දේශීය පොල් අර්බුදය
අනාගතයේ විසඳිය හැකිද?


අප කුඩා කළ පාසලේ ඉගෙන ගන්නා විට අපට කියා දුන්නේ පොල්ගස "කප්රුක" ලෙසටය. බොහෝ අයගේ රචනා මාතෘකාව වූයේද පොල් ගසය. මන්ද එකල පාසල් බාලාංශ පංතියේ ළමයකු පවා පොල් ගස ගැන ඉතා හොඳින් දනී. පොල් මිට පෙර වෛද්‍ය ක්‍ෂේත්‍රය තුළ විවිධ මත ගැටුම්වලට පාත්‍ර වූ, අපට නැතිවම බැරි පාරිභෝගික භාණ්‌ඩයකි. වෛද්‍ය මතයට අනුව පොල් ශරීරයට හානිකර බව මුලින් මොර ගා කී වෛද්‍ය විශාරදයෝ දැන් එහි ගුණාත්මකභාවය සහ හිතකර බව අපට දේශනා කරති. කවුරු කෙසේ කීවත් දේශීය සූප කලාවට අනුව පොල් රහිතව සාදන ආහාර වට්‌ටෝරුවල රසය ප්‍රියජනක නොවේ. ග්‍රාමීය දුගී ජනයා අතර අතමිට හිඟ දිනවලදී කොස්‌ගෙඩියක්‌, දෙල්ගෙඩියක්‌, මඤ්ෙÆක්‌කා, බතල හෝ බුත්සරණ අලයක්‌ තම්බා එය රස කර ගැනීමට යොදා ගන්නේ ගා ගත් පොල් ස්‌වල්පයක්‌ හෝ පොල් සම්බලයකි. මස්‌ මාළු ව්‍යංජන නැති අවස්‌ථාවලදී පවා උයාගත් බතක්‌ සමග පොල් සම්බලය රස බොජුනකි. දකුණුකරයේ සැර අධික මාළු වර්ග වන බලයා ඇටවල්ලා වැනි මාළුවල සැර ගතිය මර්දනය කරන්නේද පොල් ස්‌වල්පයක්‌ ආහාරයට එක්‌ කිරීමෙනි. දකුණේ එක්‌තරා සමාජ කුලයක ජනයාගේ ආහාර මේසයට ගාගත් සුදු පොල් දීසිය අත්‍යාවශ්‍ය ය.

පොල්, ලංකාවට ආවේණික ශාකයක්‌ නොවේ. එනමුත් පොල්වල ඉතිහාසය ඉතා ඈතට දිවයයි. පුරාණ ග්‍රන්ථවල පවා පොල් පිළිබඳව සඳහන් කර ඇත. හතරවන සියවසේ මධ්‍ය භාගයේ වැජඹෙනු බුද්ධදාස නම් නරපතියා විසින් රචිත "වෛද්‍යයක සාරාර්ථ සංග්‍රහය" නම් වෛද්‍ය ග්‍රන්ථයේ පවා පොල් ගැන සඳහන් කර තිබේ. ඒ මෙසේය. පොල් පිත නසන්නේය. මිහිරිය, සිසිලය, මස වඩන්නේය. ළයට හිතකරයි. සිරුර තර කරයි සහ මළබද්ධය ඇති නොකරන්නේය යන්නයි. එසේම දුටුගැමුණු රජුගේ දස මහා යෝදයන්ගේ අයෙක්‌ සහ ඇතකු අතර වූ දිගු කාලීන බද්ධ වෛරයක්‌ විස්‌තර කිරීමටද "හක්‌කේ පොල්" යන වහර යොදා ගෙන ඇත. එබැවින් පොල්වල ඉතිහාසය ඉතා මෑතක නොවන අතර ඒ නිසාම දේශීය ජනයා සහ ජන ජීවිතය අතර සමීප සම්බන්ධතාවක්‌ දරයි.

අප කුඩා කාලයේ පටන් දන්නා පරිදි පොල් ප්‍රධාන අපනයන භෝගයකි. මෑතකදී පොල් හිඟය සහ පොල් ගෙඩියක මිලේ අධික ඉහළ යැම පාරිභෝගිකයාට මෙන්ම රජයටත් දැරිය නොහැකි ප්‍රශ්නයක්‌ වී ඇත. ලංකාවේ පොල් වර්ග ප්‍රධාන වශයෙන් දෙකකි. එකක්‌a ආහාරයට ගන්නා පොල් ය. අනික බීමක්‌ ලෙස භාවිත කරන තැඹිලිය. ආහාරයට ගන්නා පොල්වල විශාල ප්‍රභේද පරාසයක්‌ ඇත. මේවායින් සමහරක්‌ නම් නවසී, දිපොල්, කුන්දිරා ආදී වශයෙන් විවිධාකාර වේ. ලංකාවේ පොල් පිළිබඳව වෙනම පරීක්‍ෂණායතනයකුත්, පොල් සංවර්ධන සහ වගා කිරීමේ මණ්‌ඩලයක්‌ සහ ඇමැති කෙනකුගෙන් ද, වැවිලි බෝග සඳහා වෙනම ඇමැති කෙනකුගෙන් ද වේ. ඒ මෙම පාරිභෝගික භාණ්‌ඩයට ඇති ඒ තරම් වූ වැදගත්කමයි.

