|
|
|
|

ලෝකෙට පරකාසේ ගෙදරට ?????

අවමංගල සභාවක් නැටුමෙන්, ගැයුමෙන්, වැයුමෙන්, නිවෙන පත්තුවන
එළි වලින් අලංකෘත වන්නේ නම් එය විකෘතියකි.
මෙරට පාපන්දුවද අද මංගල සිරියක් ගත් අවමංගල්‍යයකි. එහි විකෘති
ස්‌වරූපයන් බොහෝය.
අද පාපන්දු සම්මේලනය මගුල් බෙර වයයි. ඒ මනිලාල් ප්‍රනාන්දු
මහතා ජගත් පාපන්දු සම්මේලන (µsµd) විධායක කමිටු සාමාජිකයකු බවට
පත්ව සිටීම නිමිත්ත කරගනිමිනි.
සැබැවි. එය ජයග්‍රහණයකි. එවැනි තනතුරක් ලද ප්‍රථම ශ්‍රී
ලාංකිකයා ඔහුය. සමස්‌ත දකුණු සහ මධ්‍යම ආසියානු කලාපයෙන්ම µsµd
හී විධායක සභාවට පත්වූ පළමුවැන්නා ඔහුය. ඒ අනුව එය සුළු පටු
ජයක් නොව විජයග්‍රහණයකි.
එහෙත් ඒ විජයග්‍රහණයේ හිමිකරුවා වන මනිලාල් ප්‍රනාන්දු මහතා
නියෝජනය කරන්නේ පාපන්දුව නන්නත්තාරවී ඇති රටකි.
මෙරට පාපන්දුවත්, මනිලාල් ප්‍රනාන්දුත් යනු දෙකක් නොව එකකි.
මනිලාල් යනු මෙරට පාපන්දුවේ සර්වබලධාරී දෙවියයන්ය. මෙරට
පාපන්දු පරිපාලනයේ සියල්ල මෙහෙයවෙන්නේ ඔහුට අනුවය. අවසන්
තීරණයේ හිමිකරුද ඔහුය.
මෙරට පාපන්දු සම්මේලනයේ සෙසු නිලධාරීන් "රූකඩ මහත්වරු" යෑයි
එයින් අපි නොකියමු. ඒ අහිංසක මහත්වරුය. "කන දෙයක් කාලා වෙන
දෙයක් බලා ඉන්නවා" යෑයි කිසිවිටකත් ඔව්හු එලිපිට නොකියති. ඒ
නිසා අපි අර අම්බලංගොඩ හා බැඳුනු වචනය ඔවුන් වෙනුවෙන් නොයෙදීමට
වගබලාගනිමු. මනිලාල් සහ ශ්‍රී ලංකාවේ පාපන්දුව අතර යථාර්ථය
එයයි. එය එසේ නොවන බව දන්නා අයෙකු වේ නම් හේ නොදරුවෙකි. එය
නොපිලිගන්නා අයකු වෙත්නම් ඔහු ආත්ම වංචනිකයෙකි.
අප මේ කියන්නේ මනිලාල් ප්‍රනාන්දු මහතාගේ පාපන්දුව හෙවත් ශ්‍රී
ලංකාවේ පාපන්දුවේ ෙ€දවාචකය ගැනය. නැතිනම් මනිලාල්ලා ජගත්
පාපන්දු සභාවට යද්දී වලපල්ලට යන අපේ පාපන්දුව ගැනය. මනිලාල්ලා
වෙනුවෙන් මගුල් බෙර වැයෙද්දී මළ බෙරය වැයෙන ශ්‍රී ලංකාවේ
පාපන්දුව ගැනය.
මනිලාල් මහතා ජගත් මට්‌ටමෙන් "පාපන්දු ගැසීමට" සුදුසුකම්
ලබද්දී අද ශ්‍රී ලංකාවේ චැම්පියන්ස් ලීග් තරගාවලියද
කැඳහැලියකි. තරග කමිටුව යන්න ගොසිනි. ක්‍රීඩකයෝ ජංගම
දුරකථනයකට, ලැප්ටොප් පරිගණයකට තරග පාවාදෙන තැනට වැටී සිටිති.
