බුදුසිරිතේ අසිරිය "කරුණා නදී"
ලොව ප්‍රථම බෞද්ධ ඔරටෝරියෝව

දිනේෂ් සුබසිංහ මෙරට සංගීත ක්‍ෂෙත්‍රය තුළ නව පරපුර නියෝජනය කරන සුවිශේෂී සංගීතවේදියෙකි. ඒ අන් කිසිවක්‌ නිසා නොව ශ්‍රී ලාංකීය සංගීත අනන්‍යතාව අපේ සලකුණ සහිතව ජාත්‍යන්තරය වෙත ගෙන යාම සඳහා සිදුකරන්නාවූ සුවිශේෂී මෙහෙවර නිසාය. ඒ සඳහා වූ ඔහුගේ නවතම වෑයම සත්සරින් ලියෑවුණු බුදුසිරිතේ අසිරිය "කරුණා නදී" නම් ඔරටෝරියෝවයි. ඔරටෝරියෝවක්‌ යනු සංගීතයට නැඟුණු ආගමික කථා වස්‌තුවකි. අප රටට ඔරටෝරියෝව යන්න ආගන්තුක වුවද ලොව විවිධ ආගමික මූලාශ්‍ර ඇසුරින් ඔරටෝරියෝ නිර්මාණයවී ඇත. එහෙත් බෞද්ධ මූලාශ්‍ර ඇසුරින් ඔරටෝරියෝවක්‌ නිර්මාණය වී නොතිබිණි. එවන් මොහොතක දිනේෂ් සුබසිංහ නම් තරුණ සංගීතවේදියාගේ මේ උත්සාහය ශ්‍රී ලාංකිකයන්ගේ නොමඳ පැසසුමට ලක්‌විය යුතුය. ලොව පළමු වරට බුදුරජාණන් වහන්සේගේ ජීවන චරිතය ඔරටෝරියෝවක්‌ ලෙස සීඩී තැටියකින් ඉදිරිපත් කිරීමෙන් දිනේෂ් තම සංගීත කෞෂල්‍යය විදහා පානවා පමණක්‌ නොව එය සැබැවින්ම ශ්‍රී ලාංකික අනන්‍යතාව ජාත්‍යන්තරයට ගෙන යැමට මංපාදන්නකි.

ඔහු තම නිර්මාණය පිළිබඳ හඬ අවදි කළේ මෙසේය. "බොහෝ විදේශීය රටවල් එම රාජ්‍යයන්ගේ ශ්‍රී විභූතිය පතපොතට, චිත්‍රපටවලට, සංගීතයට නගා තිබෙනවා. අපේ රටේ ශ්‍රී විභූතිය පතපොතට, චිත්‍රපයට නගා තිබෙනවා. එහෙත් තවම සංගීතයට නගා නැහැ. ඒ අඩුව පිරිමහන්න තමයි මම මේ නිර්මාණය කළේ. බුද්ධ චරිතය මා මේ සඳහා තෝරාගත්තේ අප ප්‍රසිද්ධ වී තිබෙන්නෙ ථෙරවාදී බෞද්ධ රටක්‌ විදිහට. එනිසා ඒ අනන්‍යතාව ලොව හමුවේ තබන්නයි මම මගේ ඔරටෝරියෝව සඳහා බුද්ධ චරිතය තෝරාගත්තේ."