අද ඇති වී ඇති පොල් අර්බුදයට සමහරෙක්‌, එක්‌ එක්‌ කෙනාට ඇඟිලි දික්‌ කරමින් සිටිති. බොහෝ අයගේ අදහස මේ අර්බුදය එක්‌වර පැනනැඟුණු එකක්‌ සේය. යථාර්ථය නම් 1970 වේ. ආරම්භයේ සිට මෙම ප්‍රශ්නය ක්‍රම ක්‍රමයෙන් විවිධ පැතිකඩ ඔස්‌සේ ඔඩුදුවා දැන් ගෙලටම සිර වූ තත්ත්වයකට පත්ව ඇත. මේ ගැන විග්‍රහ කිරීමට කාලෝචිත යෑයි සිතමි. මන්ද අප විසින් දැන්වත් දිගුකාලීන සැලැස්‌මක්‌ යෙදීමෙන් මෙම ව්‍යසනය අනාගතයේදී මගහැරීමයි.

වර්ෂ 1970 මුල ගණන්වල රජය විසින් වතු ජනතාකරණය කිරීමත් සමග සමාගම් සතු විශාල වතු රජයට පවරාගෙන සමහරක්‌ රජය මගින් පාලනය වන ආයතනවලට පවරා දෙනු ලැබූ අතර තවත් සමහරක්‌ ජනාවාස ක්‍රමය යටතේද බෙදා වෙන් කළහ. එදා පටන් රජයට පවරාගත් වතුවල පොල් බෝගය කළමනාකරණය විවිධ හේතූන් මත ක්‍රම ක්‍රමයෙන් පහළට වැටිණි. ජනාවාස සඳහා කට්‌ටි කළ ඉඩම්වල ගෙවල් සෑදීම මුවාවෙන් තම කට්‌ටිය තුළ පොල් ගස්‌ සියල්ල හෝ වැඩි ප්‍රමාණයක්‌ කපා ඉවත් කළහ. මෙය දේශීය පොල් කර්මාන්තයේ පසුබෑමකට හේතු විය. වරද රජයේ ප්‍රතිපත්තියවත්, ගත් තීරණයේවත් නොව, කළමනාකාරීත්වයේ ය.

එකල රජයේ සත්ව ගොවිපළවල් පිහිටුවීම සඳහා පොල් ත්‍රිකෝණයේ ඉතා ඵලදායී පොල් ඉඩම් පවරා දෙන ලදී. එහි ප්‍රධාන අරමුණ වූයේ දේශිය කිරි නිෂ්පාදනයට අවශ්‍ය උසස්‌ ගුණාත්මක ගව පැටවුන් දේශීය කිරි ගොවියාට සහන මිලකට සැපයීමත්. එයින් සිදුවන පාඩුව සහ එම ගොවිපොළ නඩත්තුව පොල්වලින් ලැබෙන ආදායමින් පියවා ගැනීමත්ය. සමාගම් විසින් මනා පාලනයක්‌ ගෙන ගිය බැවින් මුල් වසර කීපයේදී එකී ගොවිපළවලට සාර්ථක පොල් අස්‌වැන්නක්‌ ලැබිණි. නමුත් කාලයත් සමග රජයේ ගොවිපොළ යටතේ අකාර්යක්‍ෂම නඩත්තුව, සහ පොහොර යෙදීම, වල් මර්දනය පැහැර හැරීම නිසා මේ දක්‌වා ගොවිපොළවල පොල් අස්‌වැන්න ප්‍රබල ලෙස පහළ වැටුණි. අවසානයේ දේශීය කිරි ගොවියාට වැස්‌සියොත් නැත. අපට පොලුත් නැත. අනිත් කාරණය නම් දැනට දශක දෙකකට පමණ ඉහත කරළියට ආ ඉඩම් කට්‌ටි කර විකිණීමේ ව්‍යාපාරයයි. පොල් ත්‍රිකුණයේ මෙය ඉතා සරුවට කෙරුණි. පොල් ඉඩම්වල හිමියන් එනම් මධ්‍ය පරිමාණ සහ සුළු පරිමාණ පොල්වතු හිමියන් හීන වී යන පොල් අස්‌වැන්න සහ ඒවා නඩත්තුවට යන අධික වියදම් සලකා පොල් ඉඩම් පර්චසයකින් ලැබෙන පොල් ආදායමට වඩා බිම් වටිනාකම ඉතා ඉහළ බව වටහා ගත්හ. එහි ප්‍රතිඵලයක්‌ ලෙස, පොල් ඉඩම් කට්‌ටි කරන දේපල වෙළෙඳ සමාගම්වලට ඒවා අලෙවි කළෝය. මේ ආකාරයෙන් දිනෙන් දින දේශීය ඵල දරන පොල් ගස්‌ ප්‍රමාණය පහතට වැටුණි. මෙය කාලයක්‌ තිස්‌සේ පවත්වාගෙන යැමේ ප්‍රතිඵලය අද අපි භුක්‌ති විඳිමු.

