මලල්ගොඩ - බණ්‌ඩාරනායක ඝාතනය හා කැලෑ පත්තර 02 කොටස
ඔසී කොරයා හිස බූ ගායී

මා ළඟ සිටි අපිට දිවා භෝජනය සූදානම් කර තිබුණේ, කතරගම බස්‌නායක නිලමේගේ නිල නිවසේයි. අපි කෑම කන අතරේ අප සිටි දිග මේසයේ කෙළවරක, තට්‌ට හිස සහිත සුදු හැඳගත් මිටි මිනිසාද කෑම කමින් සිටියේය. අයකුගෙන් ඒ පුද්ගලයා පිළිබඳ විමසන විට "ඒ තමයි ඔසී කොරයා" කියන්නේ යෑයි මට පැවසීය. ඒ මා ඔසී කොරයා මහතා දුටු එකම අවස්‌ථාවයි. ඔහු පිළිබඳ එකල මට හැඟීමක්‌ නොවීය. එහෙත් බණ්‌ඩාරනායක ඝාතන නඩුව විභාග වෙද්දී, ඔහුගේ නමත්, හිස බූ ගෑ සිද්ධියකුත් ගැන සඳහන්ව තිබුණා සේ මට මතකය. අමාත්‍යවරයකුට කෑම පිළියෙල කළ මේසයටම, බස්‌නායක නිලමේතුමා ඔසී කොරයාද, කෑමට කැඳවා තිබීම නිසා, ඔහු කිසියම් සමාජ පිළිගැනීමක්‌ තිබූ බව හැඟේ. අපට ඔහු කතරගමදී හමුවුණේ බාරයට හිස බූ ගෑමට ගිය විටදී විය හැක. ඒ බාරය කුමක්‌ද හෝ එම හමුවීම බණ්‌ඩාරනායක ඝාතනයට පෙර හෝ පසුව සිදුවූවා යෑයි මට මතකයක්‌ නැත. එහෙත් අපේ පියා ඔහුට ලෙන්ගතු බවක්‌ නම් දැක්‌වූයේ නැති බව මට මතකය.

බණ්‌ඩාරනායක නඩුවේ අඛණ්‌ඩව දින 14 ක්‌ පමණ සාක්‍ෂි දුන් පී. මලල්ගොඩ මහතා එතෙක්‌ නඩු විභාගයකදී, දීර්ඝතම සාක්‍ෂිය දුන් තැනැත්තා යෑයි මම විශ්වාස කරමි. දක්‍ෂ කවියකු වූ ඒ මහතා කලක්‌ මහණව සිට පසුව සිවුරු හල අයෙකි. මේ නිසා විත්තියේ නීතිඥ මහතා පී. මලල්ගොඩ, මහතා අසීරුවට පත් කිරීමට අදහස්‌ කරමින් මෙසේ හරස්‌ ප්‍රශ්න ඇසීය. විත්තියේ නීතිඥයා - තමුන් කලක්‌ මහනව සිටියා?

පී. මලල්ගොඩ මහතා - එහෙමයි ස්‌වාමිණි·

වි. නී. : පස්‌සකදී තමුන් සිවුරු ඇරිය?

පී. ම. : එහෙමයි ස්‌වාමීනි.

වි. නී.: ඇයි තමුන් සිවුරු හැරියෙ?

පී. ම.: මට එහෙම හිතුන ස්‌වාමීනි.

වි. නී.: කාන්තාවන් නිසා නේද ඔබට සිවුරු හැර යන්න වුණේ?"

පි. ම.: නැහැ. ස්‌වාමීනි.

වි. නී.: අපි කියා සිටිනව තමුන් ඒ කාලෙ කාන්තාවන් ඇසුරු කළ බව.

පී. ම. : ඒක ඇත්ත ස්‌වාමීනි·

වි. නී. : එහෙම නම් තමුන්ට පුළුවන්ද, ඒ තමන් ඇසුරු කළ අය ගැන කියන්න?

පී. ම. : මට පුළුවන් ස්‌වාමීනි·

වි. නී. : හොඳයි එහෙනම් කියන්න, තමනුත් ඇසුරු කළ කාන්තාවක්‌ කවුද කියල.

පී. ම. : ස්‌වාමීනි මම මහන වෙලා ඉන්න කාලෙ ඇසුරු කළා. යසෝධරා, සුජාතා, විශාඛා, සංඝමිත්තා, කිසාගෝතමී, පටාචාරා, අම්බපාලි...... (මලල්ගොඩ මහතා බෞද්ධ සාහිත්‍යයේ සඳහන් කාන්තාවන් රැසකගේ නම් නොනවත්වා කියාගෙන යයි)

විනිශ්චයකාරතුමා ( ඇති ඇති. නීතිඥ මහත්තයටත් අහගත්ත ඇතිනෙ?

