අන්තර් සමාජ සීමිත පන්දුවාර ක්‍රිකට්‌ ශුරතාව
හලාවත මේරියන්ස්‌ සහ කෝල්ට්‌ස්‌
දෙවැනි අවසන් පූර්ව තරගය අද

චමිල කරවිට

අන්තර් සමාජ පළමු පෙළ සීමිත පන්දුවාර ක්‍රිකට්‌ තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය අද (07 දා) කොළඹ කෝල්ට්‌ස්‌ සහ හලාවත මේරියන්ස්‌ ක්‍රීඩා සමාජ අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා/රාත්‍රී තරගයක්‌ ලෙසින් පැවැත්වේ.

පසුගිය වසරේ අනුශූරයන් වන හලාවත මේරියන්ස්‌ කණ්‌ඩායම මෙවර තරගාවලියේදී සහභාගි වූ තරග 5 න් 4 ක්‌ ජයගෙන අදාළ තරගයට සුදුසුකම් ලබා සිටින අතර, කෝල්ට්‌ස්‌ ක්‍රීඩා සමාජය සහභාගිවූ තරග 4 ම අපරාජිතව මෙම තරගයට තේරී පත්වී සිටියි.

ජාතික කණ්‌ඩායම නියෝජනය කරනු ලබන වැඩි ක්‍රීඩකයන් සංඛ්‍යාව අද තරගයේදී කෝල්ට්‌ස්‌ කණ්‌ඩායම නියෝජනය කරනු ලබන අතර පළපුරුදු තුන් ඉරියව් ක්‍රීඩක චමින්ද වාස්‌, නායක මලින්ද වර්ණපුර, තිසර පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්‌, දිල්රුවන් පෙරේරා සහ නුවන් කුලසේකර එම ක්‍රීඩකයයෝ වෙති.

කෝල්ට්‌ස්‌ කණ්‌ඩායම වෙනුවෙන් මෙවර තරගාවලියේදී වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා ලෙස නායක මලින්ද වර්ණපුර පසුවන අතර හෙතෙම ශතකයක්‌ද සමගින් ලකුණු 183 ක්‌ රැස්‌ කර ගැනීමට සමත්ව සිටියි.

ඔහුට අමතරව තරගාවලියේ හොඳම තුන් ඉරියව් දක්‍ෂතා දක්‌වා සිටින ක්‍රීඩකයන් අතර චමින්ද වාස්‌ සහ තිසර පෙරේරා පසුවීම කෝල්ට්‌ස්‌ කණ්‌ඩායමට වැඩි ශක්‌තියක්‌ වී තිබේ. වාස්‌ මෙවර තරගාවලියේදී පන්දුවාරයකට ලකුණු ලබා ගැනීම 3.26 ක්‌ වශයෙන් සටහන් කරගනිමින් තරග 4 කදී කඩුලු 7 ක්‌ද තිසර පෙරේරා තරග 4 කදී කඩුලු 10 ක්‌ දවා ගනිමින්ද කණ්‌ඩායමේ වැඩි බලාපොරොත්තු තබා තිබෙන ක්‍රීඩකයන් දෙදෙනා බවට පත්ව සිටිති.

මේරියන්ස්‌ කණ්‌ඩායම් නායක මහේල උඩවත්ත අද තරගයට පිවිසෙන්නේ තරගාවලියේ මෙතෙක්‌ වැඩිම ලකුණු රැස්‌ කර සිටින පිතිකරුවා වශයෙනි හෙතෙම තරග 5 කදී ශතකයක්‌ සහ අර්ධ ශතක 3 ක්‌ සමගින් ලකුණු 312 ක්‌ ලබා සිටියි. ශ්‍රී ලංකා ජාතික කණ්‌ඩායමට ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයන් වශයෙන් මේරියන්ස්‌ පිලේ පසුවන්නේ උඩවත්ත සහ ගයාන් විඡේකෝන් පමණක්‌ වන බැවින් තරගයේදී වැඩි පීඩනයක්‌ කෝල්ට්‌ස්‌ කණ්‌ඩායම වෙතින් එල්ල වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

කෝල්ට්‌ස්‌ පිල - මලින්ද වර්ණපුර(නායක), රොෂේන් සිල්වා, තිසර පෙරේරා, ජීවන්ත කුලතුංග, දිල්රුවන් පෙරේරා, චමින්ද වාස්‌, නුවන් කුලසේකර, ඇන්ජලෝ මැතිව්ස්‌, ඉෂාන් මුතාලිෆ්, කනිෂ්ක ඇල්විටිගල, සජීව වීරකෝන්, කුසල් ජනිත්, ඉෂාන් ජයරත්න.

හලාවත මේරියන්ස්‌ පිල - මහේල උඩවත්ත(නායක), ගයාන් විඡේකෝන්, ජනක ගුණරත්න, මිලින්ද සිරිවර්ධන, ළහිරු වේරගල, අමල් ඇතුළත්මුදලි, අරෝෂ් ජනෝධ, හර්ෂ කු-රේ, දිනුක්‌ හෙට්‌ටිආරච්චි, චින්තක පෙරේරා, මලින්ද පුෂ්පකුමාර, ගීත් කුමාර.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.