ශ්‍රී ලංකාවේ සංවර්ධනය පසු බෑමට හේතු සහ පිළියම්

වර්තමානයේදී ලොවෙහි ඕනෑම ස්‌ථානයක වන ඕනෑම ආකාරයක ප්‍රශ්නයක්‌ විසඳා ගැනීමට ක්‍රමවේදයන් 4 ක්‌ අප කැමති වුවත් නැතත් අනුගමනය කළ යුතුය. මෙය සකසා ඇත්තේ බුදුන්වහන්සේ දේශනා කර ඇති චතුරාර්ය සත්‍යය අනුසාරයෙනි.

1. ප්‍රශ්නය ඇති බව පිළිගැනීම.

2. ප්‍රශ්නය විග්‍රහ කර එයට හේතු හඳුනා ගැනීම.

3. ප්‍රශ්නය විසඳීමට ඇති මාර්ග හඳුනා ගැනීම.

4. එම මාර්ගයක්‌ හෝ කීපයක්‌ යොදා ප්‍රශ්නය විසඳීම හෝ හානිය අවම කර ගැනීම.

අප රටෙහි වර්තමානය ගැන සැලකීමේදී, යුද්ධයෙන් පසුව වුවත් අප පැහැදිලි සංවර්ධනයකට හෝ එවැනි ඉලක්‌කයකට යොමු වී නොමැති බව මධ්‍යස්‌ථව බලන කෙනෙකුට පැහැදිලිව පෙනෙන්නේය. අද වැඩිපුරම සිදුවන්නේ, රජයට වෙනත් පක්‌ෂ වලින් සම්බන්ධ වූ දේශපාලකයන් කීපදෙනෙකුත්, එවැනි පාලකයන් වටා ඒකරාශී වී සිටින උසස්‌ නිලධාරීන් සහ සහායකයන් කීපදෙනෙකුත්, මාධ්‍යය භාවිතා කරමින් කරන වර්ණනා කිරීම්වලට සහ උත්සව වලට පමණක්‌ සීමා වූ සංවර්ධනයකි. නමුත් හරියාකාරව, සැලසුම් කර මේ කාර්ය ඉතා සාර්ථකව කළ හැකි බව අපගේ අදහසය.

රට සාර්ථක අන්දමින් සංවර්ධනය කිරීමට නම් රටේ සියලුම දේශපාලන නායකයනුත්, උසස්‌ නිලධාරීනුත්, මහජනයාත් සමගිව, ඉහත ක්‍රමවේදයන් හතර කැමති වුවත් නැතත් අනුගමනය කළ යුතුය. සමගිය ආරම්භ කළ යුත්තේ බලය ඇති පාලකයන්ය. අප රට නිසි පරිදි සංවර්ධනය නොවීමට හේතු වූ ප්‍රධාන සාධක කීපයක්‌ නම්...

දේශපාලනඥයාට, මහජනයාට සහ මාධ්‍යයට සතර අගතියෙන් (අගති සූත්‍රය), එනම් ඡන්දයෙන් (යම් කරුණක්‌ නිසා ඇති කැමැත්ත), ද්වේශය, බිය සහ මෝඩකම අනුව කටයුතු කිරීමට සිදුවීම, රටේ ප්‍රශ්නවලට ප්‍රධාන කරුණක්‌ බව සමාජය තුළ සාකච්ඡාවට භාජනය වෙමින් පවතී. නුසුදුසු පුද්ගලයින්ට උසස්‌ තනතුරු ලැබෙන්නේ, බලය ඇති පුද්ගලයන් විරුද්ධවාදීන්ට සහ අන් මත දරන්නන්ට හිරිහැර කරන්නේ, විශාල කැබිනට්‌ මණ්‌ඩල බිහි වන්නේ, මැති ඇමැතිවරුන්ට අනවශ්‍ය අන්දමට වරප්‍රසාද දීමට සිදු වී ඇත්තේ, යම් යම් ආකාරයට විදේශ සබඳතා පිරිහීමට හේතු වී ඇත්තේ ඉහත පරිදි අගතියෙන් කටයුතු කිරීමට, අප රට තුළ පවතින ව්‍යවස්‌ථාව අනුව දේශපාලනඥයාට අවස්‌ථාව ඇති නිසා බව බොහෝ උගතුන්ගේ මතයය. බොහෝ දියුණු නොදියුණු රටවල ඇත්තේ අමාත්‍යාංශ 30 ක්‌ හෝ 35 ක්‌ පමණි. ඊට වැඩි වූ විට සියලුම දේවල් කුඩා කැබලි වලට කැඩෙන නිසා, බොහෝ කටයුතු තීරණය කිරීම සහ ක්‍රියාත්මක කිරිම අපහසු වේ. නමුත් අප රටේ අමාත්‍යංශ 60 ක්‌ පමණ පිහිටුවීමට හේතුවී ඇත්තේ පාලකයාට බලයට පැමිණීමට සහ එය පවත්වාගෙන යාමට කළ උපකාර වලට ප්‍රතිඋපකාර කිරීම යන ඡන්ද අගතියෙනුත්, අනාගතයේදී ද, එවැනි සහයෝගයක්‌ නොලැබුනහොත් යන හැඟීමෙන් යුතු බිය නැමැති අගතිය අනුව කටයුතු කිරීම නිසාත්ය.

මැති ඇමැතිවරුන් මෙන්ම ඕනෑම අයෙකුට, හදවතින් තමා අකමැති වුවත්, රටට සහ සමාජයට හානිදායක වුවත්, ඕනෑම නොකටයුතු දෙයකට දායක වීමට සහ ඒවා සාධාරණීකරණය කිරීමට අදහස්‌ දැක්‌වීමට හේතු වන්නේ, තමා දැනට දරන තනතුර සහ දැනට බුක්‌ති විඳින වරප්‍රසාද අහිමිවේ යෑයි යන බිය නම් වූ අගතියෙන් කටයුතු කිරීමට හේතු වූ නිසාය. එසේම විපක්‍ෂය හරහා මන්ත්‍රී තනතුර ලැබූ පුද්ගලයන් රජයට සහයෝගය දීමට ඉදිරිපත් වූයේ නව තනතුරු සහ වරප්‍රසාද ලබාගැනීමට ඇති ආශාව නිසා පහළ වූ ඡන්ද අගතියෙන් මෙන්ම, විපක්‍ෂයේ සිටීමෙන් ළඟකදී එවැනි දෑ ලබා ගැනීමට නොහැකි වේය යන බිය නමැති අගතියත් නිසාය. විරුද්ධවාදීන්ට සහ අන් මත දරන්නන්ට හිරිහැර කිරීමට සිතෙන්නේ ඔවුන් යම් හානියක්‌ තමාට කරයි යන බිය නමැති අගතියත්, වෛරකාරී හැඟීම් බිහි කරන ද්වේශය නමැති අගතියත් නිසාය.