(උසාවියම සිනහ හඬින් පිරී යයි) මලල්ගොඩ මහතා අසීරුවට පත් කිරීමට හරස්‌ ප්‍රශ්න ඇසූ සෑමවිටම, අසීරුවට පත් වූයේ නීතිඥයන්මය. පී. මලල්ගොඩ යනු හසල බුද්ධිමතෙකි. 1960 මාර්තු මැතිවරණයේදී හබරාදූව අසුනට සමාජවාදී පෙරමුණෙන් හා 1965 මැතිවරණයට බුලත්සිංහල ආසනයට ස්‌වාධීනව තරග කළ පී. මලල්ගොඩ කෙනකු පිළිබඳව ශ්‍රී ලංකාවේ මැතිවරණ පුරාණයේ සඳහන්ව තිබේ.

1951 දී බණ්‌ඩාරනායක මහතා එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවෙන් ඉවත්ව විපක්‍ෂයේ අසුන් ගත් විට පී. මලල්ගොඩ කවියා එදා "නිදහස" පත්‍රයට මෙසේ ලිවීය.

ඉනා වත් වන් මුවේ සිනහව පෙරෙන පුන්සඳ මෙන් දෙපෝ යක

අනා දෙන නව රසකතාවේ මිහිර ඇති පැණි පිරුණු මී යක

ජනා ලෝලනයෙහි යෙදෙන අද වේගයෙන් පණ පෙවුණු හී යක

සිනා වෙන් පිළිගනිමු දැන් අපි මේ අලුත් බණ්‌ඩාරනා යක



ගමන් කළ මග, නොමල බව දන, නවාලෝකය පහළ වී මෙන්

තමන් ගත් හණමිටි පොදිය සුණු විසුණුකොට විසුරුවා ලී මෙන්

එතැන් සිට එඩිතරව සිය ජීවිතය අමුතුම මගෙක යා මෙන්

හැඳින්වෙන වීරයා ඔබ වෙති, නව යුගේකට පා තැබී මෙන්



මුවිල් ගිලිහී වැටෙන රසවත් දෙසුම්, ගං හෝ ගලන වතුරකි

එයින් නැග එන තියුණු බස පිළිමලුන් එඩි සිඳ හෙළන කතුරකි

අසන් නන් - රසිකයන් මන් මත් කරන බලගතු දිවිය මතුරකි

සැනින් පසු බස්‌වමින් සතුරන් වහා ජය බිම දකින යතුරකි



නුවන් නළවන සුළුයි, සිය සුරතල් අනංගා වේස රූපය

දකින් නෝ ආදරය වෙති දිව ගගා රස බස්‌ මිහිරි පූපය

අහං කාරෙන් තොරව, විසි පස්‌ වසක්‌ තිස්‌සේ තුරුණු පාපය

අලං කාරයි කියා පෑ සැටි එයින් පිබිදුණි සිහල දීපය



තමන් සතු වූ ඇමැති තනතුරු රැගෙන ඔබ මුල් පුටුවෙ උන්නේ

විඳින්නට බැරි තැන දි, නො පණත් -අයුතු -නායක කුහක යන්නේ

පයින් ඇනලා කෙදිනකද? ඔබ මහජනයා මැදට පැන්නේ

එයින් පසුවයි ඔබේ නාමය ජගත් ඉතිහාසයට එන්නේ



බැලුන් බෝලය වගේ ඔබ ඔප වෙවී තව තව ඉහළ යන්නේ

එයින් ඔබ නොමගකට වැටුණොත් ඉදින් ලොකු අනතුරකි වන්නේ

අහිංසක ජනතාව මේ පෙළහරෙහි සිය අවි රැගෙන උන්නේ

වෙනින් යූ. ඇන්. පියක්‌ දැන්මට නොවේ ඔබෙ කඳවුරට එන්නේ



කෙළින් ඔබ පෙරමුණට පැමිණි තැනට නිසි පියවරකි ගත්තේ

නැවුම් පුසුඹක්‌ නොලද ඇතමෙක්‌, එහෙත් ඔබ අසලින්ම ඇත්තේ

එයින් ඔබෙ පරිසරය තවමත් සුපිරිසිදු බව පෙනෙනු නැත්තේ

ඔවුන් සෝදා තබනු යුතු වෙයි තිබෙන කටයුතු පිණිස මත්තේ



තවත් පසුබට නොවී "රතුබීතිකා" රෝගය හිතින් අස්‌ කොට

අයුක්‌තට මරු පහර දෙන අදහසින් එක්‌වී එකම පැත්තට

කළොත් පුළුවනි, එහෙම නැත්නම් යළිත් යන්නට වේවි පස්‌සට

තවත් කිව යුතු බොහෝ දේ ඇති නමුත් මතු ඉඩ තබමු සෙස්‌සට

මලල්ගොඩ ගේ කවි අනාගතය විනිවිද දකින සුළුය. එවා මට සිලිටු නැත. එඩිතරව සිය අදහස්‌ පළ කරන අතර විටෙක ඉතා කර්කෂය. එස්‌. මහින්ද හිමි ශෛලිය ට මඳක්‌ සමාන නමුත් විටෙක උපහාසය ඉක්‌මවා අපහාසය තෙක්‌ තල්ලු වී ඇති සැටි පෙනේ.

ලබන සතියට....
සෝමදාස අබේවික්‍රම

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.