ධීවර ගීතයේ රිද්මය
වැලිගම

 

පහුගිය ඉරිදා අපි උණවටුන සුන්දර වෙරළ කෙළවර තියෙන දෙවොල් මහ දෙවියන්ගේ වැල්ලේ දේවාලය ගැන කතා කළා. ඒ දේවාලයේ තියෙන ඉතා පැරණි, ඒ වගේම සුවිශේෂී, දුලබ ගස්‌ කිහිපයක්‌ ගැනත් සඳහන් කළා. අද වැලිගම ධීවර ගීතයේ අන්දරය කියන්න කලින් අපි ඒ දුලබ ශාක ගැනත් කතා කරනවා.


කෝන්තාලම් ගස

වඳ වී යැමේ තර්ජනයට ලක්‌ වූ ඉතා දුලභ කෝන්තාලම් (Xylocarpus rumphii) ගස්‌ තුනක්‌ වැල්ලේ දේවාලයේ තිබෙනවා. වසර සිය ගණනක්‌ පැරණි මේ දුලබ ශාකය මගින් සිංහල වෙදකමේදී භාවිතයට ගැනෙන "ගොපළු ගුලිය" නම් ඖෂධය නිෂ්පාදනය කරනවාලු.


මාර්ග පහක්‌ හමුවන සුවිශේෂී "මං සන්ධිය"

හබරාදුව පහුකරලා මාතර දෙසට යනවිට තමයි අපිට කොග්ගල හමුවන්නේ. පහුගිය සතියේ කොග්ගල හිටියත් ඔබට කියන්න නොහැකි වූ සුවිශේෂී තැනක්‌ මේ කොග්ගල තියෙනවා. ඒ ප්‍රවාහන මාධ්‍යයේ වැදගත් සංධිස්‌ථානයක්‌ අද කොග්ගල තරමක්‌ දියුණුයි. ඒත් සියවසකට පමණ පෙර මෙය නොදියුණු කැළෑබද ප්‍රදේශයක්‌. දෙවැනි ලෝක යුද සමයේදී මෙහි ගුවන් තොටක්‌ ඉදිවුණේ ගම්මාන කිහිපයක්‌ යට කරමින්. මේ ගුවන් තොට මුහුද අද්දර පිහිටා තිබෙන්නේ මාතර - කොළඹ මහාමාර්ගයත්, මාතර - ගාලු දුම්රිය මාර්ගයත් තවත් කුඩා අඩි පාරකුත් මැදිකරමින්. ඉතින් නාවික යාත්‍රා, ගුවන් යාත්‍රා, දුම්රිය, මහාමාර්ග රථ මෙන්ම අඩි පාරකුත් එකට හමුවන මෙවන් තැනක්‌ ආයිමත් ලංකාවේ හමුවෙනවද කියල කියන්න අමාරුයි.


කොග්ගල

මාටින් වික්‍රමසිංහ මහා ගත්කරුවා ගැන අප කතා කළත් ඔහුගේ ගම ගැන තවත් විස්‌තර කියන්න කියලා බොහෝ දෙනකුගෙන් ඉල්ලීම් ලැබුණා. ඒ නිසා මේ පාරත් අපි ඒ ගැන ටිකක්‌ කතා කරනවා.

කොග්ගල කියන්නේ අතීතයේදී වචනයේ අර්ථයෙන්ම පරිපූර්ණ ගම්මානයක්‌. පන්සල, පාසල, වෙදගෙදර, ඔපිසර නිවස යනාදි සියල්ල මේ ගමේ තිබුණා. නමුත් 1942 දී ඇතිවුණු දෙවැනි ලෝක සංග්‍රාමය සමයේදී කොග්ගල ගම වනසා දමා ගුවන් තොටුපළක්‌ ඉදිකළා. ඒ සතුරු ආක්‍රමනවලට මුහුණ දීමට. ඉතින් කොග්ගල ජනයා අවතැන් වුණා. නිවාස කඩා බිඳ දැමුවා. එහෙත් වාසනාවකට වගේ මාටින් වික්‍රමසිංහයන්ගේ මහ ගෙදර (ඔපිසර නිවස) එදා එහි ආපු සුදු ජාතික නිලධාරිනියකගේ නිල නිවස බවට පත්කරගත්තා. එA නිසා ගේ විනාශ වුණේ නෑ. යුද්ධයෙන් පස්‌සේ ඉංග්‍රීසි හමුදාව කොග්ගලින් ඉවත්වුණා. මේ නිවස කැළෑ වැදුණා. පසුව සොයාගෙන තමයි අද තත්ත්වෙට පිළිසකර කරලා තියෙන්නේ.


