නිදහස්‌ අධ්‍යාපනය හා පාසල් රජයට පවරාගැනීම

යටත් විජිත පාලන කාලයේ ක්‍රි.ව. 1877 වැන්නේදී, බ්‍රිතාන්‍ය ආණ්‌ඩුව විසින් අප රට තුළ රාජ්‍ය අනුග්‍රහයෙන් ආධාර ලබන පාසල් පිහිටුවීම ආරම්භ කෙරිණි. එදා එකී ආධාර ලබන පාසල් මගින් අධ්‍යාපනය ලැබීමට වරම් හිමි වූයේ රටේ සමස්‌ත ජනතාවගෙන් නැති බැරි අයගේ දූ දරුවන්ට නොව ඇති හැකි අයගේ සමාජ වරප්‍රසාද ලැබූ ඉහළ පැලැන්තියේ උදවියෙගේ දරුවන්ට පමණි.

මෙම තත්ත්වය පිටුදකිනු සඳහා ගරුතර මහා සංඝරත්නය ප්‍රමුඛ සිංහල ජන නායකයන් විසින් අධ්‍යාපන ක්‌ෂේත්‍රය කෙරෙහි සමානාත්මතාව දක්‌වන ලෙසට කළ උදේඝෝෂණ හා ඉල්ලීම් එමටය. එකී උද්ඝෝෂණවල ප්‍රතිඵලයක්‌ වශයෙන් 1896 වර්ෂයේදී අධ්‍යාපන උපදේශක සභාවක්‌ පත් කෙරිණි. මෙම උපදේශක සභාවේ නිර්දේශයන් අනුව රජයෙන් ආධාර ලබාදෙන පාසල් අධ්‍යාපන ක්‍රමයක්‌ බිහිවිය. අනතුරුව ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට අධ්‍යාපන දෙපාර්තමේන්තුවක්‌ බිහිකිරීම ආරම්භ වූයේ 1899 වර්ෂයේදීය. දෙපාර්තමේන්තුව බිහිවීමෙන් පසු සමස්‌ත පාසල් පාලනය නඩත්තු කටයුතු කාර්යයන්ද දෙපාර්තමේන්තු නිලධාරීන් යටතට පත් වූයේය. මේ අනුව 1907 වර්ෂය වනවිට දිවයිනේ ප්‍රධාන නාගරික ප්‍රදේශවලින් බැහැරව ග්‍රාමීය මට්‌ටමින්ද පාසල් පිහිටුවීම ඇරඹිණි.

යටකී පසුබිම මගින් පාසල් ඇතිකිරීම නිසා, ජාතික මට්‌ටමින්, සැලසුම් සහගතව ඉගැන්වීමේ කාර්යයන් මනාව පවත්වා ගැනීමේ කටයුත්ත, ඉස්‌මතු වීම නිසා ඒ ගැන තවදුරටත් සොයා බැලීමට කොමිෂන් සභාවක්‌ පත් කෙරිණි. මෙම කොමිෂන් සභාව "ස්‌කූල් කොමිෂන්" යනුවෙන් ඉංගී්‍රසියෙන් හැඳින්විණි. මෙම ස්‌කූල් කොමිෂන් සභාවේ ප්‍රධානත්වය නොහොත් සභාපතිත්වය සඳහා පත්වූයේ ශ්‍රී ලංකා නිදහස්‌ අධ්‍යාපනයේ පීතෘවරයා ලෙස සැලකෙන සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර උතුමාණන්ය. මෙතුමන් විසින් අප දිවයිනේ සියලුම දරුවන්ට නොමිලේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට හැකි වන පරිද්දෙන් නිදහස්‌ අධ්‍යාපනය (Free Edncation) බිහි කළේය. මේ අනුව රාජ්‍ය අනුග්‍රහයෙන් රාජ්‍ය වියදමින්, මුළු රටේම ජීවත්ව සිටින දරුවන්ට අධ්‍යාපන කටයුතු උදෙසා පාසල් ගොඩනැඟිලි ඉදිකිරීම්, ඒවාට භෞතික සම්පත් ලබාදීම්, ගුරුවර, ගුරුවරියන් පත්කිරීම්, විෂය මාලා, විෂය නිර්දේශ සකස්‌ කිරීම් ආදී හැම කාර්යයක්‌ම සිදු කිරීම ආරම්භ විය. විශේෂයෙන් මෙම තත්ත්වය උදාවීමට මූලික වූයේ 1941 මැයි මස 31 වැනි දින පිහිටුවන ලද "ස්‌කූල් කොමිෂන්" සභාවයි. මෙම කොමිසමේ නිර්දේශයන්ට අනුව යටත් විජිත (බ්‍රිතාන්‍ය ආණ්‌ඩුව) ආණ්‌ඩුකාර පාලනය විසින් අධ්‍යාපන අමාත්‍ය තනතුරක්‌ ඇති කර එහි මුල්ම අධ්‍යාපන අමාත්‍ය ධුරයට සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර උතුමාණන් පත් විය. මෙතුමා අමාත්‍ය ධුරයට පත්වීමත් සමගම 1945 ඔක්‌තෝබර් මාසයේ 01 දා සිට මේ රටේ හැම දරුවෙකුටම කිසිදු වියදමකින් තොරව නොමිලේ අධ්‍යාපනය ලැබීමට ඉඩකඩ ඇති පරිදි නිදහස්‌ අධ්‍යාපන ක්‍රමයක්‌ පවත්වාගෙන යැමට සුවිශේෂී කැප කිරීමක්‌ කළේය.