තමා ජීවත් වන්නේ ඉතා සුළු කලක්‌ බව තේරුම් නොගත් විට ඉහත විස්‌තර කළ ඡන්ද, ද්වේශ සහ බිය යන අගතියන්ට අමතරව, ප්‍රසිද්ධිය, කැපීපෙනීම, වරප්‍රසාද, ඇතුළු යම් යම් දේ ලබා ගැනීමට සහ අහංකාර කමින් කටයුතු කිරීමට මෝහය (මෝඩකම) නමැති අගතියද ඉදිරියට පැමිණේ.

විශේෂයෙන් පාලකයන් විසින්, උසස්‌ නිලධාරීන් සහ උපදේශකයන් වශයෙන් නුසුදුසු පුද්ගලයන් බඳවා ගන්නේ ද, ඔවුන්ගේ වැරදි තීරණ සහ උපදෙස්‌ නිසා පාලකයන් අමාරුවේ වැටෙන්නේද, මෙම මෝහය නමැති අගතියෙන් කටයුතු කළ විටය.

අප රට ණය බරින් හෙම්බත් වී තවත් ණය ගනිමින් සිටින්නේය. රටක විශ්වවිද්‍යාල පද්ධතිය මගින් උගතුන් බිහිකළ යුත්තේ, එම රටට සහ ලෝකයට සහ වර්තමානයේ ඒ ඒ ක්‍ෂේත්‍රයන්ට අවශ්‍ය උගතුන් ප්‍රමාණය සලකා බලාය.

සාමාන්‍යයෙන් වර්තමාන උගතුන්ගේ අවශ්‍යතාවය වන්නේ 50% ක්‌ විද්‍යා, කාර්මික සහ ඉංජිනේරු ක්‍ෂේත්‍රයටද, 25% ක්‌ ආර්ථික ක්‍ෂේත්‍රයට ද ඉතිරි 25% කලා, කළමනාකරණ ආදී අනිකුත් ක්‍ෂේත්‍රයටද යන පරිදිය.

නමුත් ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය මගින් උගතුන් බිහි කරන්නේ ආසන්න වශයෙන් 25% ක්‌ විද්‍යා, කාර්මික සහ ඉංජිනේරු ක්‍ෂේත්‍රයටද, 20% ක්‌ ආර්ථික ක්‍ෂේත්‍රයට ද ඉතිරි 55% කලා, කළමනාකරණ ආදී අනිකුත් ක්‍ෂේත්‍රයන්ට ද යන පරිදිය.

මෙම හේතුව නිසා දැනට අප ලබා දෙන බොහෝ උපාධි සඳහා ගැලපෙන රැකියා ලංකාවේ මෙන්ම ලෝකය තුළ ද සොයාගැනීම උගහටය. මේ බව දන්නා එවැනි පාඨමාලා හදාරන, විශ්වවිද්‍යාල වල සිටින උපාධි අපේක්‍ෂකයන් මෙන්ම ඒවායින් පිටවී සුදුසු රැකියා නොමැතිව ඉච්චාභංගත්වයට පත් වූ උපාධිධාරීන් විවිධ සටන්කාමී දේශපාලන ව්‍යාපාරවලට බැඳීම, දේශපාලකයන්ට හූ කීම වැනි කටයුතු වලට සම්බන්ධ වීම පුදුමයට කරුණක්‌ නොවේය.

මෙවැනි උපාධිධාරීන්, එම උපාධිය යන සහතිකය නිසා, ඔහු නොදන්නා වෙනත් ක්‍ෂේත්‍රයකට අයත් රජයේ ආයතනයක, උසස්‌ තනතුරකට පත් කළ විට එමගින් එම ආයතනයට, එම ක්‍ෂේත්‍රයටද, රටට ද වන හානියට හොඳම උදාහරණය. දැන් ලංකාව පත්වී ඇති නොදියුණු සහ දූෂණයෙන් පිරි තත්ත්වයය.

මෙවැනි උගතුන් අමාත්‍යාංශ ලේකම් වැනි තනතුරුවලට පත් කිරීම ඉතාම භයානකය.

මෙහිදී මෙම සැලසුම පාසලේ සිටම ක්‍රමවත්ව ක්‍රියාත්මක නොකළ හොත් සාර්ථක ප්‍රතිඵල ලබාගත නොහැක.

දැන් සෑම විශාල පාසලකම උත්සාහය පිහිනුම් තටාකයක්‌ සෑදීමටය. එයට මාධ්‍ය ප්‍රචාරය සහ රාජ්‍ය අනුග්‍රහය මැනවින් ලැබේ. පාසලක සිසුන් කීදෙනා ද මෙයින් ප්‍රයෝජන ගන්නේ බලන්න. ඇමරිකාව වැනි දියුණු රටවල සෑම පාසලකම, අධ්‍යාපන පහසුකම් වලට ප්‍රමුඛත්වය ලබාදී, පිහිනුම් තටාකයක්‌, ජිම් එකක්‌ ඇතුළු ක්‍රීඩා පහසුකම් ද ඇත. නමුත් ඉන්දියාවේ සහ චීනයේ තාම එහෙම නැත. එහි ප්‍රමුඛත්වය විශේෂයෙන් විද්‍යා සහ තාක්‍ෂණික අංශයන්ටය.

අප ඉතා දුප්පත් රටක්‌ බව අමතක නොකර, තිබෙන සම්පත් වලින් වඩා ප්‍රමුඛතාව ලබා දිය යුත්තේ කුමකට දැයි අවබෝධ කරගත යුතුය. අප රටේ එක්‌ පාසලකවත් විද්‍යාගාරයක්‌ හෝ පුස්‌තකාලයක්‌ ඇරඹීමට මෙතරම් උනන්දුවක්‌, රාජ්‍ය, මහජන, විශාල සමාගම් සහ මාධ්‍ය අනුග්‍රයක්‌ ලැබුණු බවක්‌ ඔබට මතකද? ජාත්‍යන්තර ක්‍රීඩා ජයගැනීමට කෙතරම් දෙනෙක්‌ විශාල මුදලක්‌ වියදම් කරගෙන රට යනවාද? යවනවාද?

නමුත් යම් කර්මාන්තයක්‌ ඉගෙන ගැනීමට මෙසේ වියදම් කර රට යනවාද?

එවැනි දෙයකට හෝ යම් පර්යේෂණයකට අනුග්‍රහය සපයන සමාගම් තිබේද? නැත.

අප යන ක්‍රමය හරිද?

අප කියනුයේ ක්‍රීඩාව අනවශ්‍ය බව නොව සියල්ලම සමතුලිතව කළ යුතු බවය.

රටෙහි සංවර්ධනය සඳහා මහත් වූ දායකත්වයක්‌ ලබාදිය හැකි වෘත්තිකයන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට ක්‍රමවේදයක්‌ නොමැති වීම.

පාර්ලිමේන්තුව හෝ පාලක මණ්‌ඩලය වෘත්තිකයන්ගෙන් නියෝජනය වීමට හොඳම උදාහරණ වන්නේ ඉන්දියාව සහ චීනයය. ඉන්දියාවේ අගමැති ඉතා දක්‍ෂ ආර්ථික විශේෂඥයෙකි. අනිකුත් අමාත්‍යාංශ ධුර උසස්‌ නිලතල දරනුයේ ද ඒ ඒ වෘත්තීන්හි උගත්කමක්‌ නිපුනත්වයක්‌ ඇති පුද්ගලයන්ය. එහි හිටපු ජනාධිපති න්‍යෂ්ටික විද්‍යාඥයෙකි.