ජාතික කණ්‌ඩායම් මාලදිවයිනටද පැරදෙති. අසාධාරණය විවේචනය කරන්නෝ
අමුතු විදිහේ දැඩි දඬුවම් ලබති. වීර යෑයි සම්මතව සිටි සේකරයෝ
උණ විකාරයෙන් මෙන් දොඩවති. එතුමානෝ "දඬුවම් මුදලාලි" බවට පත්ව
සිටිති. ගොඩ ඒමක් නම් පෙනෙන්නේ නැතිෘ
මෙවර පැවැති චැම්පියන්ස් ලීග් තරගාවලිය දෙස බැලූ විට පාපන්දු
පරිපාලනයේ ඇති විකෘති තැන් මැනවින් පෙනෙයි.
ඒ බව රටට පෙන්වා දෙනුයේ පොලිස් ක්‍රීඩා සමාජයයි. තමන්ට සිදුවූ
අසාධාරණකම් තුනක් සම්බන්ධයෙන් පොලිස් ක්‍රීඩා සමාජය ක්‍රීඩා
ඇමැති හමුවේ පැමිණිල්ලක් ගොනු කළේය.
පසුගිය නොවැම්බර් 03 වැනිදා කළුතර පාක් ක්‍රීඩා සමාජය සහ
පොලිස් ක්‍රීඩා සමාජය අතර කළුතර වර්නන් ප්‍රනාන්දු
ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී (තරගය ගෝල 1-1 ක් ලෙස සමව තිබූ
විටක) පොලිස් පිලට දඬුවම් පහරක් පිරිනැමුනු අවස්‌ථාවේ
පොලිස් ක්‍රීඩකයකු සීමා ඉරෙන් ඉදිරියට පැමිණි බවට තීන්දු කළ
විනිසුරුවරයා එම දඬුවම් පහර අවස්‌ථාව අහෝසි කළේය.
එහෙත් ජාත්‍යන්තර පාපන්දු නීතියට අනුව ඒ අවස්‌ථවේදී සිදුවිය
යුතුව තිබුනේ නැවත වරක් දඬුවම් පහර එල්ල කිරීමේ අවස්‌ථාව අදාළ
ක්‍රීඩකයාට ලබාදීම වුවත් එසේ නොවීම හේතුවෙන් පොලිසියට ජය ගැනීම
සඳහා ආසන්න අවස්‌ථාවක් තිබූ තරගය 1-1 ක් ලෙස සමවිය.
මෙහිදී ලැබුණු අසාධාරණ තීන්දුව සම්බන්ධයෙන් පොලිස් ක්‍රීඩා
සමාජය නොවැම්බර් 4 දාතමින් තරග කමිටුවට අභියාචනයක් ඉදිරිපත්
කරමින් එම තරගය නැවත පවත්වන ලෙස ඉල්ලා සිටියේය. එම අභියාචනය
පිළිගත් තරග කමිටුව එවැනි තීන්දුවක් දීම ගැන විනිසුරුට අවවාද
කළ බවත් එම තරගය නැවත පැවැත්වීමට කටයුතු කරන බවත් දන්වා සිටියේ
නොවැම්බර් 9 දාතමිනි.
එහෙත් නොවැම්බර් 16 දා තරග නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ආනන්ද
අන්තෝනිපිල්ලේ මහතාගේ අත්සනින් යුතුව පොලිස් ක්‍රීඩා සමාජයට
එවන ලද ලිපියකට අනුව මනිලාල් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි
නැවත තරගය පැවැත්වීමේ තරග කමිටුවේ තීරණය අහෝසි කරමින් ගෝල 1-1
ක් ලෙස අදාළ තරගය සම තත්ත්වයෙන් නිමාවූ ලෙසින් සලකන බව දැනුම්
දුන්නේය.