මෙම ලිපියේ මුලින් සඳහන් කළ පරිදි මහජන හා අධ්‍යාපන සංවිධාන බොහෝ කලක සිට මෙරට දරු දැරියන්ට අධ්‍යාපන පහසුකම් සැපයීමේ උද්ඝෝෂණ දියත් කරන විට, ඩොනමෝර් ආණ්‌ඩුක්‍රමය යටතේ සර්ව ජන ඡන්ද බලය ලැබූ අවස්‌ථාව උදාවන විට මුළු ජනගහනයෙන් කියවීමට හා ලිවීමට හැකියාව තිබුණේ සියයට විස්‌සකට පමණි. (20%) 1931 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අධ්‍යාපන විධායක කමිටුවේ සභාපති වශයෙන් පත්වූ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිඳුන් 1936 දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයෙන් පසුවද, අධ්‍යාපන විධායක කමිටුවේ සභාපති තනතුර දැරීය.

1947 සෝල්බරි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ පාර්ලිමේන්තු ආණ්‌ඩුක්‍රමය බිහි වන අවස්‌ථාව එළඹෙන විට සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර යන් පුරා වසර 16 ක්‌ (රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ සිට) මෙරට අධ්‍යාපන ක්‌ෂේත්‍රයේ විධායක සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කර ලත් පළපුරුද්ද හා අධ්‍යාපනය වෙනුවෙන් දැක්‌වූ උනන්දුව ගැන සඳහන් කිරීමට අටුවා ටීකා අවශ්‍ය නැත. මෙතුමා මෙම කාල වකවානුව තුළ නිදහස්‌ අධ්‍යාපනය ලබාදීම, ඉගැන්වීමේ මාධ්‍ය මවු භාෂාවෙන් කිරීම, දිළිඳු පවුල්වල දෙමාපියන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීම සඳහා විභාග ක්‍රම ඇති කිරීම, දිවා ආහාරය ලබාදීම, පාසල් සෞඛ්‍ය සේවා වැනි අධ්‍යාපන උපයෝගී සේවා ඇති කිරීම, අධ්‍යාපනයට ප්‍රාදේශීය ඌරුවක්‌ ලබාදෙමින් මධ්‍ය මහා විද්‍යාල (Central Colleges) බිහිකිරීම වැනි කරුණු නිසා අධ්‍යාපන ක්‍රමය තුළ ව්‍යහාත්මක වශයෙන් විධිමත් වූ ප්‍රබල ක්‍රියාකාරකම් රාශියක්‌ ඇති කරනු ලැබීය. මෙම තත්ත්වයන් ක්‍රියාවට නැංවීමට පසුබිම වූයේ 1931 අංක 31 දරන ආඥ පනත සහ 1947 අංක 26 දරන ආඥ පනත් දෙකයි. මෙම පනත් සම්මත කර ගැනීමට සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා අතින් විශේෂ මෙහෙවරක්‌ සිදු කෙරිණි.

සමාජයේ වරප්‍රසාද ලත් ටික දෙනකුට පමණක්‌ සීමා වී තිබුණ පාසල් අධ්‍යාපන ක්‍රමය සාමාන්‍ය දිළිඳු පවුල්වල උදවියගේ, දරුවන්ටද ලැබීමට අවස්‌ථාව උදාවීය. මේ ලිපිය ලියන්නාද 1951 වර්ෂයේ නිදහස්‌ ශිෂ්‍යත්වයක්‌ (05 වැනි ප්‍රමාණයේ) ලැබ මාහෝ මධ්‍ය මහා විද්‍යාලයෙන් ඉගෙනීමට වරම් ලැබූ අයකු වග සතුටින් සඳහන් කරයි. කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ අධ්‍යාපන යුගයෙන් පසු මේ රටේ අධ්‍යාපන ක්‍රමය සංශෝධනය කිරීම සඳහා 1950 දී ධවල පත්‍රිකාවක්‌, යෝජනා මාලාවක්‌ ඉදිරිපත් විය. මෙම ධවල පත්‍රිකාවේ ඇතුළත්ව තිබූ සමහරක්‌ යෝජනා 1951 අංක 05 දරන සංශෝධන පනතින් පිළිගැනිණි. මීට අමතරව අධ්‍යාපන ක්‍රමයේ තවත් වෙනස්‌කම් 1953 දී සහ 1958 අධ්‍යාපන සංශෝධන පනත් මගින් සංශෝධනයට භාජන වීය. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය 1960 ජුලි මහ මැතිවරණයෙන් බලයට පත්වී ආණ්‌ඩුව පිහිටුවා හා හා පුරා කියා වැඩ පටන් ගන්නේ පාසල් රජයට පවරා ගැනීමේ කාර්යයෙනි.