චීනයේ සහ ජපානයේ පාලක මණ්‌ඩලයේ විශාල පිරිසක්‌ වෘත්තිකයන්ය.

දේශපාලනයට අනිසි පුද්ගලයන් සහ සීමාරහිතව ප්‍රසිද්ධ සහ ජනප්‍රිය පුද්ගලයන්ම පමණක්‌ සම්බන්ධ කරගැනීම පාලක සහ විපක්‍ෂය දෙකම බොහෝ විට කරනුයේ මෙයය.

අප රටේ බොහෝ පාලකයන් සීමාරහිතව, අනවශ්‍ය විවෘත කිරීම්, උත්සව ආදිය ඔවුන් වටා සිටින පිරිස මාර්ගයෙන් සංවිධානය කිරීම සහ ඒවාට සහභාගි වීමට තම කාලයෙන් වැඩි කාලයක්‌ වැය කිරිම, එබැවින් රටක මෙන්ම පාලකයන්ගේ දියුණුවට යම් සාර්ථක සැලසුමක්‌ සැකසීමට, උසස්‌ නිලධාරීන් සහ බුද්ධිමතුන් සමග සාකච්ඡා කිරීමටත්, සාකච්ඡා කළත් ඒවා ක්‍රියාත්මක කිරීමට මෙම පාලකයන්ට කාලයක්‌ ඉතිරි නොවේ.

බලයට පැමිණි බොහෝ දේශපාලනඥයා සිතනුයේ, පතනුයේ සහ රජයේ මුදල්, නිලධාරීන්ගේ කාලය, රජයේ දේපල අපහරණය කරමින් ක්‍රියාත්මක කරනුයේ, ඊළඟ ඡන්දයෙන්ද දිනා දීමට බලයේ සිටීමට ක්‍රමවේදයක්‌ පමණි. සියලුම වැඩසටහන්, ව්‍යාපෘති සීමාවක්‌ නැති උත්සව ආදී සියල්ලක්‌ම සැලසුම් කර ක්‍රියාත්මක කරනුයේ, බොහෝවිට මෙම අරමුණ පෙරදැරි කරගෙනය. රටට සහ සමාජයට මතක තියෙන ප්‍රයෝජනවත් දෙයක්‌ කළහොත්, ඊළඟ වර ඡන්දය ලබාගැනීමට ඡන්දදායකයා පසුපස යාමට අවශ්‍ය නොවන බවත්, ඉහත නාස්‌තිකාර ක්‍රමවේදයන්ගෙන් ඉවත් විය හැකි බවවත් අපගේ දේශපාලනඥයන්ට නොවැටහීම අපගේ අභාග්‍යයකි.

රටට සමාජයට වැඩක්‌ කර දේශපාලන බලයේ නොසිටි සහ බලයේ සිටි නායකත්වයන්ට හොඳම උදාහරණ නම්, මහත්මා ගාන්ධි සහ සිංගප්පූරුවේ හිටපු අගමැති වූ ලී ක්‌වාන් යූ යන මහත්වරුන්ය. සමහර විට ඔවුන්ගේ පිනට නොව එම රටවල පිනට ඔවුන් බිහිවෙන්නට ඇත.

ඉහත විස්‌තර කළ අයුරින් ක්‍රියාකරන අපගේ දේශපාලනඥයාගේ බලය ව්‍යවස්‌ථාව මගින් හෝ වෙනත් ආකාරයකට වැඩි වන තරමට, අනිකුත් මට්‌ටමේ දේශපාලනඥයන්, නිලධාරීන් සහ සහචරයන්, බුද්ධියෙන් තොරව, අන්ධව, බිහිරිව සහ තම පෞරුෂත්වය ගැනවත් නොතකා, බලය සහ තත්ත්වය රැකගැනීමේ හෝ එවැනි දෑ ලබාගැනීමේ අරමුණෙන් පමණක්‌, ඔහු වටා ඒකරාශීවීමේ ප්‍රවනතාවය වැඩි වී (හෝ වැඩිකර ගෙන ඇත්තේ) අපගේ ව්‍යවස්‌ථාව නිසාය.

මෙම පාලකයන් වටා සිටින බොහෝ නිලධාරීන්ට සහ සහායකයන්ට අවශ්‍ය වන්නේ, පාලකයන් මුරුංගා අත්තේ තබා, ඔවුන් හැකි තරම් ප්‍රසිද්ධියට පත්කිරීම සඳහා නොයෙක්‌ නොයෙක්‌ වැඩකට නොමැති උත්සව, සාකච්ඡා රට සවාරි සංවිධානය කරමින්, එමගින් තම තනතුර, වරප්‍රසාද රැකගැනීම මිස රටට සේවයක්‌ කිරීම නොවේය.

රටක දියුණුවට අත්‍යවශ්‍ය සහ වැඩිම රැකියා ප්‍රමාණයක්‌ බිහිවන ඉංජිනේරු සහ කාර්මික අංශයේ රැකියා වලට වෙනත් රටවල හිමි නිසි ඇගයීම අප රටේ පාලකයන්, මාධ්‍යය, සමාජය ලබාදී නැත. එවැනි ක්‍ෂේත්‍රයක නියුතු පුද්ගලයකුට, ආයතනයකට අප දේශපාලන නායකයකු හමුවීමටවත් අවස්‌ථාවක්‌ ලැබෙන්නේ නැත. එසේ ලැබුණත් සාකච්ඡාවකට දේශපාලකයාට වෙලාවක්‌ නැත.

මනස විකෘති වී ජංගම දුරකථනයක්‌ සෑම විටම කනේ තබාගන වැඩිපුරම හිස්‌බස්‌ දොඩන, කාලයේ වටිනාකම ගැන හැඟීමක්‌ නොමැති, නොයෙක්‌ නොයෙක්‌ වෙළෙඳ රැවටිලි මෙන්ම රැලිවලට පහසුවෙන් අසුවන, බොහෝ විට කොම්පියුටර් ක්‍රියාකරවීම, රක්‍ෂණ කටයුතු, බැංකු කටයුතු වැනි, සීමිත රැකියා ප්‍රමාණයක්‌ පමණක්‌ ඇති සුදු කරපටි රැකියා සොයමින් ඉබාගාතේ ඇවිදින තරුණ පරපුරක්‌ අප බිහිකර ඇත.

