අවසන් ගමනට දක්‌කාගෙන යනු ලබන
ශ්‍රී ලංකාවේ සීනි කර්මාන්තය
ඇතිදා සීනි නැතිදා ගෝනි!
ශ්‍රී ලංකාවේ සීනි කර්මාන්තයට මේ වන විට වසර 58 ක් ඉක්‌මවමින්
පවතී. අද ශ්‍රී ලංකාවේ සීනි අවශ්‍යතාව වසරකට මෙ. ටොන් 6,00,000
ක් පමණ වේ. 1977 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල සීනි පරිභෝජනය
වර්ෂයකට කිලෝ 9.3 ක් වූ අතර, සීනි ආනයනය කිරීම සඳහා වියදම්
කරන ලද මුදල රුපියල් මිලියන 167 ක් විය. අද ඒකපුද්ගල සීනි
පරිභෝජනය කිලෝ 32 දක්‌වා වැඩිවී ඇති අතර සීනි ආනයනය කිරීම සඳහා
2009 වර්ෂයේදී රජය වියදම් කරන ලද මුදල රුපියල් මිලියන 25,119
ක් විය. 2010 වර්ෂයේදී ලෝක වෙළෙඳපොළේ සීනි මිල මෙටි්‍රක්
ටොන් එකකට ඩොලර් 600 ක් පමණ වූ හෙයින් සීනි ආනයනය කිරීම සඳහා
වැය වූ මුදල දළ වශයෙන් රුපියල් මිලියන 35,000 ක් පමණ විය
හැකිය. 2001 ජනවාරි මාසය වන විට සීනි මෙටි්‍රක් ටොන් එකක මිල
ඩොලර් 780 ක් පමණ වන නිසා 2011 වර්ෂයේදී සීනි ආනයන වියදම
රුපියල් මිලියන 40,000 ක් පමණ විය හැකිය.
1994 වන විට දේශීය අවශ්‍යතාවෙන් 16% ක් මෙරට නිෂ්පාදනය කළ
නමුත් සීනි කර්මාන්තය පෞද්ගලීකරණය කිරීමෙන් පසු අද නිෂ්පාදනය
කරනුයේ දේශීය අවශ්‍යතාවෙන් 5% ක් පමණි.
1994 වර්ෂයේ සීනි නිෂ්පාදනය මෙ. ටොන් 72275
2009 වර්ෂයේ සීනි නිෂ්පාදනය මෙ. ටොන් 30655
2011 වර්ෂයේ සීනි නිෂ්පාදනය මෙ. ටොන් 30690
සීනි කර්මාන්තය රජයේ පාලනය යටතේ තිබූ අවධියේදී සිදු වූයේ,
ආණ්‌ඩු මාරුවන විට තට්‌ටු මාරු ක්‍රමයට දේශපාලන පත්වීම් ලබන
බොහෝ අධ්‍යක්‍ෂ මණ්‌ඩල, ආයතනයේ ඉදිරි දර්ශන/පරමාර්ථ/පැවැත්ම
පසෙකලා ඔවුන්ගේ සුඛවිහරණය සඳහා සීනි කර්මාන්තය අටවාගෙන ගියා
මිස කාලීන අවශ්‍යතා හඳුනා ගනිමින් නවීන තාක්‍ෂණය ඔස්‌සේ වැඩි
දියුණු කළේ නැත. එහෙත් සෙවනගල සීනි කර්මාන්තායතනය, ප්‍රාදේශීය
රාජ්‍ය දේශපාලන බලපෑම්, මරණීය තර්ජන මැද්දේ වුවද නිලධාරීන්ගේ
කැපකිරීම් මත විශාල මුදල් සංචිතයක් ද ඉතිරි කරගනිමින් මහා
භාණ්‌ඩාගාරයට පවා මුදල් ණයට දෙමින් 2002 වර්ෂයේ පුද්ගලීකරණය
කරන තෙක්‌ම උපරිම ධාරිතාවකින් කර්මාන්ත ශාලාව පවත්වාගෙන යමින්
ලාභදායකව පවත්වාගෙන යන ලදී.
