ධනේශ්වරය හා සිංහල බෞද්ධ ආධිපත්‍යය

අද වනවිට මෙරට බොහෝ මාක්‌ස්‌වාදීන්ගේ ප්‍රධාන සතුරා වී ඇත්තේ ධනවාදය නොව සිංහල බෞද්ධ සමස්‌ත ආධිපත්‍යය. මාක්‌ස්‌වාදීන් විශාල පිරිසක්‌ ධනවාදී රටවලින් යෑපෙන්නන් බවට පත්වී ඇත්තේ ඓතිහාසික භෞතිකවාදයට එකඟව දැයි ඔවුන් අපට තේරුම් කර දෙන්නේ නම් මැනවි. සමහරවිට ඔවුන්ගෙන් සමහරකු ධනවාදී රටවල් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් බවට පත් කිරීමට ඒ රටවලට ගොස්‌ තිබෙනවා විය හැකිය. ධනවාදී රටවලින් යෑපෙමින් සමාජවාදය කතා කිරීම තරුණයන්ගේ භාෂාවෙන් නම් ආතලයක්‌ විය හැකිය. මේ මාක්‌ස්‌වාදීන්ට ඒ ඒ කාලයේදී ධනවාදී රටවල කාගෙන් යෑපුණ ද කමක්‌ නැත. ඔවුන් පරෙස්‌සම් වනුයේ සිංහල බෞද්ධ සමස්‌ත ආධිපත්‍යයේ ගැලවීම හා එයින් ස්‌වායත්ත වීමය.

අද ඔවුන් බොහෝ දෙනකුට ධනවාදය ප්‍රධාන සතුරා නොවේ. ඔවුන්ගේ වත්මන් ප්‍රධාන සතුරා සිංහල බෞද්ධ සංස්‌කෘතිය ය. අනේපිඬු සිටාණන් අද ජීවත්ව සිටියේ නම් මේ අය එතුමාට විරුද්ධව ලිප්ටන් වටරවුමේ හෝ කොටුව දුම්රියපොළ අසල හෝ පිකට්‌ටුවක්‌ පවත්වනු නිසැකය. ඒ අනේපිඬු සිටුතුමා ධනපතියකු වීම නිසා නොවේ. ධනවාදය බිහිවීමට පෙර ධනපතියන් සිටිය නොහැකි බව මොවුන් අතර සිටින පඬියන් පවසනු ඇත. අනේපිඬු සිටුතුමා

ඡේතවනයට වියදම් කළ කහවනු හා අනාථයන්ට පිහිටවීම පිළිබඳ ඔවුන්ට ප්‍රශ්න තිබීම අනිවාර්යය වෙයි.

මෙරට සමාජය සිසාරා යන සිංහල බෞද්ධ සමස්‌ත ආධිපත්‍යයක්‌, ඔවුන්ගේ බසින් (නැත, ඔවුන් විසින් අනුකරණය කෙරෙන ග්‍රැමිස්‌කි නම් මාක්‌ස්‌වාදියාගේ බසින්) නම් සිංහල බෞද්ධ හෙජමනියක්‌, ඇතැයි ඔවුහු කියති. මේ සිංහල බෞද්ධ සමස්‌ත ආධිපත්‍යයක්‌ ගැන මෙරට මුල් කාලීන මාක්‌ස්‌වාදී නායකයෝ කතා නොකළහ. පිලිප් ගුණවර්ධන, ඇන්. ඇම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා, ලෙස්‌ලි ගුණවර්ධන ආදීන්ට සිංහල බෞද්ධ සමස්‌ත ආධිපත්‍යයක්‌ වී යෑයි නොසිතමි. එවැනි ආධිපත්‍යයක්‌ ගැන ඇතැම් විට ඩොරික්‌ ද සූසාට නම් ප්‍රශ්නයක්‌ වීමට තිබිණි. පසුකාලීනව මාක්‌ස්‌වාදීන් ලෙස සිටි අනගාරික ධර්මසේකරතුමා වැන්නන්ට ද සිංහල බෞද්ධ සමස්‌ත ආධිපත්‍යයක්‌ නොවීය.