වරින් වර දේශීය පොල් වගාවට වසංගත තත්ව පැමිණීම මගින්ද පොල් වගාවට සහ අස්‌වැන්නට ප්‍රබල බලපෑම් එල්ලකරන ලදී. මින් ප්‍රධාන බලපෑමක්‌ එල්ල කරන ලද්දේ "පොල් මයිටා" උවදුරයි. මීට වසර ගණනාවකට ඉහත පොල් පත්‍ර කනින කෘමියකු වූ "ප්‍රොමකොනිකා කුමන්හි" නම් කුරුමිණියා, හඳුන්වා දුන් පරපෝෂිතයන් මගින් සාර්ථකව මර්දනය කරන ලදී. විවිධාකර උත්සාහ යෙදූවද "පොල් මයිටා" මර්දනය සාර්ථක නැත. සාර්ථක විසඳුමක්‌ පේන තෙක්‌ මානයේද නැත. සමහරවිට මයිටා ප්‍රශ්නය කාලයට විසඳීමට ඉඩ හැර ඇත්දැයි නොදනිමි.

මෑතකදී වැලිගම ප්‍රදේශයේදී සොයාගත් "වැලිගම මැලවීමේ" රෝගය දැන් ක්‍රමයෙන් දකුණු පළාතෙන් අනෙකුත් පළාත්වලටද ව්‍යාප්ත වෙමින් පවතී. රෝගය වැළඳුණු ගස්‌ ගලවා විනාශ කිරීම හැරෙන්නට වෙනත් නිර්දේශයක්‌ තවමත් දෑසට පෙනෙන මානයේ නැත. මේ වනවිටත් රෝගයට ගොදුරු වූ දකුණේ පොල්ගස්‌ ලක්‍ෂ ගණනින් ගලවා විනාශ කර ඇත. මෙම ප්‍රධාන රෝග දෙක සම්බන්ධව කළ වැඩසටහන් හෝ කෙරෙමින් පවතින ව්‍යාපෘති පිළිබඳ ජනතාවට ජනමාධ්‍ය තුළින් හෝ මෑතක සිට කිසිම තොරතුරක්‌ නැත. සමහරවිට මෙම ප්‍රශ්නය ස්‌වභාධර්මයාට විසඳීමට කාලයට බාරදී ඇත්දැයි සැක සහිතය. ඉහත රෝග දෙක නිසා වාර්ෂිකව අපට අහිමි වන පොල් අස්‌වැන්න අසීමිතය. කෙසේ හෝ මෙම රෝග දෙක මර්දනයට ක්‍රමවේදයන් සොයා ගැනීමට සහ පොල් වගාව ප්‍රචලිත කිරීම පොල් වගාව සංවර්ධනයට කැප වී ඇති බලධාරීන්ගේ වගකීම වේ.

පොල් ගසේ භෞත වේදය අනුව ගස තුළ පොල් ගෙඩියක මූලාරම්භය වී, පසුව ක්‍රමයෙන් විකසනය වී පොල් ගෙඩියක්‌ නෙළා ගැනීමට වසර 3-4 ක කාලයක්‌ ගත වේ. මේ කාලය තුළ ඇති වන ඕනෑම ආතතියක්‌ හෝ පීඩාවක්‌ පොල් ගෙඩියේa විකසනයට බලපායි. මේවා අතර නියඟය, අධික වර්ෂාව, පරාගනය, පසේ රසායන ගුණය, පොහොර හිඟය මෙන්ම ගස අවට ඇති වල් පැළ සමග තරගකාරීත්වය ප්‍රධාන තැනක්‌ ගනී.

පොල් පොහොරවල මිල ගණන් හා එක්‌ ගසකින් ලැබෙන පොල් අස්‌වැන්නේ ආදායම හා සැසඳීමේදී ලාභ අන්තරය ඉතා පහත්ය. එබැවින් සුළු වතු හිමියෝ සහ ගෙවතුවල පොල් වගා කරන්නන් පොහොර යෙදීමෙන් වැළකී සිටිති. මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස ගසකින් ලැබෙන පොල් ඵලදාව අඩුවේ. පොල් ත්‍රිකෝණයේ බොහෝ ඉඩම්වලට යොදන පොහොරට අමතරව ඩොලමයිට්‌ යෙදීමක්‌ද කළ යුතුවේ. අවාසනාවකට බොහෝ වතු හිමියන් ඩොලමයිට්‌ යෙදීම අත්හිටුවා ඇත. මෙයින් පත්‍ර කහ පාට වී පොල් ගසේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට බාධා වීමෙන් පොල් ඵලදාව අඩුවීම පමණක්‌ නොව, පොල් ගසේ දිරිය හීන වීමෙන් විවිධ පළිබෝධ සහ රෝග කාරකවලට ඔරොත්තු දීමේ ගුණය ද අඩුවේ.