සෙවනගල සීනි ආයතනය පුද්ගලීකරණය කරන ලද්දේ රාජ්‍ය දේපළ විකුණා
දැමීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට මිස, එය පාඩු
ලබන ආයතනයක් නිසා නොවන බව වගකීමෙන් අවධාරණය කළ යුතුව ඇත.
සෙවනගල සීනි කර්මාන්තායතනය පවත්වාගෙන යැමට තිබූ ප්‍රධාන සහ එකම
බරපතල බාධකය වූයේ රාජ්‍ය දේශපාලන බලපෑම පමණි. එහෙත් කන්තලේ සහ
හිඟුරාන සීනි කර්මාන්ත පවත්වාගෙන ගියේ පාඩු ලබමිනි. සමස්‌තයක්
වශයෙන් ගත් කල දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව සීනි කර්මාන්තය
පවත්වාගෙන යැමට ඉඩකඩ ලැබිණි නම් මේ දක්‌වාම එම ආයතන ලාභදායක
තත්ත්වයෙන් පවත්වාගෙන යැමට ඉඩ තිබිණි.
ශ්‍රී ලංකාවේ සීනි කර්මාන්තය ලාභදායකව පවත්වාගෙන යැමට රජයට
නොහැකිවීම නිසා පෞද්ගලීකරණ වැඩපිළිවෙළකට අවතීර්ණ වීමට තීරණය
කිරීම සම්බන්ධයෙන් අපි ඉතාමත්ම සතුටු වුණෙමු. ශ්‍රී ලංකාව සීනි
කර්මාන්තය සම්බන්ධයෙන් ඉතාමත්ම ළාබාල අවධියක පසුවුණ නිසා අප
විසින් යෝජනා කරනු ලැබුවේ සහ රජය විසින් කළ යුතුව තිබුණේ, සීනි
කර්මාන්තය පිළිබඳ ඉහළම කාර්මික ඥනයක් ඇති උසස් තත්ත්වයෙන්
සීනි කර්මාන්ත පවත්වාගෙන යනු ලබන විදේශික ආයෝජකයන්ට මෙම සීනි
කර්මාන්තශාලා ලබාදෙන ලෙසටය. එහෙත් ශ්‍රී ලංකාවේ සීනි කර්මාන්තය
සඳහා ආයෝජනය කිරීමට කැමැතිව සිටි විදේශික ආයෝජකයන් එදා
අධෛර්යවත් කළ දේශපාලනඥයන් අද නිහඬය. එහෙත් උක් කර්මාන්තය
පිළිබඳ කිසිදු කාර්මික ඥනයක්/අවබෝධයක් නොමැති දේශීය ආයෝජකයන්
අතට සීනි කර්මාන්තය පත් කිරීමෙන් අද ශ්‍රී ලංකාවේ සීනි
කර්මාන්තය කබලෙන් ලිපට වැටී ඇත.
1993 වර්ෂයේදී කන්තලේ සීනි ආයතනය පුද්ගලීකරණය කරන ලද නමුත් එය
උපන් ගෙයිම වළ දමන්නට සිදුවිය. 1993 වර්ෂයේදීම හිඟුරාන සීනි
ආයතනය පුද්ගලීකරණය කරන ලද නමුත් 1997 වර්ෂයේදී වැසී යන ලදී.
හිඟුරාන සීනි කර්මාන්තය යළි රජයට පවරා ගැනීමට නිසි බලධරයකු ලෙස
පත් කිරීමට පුද්ගලයකු සොයන අවස්‌ථාවේදී අප කියා සිටියේ හිඟුරාන
ආයතනය ගොඩනැඟීමට කළ යුතු එකම දෙය නම් සීනි කර්මාන්තය පිළිබඳ
උසස් කාර්මික ඥනයක් ඇති විදේශීය ආයෝජකයකුට මෙම ආයතනය ලබාදෙන
ලෙසටය. එහෙත් අපගේ හඬට සවන්දීමක් නොවීය. 2007 වර්ෂයේදී
හිඟුරාන සීනි කර්මාන්තය යළිත් දේශීය ආයෝජකයකු අතට පත් කර ඇත.
