලුම දෙවැනි සහ තුන්වැනි පෙළ වැඩ බලන තනතුරු පුරවන්න අයෑදුම්පත් කැඳවන්න, මාස හයක්‌ සම්මුඛ පරීක්‌ෂණ පවත්වන්න කියලා උපදෙස්‌ දුන්නා. එතන ඉන්නෙ ක්‍රීඩාව ගැන කිසිවක්‌ දන්නෙ නැති කිසිම උනන්දුවක්‌ නැති මළානික පිරිසක්‌. චෝදනා ගොඩයි. එයාගේ ගෝලයො තමයි එතැන රජ කරන්නෙ. මම එයාට කීවා ජනවාරි 15 වන විට අධ්‍යක්‌ෂ පරිපාලන පත් කළ යුතුයි කියලා. ජනවාරි 15 දා වන විට ඉංජිනේරු තනතුරු පත් කළ යුතුයි කියලා. ක්‍රීඩා අධ්‍යක්‌ෂ ජනරාල් පත් කළ යුතුයි කියලා. ක්‍රීඩා විද්‍යායතනයේ අධ්‍යක්‌ෂ තනතුරට අයෙක්‌ පත් කළ යුතුයි කියලා. ක්‍රීඩා විද්‍යායතනය බලන්නෙ අතිරේක ලේකම්වරයෙක්‌. එතුමාට ඒ ගැන කිසිම දැනුමක්‌ නැහැ. ඒ තනතුර පුරවන්න මාධ්‍ය දැන්වීමක්‌ ඔස්‌සේ අයෑදුම්පත් වහාම කැඳවන්නත් උපදෙස්‌ දුන්නා. අනෙක වෛද්‍ය ඒකකය. ඒකටත් නිසි බෙහෙත් දෙන්න වෙනවා. මේ අයුරින් වැඩ කළාම ජනවාරි 15 දා වන විට මම හිතන පතන කණ්‌ඩායම සූදානම් ඉදිරියට යන්න. එහෙම නැතිව, මගේ මොන සංකල්පයක්‌ තිබුණත් වැඩ බැරි, වැඩ නොකරන කණ්‌ඩායමක්‌ සමග මම කොහෙමද ඉදිරියට යන්නෙ?

ප්‍රශ්නය - ඔබතුමා වැඩ භාරගත් දිනයේ දී, ඔබ ලංකාවේ හොඳම ක්‍රීඩා ඇමැති වන බවට ප්‍රකාශයක්‌ කළා... ඒ ගමන යන්න ඔබට තේමාවක්‌ ඇති. සංකල්පයක්‌ ඇති. පැහැදිලි කරන්න.

