දේශීය පාපන්දු ඉතිහාසයේ පළමු වරට
මනිලාල් ප්‍රනාන්දු ජගත් පාපන්දු සම්මේලන විධායක
සභාවට තේරී පත්වෙයි

අසෝක ගුණතිලක

මැද පෙරදිග කටාරයේ දෝහා නුවර පැවැති ආසියානු පාපන්දු සම්මේලන 24 වැනි මහ සමුළුවට සමගාමීව පැවැති එම සම්මේලන නිලවරණයේදී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන ක්‍රියාකාරී කමිටු සභාපති මනිලාල් ප්‍රනාන්දු මහතා ඡන්ද 23 ක්‌ ලබා ජගත් පාපන්දු සම්මේලන විධායක කමිටු ධූරයට ඊයේ (6 දා) තේරී පත්විය.

ආසියානු පාපන්දු සම්මේලනයේ ජගත් සම්මේලන විධායක සභාවට නියෝජිතයන් දෙදෙනකු තෝරා පත්කර ගන්නා අතර අදාළ නිලවරණයේදී තායිලන්තයේ වොරාවි මකූඩි මහතා චන්ද 24 ක්‌ ලබා අනෙක්‌ ආසියානු විධායක සාමාජික ලෙස තේරී පත්විය.

නිලවරණයේ පූර්ණ ඡන්දදායක සංඛ්‍යාව 45 කි.

ජගත් පාපන්දු සම්මේලන විධායක සභාවට තේරීපත්වූ පළමු ශ්‍රී ලාංකිකයා මෙන්ම පළමු දකුණු ආසියාතිකයා වශයෙන්ද මනිලාල් ප්‍රනාන්දු මහතා දැන් ඉතිහාසයට එක්‌වෙයි.

මනිලාල් ප්‍රනාන්දු මහතා ආසියානු පාපන්දු සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති වශයෙන් ඊයේ නිතරගයෙන් යළි තේරී පත්වූ අතර ඔහුගේ මෙම පත්වීම් දෙකම වසර 2015 දක්‌වා වේ.

මේ අනුව ජගත් සම්මේලනයේ විධායක කමිටුවේදී ආසියානු නියෝජනය සඳහා තේරී පත්වූ නිලධාරීන් සංඛ්‍යාව සිව්දෙනකි.

ජෝර්දානයේ අලි බින් අල් හුසේන් කුමරු (නිතරගයෙන්) සිව්වන සහ අවසාන වතාවට ආසියානු සභාපති ධූරයට තේරීපත් වූ කටාරයේ මොහොමඩ් බින් හමාම්, තායිලන්තයේ වොරාවි මකූඩි සහ ශ්‍රී ලංකාවේ මනිලාල් ප්‍රනාන්දු යන මහත්වරුන් එම නිලධාරීන් සිව්දෙනා වෙති.

අදාළ ජගත් සම්මේලන තනතුරු සඳහා ජපානයේ කෝසෝ ටෂාසී සහ චීනයේ සදන් ජිලෝන්ග් යන මහත්වරුද තරග කළ අතර ඔවුන් දෙදෙනා පරාජයට පත්වූහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.