මෙයට ප්‍රධාන හේතු කීපයක්‌ ඇත. අප පාලකයන් මෙම පරිහානිය හරියාකාරව අවබෝධ කරගෙන නොමැති නිසාත්, තරුණ පරපුර අතර ජනප්‍රිය, අපගේ රූපවාහිනි වැනි මාධ්‍යයන්ගෙන් යොමු කිරීම අවම නිසාවෙනුත්, ඉංජිනේරු සහ කාර්මික අංශයේ රැකියා වන වෑද්දුම්කරු, ෆිටර්, ජලනල කාර්මික, වඩු කාර්මික, මේසන්, මෙකැනික්‌, විදුලි කාර්මික, ඉලෙක්‌ට්‍රොනික්‌ කාර්මික, මැෂින් ඔපරේටර් වැනි රැකියා සඳහා සමාජයේ වන අවම පිළිගැනීම නිසාත්, පුහුණු වීමට හෝ ඒවායේ නියුතු වීමට තරුණ පරපුරෙහි උනන්දුවක්‌ නොමැති වී ඇත. වර්තමානයේදී වෘත්තීය පුහුණු ආයතනය මගින් වෙනත් රටවල ඉහළ තත්ත්වයකලා සලකන, මෙවැනි රැකියා සඳහා යම් මට්‌ටමක පිළිගැනීමක්‌ ලබා දීමට උත්සාහයක යෙදී සිටීම අගය කළ යුතුය. නමුත් ඒ සඳහා රූපවාහිනි සහ මුද්‍රිත මාධ්‍යයන් උපයෝගී කර ගැනීම අවම තත්ත්වයක පැවතීම කනගාටුවට කරුණකි. අරමුණ සාර්ථක වීම පමා වීමට කරුණකි.

අනාගතයේදී මෙම ඉංජිනේරු සහ කාර්මික අංශයේ පුරප්පාඩු පිරවීමට ඉන්දියාවෙන් සේවකයන් ළඟදීම ගෙන ඒමට සිදු වුවහොත් එය පුදුමයට කරුණක්‌ නොවේය. දැනට ගරු ජනාධිපතිතුමා අත්සන් නොකර තිබෙන රටට ඉතා අහිතකර "සීපා" වැනි ගිවිසුම් ද පණගැන්වී එනු ඇත. ඉන්දියානුවන් වෙනත් රටකට ගියවිට ආපසු පැමිණීම අවම නිසා සමහර මධ්‍යධරණී රටවලට ඔවුන් ගෙන්වා ගන්නේ නැත.

රටක සමාජීය වැරැද්දකින් වූ කරුණක්‌ නිසා ඉතාලියේ, අප තරුණයන්ට රැකියා ඇත.

ඉතාලියේ පසුගිය පරම්පරාවේ බොහෝ ගැහැනු පිරිමි එකට ජීවත් උවත්, දරුවන් සෑදුවේ නැත. එබැවින් අද රැකියා සඳහා යෙදවීමට ඔවුන්ට ඇත්තේ සුළු සංඛ්‍යාවක්‌ වූ තරුණ පරපුරකි. එබැවින් විදේශිකයන්ට ඉතාලියේ රැකියා වෙළඳ පළක්‌ බිහි වී ඇත. ඔවුන්ට එය තවත් බැරෑරුම් සමාජමය ප්‍රශ්නයකි.

මෙසේ අවාසනාවන්ත කටයුතු සිදුවීමට පෙර රටේ තරුණ මනස ඉංජිනේරු සහ කාර්මික අංශයේ රැකියා සඳහා යොමු කිරීමත්, එවැනි රැකියා බිහි වන කර්මාන්ත ඇති කිරීමත්, පාලකයන්ගේ යුතුකමය.

මෙහිදී මහජන ආකල්ප වෙනස්‌ කිරීම සහ තරුණ මනස සෑදීම සඳහා මූලික පියවර තැබිය හැක්‌කේ අපගේ රූපවාහිනි සහ මුද්‍රිත මාධ්‍යයන්ට පමණි.

දියුණු රටවල ඕනෑම ව්‍යාපෘතියක්‌ කරගන යැමේදී, එහි ආරම්භක සැලසුම් ක්‍රියාවලියේ සිටම, ඉංජිනේරුමය කාර්යයන් සහ නිල ඇඳුමක්‌, ඕවරෝලයක්‌ ඇඳගත්, එහි නියුතු වූවන් ඇගයීමකට ලක්‌වන පරිදි සහ එම ක්‍ෂේත්‍රයෙන් ලොවට ඇති ප්‍රයෝජනය සහ වැදගත්කම පෙනෙන පරිදි වාර්තාමය චිත්‍රපටයක්‌ කතාවක්‌ ආකාරයට සකසනු ලැබේ. එවැනි චිත්‍රපට ඩිස්‌කවරි වැනි රූපවාහිනි චැනලයන්ට ප්‍රචාරය සඳහා විකුණනු ලැබේ. මෙවැනි කාර්යයන් අප හට කොත්මලේ ව්‍යාපාරය, මාගම්පුර වරාය, ගල් අඟුරු විදුලි බලාගාර ආදියේදී කළ හැකිව තිබුණි. නමුත් දේශපාලකයා සහභාගිවන වාර්තා වැඩසටහන් සෑදීමටම පමණක්‌ අපගේ මාධ්‍යය පත්වීම කනගාටුවට කරුණකි. එය වෙනස්‌ කිරීමේ හැකියාව ඇත්තේ පාලකයන්ට සහ ඔවුන් වටා සිටින උසස්‌ නිලධාරීන්ටය.

විශේෂයෙන් අප රටේ බොහෝ රූපවාහිනි මාධ්‍යයන් දැනුවත්ව සහ නොදැනුවත්ව රටෙහි දියුණුවට ලබාදෙන සහයෝගය අවමය. ජීවන වියදම උසුලා ගැනීමට නොහැකි පරිදි වැඩිවී මහජනයාට තරු පෙනෙන වර්තමානයේදීත්, අප රටෙහි රූපවාහිනි මාධ්‍යයන් නොයෙක්‌ නොයෙක්‌ තරු බිහිකරමින් ඒවා ප්‍රේක්‍ෂකයාට පෙන්වමින් සිටී.

විශේෂයෙන් රූපවාහිනි මාධ්‍යය තරු වශයෙන් බොහෝ විට බිහිකරන්නේ, අනුන්ගේ හැකියාවන් කොපි කිරීමට හෝ අනුගමනය කිරීමට දක්‍ෂ, නමුත් බොහෝ විට රටට, ළමා මනසට, මහජන අධ්‍යාත්මයට සාර්ථක යමක්‌ නොලැබෙන, කාලය සහ පවුල් පරිසරය අවුල් කරන රියලටි ෂෝ වැනි තරු වැඩසටහන්ද සීමාවක්‌ නොමැතිව බිහිවීම රටට හානිකර වී ඇත. සාකච්ඡා සහ වාර්තාමය වැඩසටහන් වශයෙන් ඔවුන් ඉදිරිපත් කරන්නේ එකම පිරිසක්‌ සහභාගි කරවාගන පවත්වන, ඉතිහාසය සහ පැරැණ්‌නන්ගේ ක්‍රියා පමණක්‌ වර්ණනා කරන සාකච්ඡා සහ රටෙහි භූගෝලීය පිහිටීම පමණක්‌ පෙන්වන වාර්තාමය වැඩසටහන්ය. වර්තමාන දේශපාලන ප්‍රශ්න හැර වෙනත් ප්‍රශ්නයක්‌ රූපවාහිනි මාධ්‍යයේ සාකච්ඡාවන්නේ නැති තරම්ය. රටක්‌ නැසීමට නොව සෑදීමට විශාල බලයක්‌ හා ශක්‌තියක්‌ රූපවාහිනි මාධ්‍යයට තිබෙන බවවත් එම බලධරයන්ට අවබෝධ වී නැත.