පිළිතුර - මම එහෙම කීවේ, පහුගිය කාලේ අපේ ක්‍රීඩා ක්‌ෂේත්‍රයේ පසු බෑම පදනම් කර ගෙන. අපිට නොයෙකුත් ක්‍රීඩා ඇමැතිවරු හිටියා. නමුත් හොඳම යුගය එස්‌. බී. දිසානායක ඇමැතිතුමාගේ යුගය. මම එසේ කීමෙන් අදහස්‌ කළේ එස්‌. බී. යුගයෙන් ඔබ්බට යමක්‌ කිරීමට මට ඇති අවශ්‍යතාවයි. මට තියෙන්නෙ එස්‌. බී.ගෙ කාලේදී ළමයි දිනු ජයග්‍රහණවලට වඩා ජයග්‍රහණ සංඛ්‍යාවක්‌ සඳහා පදනම දැමීමයි. ඒකයි මගේ ඉලක්‌කය. ඒ සඳහා අපි ගත්තු තීරණ කිහිපයකුත් තියෙනවා. බලන්න, අද වෙනකං අපි පළාත් සභා එක්‌ක එකමුතුව වැඩ කරලා නැහැ. එම නිසා මම ඒ පිරිසයි, අමාත්‍යාංශ නිලධාරිනුයි, දෙපාර්තමේන්තු (ක්‍රීඩා සංවර්ධන) නිලධාරීනුයි ගෙන්නලා වැඩමුළුවක්‌ පැවැත්වූවා. එදා පළාත් සභා නිලධාරීන් කියූ දේවල් ඇහුවාම ක්‍රීඩා දෙපාර්තමේන්තු නිළධාර§න්ට දුවන්න සිද්ධ වුණා. එතැනදී ජාතික උළෙලේ සිට පහළට ගන්නා ලද තීන්දු තීරණ. තෑගි බෙදාදුන් අයුරු, තරග තීරණ ආදී මේ සියලු දේම වැරදියි. දෙපාර්තමේන්තුවට කතා නැහැ. කට වහගෙන අහගෙන හිටියා. බරපතල චෝදනා.... දෙපාර්තමේන්තුව කතා නැහැ. ඊට පස්‌සෙ මම පළාත් සභා ක්‍රීඩා ඇමැතිවරු ගෙන්නුවා. ඒ ගොල්ලා චෝදනා කළේ ඩබල් කරලා. ඒකෙන් අපි කොතැනද ඉන්නෙ කියලා පැහැදිලි වුණා. එම නිසා මම යෝජනා කළා ජාතික මහා ක්‍රීඩා උළෙල අලුත් මුහුණුවරකින් පවත්වන්න. උදාහරණයක්‌ කීවොත්, ජාතික ක්‍රීඩා උළෙලේ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස මට්‌ටමේ දී දිනන කණ්‌ඩායම පියවරක්‌ ඉදිරියට යනවා. නමුත් පරාජිත කණ්‌ඩායම්වලත් ඉතා දක්‍ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මොකද වෙන්නෙ? කළ යුත්තේ ඒ අපගේ එකමුතුවෙන් කණ්‌ඩායමක්‌ දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් හදන්නග බලන්න දැන්, හෙයියන්තුඩුව වොලිබෝල් ටීම් එක ෘ ඒ අය කීවේ "අපි ජාතික මට්‌ටමේ සංචිතගත ක්‍රීඩකයන්. අපිට එහෙම ගහන්න බැහැ." ආදි වශයෙන් එතකොට මට කීවා "තමුන් පල්ලෙහා මට්‌ටමේ ඉඳලා ආ යුතුයි බැරිනම් යන්න පුළුවන්" කියලා. එතකොට ඒ අය වොලිබෝල් සභාපති ඩිලාන් ඇමතිතුමාට චෝදනා කළා. ඩිලාන් මට කතා කළා. "මම එයාට කීවා මං තීරණය වෙනස්‌ කරන්නෙ නැහැ. බැරිනම් මම ඇමැතිකම දාලා ගෙදර යනවා කියලා. අන්තිමට මොකද වුණේ? හෙයියන්තුඩුවට දුවන්න වැදුනා. සෙට්‌ තුනම වැදුනේ බිංදුවේ තියලා.

ප්‍රශ්නය - ජාතික ක්‍රීඩා උළෙල ගැන කතා කිරීම හොඳ ප්‍රවේශයක්‌. ඒකෙ ගනුදෙනු ගැනත් යමක්‌ කීවොත්?

පිළිතුර - මම යෞවන ක්‍රිඩා උළෙල කළා. වියදම මිලියන 19 යි. ජාතික ක්‍රීඩා උළෙලෙට මිලියන 49 යි. මිලියන 19 ට වැඩේ කළේ මම හැම දෙයක්‌ම පෞද්ගලිකව අධීක්‍ෂණය කළ නිසා. තෑගි භෝග ඇඳුම් සපත්තු ඉඳුම් හිටුම්..... මේ සියල්ලටමයි මිලියන 19 වැය වුණේ. හැබැයි බලන්න.... එකම සහභාගිත්වය දෙවිධියක වියදම්.

මේවා තමයි ප්‍රශ්න. එම නිසා මගේ නිලධාරි මණ්‌ඩලයට මම කිව්වා මමත් ක්‍රීඩා උළෙලක්‌ කරපු කෙනෙක්‌. හොරකම් හොය හොයා පස්‌සෙන් පන්නන එක මගේ ප්‍රතිපත්තිය නොවෙයි.

ප්‍රශ්නය - මට ඔබට බාධා කරන්න වෙනවා. හොරකම් හොයනවා කියන්නේ එවැන්නක්‌ තිබූ නිසා. එසේ නම්, හතර මායිම දන්නා ඔබට සොරුන් ගැන කියන්න බැරිද?