අපට නැගෙන පැනය නම් විශේෂයෙන් මෙම තරගයට මැදිහත්වීමට මනිලාල්
මහතාට ඇති අවශ්‍යතාව කුමක්‌ද යන්නයි. ඔහුට එසේ කිරීට ඇති
සදාචාරාත්මක අයිතිය කුමක්‌ද? ඔහු එසේ කිරීමෙන් තරග කමිටුවට
"රෙදි ඇඳගෙන" නැවත තීන්දු තීරණ ගැනීමේ හැකියාව ලැබුනේද?
මනිලාල්ට තම උපන් ගම වන කළුතර ගැන "කැක්‌කුමක්" තිබිය හැකිය.
එහෙත් එය මෙරට පාපන්දුවට "හිස රුදාවක්" නොවිය යුතුය.
ජගත් පාපන්දු සම්මේලනයේ මධ්‍යම සහ දකුණු ආසියානු කලාපීය
සංවර්ධන නිලධාරියා වන මනිලාල් ප්‍රනාන්දු තරග කමිටුවේ රෙදි
ගලවමින් ජාත්‍යන්තර නීතියට පටහැනිව එවැනි තීන්දු දෙන්නේ කුමන
සංවර්ධනයක් අරබයාද?
පොලිස් ක්‍රීඩා සමාජයට බලපෑ දෙවැනි තීන්දුවට තුඩු දුන්නේ
වෙන්නප්පුව නිව් යංග් ක්‍රීඩා සමාජය සමග පැවැති තරගයයි.
විනිසුරුවරයෙකුට පහරදීමේ සිද්ධියක් මත බදුල්ල ලීගය විසින් වසර
5 ක තහනමට ලක්‌කළ අසූර් නැමැති ක්‍රීඩකයා නිව් යංග් පිල
නියෝජනය කරමින් මෙහිදී පොලිසියට එරෙහිව තරග වැදිනි. මෙම තරගය
ගෝල් 3-3 ක් ලෙස සමව අවසන් වූ නමුත් තහනමට ලක්‌කළ ක්‍රීඩකයකු
ප්‍රතිවාදී පිලට ක්‍රීඩා කිරීම ගැන පොලිස් ක්‍රීඩා සමාජය තරග
කමිටුවට පැමිණිලි කළේය.
මෙම පැමිණිල්ල පරික්‍ෂණයට ගත් තරග කමිටුව තහනමකට ලක්‌වූ
ක්‍රීඩකයකු යෙදවීමේ වරදට අදාළ තරගයේ ජය පොලිස් ක්‍රීඩා සමාජයට
පැවරීමට කටයුතු කළේය.
එහෙත් සම්මේලනය නැවත වරක් තරග කමිටුවේ තීන්දුව "බාල්දු
කරමින්" අදාළ ක්‍රීඩකයා තහනමෙන් මිදුනු ක්‍රීඩකයකු බව ප්‍රකාශ
කරමින් තරග කමිටුවේ තීරණය අහෝසි කළේය.
නමුත් බදුල්ල ලීගයේ සභාපති හැරුනු විට උප සභාපති ඇතුළු සෙසු
සියළු සාමාජිකයන්ගේ අත්සනින් එම ක්‍රීඩකයා තහනමට ලක්‌වූ
ක්‍රීඩකයෙකු බවට ජනවාරි 04 දා එවන ලද ලිපියකින් සනාථ කර
සිටියේය.
අවසානයේ, තමන් විසින් විනිවිදභාවයකින් යුතුව දුන් මෙවැනි
තීන්දු කිහිපයක් අත්තනෝමතික ලෙස අහෝසි කරමින් තම ආත්ම ගරුත්වය
මරාදමද්දී ඉවසා සිටිය නොහැකි වූ පාපන්දු තරග කමිටුව ඉල්ලා
අස්‌විය.
