සීතාවක රාජධානියේ යුග තුනක උරුමය

පසුගිය සතියෙන් ...

සීතාවක රාජධානි යුගය හා සම්බන්ධ සාධක.

තුන්වන යුගය වශයෙන් සැලකිය හැක්‌කේ සීතාවක රාජධානි සමයයි. ක්‍රි. ව. 1521 දී කෝට්‌ටේ රාජධානිය බෙදීයාමත් සමග සීතාවක රාජධානිය බිහි විය. කෝට්‌ටේ රාජ්‍ය බෙදීයාමෙන් බුවනෙකබාහු යටතේ කෝට්‌ටේත් රයිගම බණ්‌ඩාර යටතේ රයිගමත් මායාදුන්නේ යටතේ සීතාවකත් වශයෙන් ප්‍රාදේශීය රාජධානි බිහි විය. ආර්ථික හා සාමාජීය අතින් වැදගත් ප්‍රදේශයක්‌ වූ නිසාත් සීතාවක ගඟ, කැලණි ගඟ හා ගැටහැති ඔයෙන් ආරක්‍ෂිත භුමියක්‌ වූ නිසා මායාදුන්නේ රජු මෙම ප්‍රදේශය තම අගනුවර ලෙස තෝරා ගන්නට ඇත. ක්‍රි. ව. 1521 - 1593 දක්‌වා කාලය තුළ මායාදුන්නේ හා රාජසිංහ යන පිය පුතුන් දෙදෙනා විසින් සීතාවක කේන්ද්‍රකර ගනිමින් රාජ්‍ය පාලනය කර ඇත.

මායාදුන්නේ රජුට හා රාජසිංහ රජුට තම රාජ්‍ය කාලය තුළ නැගී එන සතුරු බලවේග සමග සටන් මෙහෙයවීමට සිදුවිය. ඒ අනුව කෝට්‌ටෙන් හා උඩරටින් එල්ල වූ දේශීය අභියෝගවලට විරුද්ධව හා පෘතුගීසීන්ට විරුද්ධව සටන් මෙහෙයවීමට සිදු විය. සීතාවක සිටි පාලකයන් දෙදෙනාට සතුරන් සමග සටන් කරනු මිස වෙනත් කාර්යයන් සඳහා අවස්‌ථාව නොලැබිණි. එම නිසා මෙම යුගයේ දී නව ඉදිකිරීම්, ආගම ධර්මයට අනුග්‍රහ දැක්‌වීම් ආදිය පිළිබඳ කටයුතු කිරීමට රජුට කාලයක්‌ නොවීය. එහෙත් ඉඩ ලද අවස්‌ථාවන්හි කරන ලද ලද නිර්මාණ පිළිබඳ සාධක කිහිපයක්‌ හමුවේ. එහෙත් මෙම බොහෝ ඉදිකිරීම් හඳුනාගත නොහැකි ලෙස විනාශයට පත්වී ඇත.

අවිස්‌සාවේල්ල පනාවල මාර්ගයේ වර්තමාන සබරගමු පළාත් පුරාවිද්‍යා ප්‍රාදේශීය කාර්යාලය පිහිටි භූමියේ සීතාවක රජ මාලිගය පිහිටා ඇත. මානියම්ගම, බණ්‌ඩාරවත්ත සහ මාලිගාවත්ත නමින් හඳුන්වන අක්‌කර 5 ක්‌ පමණ වූ මෙම උස්‌ භුමියේ ඇති නෂ්ටාවශේෂ මායාදුන්න රජුගේ මාලිගයේ ඒවා බව පිළිගැනේ. මෙම මාලිගයට ගැටහැති ඔය, සීතාවක ගඟ, රිටිගහ ඔය හා බැලුම් ගල කඳු වැටියෙන් ස්‌වාභාවික ආරක්‍ෂාව ලැබෙන්නට ඇත. මෙයින් පෙනෙන්නේ නිරන්තරයෙන්ම සතුරු ආක්‍රමණවලට මුහුණ දුන් සීතාවක රජවරුන්ට ස්‌ථිරවම ශක්‌තිමත්ව මාලිගයක්‌ තැනීමට පවා කාලයක්‌ නොවූ බවයි. එසේම ක්‌වෙරෝස්‌ගේ වාර්තාවක ගෝවේ සිට පැමිණි පිරිසක්‌ සීතාවක වටලා රජ මාලිගය කොල්ලකෑ බව සඳහන් වේ. ඒ අනුව මෙය විනාශ වීමට සතුරු ආක්‍රමණ ද බලපාන්නට ඇත.