සීනි කර්මාන්තය පිළිබඳ නිපුණත්වයක් ඇති විදේශීය ආයතනයක් සමග
හවුල් වී කටයුතු නොකළහොත් හිඟුරාන ආයතනය ද යළිත් ඉක්‌මණින්
වැසී යනු ඇත.
රජය මේවායින්වත් පාඩම් ඉගෙන නොගෙන ලාභ ලබමින් තිබූ සෙවනගල සීනි
කර්මාන්තායතනයත් දේශපාලකයන් නිසා පාඩු ලබමින් තිබූ පැල්වත්ත
සීනි කර්මාන්තායතනයත් 2002 වර්ෂයේදී පුද්ගලීකරණය කරන ලදී.
වාර්ෂික සීනි නිෂ්පාදනය මෙ. ටොන්
| වර්ෂය |
පැල්වත්ත
සීනි
කර්මාන්තායතනය |
සෙවනගල
කර්මාන්තායතනය |
| 2000 |
43000 |
24396 |
| 2001 |
40000 |
20249 |
| 2009 |
21937 |
8718 |
| 2010 |
2218 |
8508 |
මේ වන විට කන්තලේ සීනි කර්මාන්තය වැසී ඇති
අතර, සෙවනගල සහ පැල්වත්ත සීනි කර්මාන්ත අවිධිමත් පාලනය නිසාම
අද ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින් සිටී. උක් පර්යේෂණායතනය
අපගේ අදහස් යෝජනා අනුව කටයුතු කර ඉන්දියානු උසස් උක්
ප්‍රභේද වාර්ෂිකව ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ නම් සහ පැවති
රජයන් සීනි කර්මාන්තය පෞද්ගලීකරණය කරන විට සීනි කර්මාන්තය
පිළිබඳ උසස් කාර්මික ඥානයක් ඇති විදේශීය ආයෝජකයන්ට ශ්‍රී
ලංකා සීනි කර්මාන්තය ලබාදුන්නේ නම් මේ වන විටත් ශ්‍රී ලංකාව
සීනි අතින් ස්‌වයංපෝෂිතවීමට බොහෝවිට ඉඩකඩ තිබිණි.
සෙවනගල සහ පැල්වත්ත සීනි කර්මාන්ත යළි ගොඩගැනීමට නොහැකි
තත්ත්වයකට දිනෙන් දිනම විනාශ මුඛය කරා ඇදෙමින් පවතී.
පුද්ගලීකරණ වැඩපිළිවෙළේදී ආයෝජකයන් විසින් ඉදිරිපත් කර ඇති හෝ
රජය විසින් ලබාදී ඇති හෝ දෙපාර්ශ්වයම එකඟ වූ ඉලක්‌ක සපුරාලීම
පිළිබඳ, රජය විසින් සොයා බැලුවේ නම් සහ අවශ්‍ය අවස්‌ථාවන්හිදී
ඒවාට නිසි පිළියම් යෙදුවේ නම්, සීනි කර්මාන්තය අද මෙවන්
තත්ත්වයකට පත් නොවනු ඇත. එහෙත් මෙයට විසඳුම පැල්වත්ත සහ සෙවනගල
සීනි කර්මාන්ත නැවත රජයට පවරා ගැනීම නොවන බව ද අවධාරණය කළ
යුතුව ඇත.
ශ්‍රී ලංකාවේ සීනි කර්මාන්තය නංවාලීමට පැවති රජයන්ට වැරැදි
සැලසුම් හා උපදෙස් ලබාදුන් ආයතන සහ උපදේශකයන් සීනි කර්මාන්තයට
සිදුව ඇති විනාශය පිළිබඳ වගකිවයුතු අතර, ඔවුන්ට ලැ-ජාවක්
ඇත්නම් ලැ-ජාවට පත්විය යුතුය. ශ්‍රී ලංකාවට ආසන්නතම රටක් වූ
ඉන්දියාවේ උක් කර්මාන්තය පිළිබඳ, පැවති රජයන් ආදර්ශයට ගත්තා
නම් සහ අප විසින් ජනාධිපතිතුමාට පිටපත් සහිතව වරින්වර
පුවත්පත්වලට යොමු කරන ලද ලිපි කෙරෙහි ජනාධිපතිතුමාගේ අවධානය
යොමු විණි නම් සහ ඒ ගැන සැලකිලිමත් වී නම් ශ්‍රී ලංකා සීනි
කර්මාන්තයට මෙවැනි විනාශයක් සිදු නොවන්නට ඉඩ තිබිණි.