එයටද පසුව පොලිස්-ගුවන් හමුදා තරගයක් යෙදිනි. මෙම තරගයේදී
පොලිසිය 4-0 ක් ලෙස ඉදිරියෙන් සිටිමින් තරගාවසානයට ඔන්න මෙන්න
කියා තිබියදී වර්ෂාවක් ඇද වැටුනේය. ඒ අනුව එම තරගය අහෝසි
කරමින් එම තරගය නැවත පැවැත්වීමට තීරණය වූයේ පොලිසිය සතුව තිබූ
නියත ජයක් අවාසනාවන්ත ලෙස අහිමිවෙමිනි.
එම තරග නැවත පැවැත්වීමට යෙදිණි. එහිදී ගුවන් හමුදාව 1-0 ක්
ලෙස ඉදිරියෙන් සිටි අවස්‌ථාවක තරගය අත්හිටුවීමට විනිසුරුවරයා
ක්‍රියා කළේය. පොලිස් ක්‍රීඩා සමාජයේ ලේකම්වරයා
විනිසුරුවරයාගේ නියෝගයක් නොතකමින් පිටිය අන්තයේ රැඳී සිටීමෙන්
උදහස් වූ විනිසුරුවරයා මෙම තීරණය ගත්තේය. එහි අවසාන ප්‍රතිඵලය
වූයේ තරගයේ ජය ගුවන් හමුදාව වෙත ප්‍රදානය කිරීමයි. ක්‍ෂේත්‍රයේ
කියවෙන අන්දමට අදාළ තරගයේ විනිසුරුවරයාගේ විනිශ්චයේ
දුර්වලතාවක් සම්බන්ධයෙන් පොලිස් ක්‍රීඩා සමාජ ලේකම්වරයාගේ
නමින් පිටවූ විවේචනාත්මක වචනයක් ගැන උරන වූ විනිසුරුවරයා
"දෙන්නම් බැටේ" තීරණයකින් තරගය අත්හිටුවීමට ක්‍රියා කර තිබේ.
මෙම තරගයට තරග කොමසාරිස්‌වරයකු සිට නැත. ඒ වන විට තරග
කමිටුවක්‌ද නැත. එහෙත් බෝම්බ ගසන්නා වැනි තීන්දු තීරණ නම්
ප්‍රකාශයට පත්වේ.
හාස්‍යයට කරුණ නම් විනිසුරුවරයකුට පහරදුන් බව කියෑවෙන නිව්යංග්
ක්‍රීඩකයාගේ "පිරිසිදු භාවය" වෙනුවෙන් සීමාව ඉක්‌මවා පෙනී
සිටින මනිලාල් ප්‍රනාන්දුලාගේ සම්මේලනය විනිසුරුවරයකුට වාග්
ප්‍රහාරයක් එල්ල වීම ගැන මෙතරම් දැඩි තීරණ ගැනීමයි.
මේවා අභව්‍යය. මේවා විකෘතීන්ය. මේවා එහෙයියන් ලෙසින් බලාසිටිය
නොහැකි දෑය. එබැවින් පොලිස් ක්‍රීඩා සමාජය ක්‍රීඩා ඇමතිට
අසාධාරණය පෙන්වා සිටියේය. වැටත් නියරත් දෙකම ගොයම් කයිද යන්න
තවම පැහැදිලි නැති නමුත් මේ මට්‌ටමින් හෝ අසාධාරණය පෙන්වාදීමට
පොලිසියට තිබූ "කොන්දට" සැලියුට් ගැසිය යුතුය.
මේ සිද්ධීන් මෙසේ වීමෙන් අනතුරුව පාපන්දු සම්මේලනයේ සභාපති
පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා
මාධ්‍යයට පවසා සිටියේ සුළු සිදුවීම් කිහිපයක් නිසා පොලිස්
ක්‍රීඩා සමාජය ක්‍රීඩා ඇමැතිවරයාට පෙත්සම් ගසා ඇති බවකි.