සැවුල් සංදේශයෙහි එකල මෙම මාලිගයේ ශ්‍රී විභූතිය පිළිබඳ වර්ණනා කර ඇත. බිමට ගල් පුවරු ඇල්ලූ විසිතුරු කැටයම් කණු මත වහල නංවා බිත්ති සිතුවමින් සරසා වහල මුදුනත රන් කොත් පැළඳ වූ මාලිගා සහිත පුරය දෙව් පුරයක්‌ සේ යෑයි දැක්‌වේ. වර්තමානයෙහි මෙම මාලිගා සංකර්ණය පිහිටි භුමිය පස්‌ ගොඩැල්ලකි. මේ වනතුරු එය කැණීමකට භාජනයකර නොමැත.

සීතාවක යුගයට අයත් නෂ්ටාවශේෂ අතරින් සීතාවක තල්දුවේ පිහිටි බැරැන්ඩි කෝවිලට වැදගත් ස්‌ථානයක්‌ හිමිවේ. මාලක තුනකින් සමන්විත මෙය ඉන්දීය වාස්‌තු විද්‍යාත්මක ලක්‍ෂණ පෙන්වන විශිෂ්ට ගණයේ නිර්මාණයකි. සීතාවක රාජසිංහ රජු පියා මැරූ පාපයෙන් මිදීමට අරිට්‌ඨකී වෙණ්‌ඩු පෙරුමාල්ගෙන් උපදෙස්‌ දෙකක්‌ ලබාගෙන ඇත. එනම් භික්‍ෂුන් 120 දියේ ගිල්වා මරා දැමීම හා "බ්‍රාඩි" නම් යක්‍ෂණියට පූජාවක්‌ සඳහා ඇගේ නමින් කෝවිලක්‌ ඉදිකිරීමත්ය. එදා රාජසිංහ රජු ආඬිගුරුගේ උපදෙස්‌ මත ඉදිකළ බ්‍රාඩි කෝවිල අද තල්දුවේ විද්‍යාමාන වන බැරැන්ඩි කෝවිල බව බොහෝ වියතුන්ගේ අදහස වේ. එහෙත් එය පිළිගැනීමට නොහැක්‌කේ ක්‌වෙරෝස්‌ගේ ග්‍රන්ථයේ බරැන්ඩි කෝවිල මායාදුන්නේ රජු සමයේ ඉදිකළ බව දැක්‌වීම නිසාය. ඒ අනුව පැහැදිලි වන්නේ මෙම කෝවිලේ මුල් ඉදිකිරීම මායාදුන්නේ රජු විසින් කළ බවත් පෘතුගීසින් කෝවිල විනාශ කළ පසු 1 රාජසිංහ රජු එය ප්‍රතිසංස්‌කරණය කර ඇති බවත්ය.

මෙම කෝවිලේ මුර්ති අතර නෙළුම් පොහොට්‌ටුවේ හැඩැති දිය පිහිල්ල වැදගත් නිර්මාණයකි. මෙය තනි ගලෙන් නිර්මාණය කර ඇති අතර විමානයේ මැද ශිව ලිංගය නෑවීමට භාවිත කළ කිරි හා ජලය ගලා යැමට මෙම පිහිල්ල තනන්නට ඇත. එසේම මෙහි පුන්කලස්‌ තුනක්‌ දැකගත හැක. ඒවා මුරගල් සඳහා යොදාගෙන ඇත. එසේම මෙහි වටේ බැමිවල බොරදම් කැටයම් ආදිය දැකිය හැක. මෙම බැරැන්ඩි කෝවිල සීතාවක උරුමයන් අතර වැදගත් නිර්මාණයකි.