පොල් ගස වටේට අඩුම තරමේ මීටර එක හමාරක්‌වත් අරය ඇති වෘත්තයක්‌ තුළ වල් වර්ධනය කළ යුතුය. නැත්නම් විවිධ වල් ශාක පොල් ගස සමග පොහොරට, ජලයට තරගයක්‌ ඇති කරයි. වල් මගින් පොල්වලට ඇති කරනු ලබන තරගය අනිත් අපනයන බෝගවලට වඩා තදින් බලපායි. එයට හේතුව පොල් ශාකයේ සක්‍රීය මුල් ඇත්තේ පොළව මතුපිටට ඉතා ආසන්නවය. එබැවින් බලපෑම ඉතා සීග්‍රය. උග්‍රය. වර්තමානයේ මිනිස්‌ ශ්‍රමය දුබලය. මේ කාරණා නිසා අද බොහෝ පොල් වතු වල්පැල මර්දනය ගැන එතරම් උනන්දුවක්‌ නොදක්‌වයි. ප්‍රතිඵලය නම් අඩු ඵලදායීත්වයයි.

ජලය, පොල් ඵලදාවට බලපාන ප්‍රධාන සාධකයකි. අඩු ජලය මෙන්ම වැඩි ජලය ද අහිතකරය. පොල් ස්‌ත්‍රී මල පරාගණය වුවද මුල් මාසය තුළ ඇතිවන නියඟ නිසා එකී පරාගිත මල් වැටී යයි. ඉන්පසුව ඇතිවන නියං තත්ත්වය නිසා විවිධ වර්ධන අවස්‌ථාවල ඇට්‌ටි හැලී යයි. අතීතයේ මනාව පාලනය කළ පොල් ඉඩම්වල සෝදා පාළුව අවම කිරීමට ගල් වැටිද, අතිරික්‌ත ජලය ඉවත් කිරීමට කාණු පද්ධතියක්‌ ද යොදා තිබිණි. වර්ෂා කාලයේ ලැබෙන ජලය, ඉඩෝර කාලයේදී පොල් ශාකයට නොමදව ලබාදීමට, සංරක්‍ෂණය සඳහා පොල් අල්ලි අතර ගැඹුරු කාණු කපා පොල් ලෙලි වළලනු ලැබේ. මෙකී අත්දුටු සාම්ප්‍රදායික ක්‍රම අමතක කර පිට රටින් ගෙනා ආගන්තුක මිල අධික තාක්‍ෂණය අපට හඳුන්වාදී ඒවා භාවිතයට දිරි ගන්වයි. මේ යටතේ ජල බිංදු තාක්‍ෂණය ගත හැක.

මේ තාක්‍ෂණය යොදා ගැනීමට වැය වන අධික පිරිවැය පොල් වගාවෙන් පියවා ගැනීමට කුඩා වතු හිමියන්ට අසීරුය. මෙම තාක්‍ෂණ පාලිත තත්ව යටතේ අධි මිල බෝග සඳහා උචිත විය හැක. ස්‌වභාවිකව ඇතිවන ඉඩෝරය හා අධික වැසි තත්ව අපට පාලනය කළ නොහැක. එහෙත් එවන් තත්ත්වයන් නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට අපගේ දේශීය දැනුම තුළ නොයෙක්‌ ක්‍රමවේදයන් අප මුතුන් මිත්තන්ගෙන් අත්විඳ ඇත.

පොල්මලින් පොල් ගෙඩියක්‌ ලැබීම ස්‌ත්‍රී මල පුරුෂ මලේ පරාග මගින් සරු කළ යුතුය. පොල් ශාකයේ පරාගනය බහුලව සිදුවන්නේ මී මැස්‌සන් වැනි කෘමීන් මගිනි. වර්තමානයේ කෘෂිකර්මයේ අධික ලෙස යොදාගනු ලබන පළිබෝධ නාශක නිසා මී මැසි පවුලට අයත් කෘමි ගහනය සීඝ්‍රයෙන් අඩුවී ඇත. මීට අමතරව සාම්ප්‍රදායික වර්ෂා රටාවෙන් ඔබ්බට එය අසමාකාර වර්ෂාපතන රටාවකට යොමුවීමද පරාගනයට සෘජුවම බලපායි. ඉහත කාරණා දෙක නිසාද පොල් ඵලදායීත්වය අඩුවිය හැක.

දැන් අපට විකල්පයක්‌ නැත. වර්තමාන තත්ත්වය ගැන පෙර සූදානමක්‌ නොතිබූ නිසා මුහුද ගලා ආ පසු අමුඩය ගැසීමට සිදුවේ. රජය විසින් තාවකාලික පිළියමක්‌ ලෙස කේරළයෙන් පොල් ආනයනය කිරීමට තීරණය කළේය. එය ස්‌ථානෝචිත ක්‍රියාවකි. අප සියල්ලන් මතක තබා ගත යුත්තේ මෙය තාවකාලික හා කෙටිකාලීන විසඳුමක්‌ විය යුතු බවය. පොල් ආනයනය පාරිභෝගිකයාගේ පැත්තෙන් සාධාරණය, ශුභ දායකය. මේ ශුභ දායක තත්ත්වය තුළ සැඟවී එන සතුරන් නොමැති යෑයි උපකල්පනය කළ නොහැක. එය පහත විස්‌තර වේ.

