මැරුණත් සැපයි පස්‌ පාගා විජිත පුරේ


අසිපත බඳෙහි දුණු හී ගෙන පුරුදු උරේ

හඬවා කඩොල් ඇතු පිට ජය මිහිඟු බෙරේ

පරදා දමන ලද බල සෙන් උතුරු කරේ

මම පිය නගමි බලකොටුවට විජිත පුරේ



කඩුවට කඩුව පා දී මුහුණට මූණ

හෙල්ලට හෙල්ල ගටමින් හෙණ හඬ පාන

ඊ තල වැසිවලින් වනසා රුපු රෑන

මෙතැනයි ගැමුණු රජ ජයගත් රජ දාන



අරඹා සතුරු සෙන් අතුගා දමන පොරේ

මගෙ රට රැකීමට පෙළඹුණු අතර තුරේ

විරුවන්ගේ ලෙයින් තෙත් වුණු දකුණු කරේ

මැරුණත් සැපකි පස්‌ පාගා විජිත පුරේ


එළාර - දුටුගැමුණු සටනේදී එළාරගේ බලකොටුව වශයෙන් පැවැති විජිතපුරය පිළිබඳව විජිතපුර රජමහා විහාරාධිපති හල්මිල්ල වැවේ ශ්‍රී ධම්මාරාම හිමියන් විසින් ලියූ කව් කිහිපයකි ඒ.

ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාවගේ සිත් සතන් තුළ සැදැහැ බැති වඩවන, දැ අබිමන් දනවන ඉපැරණි බෞද්ධ විහාරස්‌ථාන අතර විජිත පුර රජමහා විහාරයට අද්විතීය ස්‌ථානයක්‌ හිමි වේ.

අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ, ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ උතුරු කලාගම් කෝරළයේ හැට හය තුලානේ පිහිටි මෙම විහාරස්‌ථානය අනුරාධපුරය කරා ඇදී යන දහස්‌ සංඛ්‍යාත බැතිමතුන්ගේ වන්දනාමානයන්ට නිරතුරු පාත්‍ර වේ.

මහා වංශය දීප වංශය, ථූප වංශය, සද්ධර්මාලංකාරය වැනි ඓතිහාසික මූලාශ්‍ර අනුව සලකා බලන විට විජිතපුරයේ ආරම්භය ශ්‍රී ලංකාවේ ආර්ය ජනාවාස පිහිටුවීම තෙක්‌ දිව යයි. විජය රජුගේ විජිත නම් ඇමැතිවරයාත් භද්ධකච්ඡායනාවගේ විජිත නම් සොහොයුරාත් තමන්ගේ නමින් ගම් ඉදිකොට වාසය කළ බැව් මහාවංශයේ සඳහන්ව තිබේ.

මේ අනුව සලකා බලන විට විජිතපුරයේ නිර්මාතෘවරයා මේ දෙදෙනාගෙන් කෙනකු විය යුතු බැව් පැහැදිළිය.

මුලදී "විජිතගම" නමින් හැඳින්වූ මෙය නගරයක්‌ බවට පත්වීමෙන් පසුව විජිතපුරය නමින් ප්‍රකට විය.

එළාර - දුටුගැමුණු යුද්ධය පිළිබඳ ඉතිහාසගත පුවත්වල වැඩි වශයෙන් විස්‌තර වන දෙමළ බලකොටුව නම් විජිතපුරයයි. සද්ධර්මාලංකාරයෙහි විජිතපුර බලකොටුව ගැන කියෑවෙන්නේ මෙසේය.