අවිස්‌සාවේල්ලට නුදුරුව රුවන්වැල්ල නගරයේ "පෙතන්ගොඩ උයන" නමින් හඳුන්වන රජුගේ මඟුල් උයන ද ශේෂ වී ඇත. වර්තමානය වනවිට මෙහි ඉතිරිව ඇත්තේ මේ ස්‌ථානයට ආවේණික වූ කටු උණ පදුරයි. රණශුර රාජසිංහ රජතුමාට මරු කැඳ වූ උණ කටුව පතුලේ ඇනුණේ මේ පෙතන්ගොඩ උයනේ දීය. රජතුමාගේ මරණය පිළිබඳ කියවෙන මෙම ජනකවිය ජනතාව අතර ප්‍රචලිතය.

රුසිරු පෙතන්ගොඩ උයනට වැඩියාය
නපුරු උණකටුව පතුලේ ඇනුණාය
එක්‌ව සිටි සැවොම වටකොට මතුලාය
රාජසිංහ දෙවි නාමෙත් මැකුණාය

මෙම ස්‌ථානයේ දැකිය හැකි මෙම කටු උණ පඳුරු විශේෂය වෙනත් කිසිදු ස්‌ථානයක දැක ගත නොහැක. මෙවැනි උණ විශේෂ ඉන්දියාවේ ඇති බවත් සීතාවක රාජසිංහගේ රාජ සභාවේ පුරෝහිත තනතුර හෙබවූ අරිට්‌ඨකී වෙණ්‌ඩු පෙරුමාල් නම් ආඩිගුරාගේ උපදෙස්‌ මත මෙහි ගෙන්වා බෝ කරන්නට ඇති බවත් සැලකේ.

පෙතන්ගොඩ උයනේදී උණකටුවක්‌ ඇනී මිය ගිය රාජසිංහ රජතුමාගේ දේහය තැන්පත් කළ ස්‌ථානය පිළිබඳ විවිධ විද්වතුන් විවිධ මත පළකර ඇත. ඒ අනුව රජතුමා සිටි අඟුල කැලණි ගගෙන් සීතාවක ඔයට හරවා උඩුගම් බලා එන අතර කිකිළි බිත්තර වැල්ල නම් ස්‌ථානයේදී රජු මියගිය බවත් රාජ පුරුෂයන් රජුගේ ශරීරයට අත නොතබා අවසන් කටයුතු කරන්නට තීරණය කර වහාම ක්‍රියාත්මක වී ගඟේ සිට ගොඩබිමට ඇළක්‌ කපා ඒ ඔස්‌සේ අඟුල ගෙනවිත් වල දැමූ බවක්‌ දැක්‌වේ. එහෙත් අලකේශ්වර යුද්ධය, මානියම්ගම පුස්‌කොළ ලිපිය හා කුතෝගේ වාර්තා ආදී මුලාශ්‍රවල ඇත්තේ රජුගේ දේහයේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සීතාවක දී සිදුකළ බවයි. ඒ අනුව ගිගුරමෝදර ඇති රාජසිංහ සොහොන යෑයි ප්‍රසිද්ධ ස්‌මාරකය වීරසුන්දර බණ්‌ඩාර බොරු වලෙහි වැටී මියගිය ස්‌ථානය සිහිවීමට ඔහුගේ පුත් 1 වන විමලධර්මසූරිය රජු ඉදිකළ බවක්‌ දැක්‌වේ. වර්තමානයේ මෙම ස්‌ථානයේ දැකගත හැක්‌කේ වඩා උස්‌ නොවූ අවිධිමත් ලෙස පිහිටුවන ලද ගල් කුළු කිහිපයකි.

මීට අමතරව ඉද්දමල්ගොඩ මාලිගය, රයිගම මාලිගය, ඉරහඳ පානගල, පෑලෑදනුවර, වෙහෙරකඩගල, කණාමැදිරිවල හා ගල්පාලම ආදි බොහෝ ස්‌ථානවල මෙම යුගයට අයත් පුරාවිද්‍යාත්මක සාධක දැකගත හැකි නමුත් වර්තමානය වනවිට මේවායේ බොහෝ කොටස්‌ හදුනාගත නොහැකි ලෙස විනාශ වී ගොස්‌ ඇත.