පිළිතුර - මම සියල්ල හොයාගෙන ඉවරයි. එහෙම කරපු අය තමයි ඔය "ඇක්‌ටිං" පට්‌ටම් දාගෙන හිටියේ..... අවශ්‍ය තැනදී ඒවා ඒ අයුරින් භාවිත කරනවා. මම ඒ අයට අවවාද කරලයි තියෙන්නේ. "පුතා මගෙත් එක්‌ක ඔය වැඩ බැහැ. අලුත් ගමනක්‌ යන්න සූදානම් වෙන්න. මුදල් ගනුදෙනු සම්බන්ධ දිවුරුම් ප්‍රකාශ (සේවා සපයන්නන් විසින් දෙන ලද) මගේ ළඟ තියෙනවා. ඔය හොර වැඩ ඔක්‌කොම අමතක කරලා දාලා අලුත් ගමනක්‌ යමු....." ආදි "ආදි වශයෙන් ඊළඟට අපියි අධ්‍යාපන තරුණ කටයුතු උසස්‌ අධ්‍යාපන ආයතන පළමු වතාවට එකට ඉඳගත්තා දැන් බලන්න ඒ අය ඒ අයගේ ක්‍රීඩා තරග වෙනම පවත්වාගෙන යනවා. අපේ කිසිම සම්බන්ධයක්‌ නැහැ. අපි එදා ඉතා හොඳ තීරණ රැසක්‌ ගත්තා. ඒවා ක්‍රියාත්මක කරන්න කැබිනට්‌ පත්‍රිකාවකින් අනුමැතිය ගන්නවා. ඊට පස්‌සේ මාධ්‍ය ඔස්‌සේ රටට දන්වනවා.

අපිට ජාතික ක්‍රීඩා පන්තියක්‌ නෑ. ඒක ස්‌ථාපිත කරන්න පෙර දින දෙකක (ජනවාරි 13-14) වැඩමුළුවක්‌ පවත්වනවා. ඊළඟට ක්‍රීඩා පනත, ජාතික ක්‍රීඩා සංගමයක ධුර කාලය අවුරුද්දයි. මාස 6 ක්‌ වැඩ. අනෙක්‌ මාස 6 ඊළඟ ඡන්දෙට වැඩ. මේක වෙනස්‌ කළ යුතුයි. අඩුම ගානේ ධුර කාලය අවුරුදු දෙකකට සංගම්වල නිලධාරීන් සටනක්‌ දීලා පුටුවට එන්නෙ බොහෝ විට ඒ අයගෙ දරුවන්ගේ ඉදිරිය හදාගන්න. එහෙම අම්මලා තාත්තලාට ඡන්දෙ ඉල්ලන්න බැහැ කියලා. තවත් එකක්‌ තමයි ක්‍රීඩා වෙළෙඳ අංශයක්‌ පිහිටුවීම. ඒ ගැන දැනටමත් සාකච්ඡා කරලා ඉවරයි. අපිට ඒ මගින් පුළුවන් වෙයි මේ ක්‍රීඩා අමාත්‍යංශය මේ රටේ ආර්ථික බලවේගයක්‌ කරන්න. මට ආණ්‌ඩුවේ සල්ලි ඕන නැහැ. ක්‍රීඩාව ඔස්‌සේ මට ඕන තරම් සල්ලි හොයාගන්න පුළුවන්. ඒ ගමන යන්නෙ මෙහෙමයි. හඳුනාගත්ත ක්‍රීඩා ඉසව් 12 ක්‌ තිබෙනවා. ඒවා "ඒ" "බී" "සී" වශයෙන් වර්ගීකරණය කරලා තිබෙනවා. "ඒ" කාණ්‌ඩයට (ජාත්‍යන්තර ජයග්‍රහණ වාර්තා කළ) දෙන්න පුළුවන් උපරිම පහසුකම් ලබා දෙනවා. "බී" කණ්‌ඩායමටත් "සී" කණ්‌ඩායමටත් සමගාමී පහසුකම් දෙනවා. මේ සියල්ල කරන්නේ අනුග්‍රාහක සමාගම්වල ආධාරයෙන්. දැනට වූ එවැනි සමාගම් 5 ක්‌ පමණ සමඟ සාකච්ඡා පවත්වා අවසන්. එකක්‌ තමයි වොලිබෝල්... ටීම් 1000 කට වොලිබෝල් සහ දැල් ලබාදීම, ගම්වල වොලිබෝල් පිටි 250 ක්‌ සෑදීම, ජාතික තරගාවලියේ පූර්ණ වියදම දැරීම මේ සඳහා එක්‌ ජාත්‍යන්තර සමාගමක්‌ දැනටමත් ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වී තිබෙනවා.

