ලෝක විනාශය අත ළඟ ද?

2012 දී ලෝක විනාශය සිදුවන බවට යම්කිසි ආකාරයක අනාවැකියක්‌ වෙයි. එය මායා ශිෂ්ටාචාරයේ දින දර්ශනය 2012 න් නැවතීම පදනම් කරගනිමින් කරන යම්කිසි ආකාරයක අනාවැකියකි. මෙහි යම්කිසි ආකාරයක යනුවෙන් යෙදෙන්නේ එය අනාවැකියක්‌ ලෙස සෘජුවම ඉදිරිපත් කෙරී නොමැති බැවිනි. එය යම් දත්ත මත පදනම් වී කෙරෙන අර්ථකථනයකි. කෙසේ වෙතත් ලෝක විනාශය යන්නටද විවිධ අර්ථකථන දිය හැකිය. 2012 ලෝක විනාශය යන්නෙන් අදහස්‌ කෙරෙන්නේ මුළුමහත් විශ්වය ම විනාශ වී යන බවද? නැත්නම් අපේ මන්දාකිණිය වූ ක්‍ෂීරපථය විනාශ වී යන බවද? එසේත් නැත්නම් සෞරග්‍රහ මණ්‌ඩලය විනාශ වීමද? එසේ නම් පෘථිවිය පමණක්‌ විනාශවීමද? එසේත් නැත්නම් බටහිර ශිෂ්ටාචාරය විනාශ වන බවද? 2012 බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයේ අවසන් වසර විය හැකිද?

ලෝක ඉතිහාසයේ විවිධ අවස්‌ථාවල විවිධ ශිෂ්ටාචාර විනාශ වී ගොස්‌ ඇත. එසේත් නැතහොත් විනාශ කෙරී ඇත. මොහෙන්ජදාරෝ හරප්පා, ග්‍රීක නගර, මායා මිසර (පාරාවෝ) බැබිලෝනියානු ආදී ශිෂ්ටාචාර විනාශ වී ගොස්‌ ඇති බව අපි දනිමු. සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයද වැනසීම බටහිරයන් විවිධාකාරයේ උත්සාහයන්හි නිරත වී ඇති නමුත් එය ඉටු කරගැනීමට ඔවුන් අපොහොසත් වී ඇත. ශිෂ්ටාචාරය හා සංස්‌කෘතීන් විනාශ වී ගොස්‌ ඇති නමුත් ඒ හේතුවෙන් ලෝක විනාශයක්‌ සිදු වී නැත. එයට හේතුවක්‌ වෙයි. ඒ ඒ ශිෂ්ටාචාර යම් ප්‍රදේශයකට පමණක්‌ සීමා විය. මුළුමහත් ලෝකයම සිසාරා යන ශිෂ්ටාචාරයක්‌ එකල ලෝකයේ ඇති නොවීය. එබැවින් එක්‌ ශිෂ්ටාචාරයක්‌ විනාශ වූ පමණනින් මුළු ලෝකයම එනම් මුළුමහත් මිනිස්‌ සංහතියම විනාශ නොවිණි.

එහෙත් අද තත්ත්වය සම්පූර්ණයෙන්ම එසේ නොවේ. බටහිර ශිෂ්ටාචාරය හා බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය අද මුළු ලොවෙහිම ආධිපත්‍යය දරයි. බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය හා එහි පදනමෙහි වූ ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනය වෙනත් කිසිම සංස්‌කෘතියකට, චින්තයකට කිසිදු ඉඩක්‌ නොදෙයි. ලොවෙයි බිහි වූ දරුණුතම මානව විරෝධී චින්තනය මත පදනම් වූ සමස්‌ත පෘථිවිය තලය ම පමණක්‌ නොව සෞරග්‍රහ මණ්‌ඩලයද විනාශ කිරීමට උත්සාහ දරන බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය පසුගිය වසර පන්සියයක පමණ කාලයෙහි මිනිසුන් සහ අනෙක්‌ සත්වයන්ද, පරිසරයද, ස්‌වභාවික සම්පත් ද සහිත මුළුමහත් මිහි තලයම විනාශාහිමුඛයට තල්ලු කර ඇත. එයට විකල්පයක්‌ ඉදිරිපත් නොවුණොත් මිහිතලයම විනාශ වනු ඇත.

මෙරට පඬියෝ ද වෙනත් බොහෝ අය ද බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය අගය කරති. කසිකබල් මාක්‌ස්‌වාදීහු ද බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයේ ධනපති ක්‍රමයට විරුද්ධ වුවද ඊනියා විද්‍යාවට හා ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයට (අඩුම තරමින් සමාජය ප්‍රජාතන්ත්‍රවාදයට) පක්‍ෂ වෙති. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඒ තව තවත් වර්ධනය කිරීමටය. තමන් නූතනවාදීන් යෑයි කීමට මේ සියල්ලෝම මහත් රුචියක්‌ දක්‌වති. එහෙත් මා නම් සලකන්නේ බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය යනු මිනිසුන්ගේද අනෙක්‌ සතුන්ගේ ද පරිසරයේද ස්‌වභාවික සම්පත්වල ද ප්‍රධාන සතුරා ලෙසය. සත්වයන් නිවන් මගින් ඈත්කරන ඉන්ද්‍රිය පිනවීම සඳහා මිනිසුන් යොමු කරන බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය එය බිහිවී අවුරුදු තුන්සියයකින් පමණ පසු ලෝක ආධිපත්‍යයට පත්විය. අවුරුදු දෙසියයක පමණ කාලයක්‌ අපි සියල්ලෝම බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයේ දඬු අඬුවට හසුවී සිටියෙමු.

බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයෙහි අවසානය ළඟාවී ඇත. සති කිහිපයකට පෙර එහි කඩාවැටීම ගැන ලියමින් ඒ පිළිබඳ සුළු විස්‌තරයක්‌ කළෙමි. එහෙත් බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය අනෙක්‌ චින්තන, සංස්‌කෘතීන් ජීවන රටා එක්‌කෝ නැතිකර ඇත. එසේත් නැත්නම් දුර්වල කර ඇත. එහි තේරුම අද ආධිපත්‍යයෙහි ඇති බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය විනාශ වීම යනු බොහෝ දුරට ලෝක විනාශය වීමට ඉඩ තිබීමය. තමන් නූතනවාදීන් බව උජාරුවෙන් සඳහන් කරමින් අප වැන්නන් පසුගාමීන්, ව්‍යාජ චින්තකයන් එසේත් නැත්නම් වෙනත් කිසිවක්‌ කිව නොහැකි තැන දරුවන්ට පිටරට අධ්‍යාපනය ලබා දෙමින් රුපියල් ලක්‍ෂයේ දුරකථන පාවිච්චි කරමින් ඉතා සුඛෝපභෝගී ජීවිත ගතකරමින් මිනිසුන් රවටන්නන් ආදීන් ලෙස ක්‍රිස්‌තියානි නූතනත්වයට හුරු පුරුදු අසත්‍යය ප්‍රචාරය කරමින් සමහරු බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයෙහි ගිලී සිටින්නේ වතුර රත්වන තුරු දිය කෙළියෙහි යෙදුණු කකුළුවා සිහි ගන්වමිනි.

බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය බොරුකීම සඳහා ඊනියා විද්වතුන් යොදාගන්නේ ඉහත සඳහන් ආකාරයෙන් පෞද්ගලික කරුණු සම්බන්ධයෙන් පමණක්‌ නොවේ. අද ඊනියා පර්යේෂණ යනු අසත්‍යයේ ප්‍රචාරක මාධ්‍ය බවට පත් වී ඇත. ලෝකය පුරා පැතිරී ඇති අසහනය, දුක්‌ත බව වසා ගැනෙන්නේ තාක්‍ෂණය නමින් හැඳින්වෙන්නෙහි ඇති ඇස්‌ බැන්දුම් ස්‌වරූපයෙන් සහ ඊනියා පර්යේෂණ වාර්තා මගිනි. ඒ සඳහා ජනමාධ්‍ය වෛශ්‍යා වෘත්තියෙහි යොදා ගැනෙන්නේ ඉතාමත් නින්දිත අයුරිනි. අසරණ වූ කාන්තාවක්‌ තම දරුවන් රැක බලාගැනීම සඳහා වෛශ්‍යා වෘත්තියෙහි යෙදීම ගැන අප සානුකම්පිතව බැලිය යුතු වුවත් බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය රැකගැනීම සඳහා ශාස්‌ත්‍රීය වෛශ්‍ය වෘත්තියෙහි යෙදෙන විවිධ විද්වතුන් දෙස අප බැලිය යුත්තේ කෙසේද?

මේ පිළිබඳ විස්‌තරාත්මක ව කතාකිරීම මෙම ලිපියෙහි අරමුණ නොවේ. එහෙත් පැහැදිලිවම කිවයුතු කරුණක්‌ නම් අද ඊනියා පර්යේෂණ සඳහා ප්‍රතිපාදන, අරමුදල් සපයනු ලබන්නේ බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයේ ආයතන විසින් බවය. මා මෙහිදී වඩාත්ම සැලකිල්ලට ගන්නේ බටහිර රටවල කෙරෙන ඊනියා පර්යේෂණ වුවත් මෙරටට ද එහි ආදීනව විඳින්නට ලැබි ඇත. මෙරට සාමාන්‍යයෙන් කෙරෙන්නේ එතරම් වැදගත් නොවන පර්යේෂණ බව රහසක්‌ විය නොහැකිය. නව සංකල්පයක්‌, ප්‍රවාදයක්‌ ගොඩනැඟීමට තුඩු දෙන ආකාරයේ පර්යේෂණ කෙරෙන්නේ නම් ඒ ඉතා විරලවය.