පසුගිය දශකය හමාර තුළ විශාල ලෙස "තාල" වර්ගයට අයත් විසිතුරු පැළෑටි තායිලන්තය, මැලේසියාව ආදී රටවලින් ආනයනය කළෝය. මේවා බීජ ලෙස හෝ බීජ පැළ ලෙස මේ රටට ගෙන්වා තවාන්වල සිටුවා, වර්ධනය වූ පසු විශාල මුදලකට වෙළෙඳපොලේ අලෙවි විය. මෙකී ආනයනික තාල වර්ගයේ රෝපණ ද්‍රව්‍යය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවසරය පිට නියමිත සහ ක්‍රමානුකූල නිරෝධායන ආරක්‍ෂක කපොලු හරහා ආනයනකරුවනට නිදහස්‌ කෙරිණි. මීට අමතරව, වාණිජ සහ පෞද්ගලික අරමුණු උදෙසා නීත්‍යනුකූල නොවන මාර්ගවලින්ද විශාල වශයෙන් තාල වර්ගයට අයත් විසිතුරු බීජ පැළ සහ බීජ තමන්ගේ පෞද්ගලික බඩු බාහිරාදිය සමග ලංකාවට ඇතුළු වේ. මෙය සත්‍ය වශයෙන් සිදුවන්නකි. මේ මගින් දැනට ශ්‍රී ලංකාවේ නැති, එහෙත් ඉදිරි අනාගතයේ තර්ජනයක්‌ වන පලිsබෝධ සහ රෝග කොපමණක්‌ විශාල වර්ගයේ විසිතුරු බීජ පැළ සහ බීජ සමග ආක්‍රමණය විය හැකිද? ශ්‍රී ලංකාවේ නොතිබූ එහෙත් මෑතක සිට වසංගත භාවයට පත්ව ඇති "වැලිගම මැලවීමේ" රෝගය සහ "පොල් මයිටාවන්" රට තුළට වූ ආගන්තුක ප්‍රවිෂ්ටය ගැන නොයෙක්‌ අනුමාන කළත් තවමත් විස¹ නැති එකී ගැටලුවල මූලාරම්භය අවිනිශ්චිතය.

කේරළ යනු ඉන්දියාවේ, ලංකාවට සමාන හෝ ආසන්න ජෛව විවිධත්වයක්‌, දේශගුණයක්‌ සහ විශාලම සාර්ථකව පොල් වගා කරන ප්‍රාන්තයකි. කේරළයේ පොල්වගාව සමග පළිබෝධ සහ රෝග කාරක නැත්තේ යෑයි සහතික කළ හැක්‌කේ කාටද? මෙකී ආනයනික පොල් කේරළයේ එකතු කරනු ලබන්නේ එක්‌ ප්‍රදේශයකින් හෝ වගාවකින් නොවේ. එය පොල් වගා කරන කේරළයේ විවිධ ප්‍රදේශවලින්, විවිධ උප දේශගුණික තත්ත්වය යටතේ ඇති වගාවලින් එකතු කරයි. එසේ නම් ස්‌ථානික හෝ ප්‍රචලිත රෝග කාරක පලිsබෝධ හෝ ඔවුන්ගේ අපරිණත අවධි පොල් සමග පැමිණිය නොහැකිද? පොල් ආනයනයට අදාළ දෙපාර්තමේන්තු, ආයතනවල අවසරය ලැබුණාද? නියමිත නිරෝධායන කටයුතු සිදුවූවාද? ආනයනික පොල් තුළ සැඟවී ආ රාක්‍ෂයා (එසේ සිටියේ නම්) අප පියවී ඇසට තව කෙටි කාලයකින් දැකගත හැකිය.