රිටිපන්න ධීවර කර්මාන්තය

කොග්ගල ඔය ගැන කතා කරන කොට මෙහි පාරම්පරික කළපු ධීවරයන් ගැන කතා කරනව වගේම, කොග්ගල ගැන කතා කරන කොට රිටිපන්න ධීවර කර්මාන්තය ගැනත් වචනයක්‌ නොකියා බැහැ. නොගැඹුරු මුහුදේ සාම්ප්‍රදායිකව කරන තවත් ධීවර කර්මාන්තයක්‌ වන රිටිපන්නයේදී අවදානමක්‌ දරාගෙන, අව්ව - වැස්‌ස නොතකා කරන මේ ක්‍රමය අප ඉහළින් අගේ කළ යුත්තක්‌. මෙහිදී කරන්නේ "රිටක්‌" උඩ ඉඳගෙන බිලි බෑමයි. කොග්ගල සිට අහංගම දක්‌වා මේ ක්‍රමය ප්‍රචලිතයි.


ලංකෝපකාරය - ලංකාවේ ප්‍රථම සිංහල මුද්‍රණාලය

අපි කොග්ගල පහුකරලා කතළුවට ආවා. එතැනත් වැදගත් දෙයක්‌ තියෙනවා අපට බලන්න. ඒ කතළුව රංවැල්ල පුරාණ විහාරයේ තියෙන ලංකාවේ පැරණිතම හා ප්‍රථම සිංහල බෞද්ධ මුද්‍රණාලයේ මුද්‍රණ යන්ත්‍රය. මේ තමයි "ලංකෝපකාරය" මුද්‍රණාලයේ මුද්‍රණය කළ ලංකාවේ ප්‍රථම සිංහල බෞද්ධ පුවත්පත වූ "ලංකා ලෝකය" අච්චු ගැසූ යන්ත්‍රය. එංගලන්තයේ නිෂ්පාදිත මෙම යන්ත්‍රය 1860 දී බුලත්ගම ධම්මාලංකාර හාමුදුරුවනන්ට දීල තියෙන්නේ එකල හිටපු තායිලන්තයෙය් චූලාලංකාර රජතුමා. එවකට මේ යන්ත්‍රය ගාලු වරායට ගෙනවිත්, ගාල්ලෙ අටපට්‌ටම් විහාරය නොහොත් පරමානන්ද විහාරයේ තමයි සවිකරලා භාවිතයට අරන් තියෙන්නේ. ජාතිය අවදිකල නම්, පංචමහා වාද පැවැත්වූ යුගයේදී බෞද්ධයින්ට මහා ශක්‌තියක්‌ වුනේ මේ මුද්‍රණ යන්ත්‍රය තමයි. පානදුරාවාදයෙA දී, බද්දේගම වාදයේදී අවශ්‍ය පත්‍රිකා මෙන්ම පෝස්‌ටර් යනාදියත් නිර්මාණය කළේ මේ යන්ත්‍රයෙන්. සැබෑවටම මේ ජාතියක්‌ අවධිකළ පුරාවස්‌තුවක්‌. 1942 දී, ලෝක යුද සමයේදී මෙය පානදුරේ රන්කොත් විහාරයට ගෙනිච්චා. 1910 වනතුරු මේ "ලංකෝපකාරය" මුද්‍රණාලය භාවිතා කර තියෙනවා. ඉන්පසුවයි කතළුව විහාරයට මෙය රැගෙන ගිහිං තියෙන්නේ.