ශ්‍රී ලංකාවේ ජනගහනය මෙන් අසූ ගුණයක ජනගහනයක් එනම් කෝටි 165 ක
ජනගහනයක් ඇති ඉන්දියාවේ උක් කර්මාන්තය ව්‍යාප්ත වීමට පටන්
ගත්තේ 1930 වර්ෂයෙන් පසුවය. ඒ වන විට ඉන්දියාවේ කුඩා උක්
කර්මාන්ත ශාලා 29 ක් තිබිණි. එවකට සීනි නිෂ්පාදනය මෙ. ටොන්
1,20,000 ක් වීම නිසා වසර ගණනාවක්‌ම ඉන්දියාවේ පාරිභෝජනය සඳහා
වෙනත් රටවලින් සීනි ගෙන්වීමට සිදුවිය. 1950 වර්ෂය වන විට එනම්
වසර 20 ක් තුළ ඉන්දියාව සීනි මෙ. ටො. 11,39,000 ක් නිෂ්පාදනය
කරමින් 849% ක ප්‍රගතියක් ලබාගනිමින් සීනිවලින් ස්‌වයංපෝෂිත
විය. 1930 වර්ෂයේදී හෙක්‌ටයාරයකට මෙ. ටොන් 30 ක් වූ උක්
අස්‌වැන්න 40 දක්‌වා වැඩි විය. 1957 වර්ෂයේදී සීනි පිටරටට යවන
රටක් ලෙසට ඉන්දියාව ලෝක වෙළෙඳපොළට ඇතුළු විය. ලෝකයේ සීනි
නිෂ්පාදනය සඳහා උක් කර්මාන්තයේ යෙදෙන රටවල් 114 ක් පමණ ඇති
අතර එම රටවල් අතුරින් පළමු/දෙවන ස්‌ථානය ලැබෙනුයේ ඉන්දියාවටය.
ලෝකයේ වැඩිම හෙක්‌ටයාර ප්‍රමාණයක් උක් වවන රට ද ඉන්දියාවය.
ඉන්දියාව මෙවන් දියුණුවකට පත් වූයේ ශ්‍රී ලංකාව මෙන් "සීනි"
දේශපාලන භාණ්‌ඩයක් බවට පත් නොකොට 1932 වර්ෂයේදී ඇති කරන ලද
ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සහ ලෝකයේ උසස්‌ම අභිජනන
මධ්‍යස්‌ථාන දෙකෙන් එකක් වූ ඉන්දියාවේ කොයිම්බැටුර් උක්
අභිජනන මධ්‍යස්‌ථානයේ වැඩිදියුණු කළ නව උක් ප්‍රභේද වාණිජ ලෙස
වගා කිරීම සඳහා යොදා ගැනීම තුළිනි. වරක් උක් සිටුවූ පසු අවම
වශයෙන් වසර 06 ක් වත් උසස් අස්‌වනු ලැබෙන උක් ප්‍රභේද ඔවුන්
වගා කරනු ලබයි. මේ හේතුව නිසා 1930 වර්ෂයේ හෙක්‌ටයාරයකට මෙ.
ටොන් 30 ක් වූ උක් අස්‌වැන්න මේ වන විට 71 දක්‌වා වැඩිවී ඇත.