විශේෂයෙන් රටක රූපවාහිනි මාධ්‍යයක්‌ යනු, රටක සංවර්ධනයට සහ යහපත් පැවැත්මට දායක වන, රටේ සංස්‌කෘතියට ගැලපෙන සහ සුදුසු, විවිධාකාර ක්‍ෂේත්‍රයන්හි වැඩසටහන් සමාජයට දෙන්නෙක්‌ මිස, රටේ විවිධ මට්‌ටම් වල පුද්ගලයන් පිනවා මුදල්ම එකතුකර ගන්නා ආයතනයක්‌ නොවිය යුත්තේ එමගින් රටකට ඉතා විශාල හානියක්‌ හෝ යහපතක්‌ සිදුවිය හැකි නිසාය.

අප රටෙහි තරම සහ හැකියාව අවබෝධ කර නොගෙන, තම තනතුරු සහ වරප්‍රසාද රැකගැනීම සඳහාම සෑම විටම සහ සෑම දෙයටම ඉහළ දේශපාලකයන්ට සහ උසස්‌ නිලධාරීන්ට යස්‌ සර් (ශැs Sසර))කියන, ඔවුන් සහ ඔවුන්ගේ ක්‍රියා අතිශයෝක්‌තියෙන් වර්ණනා කරන, රූපවාහිනි වැඩසටහන් සකසන සහ වහසිබස්‌ දොඩමින් එම රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන සුළු දෙනෙක්‌ නිසා රටට අන්තර්ජාතික වශයෙන් සිදුවන හානිය ඉතා විශාලය. මහජනයා විසින් ලිපි මගින්වත් මේ බව ඔවුන්ට දැන්වීමට ක්‍රමවේදයක්‌ සැකසෙන්නේ නම් එය අගය කළ යුතුය.

එවැනි පුද්ගලයන්ට ඉදිරිපත් කළ යුතු, මහජන විරෝධය, විවේචනාත්මක සහ අගය කරන ලිපි ලැබීමේ ක්‍රමවේදයක්‌ සකසා, ඒවා එම මාධ්‍යවේදීන්ට ලැබීමට සැලැස්‌වීමට ක්‍රමවේදයක්‌ සැකසිය හැක.

අප යෝජනා කරනුයේ පුවත්පත් මංගල යෝජනා යෑවීමේ ක්‍රමවේදය වැනි දෙයකි.

මුද්‍රිත මාධ්‍යයන්ද, වර්තමානයේදී යම් මට්‌ටමකට නොයෙකුත් ක්‍ෂේත්‍රයන්ට අදාළ විවිධ පුද්ගලයන්ගේ ලිපි ලේඛන පලකිරීම, විවිධ ක්‍ෂේත්‍රයන්ට අදාළ විස්‌තර සැපයීම, නවීන තාක්‍ෂණය හඳුන්වා දීම ආදිය අගය කටයුතු අතර, එහි ලිපි ලේඛන සඳහා ප්‍රස්‌ථාර, චාට්‌, සැලසුම්, චිත්‍ර, කාටුන් වැනි සරලව සහ ක්‍ෂණිකව පාඨකයාට අදහස්‌ අවබෝධ විය හැකි නවීන දෑ භාවිතාවට නැඹුරුවීමද අත්‍යවශ්‍යය.

මෙමගින් යම් යම් කරුණු සාකච්ඡාමය වශයෙන්, ලිපි මගින් ඉදිරියට ගෙන යා හැකිනම්, වඩාත් ප්‍රයෝජනවත් වේ. පත්‍ර සඳහා ලැබෙන ඒ ඒ ක්‍ෂේත්‍රයන්ට අයත් ලිපි සංස්‌කරණයට, ඒ ඒ ක්‍ෂේත්‍රයන්හි දැනුමැති පුද්ගලයන් යොදා ගැනීම ද අගය කළ යුතුය.

රටක සීමිත වෘත්තීන් සංඛ්‍යාවක්‌ බිහිවන, අවශ්‍ය සහ සහජ දක්‍ෂතාවයද වාසනා ගුණය ද තිබිය යුතු, ඉතා ප්‍රසිද්ධියට පත්ව වෘත්තීන් වන රඟපෑම, ගායනය, ක්‍රීඩා ආදී වෘත්තීන්හි නියුතු ආධුනිකයකුට වුවත්, අප දේශපාලකයන් සහ සමාජය සලකන්නේ, සියලු දෙයක්‌ම දන්නා, සෑම දෙයක්‌ම කළ හැකි පුද්ගලයන් ලෙසය. යථාර්ථය එය නොවේය. අතිදක්‍ෂ රංගන ශිල්පියෙක්‌ මෙන්ම චිත්‍රපට අධ්‍යක්‍ෂකවරයෙක්‌ වූවා සේම එම ක්‍ෂේත්‍රයන්ට අති විශාල සේවයක්‌ කළ, ගාමිණී පොන්සේකා මහතා, ආණ්‌ඩුකාර ධුරයකට පත් කිරීමෙන්, රටටවත් ඔහුටවත්, එම ආයතනයටවත් වූ විශේෂ සේවයක්‌ ගැන මා අසා නැත.

මෙවැනි විශේෂයෙන් කලා ක්‍ෂේත්‍රයන්හි ප්‍රසිද්ධ පුද්ගලයන් ඡන්ද කාලයට තම වේදිකාවට නග්ගවා ගැනීමෙන් දේශපාලනඥයන්ට පුද්ගලිකව මෙන්ම පක්‍ෂයට වාසියක්‌ වන බව සැබෑවකි.

නමුත් පොදු සහ රටේම අනාගතය ර¹පවතින පාර්ලිමේන්තුව, තානාපති කාර්යාල වැනි මර්මස්‌ථාන වලට තමාට උදව් කළ පමණින්, බුද්ධාගම අනුව නම් සතර අගතියෙන් එකක්‌ වූ ඡන්දය නම් අගතියෙන් යුක්‌තව ඕනෑම අයෙක්‌ පත් කිරිමට ව්‍යවස්‌ථාවෙන් ලබාදී හැකියාවත්, පාලකයන් එසේ කිරීමත්, රටටම අහිතකර තත්ත්වයක්‌ බව එසේ පත් කරනු ලැබූ පුද්ගලයන්ගේ ක්‍රියාකලාපයන් සහ හැකියාවන්ගෙන් මනාව ඔප්පු වී ඇත. අප දකින ආකාරයට මෙම චෝදනාව අදාළ නොවන්නේ පත් කළ මන්ත්‍රීවරයෙක්‌ වූ හිටපු විදේශ ඇමැතිවරයෙකු වූ කදීර්ගාමර් මැතිතුමාට පමණය. මෙම පත් කළ මන්ත්‍රී තනතුරු ඒ ඒ රටවල පිහිටුවා ඇත්තේ, ඡන්දයෙන් එතැනට පැමිණිය නොහැකි, නමුත් රටට යම් සේවයක්‌ ලබාගත හැකි, උගතුන්, බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට පත්කර ගැනීමටය.