පොලිස් ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදාව අතර යෙදුනු තරගය මෙම
චැම්පියන්ස් තරගාවලියේ තීරණාත්මක තරගයකි. යම් හෙයකින් එහි ජය
පොලිසිය සතුවී නම් ශූරතාව පොලිසියට හිමි වන්නේය. එවැනි
තීරණාත්මක තරගයක් තරග කොමසාරිස්‌වරයකු හෝ අන් කිසිදු බලයලත්
නිලධාරියකුගේ අධීක්‍ෂණයෙන් තොරව හුදෙක් විනිසුරුවරයාගේ
තීරණයකට අනුව තීන්දු කිරීම විරසේකර මහතාට සුළු සිද්ධියක්
වන්නේ කෙසේදැයි අපි නොදනිමු. හැරත් පොලිස් ක්‍රීඩා සමාජය
ක්‍රීඩා ඇමැති හමුවට යන්නේ ක්‍රීඩා පනතේ අංක 30 දරන වගන්තිය
යටතේ ක්‍රියාත්මක වීමට ඇති අයිතියට අනුවය. මේවා නිකම්ම නිකම්
"පෙත්සම්" ලෙස වීරසේකර මහතා හඳුන්වන්නේ නම් ඔහු ක්‍රීඩා පනතද
නිකම්ම නිකං කොළ කැබැල්ලක් ගානට හෑල්ලුකර ඇත. එක්‌කෝ දැනුවත්
භාවයකින් තොරව අදහස් ප්‍රකාශ කර ඇත. මේවා ඔහු වැනි
නිලධාරියකුට තරම් නොවන්නේය.
තරග කමිටුවේ ඉල්ලා අස්‌වීමෙන් පසු ඔහු ප්‍රකාශ කළේ එම කමිටුවේ
කිසිවකුට පසුව සම්මේලනයේ කිසිදු තනතුරක් ලබානොදෙන බවකි. එයින්
ඔහු කියනුයේ තම තීරණවලට පිටින් යන අයෙකුට පාපන්දු සම්මේලනයේ
කිසිදු අවස්‌ථාවක් නොමැති බවය.
මෙරට සිටින සම්මානයට බඳුන්විය යුතු ක්‍රීඩකයකු වූ සහ
පුහුණුකරුවකු වූ අමනුල්ලා අද පාපන්දු පරිපාලනය විෙච්චනය කිරීමේ
වරදට දින නියමයක් නොමැති තරග තහනමකට ලක්‌කර තිබේ. විරසේකරයන්
නොකියා කියන්නේ අමනුල්ලාට දුන් පහරම, පරිපාලනයට කීකරු වීමට
අකමැතිවූ තරග කමිටු සාමාජිකයන්ටද දෙන බවකි.
සියල්ලන් එහෙයියන් බවට පත්වද්දි, කොන්ද පණ ඇත්තෙක් වේ නම්
ඔහුව සක්‌වලගලේ ගැසීමට වීරසේකර සැදී පැහැදි සිටින අයුරකි.
වීරසේකරයන් මේ පවසන්නේ තමන් ඉර පෙන්වා එය හඳ යෑයි කිවහොත් එය
හඳ ලෙසින් පිළිගැනීමට සියල්ලන් සූදානමින් සිටිය යුතු බවද?
එහෙත් ක්‍ෂේත්‍රයේ කියවෙන අන්දමට නම් මනිලාල් ඉර පෙන්නා එය හඳ
හැයි කියු විට වීරසේකර ප්‍රමුඛ පාපන්දු නඩයම "ඔව් සෑර්" කීමට
සීරුවෙන් සිටින වගකි.
එය එසේ වේවා, නොවේවා ලෝකයා එසේ සිතන බව වීරසේකරයෝ දනිති.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසත් "රියර් අද්මිරාල්" නිලයක්
දරන්නකු ලෙසත් තමන් මනිලාල්ගේ එහෙයියකු ලෙසින් ලොව දකිනවාට
වීරසේකර මහතා අකමැති බව පෙනේ. "අනික් සභාපතිවරු එක්‌ක දාපු
සෙල්ලම් මා එක්‌ක බැරිය" ආදී යෙදුම් ඔහු යොදන්නේ ඒ උවමනාවෙන්
විය යුතුය. එහෙත් අපට පෙනෙන්නේ නම් එය තරමක් අධි තාත්වික
රංගනයක් ලෙසිනි. ජාතිකත්වයෙන් කථාකරන, අයුක්‌තිය, අසාධාරණය,
දූෂණයට එරෙහිව වීරයකු ලෙස හඬනැගූ වීරසේකර මහතාගේ මේ හැසිරීම්ද
පාපන්දුවේ තවත් විකෘති ස්‌වභාවයකි.