පොල් සහ වර්තමාන පොල් අර්බුදය ගැන කතා කිරීමේදී මේ කාරණය ගැන කතා නොකරම බැරිය. මෑතකදී පොල් වෙනුවට "කටු පොල්" ව්‍යාප්ත කිරීමේ කසු කුසුවක්‌ පවතී. එනම් පොල් වෙනුවට කටු පොල්, මෙකී යෝජනාව එතරම් ස්‌ථානෝචිත නොවේ යෑයි මාගේ පෞද්ගලික පිළිගැනීමයි. කටු පොල් නිෂ්පාදනය හා කටු පොල් ගස, දේශීය පොල් ගසට සමාන කළ නොහැක. පොල් ගස යනු කප්රුකකි. එහි සෑම කොටසක්‌ම ජනතාවගේ ප්‍රයෝජනයට සුදුසුය. කටු පොල්වලින් ලබා ගත හැක්‌කේ "පාම් තෙල්" පමණි. අද වෙළෙඳපොළේ මිල අධික වුවත් පොල් තෙල්වලට ඇති ඉල්ලුම මිල අඩු පාම් තෙල්වලට වඩා ඉතා ඉහළය. පාම් තෙල් බොහෝ පාරිභෝගිකයන් ප්‍රිය නොකරන අතර පොල් තෙල්ම සොයා යයි. අවශ්‍යතාව තෙල් නම් භාවිතය සඳහා පොල්තෙල්වලට අමතරව විවිධාකාර තෙල් වර්ග විවිධ මිල යටතේ සුලබව පවතී. පොල් ගස්‌ කීපයකට හිමිකම් කියන බොහෝ ග්‍රාමීය ජනයා තම පරිභෝජනයට අවශ්‍ය පොල් තෙල් තමන් විසින්ම සිඳවා ගනී. මෙම කාරණය සමහරෙක්‌ නොදන්නවා විය හැක. එනම් ග්‍රාමීය ජනයා බොහෝ විට තම ගෙදර පොල් කුඩු ටික කිරි ගැනීමෙන් අනතුරුව වේලා ගමේ තෙල් සිඳන කුඩා මෝලකට ගෙන ගොස්‌ තෙල් නිස්‌සාරණය කර ගනී. ඉවතලන වියළි පොල් කුඩු කිලෝ 6 කින් පිරිසිදු පොල් තෙල් බෝතල එකක්‌ ලබා ගත හැක. එසේම තම ඉඩමේ වැඩිපුර පොල් වියළා මෝලට ගෙන ගොස්‌ සිඳවා ගනී. වියළි පොල් කිලෝ එකකින් පොල්තෙල් බෝතලයක්‌ ලබාගත හැක. ගෙදර දොර ගාගත් පොල් මිරිකා ලිප තබා රත් කර තෙල් සිඳවා ගනී. ශ්‍රී ලාංකිකයන් පොල් භාවිත කරනුයේ තෙල්වලට පමණක්‌ නොවේ. පොල් තෙල් යනු සුළු අවශ්‍යතාවක්‌ පමණි. හිඟයක්‌ ඇති වුවහොත් ක්‍ෂණිකව පොල් තෙල් හෝ එයට ආදේශකයක්‌ ආනයනය කළ හැක. පොල් තෙල් ආනයනයේ පොල් ගෙඩි ආනයනය මෙන් "ෙජ්‍යෙව සුරක්‍ෂිතතාව" පිළිබඳ ගැටලු පැන නොනඟී.

තෙල්වලට අමතරව දේශීය පොල් භාවිතය ගාගත් පොල් සහ පොල් කිරි දේශීය ආහාර වට්‌ටෝරුවල රසය හා ගුණය ගෙන දේ. පොල් රහිත දේශීය ආහාර වට්‌ටෝරු, ලුණු නැති හොද්දක්‌ වැනිය. පොල් ගසෙන් මිනිසාට ලැබෙන අප්‍රමාණ ප්‍රයෝජන ගත් කල, කටු පොල්වලින් ලැබෙන්නේ තෙල් පමණි. එබැවින් පොල් වගා කිරීමට අපහසු ඉඩම්වල කටු පොල් වගා කිරීම විනා, පොල් වගා කළ හැකි ඉඩම්වල අනිවාර්යයෙන්ම පොල් වගා කළ යුතුය. පොල් ප්‍රශ්නය දැන් බොහෝ දුර දිග ගොසිනි. දෛනික ප්‍රවෘත්ති, අනිත් ජනමාධ්‍ය, දේශපාලන මතවාදවල පමණක්‌ නොව කාටූන්වල පවා පොල් මාතෘකාව බවට පත්වී ඇත. පාරිභෝගිකයා කබලෙන් ලිපට වැටී ඇත. මෙහි වරද අප අතේය. වැඩි කොටස අකැමැත්තෙන් වුවද රජයේ දේශපාලන බලවතුන් සහ අදාළ ආයතන බලධාරීන් භාර ගත යුතු වේ. මන්ද දේශීයව ඉහළම පොල් අස්‌වැන්න මැයි, ජුනි මාසවලත් අඩුම පොල් අස්‌වැන්න නොවැම්බර්, දෙසැම්බර්වලත් කාලාන්තරයක්‌ තිස්‌සේ අත්විඳි දෙයකි. එසේ නම් වැවිලි බෝග අමාත්‍යවරයකු, පොල් සඳහා වෙනමම ඇමැතිවරයකු සහ පාරිභෝගික කටයුතු ඇමැතිවරයකු සිටින රටක, නොවැම්බර්, දෙසැම්බර් අපේක්‍ෂිත පොල් අස්‌වැන්න, පාරිභෝගික ඉල්ලුම, දේශීය දල ඉල්ලුම කල් තියා හඳුනා නොගත්තේද? එකී අමාත්‍යංශවල අදාළ පර්යේෂණ අංශය සහ නිලධාරීන් නිදිගතද? අප රටේ පොල් පර්යේෂණ ආයතනයක්‌, පොල් සංවර්ධන මණ්‌ඩලයක්‌ සහ පොල් වගා කිරීමේ මණ්‌ඩලයක්‌ ද ඇත. මෙම ආයතනවත් රජයට අනතුරු ඇඟවීමක්‌ නොකළෝද? රටක්‌ සංවර්ධනය වීමට එම රට දේශීය වශයෙන් අඩුපාඩුවලින් තොර විය යුතුය. ජනතාවගේ සුරක්‍ෂිතතාව හා සෞඛ්‍ය නගාසිටුවිය යුතුය. එසේ නම් රටකට ඉදිරි අනුමාන ඉලක්‌ක තිබිය යුතුය. මෙය පොල් පිළිබඳ පමණක්‌ නොව, ජනතාවට අවශ්‍ය සෑම උපයෝජන භාණ්‌ඩයක්‌ සඳහා ම විය යුතුය. ඉදිරියේදීවත් රජය යෝජිත සැලැස්‌මකට අනුව ඉදිරි ඉලක්‌ක අනුමාන කළේ නම් ඒ පිළිබඳ කල් තියා සූදානම් විය හැක.