වැලිගම ධීවර වරාය රැ ගන්දූව

වැලිගම බොහෝ ප්‍රසිද්ධ ධීවර කර්මාන්තයට. වැලිගම ධීවර වරායෙන් මෙරට මත්ස්‍ය නිෂ්පාදනයට ලැබෙන්නේ සුවිශාල පිටිවහලක්‌. ධීවර බල ප්‍රදේශයක්‌ හැටියට මේ ධීවර වරායෙන් මුහුදු යන අය කොතරම්ද යන්න විටෙක මේ වරායේ නැංගුරම් ලන ධීවර යාත්‍රාවලින් අපට අදහසකට එන්න පුළුවන්.

ධීවර වරායේම එක්‌ සුවිශේෂ දූපතක්‌ දකින්නට ලැබෙනවා. ඒ තමයි ගන්දූව. කාලාන්තරයක්‌ තිස්‌සේ මේ දූපතේ අයිතිය තිබුණෙ වළව්කාර ධනවතුන්ට. මේ දූපත දැන්නම් සංචාරක හෝටලයක්‌ බවට පත්ව තිබෙනවා. ඒ එහි පැවති පැරැණි වළව්ව ප්‍රයෝජනයට අරන්.


වැලිගම රේන්ද

ගාල්ල - වැලිගම ප්‍රදේශය රේන්ද විවීමටත් හරිම ප්‍රකටයි. දැන් එතරම් දැකිය නොහැකි වුණාට රේන්ද අල්ලල, බෝරිච්චි අත්දාපු හැට ඇන්ද "ගාල්ල - මාතර" ආච්චිල ගැන අපි හොඳට දන්නවා. ඒ රූපෙ අපේ හදවතේ ඇඳිලා තියෙනවා. ඉතින් වැලිගමට ආපු ගමනේ අපි රේන්ද කර්මාන්තය හොයාගෙන ගියා. වැලිගම වරාය ඉදිරියේදීම, ගාලු පාරෙ අපට හමුවුණේ රේන්ද විවීමට නම් දරාපු, සම්මාන ලාභී රේන්දවියන්නියක්‌. ඒ තමයි ලීලා ලේස්‌" හි ලීලශීලි මහත්මිය. ආච්චිගෙන් ඉගෙනගත්ත රේන්ද කර්මාන්තය අදත් ඇය කරන්නේ සංචාරක කර්මාන්තයේ තවත් එක්‌ කොටසක්‌ බවට පත්කරගෙන. පාර අයිනෙ රේන්ද විවීම වගේම ඇයගේ රේන්ද ප්‍රදර්ශනාගාරයත් හරිම විචිත්‍රයි.


කුෂ්ඨරාජගල

වැලිගමට ආවොත් කුෂ්ඨරාජගලටත් යා යුතුමයි. මෙතැන ලොකු කළුගලක බෝධිසත්ව ප්‍රතිමාවක්‌ තනා තියෙන්නෙ ඉපැරණි ගල්වඩුවාගේ කුසලතාව ගැන මොනවට සඳහන් කරමින්. අවලෝකේතිශ්වර බෝධිසත්ව ප්‍රතිමාවක්‌ ලෙස හඳුන්වා ඇති මෙය කුෂ්ඨයක්‌ වැළඳුණු රජවරයෙකුගේ ප්‍රතිමාවක්‌ හැටියටත් සලකනවා. 8 වැනි සියවසේදී නිර්මාණයවුණු මේ ගැන තොරතුරු අපට ලැබුණේ තරමක්‌ අඩුවෙන්.


වැලිගම අග්‍රබෝධි රජ මහා විහාරය

බෝධි වන්දනා ගාථා අතර පහත ගාථාව කොයිතරම් අපට සමීප වූවක්‌ද. රටේ කොතැනක විසුවත් "බෝධි පූජා" යනාදියේදී අපි මේ ගාථාව නිරන්තරයෙන් ගායනා කරනවා. නමුත් දන්නවාද? මේ ගාථාව නිර්මාණය වුණේ වැලිගම අග්‍රබෝධි විහාරයේ බෝධීන් වහන්සේ නමස්‌කාර කිරීම සඳහායි. දැන් එය රටේම ගාථාවක්‌ බවට පත්වෙලා.