"ඒ විජිතපුර වනාහි වියලි අගලය තල්ල අලය, දිය අලය යෑයි අගල් තුනකින් පරීක්‍ෂිප්තය. අටලොස්‌ රියන් වූය. මහ පවුරකින් වට කරන ලද්දේය. ඒ ඒ තැන්වල නොයෙක්‌ සිය ගණන් මහා බල යෝධයන් විසින් ගැවසී ගත්තා වූ දිගු පුළුල ඇති මහා වාසලින් හා යදොරින් යුක්‌තය. පවුර මුදුන ඒ ඒ තැන්හි කරන ලද අට්‌ටාල, බලකොටු, ඉඩගිනි, කුරුබිලි, පලිමුගම් ආදියෙහි සිටිය වුන් විසින් ගසන බිඳිනා ලද අසිසක්‌ති, තෝමර, හෙන්විවාල, තාලවාලාර්ධ, චන්ද්‍රකාදී නානාප්‍රකාර ආයුධ වර්ෂාවෙන් හා ශර ප්‍රහාරයෙන් අති භයානකය. එසේම යතුරු, දුණු, යන්ත්‍ර, පාෂාණ යවටාදියෙන් කකාරා දමන ලද යමල, දුම්මල, කුකුණමල ආදියෙන්ද අවසරයක්‌ නැත්තේය."

මෙසේ වූ එළාර බල කොටුව වෙත ගැමුණු රජු ඇතුළු යුද සේනාව සුවිස්‌සක්‌ බලකොටු එකින් එක බිඳ දමමින් පැමිණි වග ඉතිහාසයේ සඳහන් වේ.

මෙම බලකොටුව කෙතරම් ශක්‌තිමත්ව තිබුණද, රණ ශූර දුටුගැමුණු රජතුමා විසින් මාස හතරක්‌ මුළුල්ලේ එල්ල කරන ලද දැවැන්ත ප්‍රහාරයෙන් එය සුණු විසුණු වී ගියේය. අනුරාධපුර රාජධානිය එක්‌සේසත් කිරීමෙන් අනතුරුව විජිතපුර සටනේදී තමා ලද ජයග්‍රහණය සිහිවීම සඳහා එතුමා විසින් මෙම භූමියෙහි ථූපයක්‌ ඉදිකරනු ලැබිණි. මේ අනුව විජිතපුර රජමහා විහාරයේ නිර්මාතෘවරයා දුටුගැමුණු රජතුමාය.

අනුරාධපුර යුගයට නෑකම් කියන මෙම විහාරස්‌ථානයෙහි තැනින් තැන විසිර පවත්නා මුරගල්, ගල්පඩි, දොරටු, ශ්‍රී පතුල්, ගල් කණු, කැසිකිළි ගල් ආදිය පරීක්‍ෂා කර බලන විට මෙම භූමියේ පෞරාණිකත්වය වටහා ගත හැකිය.

විජිතපුර බලකොටුවෙහි පවුරු මෙම විහාරස්‌ථාන භූමියට සැතපුම් ගණනාවක්‌ ඔබ්බෙන් පිහිටා තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. විජිතපුර රජ මහා විහාරයේ සිට දකුණු දෙසට ගමන් කිරීමේදී බල කොටුවේ ප්‍රාකාරය යෑයි සිතිය හැකි ගල් වැටක්‌ දක්‌නට ඇත. එසේම විජිතපුර විහාරයට බටහිරින් සැතපුම් තුනක්‌ පමණ දුරින් ගල්නෑව නම් ප්‍රදේශයේද ප්‍රාකාරයක සලකුණු දක්‌නට ඇති අතර, විහාරස්‌ථානයට උතුරින් ද එවැනිම ප්‍රාකාරයක නටබුන් හමු වී තිබේ.

විජිතපුර බලකොටුවෙන් විශාල භූමි ප්‍රමාණයක්‌ කලා වැවට යටවී ඇති බවට විශ්වාසයක්‌ පවතී. අද කලාවැව ජලය මධ්‍යයෙහි දිස්‌වන ගල් බැම්ම මෙකී බලකොටුවෙහි බැම්ම විය හැකිය.