අපි දැනටමත් ප්‍රමාද නැත. කළ යුතු දේ බොහෝය. මුලින්ම, තිබෙන පොල් ගස්‌ රැක ගනිමින්, ඒවාය් ඵලදායීතාව වැඩි කිරීමට ක්‍රමවත් පොහොර යෙදීමක්‌ කළ යුතුය. මේ සඳහා පොල් පොහොර සහනාධාරයක්‌ හඳුන්වා දිය යුතුය. මීට අමතරව, කොම්පෝස්‌ට්‌, කොළ පොහොර ගස වටේට දමා පසේ ගුණාත්මකභාවය පවත්වාගෙන ගෙන යැමට පොල් වගාකරුවන් දිරිමත් කළ යුතුය. සහනාධාර ක්‍රමයක්‌ යටතේ පොල් නැවත පැළ කිරීමේ ව්‍යාපෘතිය මීට වඩා ක්‍රමවත්ව හා කාර්යක්‍ෂමව පවත්වාගෙන යා යුතු=ය. සෑම පර්චස්‌ 20 කට වැඩි නිවාස සහිත ඉඩම්වල ගෘහස්‌ත පරිභෝජනයට, ඉතා සහනදායී මිලකට "කුරු ප්‍රභේදයෙන්" අඩුම ගණනේ පොල් පැළ 2 ක්‌ වත් සැපයිය යුතුය. පොල් ඉඩම් කැබලි කිරීම තහනම් කර එය සිදු කරන්නන්ට උපරිම දඬුවම් පැනවිය යුතුය. පොල් ගසක්‌ කැපීමට අවසර දෙන්නේ එය හානිකර බව ඔප්පු කළහොත් පමණි. එසේ නොමැතිව පල දරන පොල් ගසක්‌ කැපීමට, වසරක්‌ වයසැති පොල් ගස්‌ 2 ක්‌ ඒ වෙනුවට ආදේශ විය යුතුය. විශාල පොල් වතුවලට සහනාධාර ක්‍රමයට "හිස්‌තැන්" පිරවීමට ගුණාත්මක හා උචිත පොල් පැළ ලබා දිය යුතුය. ලියාපදිංචි කළ වතුවල හිස්‌තැන් පුරවා නැතිනම්, ඒ එක්‌ එක්‌ හිස්‌තැන සඳහා වාර්ෂික බද්දක්‌ අය කිරීම ද කාලෝචිතය. මෙසේ එකතු කරන මුදල් අන්‍යයන්ගේ නඩත්තුවට නොව, පොල් සංවර්ධනයට අනිවාර්යයෙන්ම යොමු කළ යුතුය. දේශීය පොල් ඵලදාව සාර්ථක වන තුරු කුරුම්බා අලෙවිය තහනම් කළ යුතුය. පොල් මල් සහ ගොක්‌කොළ භාවිතය අවම කළ යුතුය. රෝගී ප්‍රදේශවලින් (වැලිගම මැලවීම සහ අධික මයිටා උවදුර) අනෙකුත් ප්‍රදේශවලට පොල්, විශේෂයෙන්ම ගෙඩි පොල් ප්‍රවාහනය සීමා කළ යුතුය. මෙයට වඩා වැදගත් යෝජනා පාඨකයා අතර තිබේ. ඒවා විමසිලිමත්ව සලකා බැලිය යුතුය.





දේශීය පොල් සංවර්ධනය පිළිබඳව තීරණ ගැනීමට අදාළ නිලධාරීන්, බලධාරීන් සහ ඒ ගැන උගත් දැනමුත්තන්ට ඉඩ හල යුතුය. දේශපාලකයන් ඉන් බැහැර වී ඔවුන්ගේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පමණක්‌ පහසුකම් සලසා දිය යුතුය.