අපි ඊනියා ජාත්‍යන්තර මට්‌ටමක්‌ ගැන කතාකිරීමට ප්‍රිය කරමු. එහෙත් ක්‍රිකට්‌ ක්‍රීඩාවෙහි හැරෙන්නට අපට වෙනත් ක්‍රීඩාවක හෝ ශාස්‌ත්‍රීය ව හෝ ඒ ඊනියා ජාත්‍යන්තර මට්‌ටමට ළඟාවීමට නොහැකි වී ඇත. ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ට අගෞරවයක්‌ කිරීමට මගේ කිසිදු බලාපොරොත්තුවක්‌ නැතිවුවත් මට නිතර කල්පනාවන කරුණක්‌ වනුයේ යම් ආකාරයකින් ඇමරිකානු මහාද්වීපයේ, චීනයේ ජපානයේ හා ඇතැම් අප්‍රිකානු රටවල ක්‍රීඩකයන් ක්‍රිකට්‌ ක්‍රීඩාව ගැන බැරෑරුම් ආකාරයකින් සිතන්නට පටන්ගතහොත් අපට කුමක්‌ සිදුවේද යන්නය. අපේ ශක්‌තිය ඇත්තේ පන්දුවට පහර දීමෙහි හෝ පන්දුව පසුපස දිව යැමෙහි නොවන බව අපට තවමත් අවබෝධ වී නැත.

රජරට වකුගඩු රෝගය ගැන අපි විමසිල්ලෙන් පසුවෙමු. ඒ පිළිබඳ සොයා බැලීමට කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨය කටයුතු කරගෙන යයි. බටහිර රසායන විද්‍යාව, බටහිර උද්භිද විද්‍යාව, බටහිර වෛද්‍ය විද්‍යාව මෙන්ම බටහිර ගණිතය ද හැදෑරු අයගෙන් සමන්විත කණ්‌ඩායමක්‌ එහි දී ක්‍රියාත්මක වෙයි. එහෙත් අපි බටහිර විද්‍යාවන් ගැන පමණක්‌ යෑපෙන්නෝ නොවෙමු. කැලණිය විද්‍යා පීඨය ද බටහිර විද්‍යා පීඨයක්‌ වුවත් එය මෙරට අනෙක්‌ විශ්වවිද්‍යාලවල විද්‍යා පීඨවලින් පමණක්‌ නොව ශාස්‌ත්‍ර පීඨවලින් ද වෙනස්‌ වන්නේ එහි කිහිප දෙනෙකු වුවද බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයේ ආධිපත්‍යය ප්‍රතික්‍ෂේප කරන බැවිනි. එහි ශිෂ්‍යයෝ සිංහල ගොවිකමෙහි මෙන්ම භාවනා වැඩ සටහන්වලද නිරත වෙති. රජරට වකුගඩු රෝගය ගැන මෙතෙක්‌ පළ වී ඇති ප්‍රකාශවලින් බොහෝ කරුණු වසන් කෙරෙන බවද අප දැනගන්නේ හුදෙක්‌ පර්යේෂණාගාරයේ සිදුකරන පරික්‍ෂණවලින් පමණක්‌ නොවේ. රජරට වකුගඩු රෝගය ද කඩා වැටෙන බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයේ ප්‍රතිඵලයක්‌ වන බව පමණක්‌ අපට දැනට කිව හැකිය.

බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය විසින් අදාළ චින්තනය හැරෙන්නට වෙනත් චින්තන හා සංස්‌කෘතීන් නැතිකර දමනු ලැබීමට ක්‍රියා කළ ද ඒ සාර්ථක වී නැත. එයට එරෙහිව විකල්පයක්‌ ලෙස ඉදිරිපත් කළ හැකි ප්‍රධානම චින්තනය සිංහල බෞද්ධ චින්තනය වෙයි. මේ චින්තනය හා සිංහල බෞද්ධ රාජ්‍යය ගැමුණු රජුගේ නිර්මාණ වෙයි. බටහිරයන් සිංහලයන්ට විරුද්ධව මෙතරම් කෙණහිළිකම් කරන්නේ ද ඔවුන්ට එරෙහිව ඇති විකල්ප චින්තනය සිංහල බෞද්ධ චින්තනය වන බැවිනි. මුස්‌ලිම් රාජ්‍ය ලංකාවට වඩා බලවත් වුවද ඔවුන්ට පැහැදිලි විකල්ප චින්තනයක්‌ ඉදිරිපත් කළ නොහැකිය. කඩා වැටෙන බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය වෙනුවට අපට සිංහල බෞද්ධ චින්තනය ඉදිරිපත් කිරීමට හැකි වුවහොත් ලෝකයේ විනාශයක්‌ ලෙස ලෝක විනාශයක්‌ සිදු නොවනු ඇත. එවිට ලෝක විනාශය ලෙස අර්ථ දැක්‌වීමට සිදුවනුයේ බටහිර ක්‍රිස්‌තියානි නූතනන්වයේ විනාශය ය. එය අද ලෝකයේ ආධිපත්‍යය දරණ බැවින් එහි විනාශය එක්‌තරා අන්දමකින් ලෝක විනාශයක්‌ ලෙස සැලකිය හැකිය. එහෙත් වෙනත් අර්ථයකින් එය ලෝකයේම විනාශයක්‌ නොවනු ඇත්තේ එයට එරෙහිව අපට විකල්පයක්‌ ඉදිරිපත් කරගැනීමට හැකිවුහොත්ය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.