ප්‍රශ්නය - වෙනතකට යොමු වෙමුෘ මෑත අතීතය අරගෙන බලන්න. කිසිම ක්‍රීඩා ඇමැතිවරයෙක්‌ ක්‍රිකට්‌ පරිපාලනයට අත තියලා නැහැ. ඔබත් එම "බෝට්‌ටුවේ" ද?

පිළිතුර - අත තියලා ඉවරයි. ඊට ඉස්‌සෙල්ලා කියන්න දෙයක්‌ තියෙනවා. අපේ ආයතනයේ එකට වැඩ කරන සිරිතක්‌ තිබිලා නැහැ. අමාත්‍යංශය කරන දෙය දෙපාර්තමේන්තුව දන්නේ නැහැ. දෙපාර්තමේන්තුව කරන දෙය අමාත්‍යංශය දන්නෙ නැහැ. එම නිසා මම විධානයක්‌ දුන්නා. අමාත්‍යංශ ලේකම් දැනුවත් නොකර කිසිම දෙයක්‌ හෙවත් බාහිර ආයතන සමග කටයුතු කිරීම තහනම් කියලා. බීච් ගේම්ස්‌ යන්න නිලධාරීන් 11 කගේ නම් එව්වා. මම අනුමත කළේ 4 යි. සල්ලි දෙන්නෙ මම. ක්‍රිකට්‌ බෝඩ් එක සමඟ සාකච්ඡාවක්‌ පැවැත්වූවා. එම තේරීම් කමිටුව සමඟ සාකච්ඡාවක්‌ පැවැත්වූවා. ඒ අවස්‌ථාවලදී පොඩි පොඩි මත ගැටුම් ඇති වුණා. මතක තියා ගන්න ක්‍රිකට්‌ බෝඩ් එකට මගෙත් එක්‌ක නටන්න නම් බැහැ.

ප්‍රශ්නය - ඇමැතිතුමාට, මාසිකව රුපියල් 50,000/- යි. වාහනයයි එයට සීමා රහිත ඉන්ධනයි දෙන්න ක්‍රිකට්‌ ලොක්‌කෝ යෝජනා කළේ එම රැස්‌වීමේදී නේද?

පිළිතුර - ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයේ වර්ල්ඩ් කප් ඔෆීස්‌ එකෙන් මුලදී එහෙම දීලා තිබුණා. ඇමැති කෙනෙක්‌ ආවාම නම් හතරක්‌ දෙන්න, රැකියා සඳහා සිව් දෙනෙක්‌, කියලා තිබුණා. ඒ කියු දීමනා දෙනවා කියා. මටත් එහෙම කීවා. හතර දෙනෙක්‌ බෝඩ් එකට දාන්න කියලා. මට එහෙම දෙන්න අවශ්‍යතාවක්‌ නැහැ කියා මම ඒ අයට කීවා. ක්‍රිකට්‌ ආයතනය කියන්නේ මට ප්‍රශ්න තියෙන තැනක්‌. මෙතෙක්‌ හිටපු ක්‍රීඩා ඇමැතිවරු එහෙම අය පත් කරන්න ඇති. නමුත් මට එහෙම අවශ්‍යතාවක්‌ නැහැයි මම ක්‍රිකට්‌ බලධාරීන්ට කීවා.

ප්‍රශ්නය - ඒක පාරිතෝෂිකයක්‌ද අල්ලසක්‌ද?

පිළිතුරු - ඒක තනතුරු නිර්මාණයක්‌. ඊට පස්‌සෙ ඒකට දීමනාවක්‌ හදන්න පුළුවන්. එතකොට ඒක රැකියාවක්‌. කොහොම නමුත් මම කීවා මට එය අනවශ්‍යයි කියලා.

ප්‍රශ්නය - ඔබ දුර ගමනක්‌ යන්න උත්සාහ කරන්නෙක්‌. එහි දී ආරම්භය මීටර් 100 වේගයෙන් ගැනීමෙන් හති වැටෙන්න පුළුවන් නේද?