ශ්‍රී ලංකාවේ උක් කර්මාන්තයේ නිස්‌සාරණය කළ හැකි සීනි
ප්‍රමාණය 8.5% ටත් වඩා අඩු වුවත් සමස්‌ත ඉන්දියාවේ සාමාන්‍ය
අගය 10.5% ක් වේ. මේ වන විට ඉන්දියාවේ උක් කර්මාන්තශාලා
සංඛ්‍යාව 566 දක්‌වා වැඩිවී ඇති අතර සීනි නිෂ්පාදනය මෙ. ටොන්
මිලියන 22 දක්‌වා වැඩි වී ඇත.
ශ්‍රී ලංකාවේ උක් කර්මාන්තයට ඉන්දියාවේ නව උක් ප්‍රභේද
වසරින් වසර ගෙන්වා ගත යුතු බව අප පෙන්වා දුන්නේ 1980 වර්ෂයේය.
උක් පර්යේෂණ ආයතනයට සහ CARඡ ආයතනයට මේ බැව් වරින්වර සිහි
කැඳවනු ලැබුවත් මේ දක්‌වාම කිසිදු ප්‍රතිඵලයක් නොවීය. දැනට
ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් වවනු ලබන උක් ප්‍රභේද වනුයේ දැනට
වසර 60 කට පමණ පෙර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ඉන්දියාවෙන්
ගෙන්වන ලද Cධ 775 උක් වර්ගය සහ වසර 23 කට පමණ පෙර පැල්වත්ත
සීනි කර්මාන්තය පාලනය කළ බුකර්ස් ආයතනය මැදිහත්වීම මත මුරිසි
දිවයිනෙන් ගෙන්වන ලද ඵ 438/59 යන උක් ප්‍රභේදයන් වේ. මෙම උක්
ප්‍රභේද අද එම රටවල් වගා කිරීමෙන් ඉවත් කර ඇත්තේ දැනට සෑහෙන
කාලයකට පෙරය. ඉහත කී උක් ප්‍රභේද දීර්ඝ කාලයක් තිස්‌සේ වගා
කිරීම නිසා උසස් ගතිගුණ හීන වී රෝග පලිබෝධයනට ගොදුරුවීමේ
නැඹුරුතාව වැඩි වී ඇත. එම හේතූන් මතම ලබාගත හැකි උක්
අස්‌වැන්න ප්‍රමාණය ද 30% කින් පමණ අඩුවී ඇති අතර උක්
සිටුවීමෙන් පසු වර්ෂ දෙකකට තුනකට වඩා ඵලදායී අස්‌වැන්නක්
නොලැබෙන නිසා ගොවීන් ශීඝ්‍ර ලෙස උක් වගාවෙන් ඈත් වෙමින් සිටී.
අලුතින් හෙක්‌ටයාරයක උක් වගා කිරීමට රු. 60,000 ක පමණ මුදලක්
වියදම් වන නිසා ගොවි මහතුන්ට අවශ්‍යව ඇත්තේ උක් වගාවකින් අඩු
තරමින් වසර පහක් හෝ හයක් උසස් අස්‌වැන්නක් ලබාගත හැකි රෝග
පලිබෝධයනට මනාව ඔරොත්තු දෙන උක් ප්‍රභේදයන් වේ. අලුතින් උක්
ප්‍රභේදයන් හඳුන්වා දීමට වසර 10 - 12 ක් ගත වන අතර එම උක්
ප්‍රභේදය වසර කිහිපයක් වාණිජව වගා කරන තෙක් එහි හොඳ නරක කීමට
නොහැකිය.