ජයශ්‍රීමා බෝධීන් වහන්සේගෙන් පැන නැගුණු දෙතිස්‌පල රැහ බෝධීන් අතරින් පළමු බෝධීන් කිහිපය දකුණු පළාතේ වන්දනීය ස්‌ථානවල රෝපණය කිරීම සඳහා රැගෙන යද්දී දිනක්‌ වැලිගම වෙහෙර අසල රැයක්‌ ගත කර තිබෙනවාලු. පසුදා මේ බෝධීන් අතරින් අග්‍ර වූ බෝධිය (ප්‍රථම) මෙම ස්‌ථානයේ මුල්බැස තිබූ නිසා එහි රෝපණය කළ බව පවතින විශ්වාසයයි. අග්‍රවූ බෝධිය නිසයි අග්‍රබෝධි විහාරය බවට පත්ව ඇත්තේ. මේ අග්‍රබෝධීන් වහන්සේ පිදූ ගාථාවයි "අග්‍රබෝධී නාම වාම...." වුණේ.

විහාරාධිපති මහාචාර්ය මිදිගම සෝරත හිමියන් ප්‍රකාශ කරන පරිදි මේ විහාරාස්‌ථානයේ ඉතිහාසය දෙවන පෑතිස්‌ යුගය දක්‌වා දිවෙනවා. අනුරාධපුර යුගයේ විහාර මන්දිරවල තිබූ මුල්ගල එනම්, "අෂ්ඨ මංගල ශිලාව" නොහොත් "අටමගල" මේ විහාර බිමෙන් සොයා ගැනීමෙන් ඒ බව පැහැදිලි වෙනවා. මෙවන් .වත් අටමගලක්‌ කෞතුකාගාරයේ පමණක්‌ තිබුණත් එහි පවා අෂ්ඨ මංගල ලක්‍ෂණ පැහැදිලි නැහැ.

මේ අටමගලෙහි කාලය ක්‍රි. ව. 8-9 සියවස්‌ දක්‌වා දිවයන බවයි නායක හාමුදුරුවන් අපට වදාලේ.

මේ විහාරය දැන් පූජා භූමියක්‌. කුෂ්ඨරාජගල බෝධිසත්ව ප්‍රතිමාව සමඟත් මේ විහාරය ළඟ සබඳතාවක්‌ තිබෙන බව කියනවා.


කුඹල්ගම

වැලිගම ආරම්භයේදීම හමුවන කුඹල්ගම ගාල්ල - කතරගම පාරේදී අපට හමුවන වැදගත්ම අත්කම් භාණ්‌ඩ ගැන ප්‍රකට ගම්මානයක්‌. දෙවන පෑතිස්‌ යුගය දක්‌වා ඉතිහාසයක්‌ තිබෙන බව විශ්වාසකරන මෙම කුඹල්ගම, කුඹල් කර්මාන්තයෙන් දිවිගෙවන විශාල පවුල් ගණනක්‌ ඉන්නවා. තමන් විසින්ම සකසන මැටි භාණ්‌ඩ ඔබදමා පෝරණුවේ පුළුස්‌සා, වර්ණකර සංචාරකයන්ට අලෙවි කිරීම ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපායයි.


පැරණි මෙතෝදිස්‌ත දේවස්‌ථානය

වැලිගම නගරයේ පැරැණි මෙතෝදිස්‌ත දේවස්‌ථානයක්‌ ඇති බව අපට තොරතුරු කීවේ අපේ වැලිගම මාධ්‍යවේදී රන්ජන් ගාමිණී ජයවර්ධන මහතා. දැනගත් පරිදි 1814 දී ජෝර්ඡ් අර්ස්‌කයින් සහ විලියම් ඕල්ට්‌ යන මෙතෝදිස්‌ත පූජකයින් දෙදෙනකු වැලිගම වෙරළට ගොඩ බැස තිබණේලු. මේ ගැන හොයාගෙන අපි එහි ගියත් ලිත අවසරයකින් තොරව මේ ගැන තොරතුරු දෙන්න බැහැ කියලා දේවස්‌ථානයට සම්බන්ධ අයකු කීව නිසා අපි දේවස්‌ථානයේ පින්තූරයක්‌ පළ කරන්නේවත් මීටවඩා කිසි වක්‌ ලියන්නේ වත් නෑ.


අදහස්‌ ratawata.divaina@gmail.com

ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ

වාසල සේනාරත්න

ස්‌තුතිය - රංජන් ගාමිණී ජයවර්ධන - දේ. සු. ද සොයිසා,

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.