පිළිතුර - නැහැ. මම තවම 100 ට ගියේ නැහැ. අපි ගනිමු ක්‍රිකට්‌ ආයතනය. අර්ජුන ඇවිත් මට ෆයිල් තොගයක්‌ භාර දුන්නා. (ජනවාරි 3 දා) මම ඒ අනුව දඩ බඩ ගාලා වැඩට බහින්නෙ කොහොමද? හෙට අනිද්දා වර්ල්ඩ් කප් එක එනවා. මම අර්ජුනට පාර්ලිමේන්තුවේ දී කීවා, අර්ජුන ඕක කරන්න එපා. මට කරුණු දෙන්න. මම ඉන්ක්‌වයරි එකක්‌ කරන්න නම්. ඊට පස්‌සෙ මම වැරදි නම් මට ගහන්න කියලා. මේ වර්ල්ඩ් කප් එක අස්‌සෙ ක්‍රිකට්‌ අයතනයේ කටයුතු ඇවිස්‌සීම රටට කරන අපහාසයක්‌. මේ කරුණු තේරුම් ගත්තට පස්‌සෙ අර්ජුන මට පොරොන්දු වුණා වර්ල්ඩ් කප් ඉවර වෙනකං මාධ්‍ය ඔස්‌සේ ක්‍රිකට්‌ ආයතනය විවේචනය නොකරන බවට. ජනාධිපතිතුමා පවා අවබෝධ කරගෙන තිබෙනවා ක්‍රිකට්‌වල වෙනසක්‌ විය යුතුයි කියලා.

වර්ල්ඩ් කප් එකෙන් පස්‌සෙ අපි පැහැදිලිව එම වෙනසට බහිනවා.

ප්‍රශ්නය - ඔබ මේ ආරම්භක ගමනේදී අතුරු ප්‍රතිඵලයක්‌ වශයෙන් ඇතැම් නිලධාරීන් පීඩනයට පත්වෙලා. මානසිකව වැටිලා...... අසරණ වෙලා.

පිළිතුර - ඔව් එහෙම හතර පස්‌ දෙනෙක්‌ ඉන්නවා. ඒ අයට දැඩි දූෂණ චෝදනා.... බරපතල චෝදනා එල්ල වී තිබෙනවා. ඉතාම අකාර්යක්‍ෂම පිරිසක්‌. ඒ අය තමයි එම කාණ්‌ඩයට වැටී ඉන්නේ.

ප්‍රශ්නය - එවැනි දූෂිතයන්ගේ විස්‌තර රටට හෙළි කිරීම රටට ජාතියට කරන සේවයක්‌ නොවේද?

පිළිතුර - නැහැ. නම් කිරීම සදාචාරාත්මක නැහැ.

ප්‍රශ්නය - අපි බලමු සුගතදාස ක්‍රීඩාංගණ ප්‍රතිසංස්‌කරණය. එම පිහිනුම් තටාකය. එම උත්තනාංෂක (නුවරඑළිය) ක්‍රීඩාංගණය මේ කිසිවක්‌ කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව කොන්ත්‍රාත්කරුවන්ට පැවරූ "සල්ලි උල්පත්" බවට හතර වටින්ම චෝදනා....

පිළිතුර - කැබිනට්‌ පත්‍රිකාවක්‌ මගින් ටෙන්ඩර් පටිපාටියට බැහැරව රාජ්‍ය ආයතනයක කටයුත්තක්‌ තවත් රාජ්‍ය ආයතනයකට දෙන්න පුළුවන්. නමුත් මෙය කෙරුණේ නැත්තේ කොන්ත්‍රාත්කරු (රාජ්‍ය ඉංජිනේරු සංස්‌ථාව) එයට අධික මුදලක්‌ ඉල්ලූ නිසා. එම නිසා මම මේ ගැන ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කරලා විවෘත ටෙන්ඩර් මගින් යළි කටයුතු ආරම්භ කිරීමට දැන් සූදානම්. හිටපු ඇමැතිතුමයි (ලොකුගේ මහතා) ඒක රාජ්‍ය ඉංජිනේරු සංස්‌ථාවට දුන්නේ. ඒ සංස්‌ථාව මීටර 400 ධාවන පථය හදන්න. මිලියන 200 ක්‌ ඉල්ලලා තියෙනවා. නමුත් බියගම ධාවන පථයට වැය වුණේ මිලියන හතළිස්‌ පහයි. මට අසනීපයක්‌ නැහැ කාට වුණත් මිලියන 150 ක්‌ විතර නිකං දෙන්න. රාජ්‍ය ඉංජිනේරු සංස්‌ථාවේ ගණන් වැඩියි. හැම දෙයකටම 27% ක ලාභයක්‌ තියා ගන්නවා. අපි දාන්න හදන්නෙ සිතන්නටික්‌ ට්‍රැක්‌ එකක්‌. ඉතින් රාජ්‍ය ඉංජිනේරු සංස්‌ථාව ලංකාවේ දාල තියෙන ට්‍රැක්‌ එක මොකක්‌ද? මොකක්‌ද තියෙන තාක්‍ෂණ ඥානය. ඒ ගොල්ලො ගිය සැරේ ට්‍රැක්‌ එක දානකොට සාම්පල් එකක්‌ එවලා තිබුණා. මේ කොහෙන්ද කියලා ඇහුවාම වෙබ් සයිට්‌ එක බලලා ගෙන්න ගත්තා කීවා. එමනිසා තමයි ජනාධිපතිතුමා කීවේ මෙම කටයුත්ත වහාම නවත්තලා අලුතින් ටෙන්ඩර් කැඳවන්න කියලා. ඒ අනුව ඉදිරි දෙසතිය තුළදී නැවත ටෙන්ඩර් කැඳවනවා. පූල් (පිහිනුම් තටාකය) එකට ඉල්ලලා තියෙන ගාන දන්නවාද?..... මිලියන හැට ගාණක්‌.