සිංහල බෞද්ධ සමස්‌ත ආධිපත්‍යයක්‌ ගැන කතා කරන, එකල කතා කිරීමට ඉඩකඩ තිබූ අය කොටස්‌ තුනකට බෙදිය හැකිය. ඒ වර්ගීකරණය සර්වසම්පූර්ණ යෑයි නොකියමි. එසේ වුවත් අපට දළ වශයෙන් මේ පිරිස්‌ හඳුනාගත හැකි ය. සිංහල බෞද්ධ සමස්‌ත ආධිපත්‍යයක්‌ ගැන කතා කරන නිර්මාක්‌ස්‌වාදී පඬියන් කිහිප දෙනකු ද මෙරට දැකිය හැකිය. මේ අය වචනයේ පරිසමාප්තයෙන්ම පඬියෝ වෙති. චින්තකයෝ වෙති. එහෙත් මොවුන් නොකරන එකම දෙය ද සිතීමය. කල්පනා කිරීම ය. ඔවුහු උපන් ගෙයි අනුකාරකයෝ වෙති. තමන්ට හරිහැටි නොතේරෙන ඉංගිරිසි පොත් කියවා එහි ඇති සංකල්ප, අදහස්‌ තමන් තේරුම් ගත් ආකාරයෙන්, ඔවුන්ගේ පඬි බසින් කියන්නේ නම් ඔවුන්ගේ කියෑවීම අනුව (මේ ඊනියා කියෑවීම යනු බොහෝ විට තේරුම් නොගැනීමකි) තමන් තරමටවත් ඉංගිරිසි උගත්කමක්‌ නැති ඊනියා සිංහල පාඨකයාට හඳුන්වාදීමට ඔවුහු රුසියෝ වෙති. ඔවුහු ඉංගිරිසියෙන් නො ලියති. එසේ ලිවීමෙන් වැළකීම ඔවුන්ගේ ද ඉංගිරිසි භාෂාවේ ද සුබ සිද්ධියට හේතුවෙයි.

මාක්‌ස්‌වාදීන් අතර ද මේ පඬියන් දැකිය හැකිය. ඔවුන් මාක්‌ස්‌වාදීන් වී ඇත්තේ තම හීනමානය හේතුකොට ගෙනය. මාක්‌ස්‌වාදීන් වීමෙන් සමාජයේ වැදගත් තැනක්‌ අත් කර ගත හැකි යෑයි ඔවුහු සිතති. අනෙක්‌ අයගේ කතාබහට ලක්‌වීම සඳහා ඔවුහු මාක්‌ස්‌වාදීන්, පශ්චාත් මාක්‌ස්‌වාදීන් ලෙස පෙනී සිටිති. කලක්‌ මාක්‌ස්‌වාදීන්ව සිට දැන් ඊනියා පශ්චාත් නූතනවාදීන් බවට පත්ව සිටින්නෝද මේ ගණයට අයත් වෙති. මුළු රටේම සිටින මේ සියලු පඬියන්ගේ (පශ්චාත් මාක්‌ස්‌වාදීන්ද ඇතුළු මාක්‌ස්‌වාදීන්, මාක්‌ස්‌වාදීන්ව සිටියත්, පශ්චාත් නූතනවාදීන්, ප්‍රබුද්ධයන්) සංඛ්‍යාව දහස නොඉක්‌මවයි. අප කතා කරන්නේ මාක්‌ස්‌වාදීන් ගැන වුවත් මේ සියලු පඬියෝ එකම නැකතක ඉපදුණෝ වෙති. ඔවුන් නැකත යෑයි කුමක්‌ දැයි නොදන්නේ යෑයි කීවත් ඔවුන් නැකැත් ගැන විශ්වාසයක්‌ නැතැයි කීවත් මෙහිදී ප්‍රශ්නයක්‌ කරගත යුතු නොවේ.

මේ පඬියන්ට අසරණ ජනයාට පිහිට වීමේ අවශ්‍යතාවක්‌ නැත. ඔවුන්ට රාජ්‍ය බලය ලබා ගැනීමේ අවශ්‍යතාවක්‌ ද නැත. රාජ්‍ය බලය ලබා නොගෙන අසරණයන්ට පිහිටුවීමට ද ඔවුහු ඉදිරිපත් නොවෙති. මොවුන් අනේපිඬු සිටුතුමාගේ අනාථපිණ්‌ඩික භාවය නුරුස්‌සන්නේ එබැවිනි. පඬියන්ට අවශ්‍ය මේ සමාජයේ වැජඹීමය. අනෙක්‌ මිනිසුන් අතර පඬියන් සේ කැපී පෙනීමය. ඔවුන් සිංහල බෞද්ධ සමස්‌ත ආධිපත්‍යයක්‌, ඊනියා හෙජමනියක්‌ ගැන කතා කරන්නේ අඩුම තරමින් ඔවුන් ඇතැයි කියන එම ආධිපත්‍යයන් මිදීමටවත් නොවේ. ඔවුන් ඇතැයි කියන හෙජමනියක්‌ නැතිවීම ඔවුන්ගේ වාසියට හේතුවෙයි. නැති හෙජමනියක්‌ නැති කිරීමට නොහැකිය. එබැවින් ඔවුන්ට සැමදාමත් හෙජමනිය ගැන කතා කරමින් සිටිය හැකිය.