විජිතපුර බලකොටු භූමියේ දැනට දක්‌නට ඇති පෞරාණික වස්‌තූන් අතර "කඩු ගෑ ගල" කෙරෙහි බොහෝ දෙනකුගේ අවධානය යොමුවී තිබේ. දිගින් අඩි පහක්‌ හා පළලින් අඩි එක හමාරක්‌ පමණ වූ මෙම ගල් ලෑල්ලේ එදා කඩු මුවහත් කළ බැව් කියෑවේ. ගල් පුවරුව මැදින් ගෙවී ගොස්‌ ඇති ආකාරයෙන් ඒ බැව් සිතාගත හැකිය.

මෙම විහාරස්‌ථානයෙහි පෞරාණික මහා චෛත්‍යයට පසෙකින් ගල් ලෑලිවලින් සාදන ලද මළුව සහිත ගඩොලින් ඉදිකරන ලද සෑයක නටබුන්ද දක්‌නට ඇත.

මෙම විහාර මළුවට ඇතුළුවන බටහිර දොරටුව ගල්පඩි අසූවකින් සමන්විතය. ගල් පඩි පේලි දහයෙන් දහයට දොරටුපාල රූප සහිත මුරගල් පිහිටා ඇත විහාරස්‌ථානයේ ආරක්‍ෂාව සඳහා මෙහි මුර පොලක්‌ තිබූ බවට ජනප්‍රවාදයක්‌ පවතී.

වර්තමාන විහාර භූමියට නැගෙනහිර දෙසින් උස්‌ කළුගල් තලාවක්‌ දිස්‌වෙයි. එය ගම්වාසීන් විසින් හඳුන්වනු ලබන්නේ "ඔත්තු ගල" වශයෙනි. විජිතපුර බලකොටුව තිබුණු යුගයෙහි මාලිගාවන්හි ආරක්‍ෂාව පිණිසත් සතුරන් පිළිබඳ ඔත්තු බැලීම සඳහාත් මෙම ගල් තලාවේ මුරකරුවන් යොදවා සිටින්නට ඇතැයි විශ්වාස කෙරේ.

ඓතිහාසික මූලාශ්‍ර හා ජනප්‍රවාද අනුව විජිතපුර සටන් බිමේදී පැවති එළාර - දුටුගැමුණු ද්වන්ධ සටනින් පරාජයට පත් වූ එළාර, අනුරාධපුරයට පලා ගිය බැව් ප්‍රකටය. එසේ පලා ගොස්‌ ඇත්තේ රහස්‌ උමගක්‌ ඔස්‌සේ බැව්ද සඳහන් වේ.

මෙවැනි උමගක ලක්‍ෂණ විහාරස්‌ථානයේ සිට සැතපුම් එකහමාරක්‌ පමණ දුරින් පිහිටි ස්‌ථානයක දක්‌නට ඇත. දැනට ගම්වාසින් විසින් "ගල් ළිඳ යාය" නමින් හඳුන්වනු ලබන මෙම ස්‌ථානයේ පොළව තුළට බැසිය හැකි ළිඳක්‌ වැනි වූ බිං ගෙයක්‌ තිබේ.

මෙම ඓතිහාසික බලකොටුව පිළිබඳව තොරතුරු ලබා ගැනීමේදී විජිතපුර රජමහ විහාරාධිපති හල්මිල්ලවැවේ ශ්‍රී ධම්මාරාම නාහිමියන් විසින් පළකර ඇති "විජිතපුර විත්ති" නමැති පොත් පිංච බෙහෙවින් ඉවහල් විය.

තොරතුරු සොයා ගිය සංචාරයේදී නන් අයුරින් සහාය දුන් ඉබ්බාගමුව, නින්දපැල්ල මහා විද්‍යාලයේ විදුහල්පති එස්‌. පී. ඩී. සෝමරත්න මහතාගෙන් ලද සහායද ඉතා අගයකොට සලකමි.


රණවීර මනුකුලසූරිය

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.