කව්රු, මොන වචන පාවිච්චි කරමින් සිංහයන් වීමට බැලුවද ඔවුන්
පොරවාගෙන සිටිනුයේ මනිලාල් විසින් ලබාදුන් සිංහ හම් යෑයි
කිවහොත් එය දෝෂ සහිතද?
ෆිෆා විධායක කමිටුව දක්‌වා මනිලාල් ප්‍රනාන්දු මහතා ගමන්
කරද්දී එදා අපේ රටේ ක්‍රීඩා සමාජ වලින් පවා ගෝල් "පොකුරු"
වලින් බැටකෑ මාලදිවයිනද අද අපව පරදවයි. එදා අපේ පුහුණුකරුවන්,
අපේ ක්‍රීඩකයන් කුලියට ගත් මාලදිවයින් පාපන්දුව අද අපිව ගන්නා
නොගන්නා තැනට පැමිණ ඇත. අපෙන් පාපන්දු උගත් රටවල් අද ඉන් සැබෑ
වෘත්තීය මට්‌ටමකට පැමිණ සිටියදි ගිය වසර ආරම්භයේ ලෝක ශ්‍රේණිගත
කිරීම්වල 153 වැනි තැන සිටි ශ්‍රී ලංකාව මේ වන විට එහි 162 තැන
දක්‌වා පල්ලම් බැස ඇත.
ජාතික පිලේ පුහුණුකරු ජං-ජුං නිකම්ම නිකම් පිං-පොං කෙනෙකු බවට
පත්ව සිටියි. කාන්තා පාපන්දුවේ අභිවෘද්ධිය උදෙසා යෑයි පසුගිය
දිනවල මහා පරිමානයෙන් කථා කළද ගෙවුනු දෙසැම්බර් මස පැවැති සාෆ්
කුසලාන තරගාවලියේදී අප කාන්තා කණ්‌ඩායම ප්‍රතිවාදීන්ට පරාජය
වූයේ සුළුවෙන් නොව ගෝල 7-8 ක පරතරයක් ඇතිවය.
සුනාමි ආධාර මෙන්ම පාපන්දු සම්මේලනයේ අය-වැය ගැන විෙච්චනද
බොහෝය.
වෙනදා සෝන්ඩර්ස්, රත්නම් වැනි කණ්‌ඩායම් තරග වදිද්දී පැමිණෙන
ප්‍රේක්‍ෂක ගඟ අද හිඳී ඇත. ඉන් පෙනෙන්නේ පාපන්දුව කෙරෙහි මෙරට
ක්‍රීඩා ලෝලීන් සතු මලානික ආකල්පයයි.
පාපන්දුවේ සර්ව බලධාරී දෙවියන්ගේ විජිතය සාගතයකින් පෙලෙයි.
ඇස් ඇත්තේ නමුදු අන්ධයන් මෙන්ද, කන් ඇත්තේ නමුදු බිහිරන්
මෙන්ද සිටි කාලය අවසන් විය යුතුය.
නැතිනම් මනිලාල් ජගත් පාපන්දු විධායක සභාවට නොව සෙෆ් බ්ලැටර්
(ජගත් පාපන්දු සම්මේලන සභාපති) බවට පත්වුවද ඉන් මෙරටට නම්
වැඩක් නැත.
පාපන්දු බලධාරීන්ට ජාත්‍යන්තරයේ තනතුරු ලැබිමට ඇති උනන්දුව
මෙරට පාපන්දු උන්නතිය කෙරෙහිද ඇතිවේවා!
ඉන්ද්‍රජිත් සුබසිංහ
|
|
|
|