ශ්‍රී ලංකාවේ වසර 47 ක අභිජනන පර්යේෂණවලින් උසස් උක් ප්‍රභේද
ලබාදීමට උක් පර්යේෂණ තවමත් අපොහොසත් වී ඇති බැවින් ශ්‍රී
ලංකාවේ අභිජනන කටයුතුවලින් උසස් උක් ප්‍රභේද ලැබෙන තෙක් බලා
නොසිට ගොවීන් /උක් කර්මාන්තය බලාපොරොත්තු වන තත්ත්වයේ උසස්
ගුණාංග ඇති බවට ප්‍රායෝගිකව පෙන්වා දී ඇති උක් ප්‍රභේදයන් සෑම
වසරකම ඉන්දියාවෙන් ගෙන්වා ඇති දැඩි කර ගැනීම කළ යුතුව තිබුණේ
මීට වසර 30 කට පමණ පෙරය. අද සීනි කර්මාන්ත පාලනය කරන දේශීය
ආයෝජකයන්ට මේවා ගැන තවමත් කිසිදු අවබෝධයක් නැත. එහෙත් උක්
පර්යේෂණ ආයතනය පවසන්නේ, උක් පර්යේෂණ ආයතනය දේශීය අභිජනන
තාක්‍ෂණය තුළින් නිදහස් කර ඇති උක් ප්‍රභේද විදේශීය උක්
ප්‍රභේදවලට දෙවැනි නොවන බවයි. එහෙත් එය සත්‍යයක් නොවේ. උක්
පර්යේෂණ ආයතනය කියන දෙය සත්‍ය නම් දේශීය උක් කර්මාන්තය අද
වැළලී යන තරමටම පත්ව ඇත්තේ ඇයි? ඉන්දියාවෙන් වැඩිදියුණු කළ
උක් ප්‍රභේද ගෙන්වා ගැනීමෙන් උක් පර්යේෂණ ආයතනයට මදි
පුංචිකමක්‌වේ යෑයි උක් පර්යේෂණය නොසිතිය යුතුය.
ඉන්දියාවේ කොයිම්බැටූර් උක් අභිජනන මධ්‍යස්‌ථානයෙන් නිදහස්
කරන ලද වැඩි දියුණු කළ උක් ප්‍රභේද අද ලෝකයේ රටවල් 26 ක පමණ
වගා කරනු ලබයි. උක් පර්යේෂණ ආයතනය නිදහස් කරන ලද වැඩිදියුණු
කළා යෑයි කියනු ලබන නව උක් ප්‍රභේද උසස් තත්ත්වයේ නම් ඒවා
ලෝකයේ කිසිදු රටක වගා නොකරන්නේ ඇයි? පිටරටින් ඒවාට ඉල්ලුමක්
නැත්තේ ඇයි? 1989 වර්ෂයේදී දේශෙද්‍රdaහීන් විසින් විනාශ කළ
සියඹලාණ්‌ඩුව සීනි සමාගමේ බන්සාල් මහතා විසින් ඉන්දියානු උක්
ප්‍රභේද දහයක තවානක් නඩත්තු කළේ ඇයි? පැල්වත්ත සීනි
කර්මාන්තායතනය පාලනය කළ සමාගම විසින් ඵ 438/59 මුරිසි
දිවයිනෙන් ගෙන්වූයේ ඇයි?
පැල්වත්ත සීනි කර්මාන්තායතනය පාලනය කළ චීන සමාගම විසින් චීන
උක් වර්ග පහක තවානක් පවත්වාගෙන ගියේ ඇයි?
ඉන්දියාව සමග උක් පර්යේෂණ ආයතනය ඉතා ළඟින්ම සම්බන්ධතාවක්
නොපවත්වන බව පෙනෙන නිසා වැඩිදියුණු කළ ඉන්දියානු උක් ප්‍රභේද
ගෙන්වා ගැනීම උක් පර්යේෂණ ආයතනයට තනිවම කළ නොහැකි බව පෙනේ.
ශ්‍රී ලංකාවේ උක් කර්මාන්තය රැක ගැනීමට අවශ්‍ය නම්,
ජනාධිපතිතුමා විසින් කළ යුත්තේ ඉන්දියානු රජය සහ මුරිසි දිවයින
රජය සමග ජනාධිපතිතුමාම සාකච්ඡා කොට වැඩිදියුණු කළ උක් ප්‍රභේද
වාර්ෂිකව ගෙන්වා ගැනීමට අවශ්‍ය පසුබිමක් සකසා දීම වේ.
