ගුවන් හමුදා පාපැදි තරගාවලිය 19 වැනිදා

අසේල විතාන

අඛණ්‌ඩව 12 වැනි වරටත් පවත්වනු ලබන ගුවන් හමුදා පාපැදි සවාරිය මෙවර ගුවන් හමුදාවේ 60 වැනි සංවත්සරයට සමගාමීව මෙම මස 19 වැනිදා ආරම්භ වේ.

මෙවර තරගාවලිය සඳහා තරගකරුවන් 150 කට අධික පිරිසක්‌ සහභාගි වීමට නියමිතව ඇති අතර තරගාවලිය අදියර හතරකින් ක්‍රියාත්මක කෙරේ. එහි පළමු අදියර මෙම 19 වැනිදා වව්නියාවෙන් ආරම්භ වී අනුරාධපුරය හරහා කදුරුවෙල දක්‌වා වන අතර එහි දුර ප්‍රමාණය කි. මී. 135 කි.

දෙවන දිනය (20 දා) මින්නේරියේ සිට දඹුල්ල හරහා ගොස්‌ මහනුවරින් අවසන් වන අතර එහි දුර ප්‍රමාණය 126 කි. කි.මී. 124 ක දුර ප්‍රමාණයකින් සමන්විත වන තෙවැනි අදියර (21 දා) මහනුවර සිට "ඒ" 1 මාර්ගය ඔස්‌සේ පැමිණ කොළඹ ගුවන් හමුදා මූලස්‌ථානයෙන් අවසන් වේ. මෙම 22 වැනිදා පැවැත්වෙන අවසන් සහ සිව්වැනි අදියර කොළඹ ගුවන් හමුදා කඳවුර අසලින් ආරම්භ වී ගාලු පාර ඔස්‌සේ කි.මී. 130 ක දුර ප්‍රමාණයක්‌ ගොස්‌ කොග්ගල ගුවන් හමුදා කඳවුර අසලින් අවසන් වීමට නියමිතව ඇත.

වාර්ෂිකව පවත්වනු ලබන මෙම තරගාවලියේ පළමු ස්‌ථානයේ සිට 15 වැනි ස්‌ථානය දක්‌වා තරගකරුවන්ට සමස්‌තයක්‌ ලෙස රුපියල් ලක්‍ෂ දහයක පමණ වටිනාකමකින් යුත් ත්‍යාග පිරිනැමීමට සංවිධායක මණ්‌ඩලය තීරණය කර ඇත. එහිදී පළමු ස්‌ථානය සඳහා මුදලින් රුපියල් ලක්‍ෂ දෙකක මුදලක්‌ පිරිනැමෙන අතර දෙවැනි ස්‌ථානය සඳහා මුදලින් රු. 150000 ක්‌ද තෙවැනි ස්‌ථානය සඳහා මුදලින් රු. 100000 ක්‌ද පිරිනැමීමට සංවිධායක මණ්‌ඩලය තීරණය කර තිබේ.

උතුරු නැගෙනහිර තරගකරුවන්ට විශේෂත්වයක්‌ කරමින් ඔවුන්ගේ හැකියාවන් වර්ධනය කිරීම සඳහා තරගාවලිය ආරම්භක දිනයේ ස්‌ටැන්ඩර්ඩ් වර්ගයේ පාපැදි තරගයක්‌ද සංවිධානය කර තිබේ.

ශ්‍රී ලංකා පාපැදි සමේලනයේ ලකුණු ලබාදෙන තරගාවලියක්‌ වන මෙය ලබන ආසියානු පාපැදි තරගාවලියට පෙරහුරු තරගාවලියක්‌ ලෙස පැවැත්වේ.

තරගාවලිය සඳහා ලියාපදිංචි වීමට නම් මෙම 10 වැනි දිනට පෙර පාපැදි සංවිධායක කමිටුවේ ලේකම් ගෲප් කපිතාන් සුජීවන් සේනාරත්න (දු.අ. 0772229325) මගින් ලියාපදිංචි විය හැකි අතර තරග කළමණාකරුවන්ගේ හමුව මෙම මස 18 වැනිදා ප.ව. 3.00 ට වව්නියාව ගුවන් හමුදා කඳවුරේදී පැවැත්වීමට නියමිතව තිබේ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.