මෙහිදී උගතුන් සහ බුද්ධිමතුන් අතර වෙනස වටහා ගැනීම වැදගත් යෑයි අපි සිතමු. යම් අධ්‍යාපනයක්‌ හෝ පාරම්පරික හෝ වෙනත් දැනුමක්‌ ලබා ගත් අයෙක්‌ උගතකු වන්නේය. එසේ ලබාගත් උගත්කම යොදවා තමාට, ගමට, රටට සහ ලොවට ප්‍රායෝගිකව සේවයක්‌ කළ හැකි පුද්ගලයා බුද්ධිමතාය. එබැවින්, දේශපාලනයට මෙන්ම ඕනෑම දෙයකට වඩා වැදගත් වන්නේ බුද්ධිමතුන්ය. එතරම් උගත්කමක්‌ නොමැති වුවත්, දුර දක්‌නා නුවණක්‌ සහ අගය කළ යුතු පරාර්ථකාමී හැඟීමක්‌ තිබූ, සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගෙන් සහ ඩඩ්ලි සේනානායක මැතිතුමන්ගෙන් රටට සිදුවූ සේවාව ඉතා මහත්ය. මෙයට හොඳම උදාහරණයකි.

අප රටට සංචාරකයන් එන්නේ අපේ පැරණි රජවරු කළ වික්‍රමයන් බැලීමටය. වර්තමාන අවධියේ අප රටේ පාලකයන්ගේ හොඳ වෙලාවට මෙම පැරණි රජවරු නිසා, ඉතිහාසය පමණක්‌ පෙන්වා යම් ආදායමක්‌ ලබාගැනීමට අපට හැකිවී ඇත. සංචාරකයන්ට පෙන්වීමට වර්තමානයේ කළ දෙයක්‌ නොමැති තරම්ය.

නොමිලේ අධ්‍යාපනය ලබා ගන්නා, විශේෂයෙන් විද්‍යා විෂයන් උගත් උගතුන් රටින් පිටවීමද අප රටට හානියකි. ඒ ඔවුන්ගේ වරදක්‌ නොව රටේ පවතින ප්‍රතිපත්ති වල වැරදිය.

ඉතා අඩු වයසෙන්, කිසිම රැකියා හෝ වෙනත් පළපුරුද්දක්‌ නොමැතිව සහ සමාජමය, අධ්‍යාපන අවම දැනුමක්‌ සහිතව, ඕනෑම අයකුට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්‌ වීමට ඇති හැකියාවද ඉතා අහිතකර අන්දමින් රටට බලපා ඇත. මෙසේ වීමට මහජන ආකල්පයද හේතු සාධක වී ඇත්තේ, යමෙක්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්‌ වූ විට, ඔහු කියන කරන සෑම දෙයක්‌ම සොයා නොබලා මෙන්ම, ඡන්ද සහ බිය නමැති අගතීන් නිසා අනුමත කිරීමට මෙන්ම, ඔවුන්ගේ ඕනෑම නොහික්‌මුණු සහ දූෂිත ක්‍රියාවක්‌ ඉතා සුළු කලකින් අමතක කිරීමට අප සමාජය හුරු පුරුදු වී සිටීමය. එසේම තමාගේ සහ පරපුරේ පුද්ගලික ලාභය පිණිසම, පක්‍ෂ මාරු කිරීම මගින් තමාගේ නොපනත් අතීතයට සුදු හුණු ගෑමේ හැකියාවක්‌ ව්‍යවස්‌ථාව මගින්ම සීමාරහිතව ලැබී තිබීමද බරපතල හානියකි. මෙවැනි සාධක නිසා අඩු වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්‌ වූ පුද්ගලයන් ඉතාම ආත්මාර්ථකාමී සහ හිතුවක්‌කාර අන්දමින් හැසිරීම ඉතාම ප්‍රචලිතය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීමට අවුරුදු 36 ක්‌ වත් වුවහොත් ඉතා හොඳය.

අප රටෙහි බොහෝ කර්මාන්ත වැසී ඇත. නැතහොත් වැසෙමින් පවතී. නමුත් රජය එය පිළිගන්නේ නැති නිසා එයට හේතු සෙවීමට ඔවුන්ට අවශ්‍යතාවයක්‌ නැත.

පාලකයන් වටා සිටින නිලධාරීන්, බොහෝ විට පාලකයන්ට පෙන්වන්නේ සත්‍යය නොව පාලකයා සතුටට පත්වන පරිදි අසත්‍යය. පාලකයන්ට විවිධ උගතුන් සහ බුද්ධිමතුන් ද හමුවීමට එතරම් උවමනාවක්‌ද නැත. තමාට හානියක්‌ වන නිසා පාලකයන් වටා සිටින නිලධාරීන් එවැනි අවස්‌ථා ඇති කිරීමට උත්සුක වන්නේද නැත.

රජය, තිරිඟු පිටි ත්‍රස්‌තවාදයක්‌ හඳුන්වාදී, සහල් සහ සහල් පිටි වලින් සැකසූ ආහාර ගැනීමට මහජනයාට උපදෙස්‌ දෙමින් සිටී. මෙය අගය කළ යුතු කටයුත්තකි.

නමුත් රජය, සහල් කර්මාන්තයේ දැනට පවතින, ඉතා නුදුරු අනාගතයේදී සහල් කර්මාන්තය බරපතල අන්දමින් කඩාවැටීමට හේතු විය හැකි සාධක සොයා බලා, මහජන ආකල්ප වෙනස්‌කර, සහල් චක්‍රයට අයත් ගොවියන්, වී එකතු කරන්නන්, සහල් මෝල් හිමියන්, වෙළෙන්දන්, සහල් පාරිභෝගිකයන් දැනුවත් කර, සහල් කර්මාන්තයේ නාස්‌තිය අවම කර, සහල් නිෂ්පාදනයේදී 30% ක්‌ පමණ විදුලිය ඉතිරිකර ගන්නා අයුරු, නිවුඩ්ඩ සහිත ගුණාත්මක සහල් නිපදවන අයුරු, එමගින් දියවැඩියාව වැනි රෝග අවම කර ගන්නා අයුරු, සහල් වලින් සකසාගත හැකි කෑම වර්ග හඳුන්වාදීම වැනි ප්‍රයෝජනවත් දෑ රූපවාහිනි සහ මුද්‍රිත මාධ්‍යයෙන් සාකච්ඡාවට භාජනය කරන්නේ නැති තරම්ය.

