කෞෂාල් සහ සමරවීර එස්‌.එස්‌.සී අවසන්
සටනට රැගෙන යති


අසේල විතාන

කෞෂාල් සිල්වා (65) සහ තිලාන් සමරවීර (53) ලබාගත් අර්ධ ශතක හේතුවෙන් එන්.සී.සී. කණ්‌ඩායම පරදා කඩුලු 5 ක ජයක්‌ ලබාගත් එස්‌.එස්‌.සී. කණ්‌ඩායම අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රිමියර් ලීග් පළමු පෙළ සීමිත පන්දුවාර ක්‍රිකට්‌ තරගාවලියේ අවසන් මහ තරග අවස්‌ථාව හිමිකර ගැනීමට ඊයේ (06 දා) සමත් විය.

එස්‌.එස්‌.සී කණ්‌ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් සටන්කාමී පිතිහරඹයක නිරත වූ නායක කෞෂාල් සිල්වා පන්දු 91 කදී හතරේ පහර 9 ක්‌ සමග ලකුණු 65 ක්‌ද තිලාන් සමරවීර පන්දු 81 කදී හතරේ පහර 5 ක්‌ සමග ලකුණු 53 ක්‌ ද ලබා ගනිමින් තම කණ්‌ඩායම අවසන් මහ තරගය දක්‌වා රැගෙන යැමේ පුරෝගාමීන් බවට පත් වූහ.

එන්.සී.සී. කණ්‌ඩායමේ ආරම්භක පිතිකරු යුගල වූ උපුල් තරංග සහ දිනේෂ් චන්දිමාල් ලකුණු ලබා ගැනීමට පෙරම ක්‍රීඩාගාරය වෙත හරවා යෑවූ එස්‌.එස්‌.සී. පන්දු යවන්නෝ එන්.සී.සී කණ්‌ඩායමේ පළමු කඩුලු පහ ලකුණු 73 කදී බිඳ දැමූහ.

නම් දැරූ පිතිකරුවන් සියල්ල ක්‍රීඩාගාරය වෙත ගොස්‌ සිටියදී අංක හතර පිතිකරු ලෙස පිටියට පිවිසි ෆර්වීස්‌ මහරුෆ් ඉතා සංයමයකින් යුතුව පන්දු 93 ක්‌ වැය කරමින් හතරේ පහර හතරක්‌ සහ එක්‌ හයේ පහරක්‌ සමග ලබා ගත් ලකුණු 59 ත් සමග එන්.සී.සී කණ්‌ඩායමට ලකුණු 200 සීමාව ඉක්‌මවා යැමට හැකියාව ලැබිණි.

කෝල්ට්‌ස්‌ කණ්‌ඩායම සහ හලාවත මේරියන්ස්‌ කණ්‌ඩායම අතර පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගය දිවා රාත්‍රි තරගයක්‌ ලෙස අද (07 දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ලකුණු තත්ත්වය

එන්.සී.සී. පන්දුවාර 50 කදී කඩුලු 9 ට ලකුණු 220 යි. (කුමාර සංගක්‌කාර 26, චාමර කපුගෙදර 37, ෆර්වීස්‌ මහරුෆ් 59, කෝසල කුලසේකර 21, ඇන්ජලෝ පෙරේරා නොදැවී 34, නුවන් සොයිසා 33/2, දිල්හාර ප්‍රනාන්දු 47/3 යි.)

එස්‌.එස්‌.සී. පන්දුවාර 48.4 කදී කඩුලු 5 ට ලකුණු 221 යි. (තරංග පරණවිතාන 25, කෞෂාල් සිල්වා 65, තිලාන් සමරවීර 53, තිළිණ කණ්‌ඩම්බි නොදැවී 30, කෞෂාල්‍ය ලොකුආරච්චි නොදැවී 21, ලසිත් මාලිංග 38/2, මහරුෆ් 40/2 යි.)

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.