2009 වර්ෂයේ ශ්‍රී ලංකාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය පිටරටින්
ගෙන්වීම සඳහා රුපියල් බිලියන 113 පමණ වියදම් වී ඇති අතර එයින්
රුපියල් බිලියන 25 ක පමණ එනම් 22% ක මුදලක් වියදම් වී ඇත්තේ
සීනි පිටරටින් ගෙන්වීමටය. කරුණු මෙසේ තිබියදී දැනට වසර
කිහිපයකට පෙර දී උක් බෝගය අතුරු බෝගයක් ලෙස නම් කර තිබීම
විහිළුවට කරුණකි. සීනි කර්මාන්තය වැවිලි කර්මාන්තය යටතේ නම් කළ
යුතු වුවද සීනි ඇටයක්‌වත් පිටරටට නොයවන සීනි කර්මාන්තය අද
ඇත්තේ සුළු අපනයන බෝග සංවර්ධන අමාත්‍යාංශය යටතේය. මින්
පැහැදිලිව පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ සීනි කර්මාන්තය පිළිබඳ
කිසිවකුට අවබෝධයක් නොමැති බව සහ සීනි කර්මාන්තය වැඩිදියුණු
කිරීමට කිසිවකුටත් අවශ්‍යතාවක් නොමැති බවය. සීනි කර්මාන්තය
ඇතුළත් කළ යුතු අමාත්‍යාංශය කුමක්‌ද යන්න තෝරා බේරාගත නොහැකි
පාලකයන්ට ශ්‍රී ලංකාවේ සීනි කර්මාන්තය නඟාසිටුවිය හැකිද? එසේ
කිරීමට ඇත්තෙන්ම අවශ්‍යතාවක් ඇද්ද? යන්න තීරණය කිරීම කාලයට
භාර කරමු. ඉන්දියාව ගත් කල කපු කර්මාන්තයට දෙවැනි තැනක් ගත්තේ
සීනි කර්මාන්තයයි. ඉන්දියාවේ ග්‍රාමීය ගොවි පවුල් මිලියන 50 කට
වැඩි ප්‍රමාණයක් දැනට උක් වගාවේ යෙදෙන අතර, උක් කර්මාන්තය
නිසා ලැබෙන අතුරු ඵල අමුද්‍රව්‍ය ලෙස භාවිත කරමින් වෙනත්
කර්මාන්ත 25 කට වැඩි ප්‍රමාණයක් ඇත. එබැවින් උක් කර්මාන්තය
ඉන්දියාවට සම්පතකි. ශ්‍රී ලංකාවේ උක් වැවීමට සුදුසු හෙක්‌ටයාර
200000 ක් පමණ බිම් ප්‍රමාණයක් උක් පර්යේෂණායතනය විසින්
හඳුනාගෙන ඇත. ඉන්දියාවටත් වඩා උක් වැවීමට සුදුසු පසක්,
දේශගුණයක් ශ්‍රී ලංකාවේ ඇතත්, මේ වන විට උක් වගා කරනුයේ
හෙක්‌ටයාර් 10000 කටත් වඩා අඩු ඉඩම් ප්‍රමාණයකය. ඉතිරිව ඇති
හෙක්‌ටයාර 190000 ක බිම් ප්‍රමාණය සීනි කර්මාන්තය පිළිබඳ ඉහළ
ඥනයක් ඇති විදේශ ආයෝජකයන් සම්බන්ධ කරගෙන උක් වවා අසරණ දුක්
විඳින ග්‍රාමීය ජනතාව මිලියන දෙකකට පමණ පිරිසකට සෙත සලසනවාද? ඒ
වගේම දැනට සීනි ආනයනය කිරීම සඳහා පිටරටට යවන මුදල් කන්දරාව
ඉතිරි කර අවම වශයෙන් අතිරික්‌ත විය හැකි සීනි මෙ. ටොන් 200000
පමණ ප්‍රමාණය පිටරට යවා විදේශ විනිමය උපයනවාද? නැතහොත් සීනි
මාෆියාව තවදුරටත් පවත්වාගෙන යමින් පිටරටට තව තවත් ණයගැති
වනවාද? යන්න තීරණය කිරීම රජයට භාර කරමි.
පී. කේ. රණසිංහ
පැල්වත්ත හා සෙවනගල සීනි කර්මාන්තායතනයේ
හිටපු උපදේශක, හිටපු සාමාන්‍යාධිකාරි