මීට සීතාවක යුගය තුළ ජනතාවගේ ජීවන රටා හා ජීවනෝපාය මාර්ග පිළිබඳ අධ්‍යයනය කිරීමට අවශ්‍ය සාධක මෙම ප්‍රදේශය තුළ දැකගත හැක. ඒ අතරින් සීතාවක මාලිගය ආසන්නයේ පිහිටි වලව්වත්ත නමැති ප්‍රදේශය වලං කම්හලක්‌ හා ලෝකුරු කම්හලක්‌ පැවති බවට සාධක හමුවී ඇත. එසේම රජ දවස යුද්ධයට අවශ්‍ය අවි ආයුධ සාදන ලද කම්හල් ගොඩැල්ල පිහිටි පෙදෙස හා කම්හල පවත්වාගෙන ගිය පරපුර, බෙර වාදනය කළ පරපුර, ඇත්ගොවි පරපුර හා වෙද පරපුර වර්තමානයේ මෙම ප්‍රදේශයේ වාසය කරති. එසේම මෙම ප්‍රදේශය තුළ දියුණු ගංගා, ඇළ, දොල ආශ්‍රිත ප්‍රවාහන පද්ධතියක්‌ පැවති බවට සාධක හමුවේ. ඒ අනුව කැලණි ගඟ, සීතාවක ගඟ, ගැටහැති ඔයත් ප්‍රයෝජනයට ගන්නට ඇත. මෙයට සාධක වශයෙන් හංවැල්ල ආශ්‍රිතව ගොඩගන්නා ලද නැංගුරම් දෙකක්‌ හා රන්වල ප්‍රදේශයෙන් හමුවූ ලෝහමය බෝයාවක්‌ දැක්‌විය හැක. ඒ අනුව සීතාවක මූලික කරගෙන කැලණි ගඟ ඔස්‌සේ කොළඹට ප්‍රවාහන කටයුතු සිදු කරන්නට ඇත.

කැලණි ගඟේ පහළ කොටස රාජසිංහ රජතුමාට සටන් ව්‍යාපාරවල දී ඉතා වැදගත් විය. පෘතුගීසි ජාතිකයන්ට කැලණි ගංගාව ඔස්‌සේ ගමන් කිරීමට ඉඩ නොලැබිණි. කොළඹ කොටුවට පහරදීම හා පෘතුගීසින් කොටුවට සීමාකිරීම වැනි සංග්‍රාමවල දී කැලණි ගඟ ප්‍රයෝජනවත් විය. කැලණි ගංගාව දිගේ ගමන් කළ ඔරු පාරුවලට පහරදීමට රාජසිංහ රජු මනාව සංවිධානය වී සිටියේය.

ඉහත සඳහන් කරන ලද තොරතුරු අනුව සීතාවක අවට ප්‍රදේශය තුළ ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට මෑත කාලය දක්‌වා පුරාවිද්‍යා උරුමයන් ඇති බව පැහැදිලි වේ. එහෙත් අවාසනාවකට මෙම අප්‍රකට පුරාවස්‌තූන් කෙරෙහි නිසි අවධානයක්‌ යොමු වී නොමැති බැවින් විනාශවීමේ තර්ජනයකට ලක්‌වී ඇත. එම විනාශයට මූලික හේතුව ජනතාව තුළ පුරාවස්‌තූන් පිළිබඳ අවබෝධයක්‌ නොමැතිකමයි. බලධාරීන්ගේ අවධානය ඒ කෙරෙහි යොමුකර නිසි ගවේෂණ, කැණීම් හා සංරක්‍ෂණ සිදුකර සීතාවක උරුමය රැකගත යුතුය.


කැලණිය විශ්වවිද්‍යාලය
ජයනි නිසංසලා මාරසිංහ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.