මාක්‌ස්‌වාදීන් අතර අපට කතා කිරීමට ඇත්තේ මේ පඬියන් ගැන නොව සිංහල බෞද්ධ සමස්‌ත ආධිපත්‍යයක්‌ හෙවත් හෙජමනියක්‌ ගැන කතා කරන අනෙක්‌ අය ගැනය. පිලිප් ගුණවර්ධන මහතා ඇතුළු මුල් මාක්‌ස්‌වාදීන්ට අරමුණු දෙකක්‌ විය. එකක්‌ බිරිතානි ආධිරාජ්‍යවාදයෙන් (අප කියන අයුරින් බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයෙන් නොවේ) නිදහස ලබා ගැනීම ය. අනෙක මෙරට අසරණ දුගී දුප්පත් ජනයාගේ ජීවන තත්ත්වය නගාසිටුවීම ය. ඒ සඳහා ධනවාදය නැති කර සමාජවාදය ස්‌ථාපිත කිරීම ඔවුන්ගේ බලාපොරොත්තුව විය. ඔවුහු ඒ සඳහා ක්‍රියා කිරීමට මෙයින් අවුරුදු හැත්තෑපහකට පෙර ලංකා සමසමාජ පක්‍ෂය පිහිටුවූහ. ඔවුන්ගෙන් ඇතැමෙක්‌ ඒ සඳහා බොහෝ දේ කැප කළහ. මෙහිදී විශේෂයෙන් ම පිලිප් ගුණවර්ධන මහතා කැපී පෙනෙයි. ඔහු සමසමාජ ව්‍යාපාරයේ න්‍යායික නායකත්වය ද ඉසුලූ බව රෙජී සිරිවර්ධන පවසා ඇත. අනුන්ගේ යහපත වෙනුවෙන් තමන්ගේ පෞද්ගලික අපේක්‍ෂා, ධනය, නිදහස, ශ්‍රමය ආදිය කැප කිරීම බෝධිසත්ව චර්යාවකි. පැරැණි සමසමාජ නායකයන් අතර බෝධිසත්වයන් සිටියේ යෑයි මම නොකියමි. එහෙත් ඔවුන්ගෙන් ඇතැමෙකුට බෝධිසත්ව ලක්‍ෂණ විය.

එහෙත් ඔවුන් දැන සිටි ආකාරයට තම අරමුණු ඉටු කර ගැනීම සඳහා තිබුණේ මාක්‌ස්‌වාදයය. වෙනත් වචනවලින් කිවහොත් තම අරමුණ ඉටු කර ගැනීමට ඔවුහු මාක්‌ස්‌වාදයේ සරණ පැතූහ. එහෙත් එහිදී පිලිප් ගුණවර්ධන මහතා අනෙක්‌ සමසමාජ නායකයන්ගෙන් වෙනස්‌ විය. අනෙක්‌ සමසමාජ නායකයන් බොහෝ විට අධිරාජ්‍ය විරෝධීන් වූයේ යුරෝපයට, විශේෂයෙන්ම එංගලන්තයට යැමෙන් පසුවය. ලංකාවේදී ඔවුන් අධිරාජ්‍ය විරෝධී අරගලයක යෙදුණු බවට සාක්‍ෂි ඇතැයි සිතිය නො හැකිය. එංගලන්තයේදී සෘජුව ම යටත් විජිතවාදීන්ගේ අසාධාරණයට මුහුණ දීමට ඔවුන්ට සිදු විය. එමගින් ඔවුන් සමාජවාදය පිළිගත් හැරල්ඩ් ලැස්‌කි වැනි මහාචාර්යවරුන් ඔස්‌සේ මාක්‌ස්‌වාදයට ප්‍රවිශ්ට වූ බවපෙනී යන කරුණකි. එහෙත් පිලිප් ගුණවර්ධන මහතා එසේ නොවීය. ඔහුගේ අධිරාජ්‍ය විරෝධය තිඹිරිගෙහි ම ආරම්භ වූවක්‌ විය. බොරළුගොඩ රාළහාමිගේ පුතා ලෙස ඔහුට සුද්දන්ගේ නොපණත්කම් ගැන අවබෝධයක්‌ ළදරු වියේ සිටම විය. පිලිප් ගුණවර්ධන මහතා අධිරාජ්‍ය විරෝධියකු වූයේ දේශීයවම ය. අනෙක්‌ සමසමාජ නායකයන්ට මෙන් අධිරාජ්‍ය විරෝධී වීම සඳහා බටහිරට යැමට ඔහුට අවශ්‍ය නොවීය.