අවසානයේ මෙයද නොකියාම බැරිය. පොල් ගසට සිදුවූ අහේනියම ඉතා මෑත කාලයකදී අනාදිමත් කාලයක සිට අපි භුක්‌ති විඳි පුවක්‌ සහ කිතුල්වලටද අත්වීම වැලැක්‌විය නොහැකිය. අප, ගම්බදව දුටු පුවක්‌ අරඹ අද නැත. එදා ගැමියන් පුවක්‌ මිලට ගත්තේ නැත. ගමේ ගොඩේ ගස්‌ යට වැටී තිබූ පුවක්‌ තම පරිභෝජනයට අහුලා ගත්හ. එයට කාගෙන්වත් තහංචියක්‌ නැත. අද බොහෝ ගැමියන් පවා පුවක්‌ මිලට ගනී. ගමේ පොළෙන් හෝ බුලත් විට වෙළෙන්දාගෙන් හෝ ඒවා අලෙවි කරන කඩයකින් මිලට ගනී. අද ග්‍රාමීය වෙළෙඳපොළේ පවා පුවක්‌ ගෙඩියක්‌ රුපියල් 2 කට අඩු නොවේ. පුවක්‌ අවාරයේ ගෙඩියක මිල රුපියල් 5-6 දක්‌වා ඉහළ යයි. පුවක්‌වලින් හොඳ විදේශ විනිමයක්‌ද ලැබේ. වර්තමානයේ නොයෙක්‌ උත්සව සඳහා තොරන් ගැසීමට අපමණ පුවක්‌ ගස්‌ ප්‍රමාණයක්‌ කපා විනාශ කරයි. මීට අමතරව දැව වශයෙන්ද (රීප්ප) පුවක්‌ ගස්‌ කපා දමයි. නමුත් පුවක්‌ පැළ කිරීමක්‌ නැත. වෙළෙඳපොළේ පොලිතින් කවරයක පැළ කළ අඩියක්‌ උස පුවක්‌ පැළයක්‌ රුපියල් 20-25 ක්‌ පමණ වේ. තත්ත්වය එසේ නම්, කටු පොල්වලට දෙන මූලිකත්වයම දී, පුවක්‌ වගාව ප්‍රචලිත කිරීම කාලෝචිත හා නුවණක්‌කාර නොවේද?

කිතුල් වගාව ද ක්‍රමයෙන් හීන වෙමින් පවතී. කිතුල් ද ඉබේ වැවුණා විනා, අතීතයේදී පැළ කිරීමක්‌ නොවීය. අද වෙළෙඳපොළේ අලෙවියට ඇති "කිතුල් පැණි" සහ "කිතුල් හකුරු" ප්‍රමාණය බැලීමේදී, මේ තරම් පැණි සහ හකුරු සෑදීමට කොපමණක්‌ කිතුල් ගස්‌ මැදිය යුතුද? එක්‌කෝ පැණි සහ හකුරු ව්‍යාජ ඒවාය. නැතිනම් ඉතා මෑතකදී කිතුල් ගස්‌ වඳ විය යුතුය. මේ සඳහා වෙනමම අමාත්‍යවරයකු හෝ අමාත්‍යංශයක්‌ අවශ්‍ය නොවේ. පොල් සංවර්ධන අමාත්‍යංශය, පොල් පර්යේෂණ ආයතනය, පොල් සංවර්ධන මණ්‌ඩලය සහ පොල් වගා කිරීමේ මණ්‌ඩලයට මෙම සුළු කාර්යය ඉතා පහසුවෙන් කළ හැක. පොල් වගා අතරේ පුවක්‌ද, මායිම් ආශ්‍රිතව පුවක්‌ හා කිතුල් ද වගා කළ හැක. ගෘහස්‌තව මායිම් වැටට මීටරයක්‌ මෙපිටින් මීටර 3 ක පරතරය ඇතිව පුවක්‌ සිටුවිය හැක. ග්‍රාමීයව තෙතමනය බහුල නිශ්ඵල ඉඩම්වල නැවතත් පුවක්‌ අරඹ ඇති කළ යුතුය. කළ යුත්තේ මේරූ පුවක්‌ ගෙඩි කිහිපයක්‌ ඒ ස්‌ථානයට විසි කිරීම පමණි.

ඉහත කරුණු සියල්ල සැලකිල්ලට ගෙන තීක්‍ෂණ බුද්ධියෙන් කල් යල් බලා නිසි තීරණ ගත හොත්, රට සමෘද්ධිමත් කිරීමටත්, පාරිභෝගිකයා සැනසීමටත්, රජයට හා පාලකයන්ට හිසරද ඇති නොවීමටත්, අනාගතයේ අපේක්‍ෂිත "ආසියාවේ ආශ්චර්යය" කරා ළඟාවීමටත් කිසිදු අපහසුවක්‌ නැත්තේමය. එසේම ලබන වර්ෂයේ ජාත්‍යන්තර පැළ සිටුවීමේ ජාතික උත්සවයට පොල්, පුවක්‌ සහ කිතුල් පැළවලට මූලිකතාව දෙමු.

මහාචාර්යය ඒ. නිමල් එµa. පෙරේරා
පේරාදෙණිය විශ්වවිද්‍යාලය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.