දිනේෂ්ගේ මෙම සුවිශේෂී සංගීත රචනාවට සඳහා බුද්ධ චරිතයේ එන දේවාරාධනාවේ සිට මහාපරිනිර්වාණය දක්‌වා වූ වැදගත් සිදුවීම් 11 ක්‌ භාවිත කර තිබේ. ඒ අතර ලංකීය බුදුගුණ ගීතාවලියේ ජනප්‍රියතම ගීතයක්‌ ලෙසින් ගැනෙන "දන්නෝ බුදුන්ගේ" ගීතය ද විශ්ව ආකෘතියක්‌ සේ අනුවාදනය කර තිබේ. ලොව විශිෂ්ඨතම සංගීතඥයකු වන ඒ.ආර්. රාහුමන්ගේ පළමු ශ්‍රී ලාංකික සිසුවා වන දිනේෂ් සුබසිංහ බුදුරජාණන් වහන්සේගේ ජීවන චරිතය සංගීතයට රචනා කිරීමේ ක්‍රියාවලියේදී ජාත්‍යන්තර සංගීතඥයන් රැසක්‌ වාදන වෘන්දය සඳහා යොදාගෙන ඇත. එමෙන්ම ඒ සඳහා ඒ.ආර්. රාහුමාන් සංගීත ඇකඩමියේ ශිල්පීන් රැසක්‌ වාදනයෙන් සහ ගායනයෙන් දායක වී ඇත. මෙම නිර්මාණය සඳහා බටහිර සම්භාව්‍යය, ශ්‍රී ලංකා දේශීය මූලාශ්‍ර, ඉන්දියානු සංගීත ආභාෂ, පොප් සංගීත ශෛලීන් ආශ්‍රිත විවිධ සංගීත ශෛලීන් භාවිත කර ඇති අතර එමගින් භාවනාරූපී සංගීතයක්‌ නිර්මාණයට දිනේෂ් සමත්ව ඇත.

වර්තමානයේ හතුපිපෙන්නාක්‌ මෙන් බිහිවන බොහෝ හරසුන් සංගීත රැලි අතර දිනේෂ්ගේ මෙම උත්සාහය මනස සුවපත් කරවන්නකි. එය මධ්‍යම ප්‍රතිපදා සංකල්පය ඉලක්‌ක කර ගනිමින් නිර්මාණයවූ සංගීතයකි. නිරවුල් මනසකින් මෙම සීඩී තැටියට සවන්දීමේදී ඕනෑම අයකුට චිත්ත රූප මැවෙනුයේ නිරායාසයෙනි. ඔබ මා අසා ඇති බුද්ධ චරිතයේ සිදුවීම්වල චිත්ත රූප දිනේෂ්ගේ සංගීත රචනාවට සවන් යොමා සිටීමෙන් දෙනෙත් ඉදිරියේ මැවෙනුයේ නිරායාසයෙනි. විඩාපත් මනස සනසාලන මෙම නිර්මාණය මෙරට ජනතාවගේ සංගීත රසාස්‌වාදනය ඉහළ තලයකට ගෙන ඒමටද සමත්ය.

"මගේ නිර්මාණය වර්තමාන පරපුර එතරම් වැළඳගන්න එකක්‌ නැහැ. ඒත් එහෙම කියලා පවතින හරසුන් නිර්මාණ ගොන්නට නිර්මාණ කරන්න මම ලෑස්‌ති නෑ. හොඳ දෙයක්‌ කරලා ස්‌ථාවර වෙන්න හුඟක්‌ කල් යනවා. හැබැයි ඒ ඇතිවන ස්‌ථාවරය කිසිදාක වැටෙන්නේ නැහැ. ඒ නිසා මගේ මේ නිර්මාණය මේ පරම්පරාව නැතත් මතු පරම්පරාවන් ගණනාවක්‌ වැළඳගන්න බව මම විශ්වාස කරනවා" තම නිර්මාණය පිළිබඳ වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ දිනේෂ් පැවැසීය.

අතුරලියේ රතන හිමි, මිස්‌සක කමලසිරි හිමි සහ ජගත් සුමතිපාල මහතා ඇතුළු බෞද්ධ සම්මේලනය තම නිර්මාණය සාර්ථක කර ගැනීම සඳහා දිනේෂ්ට මඟපෙන්වා ඇත.

දිනේෂ් සුබසිංහ මේ වනවිට ටෙලිනාට්‍ය 31 ක පමණ සංගීත නිර්මාණය කර ඇත. පවතින මාධ්‍ය හා ව්‍යාපාරික අරමුණු ඔස්‌සේ නිර්මිත වහල් සංගීත රටාවෙන් මිදී ශ්‍රී ලාංකීය සංගීත අනන්‍යතාව විශ්ව මට්‌ටමින් ජාත්‍යන්තරය වෙත ගෙන යාම තමාගේ එකම අරමුණ බව දිනේෂ් අවසාන වශයෙන් "මීවිත" සමග පැවැසීය.


ලක්‌මාල් බෝගහවත්ත

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.