ප්‍රශ්නය - ක්‍රිකට්‌ ලෝක කුසලාන, දැල් පන්දු ලෝක කුසලාන, පොදු රාජ්‍ය මණ්‌ඩල ක්‍රීඩා ඉල්ලුම.. මේ ආදී බරපතල අභියෝග රැසක්‌ ඉදිරියේදී....

පිළිතුර - වර්ල්ඩ් කප් ක්‍රිකට්‌ ගත්තම පළමු 30 තෝරලනෙ තියෙන්නෙ. ඒක 15 ට බස්‌සවන එක තමයි ඊළඟ වැඩේ. ක්‍රීඩාංගණ ඔක්‌කොම දැන් සූදානම්. තව තියෙන්නෙ ෆයිනල් ටචස්‌" මම ඒ වැඩ සියල්ලම දිනපතා අධීක්‍ෂණය කළා. අපිට දැන් තියෙන්නෙ කුසලාන දිනන එකයි. ඒකත් දිනන්න පුළුවන් කියන එකයි මගේ විශ්වාසය. දෙයියන්ගේ පිහිටෙන් දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් දැන් අපි ලෑස්‌තියි. හැබැයි, මම නොකීවාට, මම මේක භාර ගන්න කොට බයෙන් තමයි හිටියේ. ඒක නම් මාධ්‍යයට කීවේ නැහැ.

එතකොට නෙට්‌බෝල්.......... මම ඒ අයත් ගෙන්නුqවා. ඒකෙ තවම ජාතික පුහුණුකාරිය තෝරලා නැහැ. ජාතික සංචිතය තෝරලා නැහැ. මම නෙට්‌බෝල් සංගමයට බොහෝම දොස්‌ කීවා. තව මාස 6 යි තියෙන්නෙ. ඒ අනුව ඒ සඳහා දැන් දින නියම කරලයි තියෙන්නෙ. ඊළඟට තියෙන්නෙ පොදු රාජ්‍ය මණ්‌ඩල ක්‍රීඩා කතාව. අපි දැන් ඒකට ලෑස්‌ති වෙනවා. ඒ සඳහා එංගලන්තයේ ප්‍රචාරක කටයුතු පිළිබඳ සමාගමක්‌ යොදාගෙන තියෙනවා.

අමතරව, අද හෙටම අමාත්‍යංශයේ ඒ සඳහා කාර්යාලයක්‌ ආරම්භ කරනවා.

ප්‍රශ්නය - මේ අවස්‌ථාව ශ්‍රී ලංකාවට ලැබෙයි කියා ඇමැතිතුමාට හොඳටම විශ්වාසද?

පිළිතුර - ඔව්, හොඳටම විශ්වාසයි.

ප්‍රශ්නය - ප්‍රතිශතයක්‌ වශයෙන්?

පිළිතුර - සියයට 55 - 60 අතර. නමුත් ඒ සඳහා උපරිමයෙන්ම වෙහෙසෙන්න වෙනවා.

අසෝක ගුණතිලක
ඡායාරූපය ථ සමන් අබේසිරිවර්ධන

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.