බොහෝ දේශපාලකයන් මෙය මාධ්‍යය මගින් වාචිකව පෙන්වා දුන්නත්, එය ප්‍රචලිත කිරීමට ක්‍රමවේදයන් සකසන්නේ නැතිවීම කනගාටුවට කරුණකි. උදාහරණයක්‌ වශයෙන් ඉහත පෙන්වා ඇති කරුණු සහ මාතෘකා, විවිධ විද්වතුන්, බුද්ධිමතුන් යොදා රජයේ රූපවාහිනි චැනලයන් මගින් සාකච්ඡාවට භාජනය කර පෝෂ්‍යදායක ගුණයෙන් හීන, ඉතා වැඩියෙන් ඔපදමන ලද සහල් පරිභෝජනයට ඇති ආශාව වැනි සමාජයේ පවතින වැරදි මත අවම කළ හැක. එමගින් දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි රෝග අවම කරගන, ඒ සඳහා රජයට වියදම් වන මුදල අවම කරගත හැක. සහල් මෝල් සිය ගණනක විදුලි පරිභෝජනය 30% කින් පමණ අවම කර ගැනීමෙන් ඉතිරි කරගත හැකි මුදල පෙන්වාදිය හැක.

එළවලු, සහල්, පොල් ආදිය මිලදී ගෙන එම ව්‍යාපාර පවත්වාගන යැමට කටයුතු කිරීමෙන්, ඉතා විශාල වශයෙන් (සෘජුව හෝ වක්‍රාකාරව) එම රැකියාවල යෙදෙන්නන්ට රැකියා නොමැති වීමෙන් රජය කරගන්නා හානිය බරපතල විය හැක. කළ යුත්තේ එළවලු ආදියේ මිල වැඩිවීමට හේතු සොයා ඊට සුදුසු පිළියම් යෙදීමය.

මෙහිදී එළවලු, පොල් පැටවීම, බෑම, නරක්‌වීම, ප්‍රවාහනය ආදිය සඳහා පුද්ගලික වෙළෙඳුන් වියදමක්‌ සෘජුව දැරිය යුතු අතර, එය වක්‍රාකාරව යුද හමුදාව දැරිය යුතුවේ. යුද හමුදා සෙබලුන් අතර දැනටමත් අප යුද හමුදාවට බැඳුනේ රට වෙනුවෙන් යුද කිරීමට මිස වෙනත් කාර්යයන් නොකඩවා (හදිසි අවස්‌ථාවකදී ප්‍රශ්නයක්‌ නැත) කිරීමට නොවන බව ඔවුන්ගේ මතයට කාවැදීම භයානක තත්ත්වයකි.

ජපානය, යුරෝපීය රටවල්, ඇමෙරිකාව ආදී රටවලට අපගේ කොන්ත්‍රාත් ලබාදුන් විට ලංකාවට පැමිණෙන්නේ උසස්‌ නිලධාරීන් කීපදෙනෙක්‌ පමණි. ඉතිරි සියලුම නිලධාරීන් සහ ශ්‍රමිකයන් ලබාගන්නේ අප රටෙනි.

බොහෝ අමුද්‍රව්‍ය සහ අවශ්‍ය සේවාවන් ඔවුන් ලබාගන්නේද අප රටෙනි.

එමගින් කොන්ත්‍රාත්තුව සඳහා අප ලබාදෙන මුදලෙන් කොටසක්‌ වේතන, අමුද්‍රව්‍ය සහ අවශ්‍ය සේවාවන් සඳහා අප රට තුළම ඉතිරිවේ. ඊට අමතරව නවීන තාක්‍ෂණයන් අපගේ නිලධාරීන්ට සහ ශ්‍රමිකයන්ට ලබාගැනීමට හැකියාව ලැබේ. ඔවුන්ට හොඳ පුහුණුවක්‌ ලැබේ. මැදපෙරදිග වැනි විදේශ රැකියාවන්ට යැමේදී මෙය වඩා වැදගත් සාධකයක්‌ වේ.

නමුත් චීනයට කොන්ත්‍රාත් ලබාදීමෙන් මේ කිසිවක්‌ සිදුවන්නේ නැත. ඒ ඔවුන් සියලුම සේවකයන් අමුද්‍රව්‍ය සහ නූඩ්ල්ස්‌ වැනි කෑම ද්‍රව්‍ය පවා චීනයෙන් ගෙන එන බැවිනි.

ඒ සඳහා සීමාරහිතව, වෙනත් කිසිම රටක්‌ නොකරන ආකාරයට රජය විසින් පහසුකම් සහ ක්‍රමවේදයන් සලසාදී තිබීම රටේම අභාග්‍යයකි. අනවශ්‍ය පරිදි සීමා රහිතව චීනයට කිට්‌ටුවීම යනු අසල්වැසි ඉන්දියාව, ජපානය, යුරෝපීය රටවල්, ඇමෙරිකාව ආදිය යම් මට්‌ටමකට අමනාප කර ගැනුමක්‌ බවත් අවබෝධ කරගත යුතුය.

එසේම චීනයේ අතිමහත් නිෂ්පාදන පරිමාව සැලකූවිට, අප රටෙහි වෙළෙඳ පළ ඔවුන්ට ඉතා කුඩා සොච්චමකි. එනම් ඉතා කෙටි කලකින් ඔවුන්ට අවශ්‍ය සියලුම දෑ අපෙන් ලබාගනී. ඊට පසු චීනයට අප අවශ්‍ය නොවනු ඇත. එසේම දැන් යම් යම් කොන්දේසි මත චීනුන් ඉන්දියාවටද පැමිණ ඇත. එය චීනයට අති විශාල වෙළෙඳ පළකි. එබැවින් ඉන්දියාව අමනාප කරගන චීනය අපට උදව්වට එන්නේද නැත. විශේෂයෙන් රූපවාහිනිය මගින් ඔවුන්ගේ පැවැත්ම සඳහාම වහසි බස්‌ දොඩවන, අතළොස්‌සකගේ මවාපෑම් වලට සහ වටා සිටින උපදේශකයන්ගේ වැරදි උපදෙස්‌වලට රැවටී, අනවශ්‍ය අභිමානයක්‌ මවාගන අනිකුත් රටවල් සමග ගැටුම් ඇතිකර ගැනීම නුවණට හුරු නොවන බව, අප රටෙහි වත්මන් ජනාධිපතිතුමාට ගෞරවයෙන් අපි දන්වා සිටිමු. නැතහොත් එය තවත් ලන්ඩන් චාරිකාවක්‌ විය හැක.

අප රට පිහිටා ඇත්තේ, රට දියුණු කිරීම සඳහා ඉතාම උචිත ස්‌ථානයකය. යුරෝපය, මැදපෙරදිග හා ආසියාව යාකරන නාවික මාර්ගයේය. එසේම රටෙහි අභ්‍යන්තරය මනරම්ය, සාරවත්ය, සුවදායකය. පැය ගණනක්‌ තුළ විවිධ පරිසර හා කාලගුණික පිහිටීම්වලට යාමට හැකි වෙනත් රටක්‌ ලොව නොමැති තරම්ය.

ඉහත කරුණු සැලකීමේදී අප රට දියුණු කළ හැක්‌කේ සංචාරක කර්මාන්තය, නිෂ්පාදන කර්මාන්තය හා කෘෂිකර්මය දියුණු කිරීමෙනි. මේ සඳහා යම් විද්‍යාත්මක ක්‍රමවේදයක්‌ භාවිත කළ යුතුය.

