\
 
 
 
 

 

ශ්‍රී ලංකා රක්‍ෂණ ආයතනය රක්‍ෂණ ක්‍ෂේත්‍රයේ
ප්‍රමුඛයා බවට පත්කරනවා

සභාපති ගාමිණී සෙනරත්

අනුර බාලසූරිය

ශ්‍රී ලංකා රක්‍ෂණ ආයතනය මේ වසරේ (2011) රුපියල් බිලියන දහ අටක වාර්ෂික පිරිවැටුමක්‌ බලාපොරොත්තු වන බව එම ආයතනයේ සභාපති ගාමිණී සේදර සෙනරත් මහතා පැවැසීය.

පසුගිය 2010 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වනවිට රුපියල් බිලියන 14.7 ක වාර්තාගත පිරිවැටුමක්‌ ලබාගත් බවද සභාපතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා රක්‍ෂණ ආයතනය පසුගිය 2007, 2008 හා 2009 වසරවල ඇත්තේ රුපියල් බිලියන 13.5 ක පිරිවැටුමකි. නමුත් නව කළමනාකාරීත්වයට පත්ව ඉතා කෙටිකලකින් රුපියල් බිලියන 14.7 ක වාර්තාගත පිරිවැටුමක්‌ ලබා ගැනීමට සමත්වී ඇත.

පසුගිය 2010 වසරේ මැයි මාසයේ ශ්‍රී ලංකා රක්‍ෂණ ආයතනය නව කළමනාකාරීත්වයට පත්වීමෙන් පසුව මැයි සිට මාස හයක කාලය තුළදී ජීවිත රක්‍ෂණය පමණක්‌ සියයට 22 ක වර්ධනයක්‌ ලබාගැනීමටත්, සාමාන්‍ය රක්‍ෂණ රුපියල් බිලියන 8.7 කින් වැඩිකර ගැනීමටත් හැකිවීම ශ්‍රී ලංකා රක්‍ෂණ සමාගම ලැබූ විශිෂ්ට ප්‍රගතියක්‌ බවද සභාපතිවරයා පැවැසීය.

ශ්‍රී ලංකා රක්‍ෂණ ආයතනය පසුගිය වසරේදී ලැබූ ලාභයෙන් රුපියල් බිලියන 6.3 ක්‌ වැයකරමින් දැනට ලිට්‍රොa නමින් හඳුන්වන ෂෙල් ගෑස්‌ සමාගම මිලදී ගත් බවත්, රක්‍ෂණ ආයතනයට අනුබද්ධ සමාගමක්‌ ලෙස ශ්‍රී ලංකා රක්‍ෂණ හෝටල් වෙනුවෙන් නව සමාගමක්‌ 2010 වසරේ ආරම්භ කළ බවත් එම සමාගමේ මුල්ම සංචාරක හෝටලය හම්බන්තොට ඉදිකිරීමට මූලික කටයුතු කර ගෙන යන අතරම තවත් සංචාරක හෝටල් කිහිපයක්‌ කොළඹ හා උතුරු නැගෙනහිර පළාත්වල ඉදිකිරීමටත් සැලසුම් කරගෙන යන බවද පැවසූ සභාපතිවරයා ශ්‍රී ලංකා රක්‍ෂණ ආයතනය රක්‍ෂණ ක්‍ෂේත්‍රයේ අනෙක්‌ රක්‍ෂණ ආයතන 19 සමග තරග කරනවා. රක්‍ෂණ ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට ගෙනැවිත් රජය සතු දැවැන්ත ව්‍යාපාර ජාලය බවට පත්කරන බවද සඳහන් කළේය.

ජනාධිපතිතුමාගේ "මහින්ද චින්තන" ඉදිරි දැක්‌මට අනුව රජය සතු සියලු ව්‍යාපාර ලාභ ලබන තත්ත්වයට ගෙන ඒමේ වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංකා රක්‍ෂණ සමාගම රාජ්‍ය ආයතනයක්‌ ලෙස පුද්ගලික අංශය සමග තරග කර ලාභ ඉපයිය හැකි ආයතනයක්‌ බවට පත්කිරීමට හැකිවීම විශාල ජයග්‍රහණයක්‌ බවද කීවේය.

මේ අතර ලිට්‍රොa ගෑස්‌ සමාගම සඳහා තවත් ආයෝජන කරමින් හම්බන්තොට නව වරායේ ගෑස්‌ හා තෙල් ටැංකි ගබඩා සංකීර්ණයක්‌ ඉදිකිරීමට දැනටමත් ඉල්ලුමක්‌ තිබෙන බව පැවසූ සභාපතිවරයා මේ තුළින් ලිට්‍රොa ගෑස්‌ ව්‍යාපාරය දකුණු ආසියාවේ ව්‍යාප්ත කිරීමට හැකිවනු ඇති බවත් සඳහන් කළේය.

ලෝක වෙළෙඳ පොළේ ගෑස්‌ මිල ඉහළ ගියත් මිල වැඩි නොකර පවත්වාගෙන යැමට හැකිවූයේ ෂෙල් ගෑස්‌ සමාගම රජය සතු සමාගමක්‌ වීම බවත් පෙන්වා දුන් ගාමිණී සෙනරත් මහතා මේ වසරේ දී ලිට්‍රොa ගෑස්‌ සියයට 30 ක වර්ධනයක්‌ බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකා රක්‍ෂණ ආයතනයේ තවත් අනුබද්ධ සමාගමක්‌ වන ලංකා හොස්‌පිට්‌ල් ආයතනය ද පසුගිය 2010 වසරේ රුපියල් මිලියන 400 ක ලාභයක්‌ ලබමින් ලාභ ලබන තත්ත්වයට පත්ව ඇති බවත් මේ වසරේදී රෝහලට අවශ්‍ය වෛද්‍ය උපකරණ සඳහා විශාල මුදලක්‌ ආයෝජනය කෙරෙන බවත් පැවැසූ සභාපතිවරයා මේ වසරේ එහි පිරිවැටුම තවත් සියයට 20 ක වර්ධනයක්‌ කරා ළඟාවීමට බලාපොරොත්තු වන බවද කීවේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.