නිදහස්‌ අධ්‍යාපන ක්‍රමය ඇති කිරීමෙන් අනතුරුව ඇති වූ පනත්වලින් ඉටුකරන ලද සේවාවන්වලට වඩා ජාතික අධ්‍යාපන ක්‍රමයක්‌ බිහි කිරීමට පදනම යොදන ලද්දේ ආධාර ලබන පාසල් හා ගුරු විදුහල් අතරින් අති බහුතරය රජයට පවරා ගැනීමෙනි. මේ අනුව විවිධ මිෂනාරි සමාගම් යටතේ තිබූ පාසල් 2750 ක්‌ රජය යටතට පත් කර ගැනීමට හැකි විය. මෙම හේතුව නිසා සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අධ්‍යාපනයේ සම අවස්‌ථා සපයා ගැනීමේ අවස්‌ථාව උදාවිය. මේ මගින් මධ්‍ය ගත පාලනයක්‌ද සිදු විය. හැම දරුවෙකුටම, දැරියකටම තමන් අදහන ආගම පාසල තුළදී ඉගෙනීමට හැකියාව ලැබිණි. පාසල් රජයට පවරා ගැනීමේ කාර්යයට අදාළ පනත 1960 ඔක්‌තෝබර් මාසයේ 27 දා පාර්ලිමේන්තුවේදී සම්මත කෙරිණි. එසේ සම්මත කරගත් පනත 1961 ජනවාරි 14 වැනිදා සිට ක්‍රියාවට නැංවුණේය. 1961 වර්ෂයේ පාසල් රජයට පවරා ගැනීම නොසිදු වූයේ නම් අධ්‍යාපන ක්‍රියාවලිය සාමාන්‍ය පොදු ජනතාව අතරට ගෙනයැම දුෂ්කර කාර්යයක්‌ වන්නේය.

පාසල් රජයට පවරාගැනීමට වැඩි වශයෙන් මිෂනාරි සමාගම් විරුද්ධත්වය දැක්‌වීය. මෙම විරුද්ධතාවලට එරෙහිව සෘජුව නැඟී සිටීමට සිරිමාවෝ බණ්‌ඩාරනායක අගමැතිනිය එඩිතර වූවාය. විරෝධතා ප්‍රබල වුවත් 1960 ඔක්‌තෝබර් 27 දා ඇය සම්මත කරගත් "පාසල් රජයට පවරාගැනීමේ පනත" ඊළඟ වර්ෂයේ මුල් මාසයේ 14 දා සිට ක්‍රියාත්මක කිරීමට නොපසුබට වූවාය. නොමිලේ ලබාදෙන අධ්‍යාපනය නිසා රටේ උගතුන්ගේ වර්ධනයක්‌ ඇතිවන අතර, වැඩිදුර අධ්‍යාපනයක්‌ නොලැබූවන් සියලු දෙනාටම වුව ජීවත්වීමට පුද්ගලයකු සතු හැකියාවන්ට සුදුසු පරිදි ගැලපීමට හැකි පරිසරයක්‌ තවම නිර්මාණය වී නැත. ඒ ඒ දක්‌ෂතා ඇති අයට ඒ දක්‌ෂතා මගින් පුහුණුව මගින් තම ජීවන ගමන සාර්ථක කර ගැනීමට ඇති ඉඩකඩ සීමා සහිත වී තිබේ. දිනෙන් දින ඉහළ යන ජීවන වියදමත් රජයේ විවිධ ප්‍රතිපත්ති අරමුණු අනුව සකසන අධ්‍යාපන සැලසුම් ක්‍රියාත්මක කිරීමත් නිසා මේ වන විට කන්නන්ගරයන් විසින් දායාද කළ නිදහස්‌ අධ්‍යාපන ක්‍රමයට අවිචාර සමයක්‌ ගැටලු සහගත බවක්‌ උදාවෙන්න යන්නේ යෑයි අයෙක්‌ කියත් නම් එයද බැහැර කළ නොහැකි තරම්ය. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දඩබ්බර කම්වලට පොළඹවන යම් දේශපාලන පිරිසක්‌ සිටින වග රජය කියයි. එහි සත්‍ය අසත්‍ය ජනතාව දැනගත යුතුය. රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ සිට නිදහස්‌ අධ්‍යාපනයට පාර කපා දුන් සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර සූරීන් හා 1961 ජනවාරි 14 දා සියලුම පාසල් රජයට පවරා ගැනීමට ක්‍රියා කළ අගමැතිනිය වූ සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය ගෞරවයෙන් සිහිපත් කිරීම වටනේය.

නිදහස්‌ අධ්‍යාපනයේ යථාර්ථය විරූපී නොකිරීමටත්, දුප්පත් දෙමාපියන්ගේ දූ දරුවන්ට නිදහස්‌ අධ්‍යාපනය පසුබිම තුළින් තව තවත් ඉඩකඩ ව්‍යාප්ත කිරීමටත් වගකිවයුත්තන් සමත්විය යුත්තේය.

ආර්. ඇම්. ටී. බී. රත්නායක

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.