මෙම සාධකය ස්‌වභාවිකව අප ලත් දායාදයකි. අප කිසිවකුටත් වෙනස්‌ කළ නොහැකි සාධකයකි එය. එබැවින් කළ යුත්තේ ස්‌වභාවිකව ලැබී ඇති ඉහත සාධක රටේ දියුණුව සඳහා බුද්ධිමත්ව ප්‍රයෝජනයට ගැනීමය. මාර්ග පද්ධතිය දියුණුකර, රට වටේම වරායන් පිහිටවූවත්, ඒවායින් අපනයනය කිරීමට සහ දේශීය පරිභෝජනයට යම් යම් භාණ්‌ඩ රට තුළ සමගාමීව නිෂ්පාදනය නොවන්නේ නම්, කෘෂිකර්මය දියුණු නොවන්නේ නම්, එම වරායන් තවත් සුදු අලියෙක්‌ බවට පත්වීම නොවැලැක්‌විය හැක. දේශීය නිෂ්පාදන දේශීය පරිභෝජනයට ලබාගැනීම යනු ආනයනය අවම වීමයි. රටක්‌ දියුණුවීමට නම් රටට නැව් පැමිණිය යුත්තේ භාණ්‌ඩ බෑමට නොව වැඩිපුරම භාණ්‌ඩ රැගෙන යාමට නොහොත් භාණ්‌ඩ අපනයනයට බව අප අවබෝධකර ගත යුතුය. ඒ සඳහා අප රට තුළ නිෂ්පාදනය කළ හැකි භාණ්‌ඩ, ආනයනය කිරීමට රුකුලක්‌ දෙන, ආනයනික භාණ්‌ඩ මත වරායේදී හෝ ගුවන් තොටුපලේදී ගෙවියයුතු රේගු බද්ද සහ 12% වැට්‌ අගය ලබා නොගැනීම වැනි ලංකාවේ නිෂ්පාදන කටයුතු අඩාලවන නීති ඉවත් කළ යුතුය. උදාහරණයක්‌ වශයෙන් ලංකාවේ නිෂ්පාදනය කළ දැනට ඉතා අපහසුතාවට පත්වී ඇති බොයිලේරු කර්මාන්තය පෙන්වාදිය හැක. අප රටට අවශ්‍ය භාණ්‌ඩ නිෂ්පාදනය කිරීමටවත් අපගේ කර්මාන්ත දියුණු කිරීමෙන්, රටට වෙනත් ක්‍රම වලින් ලැබෙන විදේශ විනිමය අප හට ඉතිරි කර ගත හැක. එමගින් රැකියාද බිහි වේ. බුද්ධි ගලනයද අවම වේ. හම්බන්තොට අසලින් නැව් සිය ගණනක්‌ යනවා දවසකට. ඒවායින් 10% ක්‌ තෙල්, වතුර ගන්න මාගම්පුර වරායට ආවත් ඇති යනුවෙන් වරාය පිහිටුවීමට හේතු සාධක වශයෙන් පෙන්වා දුන් බව අපට මතකය. නමුත්, දැනට දශක 2.5 කට ප්‍රථම දොඹකර වලින් බඩු බෑමට සහ පැටවීමට මාස ගණන් වරායන් තුළ නවතා, සියලුම අලුත්වැඩියා කටයුතු සහ සැපයීම් ලබාගත් නැව්, පළමුව, බාජස්‌ නමැති බඩු අසුරණ පෙට්‌ටි පැය කීපයකදී වරායන් තුළ පාවෙන්න සලස්‌වා ආපසු යන විශාල නැව් බවට පරිවර්තනය විය. නැවත වර්ෂ කීපයකින් එම විශාල නාවික යාත්‍රා දැනට ක්‍රියාත්මකව පවතින බහලු (ඤබඒසබැර))ගෙන යන නැව් බවට පරිවර්තනය විය. පැය කීපයක්‌ තුළ බහලු වරායන්ට බෑම සහ නැවට පැටවීම කළ හැකි අයුරින් වර්තමානයේදී නාවික ක්‍රමයයන් දියුණුවී ඇත. එම නැව් වල ඉතා විශාල තෙල් සහ ජල ටැංකි පිහිටුවා ඇත.

අප රට දෙපැත්තේ පිහිටා ඇති සිංගපූරුවෙහි සහ ඩුබායිහි වරායන් ඉතා කාර්යක්‍ෂමව බහලු හුවමාරු ස්‌ථාන වශයෙන් ක්‍රියාත්මක වන බව ප්‍රකට කරුණකි.

එසේම බහලු බෑමට සහ පැටවීමට යන වරායයන් වලදී, එම නැව් වලට අවශ්‍ය තෙල් සහ ජලය ලබාගැනීම සාමාන්‍ය දෙයකි. එබැවින් තෙල් සහ ජලය ලබා ගැනීමටම පමණක්‌ තවත් වරායකට යාමට ඔවුන්ට අවශ්‍යතාවයක්‌ නොමැත.

සිංගප්පූරුව සහ ඩුබායි වැනි රටවලට ඕනෑ තරම් මුදල් ඇත. ඕනෑම අවදානමකට මුහුණදිය හැක. අපට මුදල් නැත. එබැවින් අපට කළ හැකි කාර්ය සීමාසහිතය.

ජපානය, යුරෝපීය රටවල්, ඇමෙරිකාව ආදිය හා සැසඳීමේදී, බොහෝ රටවල් එතරම් දියුණු නොවූ තත්ත්වයක පවතින අප්‍රිකානු මහද්වීපයේ නාවික කටයුතු අවම මට්‌ටමක පවතී. එබැවින් එතරම් විශාල බහලු හුවමාරුවක්‌ එම නාවික මාර්ගයෙන් බලාපොරොත්තු විය නොහැක. එසේ තිබෙන ප්‍රමාණය දැනටම කොළඹ වරායෙන් සිදුවේ නම් අපගේ අදහසේ හැටියට අනාගතයේදී වැඩිපුරම සිදුවිය හැක්‌කේ දැනට කොළඹ වරායට යන බහලු කොටසක්‌ මාගම්පුර වරායට යැම පමණක්‌ විය හැක. එයින් රටට අමතර ලාභයක්‌ ලැබෙන්නේ නැත. මීට දශක 3 කට ප්‍රථම මාගම්පුර වරාය පිහිටුවුවා නම් එය ඉතා ප්‍රයෝජනවත් විය හැකිව තිබිණි. රුහුණේ පිහිටුවන ගුවන් තොටුපලද, ත්‍රස්‌තවාදී කලබල දැන් අවම බැවින් සහ රටේ ආර්ථිකය ගැන සැලකීමේදී එතරම් ඉක්‌මණින් කළ යුතු වූවක්‌ නොවන බව අපගේ හැඟීමයි. එබැවින් වරායෙන් ප්‍රයෝජන ගැනීමට කාර්මික සහ කෘෂිකාර්මික නිෂ්පාදන සහ සංචාරක කටයුතු ද වහාම දියුණු කිරීම නුවණට හුරුය.

සුගත් පානගල

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.