කෙසේ නමුත් මේ අනෙක්‌ නායකයන් බටහිsර රටවලට යැමට පෙර මෙරට සිංහල බෞද්ධ සංස්‌කෘතියට විරුද්ධවීමට දේශපාලන අවශ්‍යතාවක්‌ නොවීය. අවශ්‍ය නම් ඔවුන් මෙරට ප්‍රභූ හා අර්ධ ප්‍රභූ පවුල්වලට අයත් වී යෑයි කිව හැකි ය. ඔවුන් සිංහල බෞද්ධ සංස්‌කෘතියෙන් ඈත්විණි නම් ඒ බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයේ ඊනියා අනාගාමික, එහෙත් පසුබිමින් ක්‍රිස්‌තියානි වූ දැනුම අඩංගු පොතපත කියවීමෙන් ව්‍යාජ අනාගාමිකයන් වීමෙන් පසුව ය. මේ දෙවැනි කොටසට අමතරව ඊනියා මාක්‌ස්‌වාදී සමාජවාදයට උරුමකම් කී තවත් කොටසක්‌ විය. ඔවුහු ග්‍රාමීයව හෝ අර්ධ නාගරිකව හෝ යම් යම් පීඩනවලට ලක්‌වූවෝ වෙති. ඔවුන් සමාජ අසාධාරණය දුටුවේ තමන් කේන්ද්‍රකර ගෙන ය. ඔවුන්ගේ සමාජ අසාධාරණයට ක්‍ෂණික හේතුව ලෙස ඔවුන් දැක්‌කේ සිංහල බෞද්ධ සංස්‌කෘතිය ය. විශේෂයෙන්ම කුලය නිසා යම් යම් පීඩනවලට ලක්‌වූවෝ එසේ සිතූහ. ඔවුන් මාක්‌ස්‌වාදීන් ලෙස ධනවාදයට විරුද්ධ වුව ද හදවතින් ඔවුන්ගේ විරුද්ධත්වය වූයේ සිංහල බෞද්ධත්වයට ය. ඔවුන්ට සිංහල බෞද්ධ හෙජමනිය යන පාරිභාෂිත පදය ලැබීමෙන් පසු ඔවුහු ඒ පසුපස දිව ගියහ. ඔවුන්ගේ ධනේශ්වර විරෝධය යන්න සිංහල බෞද්ධ හෙජමනි හෙවත් සිංහල බෞද්ධ සමස්‌ත ආධිපත්‍යය විරෝධය බවට පත් විය. මෙහි වඩාත්ම සරදම වූයේ සිංහල, බෞද්ධ කුල ක්‍රමය සුළුවෙන් වුවත් කුල භේදයක්‌ බවට පත් වූයේ ඉංගිරිසීන් ඇතුළු බටහිරයන්ගේ බලපෑමෙන් වීමය. සිංහලයන් අතර එසේ ඇති වූ කුල භේදය ද අවසාන වශයෙන් ගත් කල බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයේ ප්‍රතිඵලයක්‌ විය. එහෙත් සිංහල බෞද්ධ සමාජයෙහි කුල භේදය ක්‍රියාත්මක වන ආකාරයට වඩා ඉතා දරුණු අන්දමින් ක්‍රියාත්මක වන හින්දු සමාජයේ විරෝධතාව ඇති වූයේ දෙමළ හින්දු සංස්‌කෘතියට නොව ඊනියා සිංහල බෞද්ධ හෙජමනියට මය.

(මතු සම්බන්ධයි)

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.